කොස්ගොඩ ධම්මවංස මහ නාහිමිපාණන් වහන්සේ

rashi
By rashi
8 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

විසිවැනි සියවසේ මුල්භාගය ලක්දිව සංඝ සමාජයේ නිකාය භේදය තදින් ම පැතිරී තිබුණු අවධියකි. මේ කාලයේ සිදු වූ ඓතිහාසික සිද්ධියකි අමරපුර නිකායේ භික්ෂු නමක් පළමු වරට සියම් නිකායික භික්ෂූන් වහන්සේලා ආරම්භ කළ විද්‍යාලංකාර පිරුවනේ ආචාර්ය පදවියකට පත් වීම. එතෙක් මේ රටේ සිදු නො වූ ස්වනිකායෙන් පිට අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේ නමක් පරිවේණාචාර්ය පදවියකට පත් කර ගැනීමෙන් දැක්වූ ආදර්ශය අනෙක් උසස් විද්‍යාස්ථානවලට ද අනුකරණය කරන්නට සිදු විය. මේ නිසා රටේ භික්ෂූන් තුළ පැවැති නිකාය භේදය බොහෝ දුරට ලිහිල් වී ගියා පමණක් නො ව අන්‍යොන්‍ය සම්බන්ධය ද පෙර පැවැති තත්ත්වයට වඩා දැඩි විය.

එදා නිකාය භේදය බිඳලමින් විදුලකර පිරුවන්පති ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් මේ ඓතිහාසික තීරණය ගන්නා ලද්දේ විදුලකරයේ ම උගත් දක්ෂ සිසුවෙකු වූ කොස්ගොඩ ධම්මවංස හිමියන් වෙනුවෙනි. දහර අවධියේ පටන් මහා යතිවරයෙකුගේ ගතිගුණ පළ කළ නිසාවෙන් දෝ ලුණුපොකුණේ නාහිමියන් මේ සිසුවා හැඳින්වූයේ අමරපුර මහානායක වශයෙනි. වියත් ලොව සක්විතියෙකු වූ ලුණුපොකුණේ නාහිමියන් පතල කළ අනාවැකිය සපථ කරමින් ස්ව නිකායේ මහානායක පදවියෙන් පමණක් නො ව අමරපුර නිකායික සියලු පාර්ශ්වයන්හි ම මහානායක පදවියෙන් අර්චිත වූ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සභාපති පදවිය හෙබ වූ දෙවැනි මහා යතීන්ද්‍රයන් වීමේ භාග්‍යය ලද සිරි සද්ධම්මවංසපාල ගණාචරිය, ත්‍රිපිටකවාගීශ්වර, රාජකීය පණ්ඩිත, මහාචාර්ය කොස්ගොඩ ධම්මවංසාභිධාන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිවැනි සියවසේ ලක්දිව සංඝනේතෘවරයාණන් වහන්සේ නමක් වූ හ.

දෙවැනි පැරකුම්බා මහ රජ දවස දේවපතිරාජ අමාත්‍යතුමා විසින් මාදෙල් වනය උගුලුවා මහ කොස් වනයක් පිහිටුවූ හෙයින් කොස්ගොඩ නමින් පතල වූ වත්මන් ගාලු දිසාවේ වැල්ලබඩ පත්තුවේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ පිහිටි කොස්ගොඩ ග්‍රාමය ධම්මවංස මහ නාහිමියන්ගේ නිජබිම විය.

කොස්ගොඩ හෑගල්ලේ තිරමුනි බ්‍රම්පියෙල් සොයිසා ගුණවර්ධන අප්පුහාමි පියතුමන්ගේ සහ විජයමුනි මැයිලා ද සොයිසා හාමිනේ මව්තුමියගේ තෙවැනි පුත්‍රයා 1908 නොවැම්බර් 06 වැනි දින උපත ලබා තිරමුනි වින්සන් සොයිසා ගුණවර්ධන ය යි නම් ලබා නිසි වයස් එළඹුණු කල්හි නාපේ ස්වභාෂා පාඨශාලාවෙන් හා ඉනික්බිති ව අහුන්ගල්ලේ රාජපක්ෂ කොලිජියෙන් අධ්‍යාපනය ලබන අතරතුර සන්ධ්‍යාවේ ගොඩපිටියේ සිරිනිවේසාරාමය වෙත ගොස් විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපනය ලැබී ය.

පුරාකෘත පුණ්‍ය මහිමයත් සැදැහැති මාපියන් ගෙන් ලද ආභාසයත් නිසා 1920 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනි දා ඉඳුරුවේ සුවඩ්ඪනාරාමාධිපති ඉඳුරුවේ සුගතපාල අනුනාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ද ගොඩපිටියේ සිරිනිවේසාරාමාධිපති සිරි විසුද්ධ අරියවංසපාල ගණාචරිය කොස්ගොඩ සිරිරතනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් කොස්ගොඩ ධම්මවංස නමින් වින්සන් කුමරුවා පැවිදි බිමට පත් කරන ලදි. නිසි වයස් සපිරීමෙන් පසු එනම් 1929 පොසොන් පුරපසළොස්වක පොහෝ දින බලපිටිය මහාකප්පින වලව්ව අසල මාදු නදී ශ්වේජින් සීමාවේ දී ස්වකීය ආචාර්යෝත්තම අනුනාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් බෝගහපිටියේ සීලක්ඛන්ධ, කොස්ගොඩ සිරිසුමන හා කොස්ගොඩ සිරිවිසුද්ධි හිමිවරුන්ගේ කර්මාචාර්යයත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූ හ.

කාල වර්ණ සිරුරක් පැවැති හෙයින් කළු හාමුදුරුවෝ යැ යි දායකයන් විසින් හඳුන්වන ලද ධම්මවංස හිමියන් වැලිතර ඒ. යූ. ඒ. ඤාණතිලක මහ නාහිමියන්ගේ ආධිපත්‍යයේ පැවැති විජ්ජෝභාස පිරුවනට ඇතුළත් ව අධ්‍යාපනය ලබන අතර සිය දෙටු පැවිදි සොහොයුරු කොස්ගොඩ සිරිවිසුද්ධි හිමියන් වෙතින් ද ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන ලදි. විශේෂයෙන් උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ දෙටු සහෝදර ටී. පී. ද සිල්වා මැතිතුමා ධම්මවංස පොඩි හිමියන් පිළිබඳ සියලු කටයුතු සොයා බලන ලදි.

මවුතුමියගේ සහෝදරයෙකු වූ ඩබ්. ඇස්. ද සොයිසා මහතා කැලණියේ බවර් සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ අතර මෙවක ලක්දිව චිරප්‍රසිද්ධතම ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය වූ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවන්හි දායකයෙක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ධම්මවංස පොඩි හිමියන් හට විදුලකරයට ඇතුළු වීමේ අවකාශ ලැබුණි. වර්ග පටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණයේ නිරත ව විද්‍යාලංකාර පිරුවනින් සාහිත්‍යාචාර්ය උපාධියත් ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් රාජකීය පණ්ඩිත උපාධියත් හිමි කර ගන්නා ලදි. විදුලකරේ ඇදුරු තනතුරකට වරම් ලද්දේ මේ අවධියේ ය.

1940 දශකය විද්‍යාලංකාර පිරුවනේ සුවිශේෂී වකවානුවකි. භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශය එළි දැක්වීම නිසා උරණ වූ දායක පිරිස් විදුලකර හැර යමින් දන් පිරිනැමීම අතපසු කරද්දී නො කඩ කොට දන් පිරිනැමීමට ඉදිරිපත් වූ දායකයන් අතර ධම්මවංස හිමියන්ගේ මාමා වූ ඩබ්. ඇස්. ද සොයිසා මැතිතුමා ද විය. එවක විදුලකරෙහි යුගපුරුෂයන් සමඟ ජාතික නිදහස් සටන, නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීම ආදී කටයුතුවලට සම්බන්ධ වන අතර ම 1950 දී ආරම්භ වූ විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්මසංගීතියෙහි සංගීතිකාරක තෙරනමක් වශයෙන් ද ක්‍රියා කළ හ. බණ්ඩාරනායක අගමැතිතුමාගේ යුගයේ විදුදය විදුලකර පිරුවන් වෙත විශ්වවිද්‍යාල තත්ත්වය හිමි වීමෙන් පසු එහි බුද්ධධර්මය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියට පත් ව අනුක්‍රමයෙන් මහාචාර්ය හා අංශාධිපති පදවි හොබවන අතර විශ්වවිද්‍යාල පාලක සභාව, සනාතන සභාව, විනයාරක්ෂක සභාව යන සභාවන්හි සාමාජිකත්වය ලැබූ හ. තත්කාලීන ශාස්ත්‍රීය ලේඛන රාශියක් කොස්ගොඩ ධම්මවංස හිමියන් විසින් රචනා කරනු ලැබ තිබේ.

කලකට පෙර ලුණුපොකුණේ නාහිමියන් පළ කළ අනාවැකි සපථ කරමින් දික්වැල්ලේ සංඝතිලක මහ නාහිමියන් ගෙන් පුරප්පාඩු වූ අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායක පදවිය කොස්ගොඩ ධම්මවංස හිමියන් වෙත පැවරුණි. මේ වන විට සද්ධම්මවංස නිකාය කොටස් කිහිපයකට බෙදී මහානායක හිමිවරුන් කිහිප නමක් යටතේ පාලනය වූ අතර තත් නිකායේ සමගියක් ඇති කරමින් නිකායේ එක ම මහානායක පදවියක් යටතට නිකාය පත් කිරීමට මේ යුගයේ දී හැකියාව ලැබුණි. මහානායක පදවිප්‍රාප්තියත් සමඟ සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත නිකායෙන් පිරිනමනු ලබන සිරිසද්ධම්මවංසපාල ගණාචරිය ගෞරවාභිධානය ද, ත්‍රිපිටකවාගීශ්වර නාමධෙය ද කොස්ගොඩ ධම්මවංස මහනාහිමියන් වෙත පිරිනැමුණි.

දීර්ඝ කාලයක් පුරා බොහෝ දෙනෙකුගේ අභිප්‍රාය පරිදි අමරපුර නිකායේ සියලු පාර්ශ්ව එකතු කිරීමේ උත්සාහයන්හි දී ක්‍රියාකාරී ව ඊට දායක වී 1966 වසරේ අමරපුර මහා සංඝසභාවේ තාවකාලික සභාපති ධුරයට පත් වී වදාළහ. එම සියලු වෑයම් මල් ඵල ගන්වමින් 1967 වර්ෂයේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාව පිහිටුවා එහි සභාපති ධුරයට පත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ වසර පහක නිල කාලය අවසන් කොට ධුරයෙන් ඉවත් වීමෙන් පසු යථොක්ත සම්භාවනීය පදවියට කොස්ගොඩ ධම්මවංස මහ නාහිමිපාණන් වහන්සේ පත් වී වදාළ හ. එවක අද මෙන් උත්තරීතර මහානායක පදවියක් නොපැවති අතර අමරපුර මහා සංඝසභාවේ ප්‍රධානතම තනතුර වූයේ පස් වසරක නිල කාලයක් සහිත සභාපති පදවියයි. 1975 වර්ෂයේ පළමුව ඊට පත් වූ ධම්මවංස මහ නාහිමියෝ යළිත් 1980 දී එම ධුරයට නිතරගයෙන් පත් වී අපවත් වන තුරු ම එම ශාසනික ඨානාන්තරය හෙබවූ හ.

බුරුමයේ ඡට්ඨ සංගායනාවේ උත්තරීතර විධායක සභාවේ සම්පාදක ධුරයට පත් ව සිවු වරක් බුරුමයට වැඩම වූයේ මතු නො ව 1956 අප්‍රේල් 24 වැනි දින පැවැති ඡට්ඨ සංගායනාවේ ලංකා සන්නිපාත වාරයේ දී මුලසුන හෙබවූ මල්වතු පාර්ශ්වයේ මහානායක වැලිවිට සරණංකර මහ නාහිමිපාණන් වහන්සේ නියෝජනය කරමින් දේශනයක් පැවැත්වූ හ. ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, වියට්නාමය, ඉන්දියාව, චීනය, රුසියාව, තායිලන්තය, නේපාලය ආදී රටවල ජාත්‍යාන්තර සමුළු ඇතුළු ආරාධනා සඳහා සහභාගී වූ හ.

1954 පත් කළ ලංකා බෞද්ධ මණ්ඩලයේ බෞද්ධ සාහිත්‍යය පිළිබඳ කාරක සභාවේ සම්පාදක ධුරයට ද, ආගමික කටයුතු පිළිබඳ හා ත්‍රිපිටක පරිවර්තනය පිළිබඳ කාරක සභාවන්හි සාමාජිකත්වයට පත් ව බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ආදි ම සාමාජික එකොළොස් නම ගෙන් කෙනෙක් වූ හ. මජ්ඣිම නිකායේ මුල් කොටස සිංහලයට නැඟීමට ආරාධිත වූ කොස්ගොඩ මහ නාහිමිපාණන් වහන්සේ පසුව මජ්ඣිම නිකාය සංශෝධන මණ්ඩලයට ද ඇතුළත් වූ හ.

ප්‍රාචීන භාෂෝපකාර සමාගම, ලෝක බෞද්ධ සම්මේලනය, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය, බෞද්ධ උපදේශක සභාව, ඓතිහාසික අත්ලිපි කොමිෂන් සභාව, විද්‍යාලංකාර සභාව, පාලි භාෂාභිවර්ධන සංගමය, ශ්‍රී ලංකා ලේඛක මණ්ඩලය, මහාවංස සම්පාදක මණ්ඩලය, බන්ධනාගාර ආගමික කටයුතු පරීක්ෂණ කොමිටිය, ගුවන්විදුලි උපදේශක සභාව, ගුවන්විදුලියේ ධර්මදේශකයන් තේරීමේ කමිටුව, ආදී කමිටු සහ සංගම් රාශියක සාමාජිකත්වය හා නිලතල දරමින් සුවිශේෂී ජාතික, ආගමික හා ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ හ.

විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු කොළඹ කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ නිත්‍යවාසී ව වැඩ සිටි කොස්ගොඩ ධම්මවංස මහ නාහිමිපාණන් වහන්සේ 1985 අප්‍රේල් මස 22 වැනි දින ගිලන්භාවයට පත් ව කොළඹ මහ රෝහලේ හෘදරෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර 29 වැනි දින අළුයම අපවත් වී වදාළ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *