ගුණතිලක මැටියගනේ
කර්මය සහ කර්ම ඵලය විශ්වාස කිරීම නිවන් මඟ සොයා යන ශ්‍රාවකයකුට හොඳ ඉල්ලමක්. කර්ම ඵල විපාක ඉදිරියේ කුසලකර්ම හා අකුසල කර්ම යන දෙවග්ගය ම තුලාවක ලෑවා සේ සමබරයි.
‘මනසා චෙ පදුටෙඨන භාසති වා කරොති වා…’ යමෙක් දුෂ්ට වූ සිතින් යමක් කරයි හෝ කියයි නම් ඔහුට එහි නපුරු පලවිපාක පලදෙන්නේ ගැල බැඳි ගොනු පසුපසින් ඇදී එන රිය සක මෙන්.
එසේම ‘න අනතලිකෙඛ න සමුදද මජෙඣ’ අහසෙහි සිටියත්, මහ සමුදුරු මධ්‍යයෙහි සිටියත්, පොළෝ කුහරයක සැඟැවී සිටියත් කර්ම විපාකයෙන් ගැලවීම නම් බොරු. එමෙන් ම කිසිදු තරාතිරමක් මුක්තියක් නො බලා දේවදත්ත තෙරහු හටත්, සුප්‍රබුද්ධ රජුන් හටත්, ගෞතම බුදුන් හටත් එක හැන්දෙන් ම, එහෙත් වෙනසකට වූයේ ගෞතම බුදුන් හට මේ උන්වහන්සේගේ අවසන් භවය වන බැවින් හනි හනික පොරාණ කර්ම පියවා අස්කොන් පවා ඉතිරි නො කැර ලිපිගොනුව වසා දැමිය යුතු වීමයි.
මේ ලෝදම් සත්තාව ප්‍රකට කරවමින් අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද තම යථාවාදී තථාකාරී ගුණය විදහා දක්වමින් තමන් වහන්සේ ද පෘතග්ජන මනු සත්ත්වයෙකු ලෙස ජාති යන අපා දුකෙහි හටගෙන, ජරා මඩෙන් ඉස්මතු වී අරවින්දයක් සේ දිදුලන අයුරුත්, එහෙත් තමන්ටත් ජරා ධර්ම, ව්‍යාධි ධර්ම හා මරණ ධර්මය උරුම වන සැටිත් පෙන්වා දෙමින් තමන් ද පෙර අත්බැව්හි කරකියා ගත් අකුසල කර්මවල ආදීනවවලට මේ අන්තිම භවයෙහි දී මුහුණ දුන් අයුරු ‘පුබ්බකම්ම පිලෝතික බුද්ධාපදානය’ නමින් සූත්‍ර ධර්මයකට ගොනුගත කරන්නටත් නිහතමානී වෙනවා.
එදා රන්තලියක් අරභයා දේවදත්ත (සොර වෙළෙන්දා) බැඳගත් බද්ධ වෛරය බුදුන්ට සාහසික අපරාධ ගණනාවක් සැලසුම් කරන්න හේතු වෙනවා.
බුදුන් ඝාතනය කිරීමේ ඒකායන චේතනාවෙන් අටවන ලද කුමන්ත්‍රණයක් නම් උන්වහන්සේ ගිජුකුළු පවුව පාමුල සක්මනෙහි යෙදී සිටිය දී උන්වහන්සේ වෙතට විශාල ගලක් පෙරළීම. මේ කෲර ප්‍රයත්නයේ අධ්‍යක්‍ෂවරයා වූයේ ද දෙව්දත් තෙර. ඒ ඝට්ටනයේ දී ද බුද්ධ ශරීරයට යම් දුක් පීඩාවක් පතිත වුණා තමයි. ගල් දෙකක් එකට ගැටීම හේතු කොටගෙන විසි වූ ගල් පතුරක් වැදීම නිසා බුදුපියාණන්ගේ පා මහපටැඟිල්ලක ලේ පදාසයක් ගල් ගැසුණා.
මේ ඵල විපාකයට හේතු සාධක වූ අකුසල ධර්මය ලෙස උන්වහන්සේ දකින්නේ එක්තරා භවයක බෝධිසත්වයන්ගේ පියාණන්ට අඹුවන් දෙදෙනකු වූ බැවින් දේපළ බෙදී යන තණ්හාව පෙරටු කරගෙන තම සුළු මවගේ පුතා රවටා ගල් කන්දක් මතට ගෙන ගොස් ඉන් පල්ලට පෙරළා මරා දැමීමයි. පය මහපටැඟිල්ලේ රුධිර පදාසය කැටියක් ගල් ගැසීමටත්, මුළු රැයක් පුරා දැඩි වේදනාවෙන් පසු වන්නටත් සිදු වූයේ ඊට ම ඇමිණුණු තවත් අකුසල කර්මයක්. තඩිස්සි වූ ඇඟිල්ලට පිළියම් කළ ජීවක වෙදැදුරාණන් එම ගැල්වූ ඔසුව හෝරා කිහිපයකින් ඉවත් කරන්නට ආපසු එන බවට පොරොන්දු වූයේ තවත් රෝගියකු පරීක්‍ෂා කරන්නට පිටිනුවරට යා යුතු වූ බැවින්. ඒත් වෙදැදුරා පෙරළා පැමිණෙන විට නගර දොරටු වසා දමලා. ඔහුට බුදුන්ගේ තුවාලය පරීක්‍ෂා කරන්නට ලැබුණේ පසුවදා පුර දොරටු විවෘත කළායින් පසුවයි. බුදුරදුන් මුළු රැයක් තිස්සේ නිසි වේලාවට ප්‍රතිකාර නො ලැබ වේදනාවෙන් නිදි වරා සිටියා.
ඊට හේතු වූයේ ද බෝධිසත්වයන් පෙර භවයක මහපොළොවට අධිපති ව සිටින කල්හි කඩුවකින් ගසා මිනිසකු මරා දැමීමේ අකුසලයේ ඉතිරි කොණක්.
ගල් පෙරළා බුදුන් ඝාතනය කළ නොහෙන තැන කුලී දුනුවායන් කණ්ඩායම් ගණනාවක් යොදාගත්තා. බුදුන්ට විද ඝාතනය කරන කණ්ඩායමට විදින්නට තවත් පිරිසක් යොදාගත්තේ කිසිදු සාක්‍ෂියක් ඉතිරි නො වන සේ. ඒ ඝාතන තැත ද ව්‍යර්ථ වූයේ බුද්ධ බලයෙන්. ඒ කුමන්ත්‍රණයට මතු ව ආ පෙර අකුසලය නම් බෝධිසත්වයන් කුඩා දරුවකුව සිටිය දී අනෙක් ළමාවරුන් සමග පාරේ සෙල්ලම් කරමින් සිටින කල එතැනින් වැඩම කළ පසේබුදු කෙනකුට ගලක් දමා ගසා ඉලක්කය ඇල්ලීම.
මේ මරණීය කුමන්ත්‍රණවලින් බුදුන්ට හානියක් නො වූ තැන නාලාගිරි නම් සද්දන්ත ඇතාට රා කළ 16ක් පොවා මත් කරවා බුදුන් වඩින මඟට කුලප්පු කොට එව්වා. එහෙත් තිරිසන් සත්ත්වයෙකු වුව ද නාලාගිරි හස්තියා බුදුන් හමුවේ බලු කුක්කෙකු මෙන් හැකිළී දමනය වුණා.
මේ පීඩාවට ද හේතුව වූයේ බෝසතුන් එදා ඇත්ගොවුවෙකු ව සිටිය දී පිඩුසිඟා වඩින පසේ බුදු කෙනෙකුන් බියවද්දන්නට අලියා කුලප්පු කොට එදෙසට උසිගැන්වීම.
ගෞතම බුදුන්ගේ කර්ම විපාකාවලිය තුළ සුන්දරී නම් අලජ්ජි පරිබ්‍රාජිකාවකගේ අභූත චෝදනා අපහාස ගණනාවකට මුහුණ දෙන්ට සිදු වුණා. බුදුන් ගෙන් බණ ඇසූ ශ්‍රාවකයන් දෙව්රම් විහාර බිමින් පිට වන මොහොතේ සුන්දරිය කාටත් පෙනෙන්නට දසදිග්භාගය ම සුවඳ ගන්වමින් රූ සිරියෙන් හැඩ වැඩි වී විහාර බිමට ඇතුළු වනවා. පසු දා ශ්‍රාවකයන් වෙහෙරට ඇතුළු වන විට ඇය නිදිබර, විඩාබර අංග රචනාවකින් යුතු ව ඇඟමැලි කඩමින් අවුල් වූ වරලස හා දුහුල් ඇඳුම් හරිබරි ගස්සා ගනිමින් පිට ව යනවා. කොයි කාටත් සැකයක් හට නො ගනීය?
පෘථග්ජන මිනිසුන් නොවැ!
මේ අපහාසයට හේතුව නම් බෝධිසත්වයෝ පෙර භවයක සරභූ නම් පසේ බුදුන්ට කළ නින්දාවක අන්තිම පල විපාකයයි. එහි දෙවෙනි අංකය හැටියට නිවටුන්ගේ කුමන්ත්‍රණ ප්‍රකාර ව සුන්දරිය මරා විහාර බිම පරමල් ගොඩක සඟවා තැබෙනවා. රාජ පුරුෂින් මළ සිරුර සොයාගත් පසු එළිදකින්නට වූ හෝඩුවාවල් හා සාක්‍ෂි අනුව චෝදනාව බුදුන් වෙත පැටවෙනවා. බුදුන්ටත් භික්‍ෂු සංඝයාටත් දෙව්රමින් පිටතට වඩින්නට බැරි තත්ත්වයකට පත් වෙනවා. රාජ උදහස, ආහාර අහේනිය ප්‍රශ්නකාරියි.
මේ හැටියට පල දුන්නේ සාමූහික ව කළ කර්මයක්. එක භවයක දී බෝසතුන් කාගෙ කාගෙත් බුහුමන් ලබන බහුශ්‍රැත බ්‍රාහ්මණ පඬිරුවනක් ව හිටියා. උන්නාන්සෙ මහ වන මැද්දෑවෙ ගෝලබාලයන් පන් සීයකට මන්ත්‍ර හදාරවමින් හිටියෙ. ඔය අතර පංච අභිඥාලාභී භීම නම් ඉසිවරයා වනයට සැපත් වුණා. මොකක් දෝ අහේතුවකට, ඉසිවරයා කාමභෝගියෙකැ යි කියන අභූත චෝදනාව නඟන්නයි ඇදුරු බමුණාගේ දිව නැමුණේ. ඇදුරාගේ ඉගැන්නුම් බහට එහෙයි කියූ ගෝලබාලයන් පන් සිය දෙනා ඒකට ස්වෙච්ඡාවෙන් ම පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නේ තමන් ගෙන් ගෙට පිඬුසිඟා යන අතරතුර.
ඊළඟට ඔන්න බුදු හිමියන්ට බරපතළ අපචාර චෝදනාවක් දම්සභා මණ්ඩපය මධ්‍යයේ ම. ඒ චිංචි මානවිකාව නම් මායම්කාරියක ගෙන්. කුසේ දර මිටියක් බැඳගෙන දහ මහ පිරුණු ගැබිනියක වගේ ඇවිදින් “දැන් මෙතැන හොඳ මිනිහ වගේ බණ කියනවා. ඊට කලින් මේ වැදුම්ගෙට අවශ්‍ය කලමනා සොයා ගන්න වෙයි. නැතිනම් මං නරක ගෑනියි කියන්න එපා…”
ඒ බරපතළ චෝදනාවට බලපෑයේ බෝසතුන් සබ්බාභිභූ නම් බුදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයාට අපහාස කිරීමයි.
ගෞතම බුදු සිරුරට ද රෝගාබාධ කීපයක් ම අරක්ගෙන සිටියා. නිරන්තර හිස රුජාව ඉන් එකක්. ඒ රෝග ව්‍යාධියට උපස්ථම්භක වූයේ බෝසතුන් කළ හෝ කී හෝ අකුසලයක් නො වේ. එනම් ආකස්මික ව සිත තුළ පැනනැඟි චේතනාවක්,
එදා උන්වහන්සේ කෙවුල් ගමක ඉපිද සිටියා. දිනක් තම ඥාතීන්ගේ දැලට අසාමාන්‍ය ලෙස ලොකු මත්ස්‍ය අස්වැන්නක් ලැබිලා උන්වහන්සේ ඒ ගැන උද්දාමයට පත් ව පිනා ගියා. අන්න ‘කම්ම විපාකජා’ ආබාධයක්.
එසේම බුදුපියාණන් දිගින් දිගට ම කොන්දේ ආබාධයකින් පෙළුණා. ඇතැම් අවස්ථාවල උන්වහන්සේ දහම් දෙසමින් සිටිය දී ඒ වේදනාව උත්සන්න වූ විට සමීපයෙහි වූ මහ සැරියුත් හිමි අමතා, “සාරිපුත්ත, ඔබ මෙහි ඉතිරි ටික කියා දෙන්න” යැ යි පවරා තුමූ සඟල සිවුර එලා ඒ අසල ඇල වී විවේක ගත්තා.
මේ ආබාධයට හේතුව එක් භවයක උන්වහන්සේ මල්ලවපොර ශූරයෙකු ව සිටිය දී වෙනත් ප්‍රාන්තයක මල්ලව පොරකරුවකු එහි පැමිණි අභියෝග කළ අවස්ථාවේ ඔහු ඔසවා පොළොවේ ඇනීම නිසා ප්‍රතිමල්ලවයාගේ කොන්ද බිඳී යෑම.
බුදු පියාණන් දැඩි සේ වෙහෙසට පත් කළ තවත් ව්‍යාධියක් වූයේ “ලෝහිත පක්ඛන්දිකා” (ලේ අතීසාරය) වැළඳීම. උන්වහන්සේ පිරිනිවන් මංචකය බලා වඩින මොහොතේත් මේ රෝගය මතු වුණා. එහි දී උන්වහන්සේට දැඩි පිපාසාවක් ද හටගත්තා. “ආනන්ද, මට පිපාසයි. පැන් ටිකක් සොයාගෙන එන්න.” ඒත් අසල වූ ගංගාවේ ද ජලය බොර වෙලා.
මේ හිංසා පීඩාවලියෙහි නිමිත්ත වූයේ ද පෙර භවයක උන්වහන්සේ වෛiවරයකු ව සිටින කල එක්තරා සිටුවරයෙකුගේ උදරාබාධයකට බෙහෙත් නියම කළා. රෝගය සුව අතට හැරෙන විට සිටාණෝ මසුරු සිතින් ගාස්තු අඩු කරන්නට තැත් කළා. කේන්ති ගත් වෙදරාළ රෝගය දෙපිටින් යන්නට විෂ සහිත ඔසුවක් නියම කළා. එය ඔරොත්තු නො දුන් රෝගියාට ලේ අතීසාරය වෙන්න පටන් ගත්තා.
බුදු සිරුරින් අවසන් හුස්ම පොද පිට වන මොහොතේ හෝ වාඩුව අල්ලන්න කර්ම විපාකයා පැකිළුණේ නෑ.
12 වැනි වස් කාලයේ දී බුදු හිමියන්ටත් මාස තුනක් ම බත් ඇටයක් ඇහැට නො පෙනෙන තරමේ අහේනියකට මුහුණ පාන්නට කරුණු යෙදුණා. එදා උන්වහන්සේට වස් ආරාධනා කළේ එක්තරා බමුණු ප්‍රධානියෙක්. ඔහු බුදුන් වස් සමාදානයෙහි පිහිටුවා ගියා ගියාමයි ආයි ඒ පැත්ත බැලුවේ නෑ. ඔහුට අමතක ව ගොහින්. බලන්නකො අකුසල කර්මයක සිදුවීම් පෙළගැසි ගැසී එන හැටි! වස් වාසික විනය චාරිත්‍රවලට අනුකූල ව බුදුන්ට වුණත් පිටත වැඩ පිඩු සිඟා වඩින්ටත් බෑ. ආරාධනා කළ බමුණා ගෙනුත් ගිලන්පස බඳුනක් පමණ වත් නෑ.
මෙතෙන්දි ලොකු ම අභියෝගය එල්ල වුණේ උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ට. වෙලාවට ඒ අසල අශ්ව වෙළෙඳ කණ්ඩායමක් වාඩි ලා සිටියා. ඔවුන් ළඟ අශ්වයන්ට දෙන ‘යවහාල්’ නම් සත්ත්වාහාරයක් තිබුණා. ඒවා බොහොම රළු රූක්‍ෂ සත්ත්ව කෑම. ආනන්ද හාමුදුරුවො ඒවා ඉල්ලාගෙන පොඟවා අඹරා රොටි, පිට්ටු, චපාති වැනි දාන වේල් සකසා තුන් මාසය ම බුද්ධ පූජාව සම්පූර්ණ කළා. වස් අවසන බුදුරදුන් ආනන්ද හිමියන් සමග බමුණාට ඒ ගැන දැනුම් දෙන්න ගියාමයි බමුණාට දෙලොව රත් වුණේ.
බුදුන්ට මේ කර්ම විපාකය පල දෙන්ට හේතු වූයේ පෙර භවයක උන්වහන්සේ පුෂ්ප නම් බුදුන්ගේ සිල්වත් ශ්‍රාවක පිරිසකට සිත් රිදෙන අයුරින් ‘ඔයිට වඩා හොඳයි නුඹලා යවහාල් වැළඳුවා නම්’ යි කියා උපවාද කිරීම.
සිදුහත් තවුසා ලොව්තුරා බුදු පදවියට පත් වන්නට පෙර මහ වනයේ වසර හයක දුෂ්කර ක්‍රියාවක යෙදුණා. ඒ සිරුරට අධික ලෙස දුක් දෙමින් අත්ථකිලමතානුයෝගය අත්හදා බලමින්. එලෙස තම අත පොවන මානයට වැටෙන කොළයක් පමණක් අනුභව කරමින්. ඒ තබා තමාගේ ම මල මූ පවා ආහාරයට ලබාගත් බවකුත් සඳහන් වෙනවා නෙ!
මෙවන් සාතිශය දුක් සමුදායක් විඳින්නට හේතුභූත වූයේ එදා අතීත භවයක ජෝතිපාල නම් කුලවන්තයකු ව සිටිය දී කළ අහංකාර පරවශ ප්‍රකාශයක් නිසාවෙන්. මේ ජෝතිපාලට ඝටීකාර නම් කුඹල් කුල සමීප මිතුරෙක් සිටියා. හෙතෙම නාමාර්ථයෙන් ම ශ්‍රද්ධාකාමියෙක්. ඒ කාශ්‍යප බුදුන්ගෙ ශාසනය. ඝටීකාරට ලොකු ඕනෑකමක් තිබුණා තම අඹ යහළුවාත් බණ පදයක් අහන්න කැඳවාගෙන යන්න. ඒ හැම උත්සාහයක දී ම ජෝතිපාල වහසිබස් දෙඩුවේ, ‘ඔය මුඩු මහණාට මොන සම්බෝධි ඥානයක් ද? මම නම් යයි ඔය මුඩු මහණා ළඟට’ වශයෙන්. එලෙස කාශ්‍යප බුදුරදුන්ට කළ උපවාදයට මදෑ සය වසරක් ම විඳවපු දුක් කන්දරාව!
මෙවැනි කර්මඵල සහසම්බන්ධතා ඉස්මතු කරන තැන්වල දී ඇතැම් කට පණ්ඩිතයන් එදෙස උපහාසයෙන් සිනාසී, ‘ඔයකියන කර්ම ක්‍රියා කොහේ ද ලියවිලා එක්රැස් වෙලා තියෙන්නෙ.’ වශයෙනුත් ප්‍රශ්න කරනවා නෙ. ඊට දිය හැකි සරල පිළිතුරක් නම් ‘ අඹ ගසක අවුරුද්ද පුරා දලු මල් ගෙඩි හටගන්නෙ නැහැ නෙ. සුදුසු මොහොතට කල්යල් බලා වාරය එළඹුණාම ඔය වකාරෙට දලු මල් පීදී කොළ ගානට වැක්කෙරෙන්ඩ ගන්නෙ.
(පූජ්‍යපාද ලුණුගම්වෙහෙර සුනීත හිමියන් පැවැත්වූ ධර්ම දේශනාවක් ඇසුරිනි)