පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
දෙවැනි කොටස
බුදුරජාණන් වහන්සේ මතු කර වදාළ මේ කාරණයෙන් අපට පැහැදිලි වෙන්න ඕන, ආයතන හයේ නිමිතිවලට අතීතයේ වැඩුණු කැමැත්ත නිසා තමයි දැනුත් කැමති වෙන්නෙ කියන බව. දැනුත් කැමැත්ත තියෙනව නම් ඒ කැමැත්තෙන් මිදීමට කටයුතු කරන්නෙ නැත්නම් මත්තටත් බලාපොරොත්තුව ඉතුරු වෙනව. එහෙනම් මතුත් ලැබෙයි. එහෙම වුණොත් සසර නතර වෙන්නෙ නෑ. අද වෙනකොට අපේ ලෝකෙ ආයතන හයේ නිමිති විසිතුරු වෙලා. වර්ණවත් වෙලා. අද මේව දියුණු කරගෙන තියෙන්නෙ අන්තර්ජාල පහසුකම් ඔස්සේ. මනුෂ්‍යයාගෙ මනස නන්නත්තාරයි. ඒ හින්ද අද වෙනකොට දස අකුසලය හුඟක් උත්සන්න වෙලා.
එහෙම යුගයක වුණත් යම් තරමකින් හෝ දහම්මඟ ගැන උනන්දු වන අයත් ඉන්න නිසයි, මේ කරුණු කතා කරන්නෙ. ඒ නිසා පින්වත් ඔබ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. බුදුරජාණන් වහන්සේ කබලිංකාර ආහාරයෙන් සමුදයවුණු මේ කය ගැන කතා කරන්නෙ කොහොම ද කියල හොඳින් තේරුම් ගන්න. “මහණෙනි, මේ කය නුඹලාගේ නො වේ. අනෙකකුගේ ද නො වේ. ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණු, චේතනාව මුල් කරගත්ත, වින්‍දනයට කරුණු වූ මෙය පුරාණ කර්මයයි” කියලයි. (නායං භික්ඛවෙ කායො තුම්හාකං නාඤ්ඤෙසං, පුරාණමිදං භික්ඛවෙ කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදයිතං දට්ඨබ්බං. නතුම්හ සූත්‍රය, නිදානවග්ග, සං: නි:2, 100 පිට)
දැන් මේ දේශනාව මාලුංකපුත්ත හිමියන්ට කළ දේශනාවත් එක්ක සම්බන්ධ කරල තේරුම් ගන්න. අතීතෙත් සවිඤ්ඤාණිකයන් බාහිර නිමිති ලැබුව. ඉන් මිදෙන්න දැක්මක් ඇතිවුණේ නෑ. ඒ කාලේ මතුත් ලැබේවා කියල හිතාගෙන හිටිය නිසා ඔන්න දැන් ලැබිල තියෙනවා. හැබැයි ලැබිල තියෙන්නෙ ආසා කරපු ටික විතරක් නෙවෙයි. එහෙනම් විඳෝපං කියල දුන්න ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසත් එක්කයි හම්බවෙලා තියෙන්නෙ. මිනිස් කයක් සහිත මේ ජීවිතය පිළිබඳව මේ දැක්ම නම් අපට ලබාදෙන්නෙ බුදුවරයන් වහන්සේ නමක් ම යි, වෙන මොන විශේෂඥයෙක්වත් නෑ.
පුහුදුන් පුද්ගලයා ‘මම වෙමි’ (අහිංකාර), ‘මගේ’ ය (මමිංකාර) කියන මානයෙන් යුක්ත කෙනෙක්. අපි කවුරුත් සද්ධර්මය හරිහැටි දැනගන්නකම් හිතන්නෙ එහෙම තමයි. ඒ මැනගැනීම සිදුවෙන්නෙ මේ සවිඤ්ඤාණික කයත් බාහිර නිමිතිත් ඇසුරු කරගෙන. (ඉමස්මිං ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ව සබ්බ නිමිත්තෙසු)- (සං: නි: 3, පඨම රාහුල සූත්‍රය, 232 පිට). මේ විධියෙන් ‘මම’ කියල හිතාගන්න එකට තමයි ‘අවිද්‍යාව’ කියන්නෙ. මගේ කියල හිතාගන්න එකට තමයි ‘තණ්හාව’ කියන්නෙ. අවිද්‍යාව නීවරණයක්. නිවන් පිළිවෙත ආවරණය කරන ධර්මයක්. තණ්හාව සංයෝජනයක්. මේ කය හටගන්නෙ, අවිද්‍යා නීවරණයෙන් ආවරණය වෙච්ච, තණ්හාවෙන් යුක්ත බාලයටයි කියල බුදුරජාණන් වහන්සේ සං: නි: 2, බාලපණ්ඩිත සූත්‍රයේ (38 පිට) දී දේශනා කරනවා.
(අවිජ්ජානීවරණස්ස භික්ඛවෙ, බාලස්ස තණ්හාය සම්පයුත්තස්සඑවමයං කායො සමුදාගතො). අපි මිනිස් කයක් ලබල ඒක සැපයක් කියල හිතුවත් බුදුරජාණන් වහන්සේ මේ කය නිසා විඳින දුක් හඳුන්වල තියෙන්නෙ පාතාලය කියල. සං: නි: 4 පාතාල සූත්‍රයේදී ඒ බව සඳහන් කරල තියෙනවා. “මහණෙනි, ශාරීරික දුක්වලට වෙන නමක් තමයි, පාතාලය කියල කියන්නෙ” (සාරීරිකානං ඛො එතං භික්ඛවෙ දුක්ඛානං වෙදනානං අධිවචනං යදිදං පාතාලො)- (සං: නි: 4, පාතාල සූත්‍රය, 392 පිට).
එතකොට අපිට මේ කය හම්බ වුණේ අපේ බාල බව නිසා. අවිද්‍යාව, තණ්හාව දුරුකරන්න බැරිවෙච්ච එක තමයි අපේ බාලකම. ම: නි: 2, 446 පිට, රට්ඨපාල සූත්‍රයේ රට්ඨපාල හිමියන් දේශනා කරන ගාථාවක මෙහෙම සඳහන් වෙනවා.
“රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා
අවීතතණ්හා මරණං උපෙන්ති
ඌනාව හුත්‍වාන ජහන්ති දෙහං
කාමෙ හි ලොකම්හි නහත්‍ථි තිත්ති”
“රජු හා අනෙකුත් බොහෝ මනුෂ්‍යයො තණ්හාව බැහැර කරන්නෙ නැතුව මරණයට පත්වෙනවා. මනදොළ සපිරෙන්නෙ නැතිව ම මැරෙණවා. ලෝකයෙහි පංචකාමයේ සෑහීමක් නම් නෑ”.
දැන් එතකොට පුහුදුන් පුද්ගලයා මියයන්නේ තව විඳගන්න බොහෝ දේ තියෙනවා. මට ඒවා නැවතත් විඳගන්න ඕන කියල හිතාගෙන. මියගියේ මේ සිතුවිල්ලෙන් නම් ආයෙත් කොහේ හරි උපතක් හදාගන්නවා. යහපත් මට්ටමේ මිනිසත් භවයක් ලැබෙන්න ඉඩ අඩුයි. දුගතිගාමී වෙන්න ඉඩ වැඩියි. දේව කායිකයෙක් වීමටත් හුඟක් ම ඉඩ අඩුයි. සුගති භවයක් ලැබුණත් ජරාමරණ, සෝක පරිදේව දුක් දොම්නස් උපායාසවලින් මිදිල නෑ. ඊළඟ භවය සකස්වෙන ආකාරය ගැන කියැවෙන්නෙ මෙහෙමයි.
“උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං
සංසාරමාපජ්ජ පරම්පරාය
තස්සප්පපඤ්ඤො අභිසද්දහන්තො
උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං”
“මේ තැනැත්තා නැවත නැවතත් සසරට ම ඇවිදින් මව් ගැබ කරාත් යනවා. පරලොව කරාත් යනවා. තමන්ගෙ (ලෝභ, ද්වේෂ, මෝහ) වැඩපිළිවෙළ ම අදහගෙන ඉන්න, නුවණ මඳ මේ පුද්ගලයා මව් ගැබ කරාත් යනවා. පරලොව කරාත් යනවා.”
දැන් අපට හුඟක් පැහැදිලි වුණා මේ කය හම්බ වුණේ පුරාණ කර්මය නිසා බව. අපි තවදුරටත් කලින් මතක් කළ බාලපණ්ඩිත සූත්‍රය අනුව කරුණු විමසලා බලමු. අපි ඒ සූත්‍රයෙන් තව ම දැනගත්තෙ මේ කය අවිද්‍යානීවරණයෙන් යුක්ත තණ්හාවෙන් යුක්ත බාලයාට හටගත් එකක් බව විතරයි. තවදුරටත් මෙහෙම සඳහන් වෙනවා. “මේ විධියට මේ කයත් බාහිර නාමරූප දෙකක් හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ආයතන හයක් තියෙනවා. ඉන් කිසිවකින් හෝ ස්පර්ශ ලබන බාලයා සුව දුක් විඳිනවා” (ඉති අයඤ්චෙව කායො බහිද්ධා ච නාමරූපං ඉෙත්‍ථතං ද්වයං ද්වයං පටිච්ච ඵස්සො. සළෙවායතනානි යෙහි පුට්ඨො බාලො සුඛදුක්ඛං පටිසංවෙදියති එතෙසං වා අඤ්ඤතරෙන).
මේ සූත්‍රයේ බාලයා ගැන විතරක් නොවෙයි, පණ්ඩිතයා ගැනත් කතා කෙරෙනවා. එතැනදිත් මේ කියපු විස්තරයමයි ඉදිරිපත් වෙන්නෙ. දැන් අපි ඒක විමසල බලමු. “මහණෙනි, අවිද්‍යා නීවරණය ඇති, තෘෂ්ණාවෙන් යුක්ත පණ්ඩිතයාගේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ කය ද බාහිර නාමරූප ද මේ දෙක හේතු කරගෙන ස්පර්ශය වේ. ආයතන හයක් තියෙනවා.
ඉන් කිසිවකින් හෝ ස්පර්ශ ලබන පණ්ඩිතයා සුව දුක් විඳිනවා”. මෙහෙම සඳහන් කරල බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් විමසනව, මෙහෙම නම් බාලයාගෙත් පණ්ඩිතයාගෙත් අතර වෙනස මොකක් ද කියලා.
ඒ වෙලාවෙ දහම් අසමින් සිටි භික්‍ෂූන් වහන්සේලාට ඒ වෙනස පැහැදිලි නෑ. ඒ නිසා උන්වහන්සේලා කියා සිටියා, ස්වාමීනි, අපේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කරගෙනයි තියෙන්නෙ. ස්වාමීනි, මේ කියමනේ අර්ථය ඔබවහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අහල භික්‍ෂූන් වහන්සේලා දරාගනීවි” කියල. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එහෙනම් මහණෙනි, අහන්න. හොඳින් මෙනෙහි කරන්න. කියල මෙහෙම වදාළහ.
“මහණෙනි, යම් අවිද්‍යාවකින් වැහුණ, යම් තණ්හාවකින් යුක්ත මේ කය හටගත්ත ද ඒ බාලයාගේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා නෑ. තණ්හාව බැහැර වෙලා නෑ. මොකක් ද ඒකට හේතුව? මහණෙනි, බාලයා මැනැවින් දුක් කෙළවර කිරීම සඳහා බ්‍රහ්මචර්යාව කරල නෑ. ඒ හින්දා බාලයා මේ කය බිඳෙනකොට අනෙක් කයකට පැමිණෙනවා. එහෙම කයකට ආවහම ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්-දොම්නස්, උපායාසවලින් මිදෙන්නෙ නෑ. දුකින් හැම අයුරින් ම මිදෙන්නෙ නෑ”.
දැන් අපි ඊළඟට බලමු, පණ්ඩිතයා ගැන කියන්නෙ කොහොම ද කියල. “මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුණු, යම් තණ්හාවකින් යුක්ත පණ්ඩිතයාගේ මේ කය හටගත්ත ද පණ්ඩිතයාගේ ඒ අවිද්‍යාව ප්‍රහීණ වෙලා. තණ්හාව බැහැර වෙලා. ඒකට මොකක් ද හේතුව? මහණෙනි, පණ්ඩිතයා මැනැවින් දුක් කෙළවර කිරීම සඳහා බ්‍රහ්මචර්යාව කරල. ඒ හින්දා පණ්ඩිතයා මේ කය බිඳෙනකොට අනෙක් කයකට පැමිණෙන්නෙ නෑ. අන් කයකට නොපැමිණෙන ස්වභාව ඇති ඔහු ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්-දොම්නස්, උපායාසවලින් මිදෙනවා. හැම අයුරින් ම දුකින් මිදෙනවා”.
(මතු සම්බන්ධයි)

