සාමවිනිසුරු ගුණපාල කාරියවසම්
ගෝනගලගොඩ,තල්ගස්වල.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු ඉතා ශ්‍රද්ධාවන්ත අමාත්‍යවරයෙක් කොසොල් රජතුමාට හිටියා. එතුමා දිනක් බුදුපාමොක් මහ සඟනට තම නිවසේ දානයක් සූදානම් කළා. ඉමහත් ශ්‍රද්ධා භක්තියෙන් සූදානම් කළ මෙම දානයට නියමිත වේලාවට බුදුරජාණන්වහ්නසේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළා. එසේ වැඩම කළ බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට අමාත්‍යවරයා දානය පූජා කරමින් සිටින අවස්ථාවේදී කොසොල් මහරජතුමාගේ පණිවුඩයක් රැගෙන පණිවුඩකරුවකු ආවා. “හදිසි රාජකාරී කටයුත්තක් සඳහා ඉක්මණින් පැමිණ රජතුමා හමුවන ලෙස” එම පණිවුඩයේ සඳහන් කර තිබුණා. රාජකාරිය දේවකාරියක් සේ සලකා මෙම අමාත්‍යවරයා තම සේවය ඉටු කළත් මෙම අවස්ථාව එනම් බුදුපාමොක් මහ සඟනට දානය පූජා කිරීම ඊට වඩා වැදගත් බව හෙතෙම කල්පනා කළා. “තමා නිධානයක් තැන්පත් කරමින් සිටින බවත්, එය අවසන්වූ වහාම රජතුමා මුණගැසීමට එන බව දන්වා හසුනක් පිළියෙල කර එය රජතුමාට භාරදෙන ලෙස දන්වා පණිවුඩකරුට භාරදුන්නා.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය හරි පුදුමයි. ඒ ඒ අවස්ථාවන්හිදී ලැබෙන අත්දැකීම් හා ඒ ඒ අයගේ සිතුවිලි මතයි උන්වහන්සේ බොහෝ දුරට ධර්මය දේශනා කළේ. පෙර කී ඇමැතිවරයාගේ අදහස උන්වහන්සේට පෙනුණා. ඒ අනුව උන්වහන්සේ ධර්මය දේශනා කළා. ඇමැතිවරයා තම රජතුමාට පණිවුඩය පිටත් කළේ තමා නිධානයක් තැන්පත් කරමින් සිටින බවටයි. එහෙත් එතුමා නිධානය කවරේද කියා හරිහැටි දැන සිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ දානය වළඳා අවසන් වී භුක්තානු මෝදනා ධර්ම දේශනය පවත්වමින් නිධාන හතරක් තිබෙන බව දේශනා කළා. ඒවා නම් ජංගම නිධානය, ස්ථාවර නිධානය, අංගසම නිධානය හා අනුගාමික නිධානය ලෙස දක්වමින් ඒ ගැන විස්තර කළහ. එම කාරණා හතර පිළිබඳව කෙටියෙන් විමසා බලමු.
ජංගම නිධානය
තම තමන් කවර ආකාරයකින් හෝ උපයා ගනු ලබන ධනය තමන් යන යන තැන රැගෙන යාහැකි බැවින් හා පරිහරණය කළ හැකි බැවින් ඒවා ජංගම නිධානය නම් වේ. පුද්ගලයකු විසින් උපයා ගනු ලබන ධනය හෝ වත්කම් සුරක්‍ෂිත කර ගැනීම සඳහා බැංකු හෝ වෙනත් කවර හෝ ක්‍රමයක් තුළ තැන්පත් කරති. ආයෝජනය කරති. ඒවාද තමන්ට කැමැති අවස්ථාවක කැමැති පරිදි විය පැහැදම් කිරීම සිදු කරති. නැතහොත් තමන් යන යන තැන්වල ගෙන යෑමද පුරුද්දකි. තමන් උපයාගත් ධනය මේ ලෙස සංඝරත්නය කිරීම පරිහරණය කිරීම ජංගම නිධානය නම් වේ.
ස්ථාවර නිධානය
යම් පුද්ගලයකු විසින් තමා උපයන මුදල් වැය කර ඉඩකඩම් මිලදී ගැනීම, ගෙවල් දොරවල් මිලදී ගැනීම, ඒවා වැඩි දියුණු කිරීම, යාන වාහන මිලදී ගැනීම, ඒවා තව තවත් වැඩි දියුණු කිරීම සඳහා තම ධනය යෙදවීම, ස්ථාවර නිධාන ලෙස හැඳින්වේ. යාන වාහන මගින් එහා මෙහා ගමන් කළ හැකි නමුත් අනෙකුත් දේපළ නිශ්චලව පවතී. මේවා තම තමන්ගේ ගෞරවය, ධනවත්කම පිළිබිඹු කරති. මේවා සදාකාලික නොවූවද යම් කාලයක් තමන්ට රිසි පරිදි පරිහරණය කරමින් බුක්ති විඳිය හැකිය. මුදල් මෙන් ඉඩකඩම් ගෙවල් දොරවල් ලෙහෙසියෙන් සොර සතුරන්ට ගෙනයා නොහැක. සියල්ල අනිත්‍ය නමුත් යම් කාල සීමාවකට ස්ථාවරව පවතී.
අංගසම නිධානය
යම් පුද්ගලයකු විසින් මෙලොවදී පොතපත තුළින්, පාසල තුළින් හෝ වෙනත් කවර ආකාරයකින් හෝ ලබාගනු ලබන දැනුම උගත්කම, ශිල්ප ඥානය අංගසම නිධානය ලෙස සැලකේ. යමෙකු ලබාගන්නා අධ්‍යාපනය, හා කුසලතාවය තුළින් ලබාගන්නා රැකියාවද වීම අයත් වේ. ඒ හැරුණු විට තම තමන්ගේ කැමැත්ත හා දක්‍ෂතාවය මත සංගීතය, නැටුම් වැනි දෑ තුළින් ලබා ගන්නා විවිධ ක්‍ෂේත්‍ර කෙරෙහි දක්‍ෂතාවයන්ද මේ ගණයට අයත් වේ. එම වෘත්තීමය හැකියාවන් මෙන්ම එමගින් ජීවත් වීම සඳහා කරනු ලබන කවර හෝ රැකියාවන් ද අංගසම නිධාන ගණයට අයත්ය.
අනුගාමික නිධානය
පෙරකී නිධාන තුනටම වඩා මෙම අනුගාමික නිධානය වෙනස්ය. ඉහත නිධානවල භෞතික වටිනාකම් හා මිල මුදල් පිළිබඳව සම්බන්ධතා තිබුණ ද මෙහි එවැන්නක් නැත. ජීවත් වන කාලය තුළ සෑම පුද්ගලයකු විසින්ම දැන හෝ නොදැන කරනු ලබන විවිධ ක්‍රියාකාරකම් නිසා එහි හොඳ හෝ නරක ප්‍රතිඵල බුක්ති විඳීමට සිදුවේ. අපි ඒවා කුසල් අකුසල් ලෙස හෝ පිං පව් ලෙස හඳුන්වනු ලබයි. මේවායේ හොඳ හෝ නරක ප්‍රතිඵල මේ භවයේදී හෝ අනාගත භවවලදී පලදෙනු ඇත. විපාක දෙනු ඇත. අප පසුපස අපේ හොඳට හෝ නරකට ඒවාද ගමන් කරයි. ඒවා අනුගාමික නිධාන නම් වේ. අප පසුපස ගමන් කරන බැවින්ද මේ නම ව්‍යවහාරවේ. යමකු විසින් කරන ලද කුසල් හෝ අකුසල්වල විපාක මේ භවයේදී හෝ ඉදිරි භවවලදී අප පසුපස ගමන් කිරීම අනුගාමික නිධානවල බලයයි. මෙම අනුගාමික නිධානයේ හොඳ හෝ නරක ප්‍රතිඵල වෙනත් අයකුට පැවරීමට හෝ පවරා ගැනීමට නොහැක. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමාටම බුක්ති විඳීමට සිදුවේ.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජුගේ අමාත්‍යවරයා අරමුණු කරගෙන දේශනා කරන ලද මේ සූත්‍ර දේශනාව “නිධීචණ්ඩ සූත්‍රය” යි. ඉහත නිධාන හතරින් ඉතා වැදගත් නිධාන වනුයේ අවසානයට සඳහන් කළ අනුගාමික නිධානයයි. ඒ තමන් මියගියත් තමා පසුපස එන නිසයි. අනෙක් නිධාන තුන තමන් මියගිය පසු බුක්ති විඳිනුයේ ජීවතුන් අතර සිටින අනෙකුත් නෑදෑයන්ය. ඒවා උපයා සපයා ආරක්‍ෂා කළ පුද්ගලයාට අහිමිවේ.
නමුත් අනුගාමික නිධානය එසේ නොවේ. ඔහු හෝ ඇය උපදින භවයක් භවයක් පාසා තමා පසුපස ගමන් කරමින් නිසි වෙලාව එළඹි විට එහි යහපත් හෝ අයහපත් ප්‍රතිඵල කර්මවිපාක ලෙස පලදෙනු ඇත. මේ අනුව අනුගාමික නිධාන අනුන්ට අත්පත් කරගත නොහැක. පවරා දීමට ද නොහැක. කොසොල් රජතුමාගේ අමාත්‍යවරයා තමා නිධානයක් තැන්පත් කරමින් සිටින බව ප්‍රකාශ කළේ මේ නිසයි. එතුමා අරභයා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදාකාලික අගයක් ඇති වටිනාකමක් ඇති සදාතනික දහමක් දේශනා කළහ. ඔබ ද ඉහත කරුණු හොඳින් අවබෝධ කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ ගන්න. අදාළ සූත්‍රය පිළිබඳව තවත් කරුණු දැන ගැනීමට උත්සාහ කරන්න. සැමට තෙරුවන් සරණයි.