බුදු රජාණන්ගේ සාධාරණත්වය

cmadurawala
8 Min Read

රාණි සේනාරත්න රාජපක්ෂ

 බුද්ධ කාලයේ ප්‍රධාන තැන ගත්තේ බ්‍රහ්ම ආගමයි. තවත් විවිධ දෘෂ්ටි රාශියක් ද පැවැතුණි. සර්වඥයන් වහන්සේ කිසිවිටෙකත් ඒ ආගම්වල ශාස්තෲන් හෝ ඒ දෘෂ්ටි විවේචනයට නිග්‍රහ කිරීමට නොයෙදුණහ. ඒවායෙහි වූ ප්‍රතිපදා, අදහස් එකල තහවුරු වී භාවිත වූ වචන හා සංකල්ප සුදුසු නම් උපයෝගි කරගත් සේක. නිද: එකල වානප්‍රස්ථ යෝගි බ්‍රාහ්මණයින් පුහුණු කළ සමථ භාවනාව එක්තරා මට්ටමක් දක්වා උන්වහන්සේ නිර්වාණ ප්‍රතිපදාව තුළ සිය ශ්‍රාවකයන්ට අනුදැන වදාළහ.

රූපයක්, වේදනාවක්… නැතැයි සම්මතය. මම ද ඒ නැතැයි කියමි. අනිත්‍ය – දුක්ඛ – විපරිණාම ධර්ම රූපයක්, වේදනාවක් ඇතැයි සම්මතය. මම ද ඒ ඇතැයි කියමි…. භික්ෂුණි, දියෙහි හටගත්, දියෙහි වැඩුණ පද්මයක් හෝ පුණ්ඩරීකයක් දියෙන් නැඟී, දියෙහි නොගැටී සිටින්නේ යම් සේද, එලෙසින්ම තථාගත ලෝකයේ උපන්නේ ලෝකයේ වැඩුණේ, ලොව නොමැඬගෙන, ලෝකයා හා ගැටීමෙන් තොරව වාස කරති.” (සං.නි.3 – පුප්ඵ සූත්‍රය) මේ උතුම් ප්‍රතිපත්තිය පරිපූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ එකම උතුමා උන්වහන්සේය.

සර්වඥයන් වහන්සේගේ සාධාරණ බව, තර්කානුකූල බව හා මධ්‍යස්ථ බව ඉතා පැහැදිලි වන අවස්ථාවක්; වරෙක උන්වහන්සේ භික්ෂුන්ට සතර මහා අපදේස දෙසූහ: “භික්ෂුණි, යම් භික්ෂුවක් පැමිණ, “ඇවැත්නි, මා තථාගතයන් ඉදිරියේ අසා පිළිගත් පරිදි මේ ධර්මයයි, විනයයි, ශාස්තෲ ශාසනයයි’ කිවහොත් එය වහාම පිළිනොගන්න. ප්‍රතික්ෂේප ද නොකරන්න. ඒ ව්‍යංජන මනාව ඉගෙන, සූත්‍රයෙහි බහා ලන්න. විනයෙහි ලා සසඳන්න. සූත්‍රයෙහි නොබැසගන්නේ නම්, විනය හා නොසැසඳෙන්නේ නම් ‘ඒකාන්තයෙන් මේ බුද්ධ භාෂිතය නොවේ. මේ භික්ෂුව වරදවා වටහාගෙන ඇතැ’යි එය ප්‍රතික්ෂේප කරන්න. සැසඳෙන්නේ නම් එය පිළිගන්න… අසුවල් ආවාසයේ තෙරුන් හා සංඝයා ද බහුශ්‍රැත ධර්මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙරුන් ද… ඉදිරියේ ඇසූ පමණින් නොපිළිගන්නැ”යි, (අං.නි. 2 – මහාපදෙස දෙසනා සූත්‍රය)

උන්වහන්සේ කිසි විටෙකත් බල කරමින් පාලනය කරමින් ධර්මය කාවද්දන්නට තැත් නොකළහ. තවද, බොහෝ විට අන්‍යයන් කෙරෙහි යෙදුවේ පටිපුච්ඡා ක්‍රමයයි; එවිට ඔවුන් තුළ මහත් විශ්වාසයක් හටගනියි. වරෙක ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ, උන්වහන්සේගේ මෙන් අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා ක්‍රමයක් බ්‍රාහ්මණයන්ට ද ඇතැයි කීය. (ගණකාධිකාරිවරයකු හෙයින්) තමා සියල්ලක් ගණනය කොට කටයුතු යොදවන බවද කීය. එවිට සර්වඥයන් වහන්සේ බුදු දහමේ ප්‍රතිපදා ගැන ඔහුට පටිපුච්ඡා ක්‍රමයෙන් පහදාදුන් පසු මොග්ගල්ලාන, එතරම් උතුම් ප්‍රතිපදාවක් ඇතත් ධර්මය අසන සියලුදෙනා නිවන් නොදකින්නේ මන්දැයි ඇසීය.

උන්වහන්සේ “බ්‍රාහ්මණය, නිවන් ඇත්තේමය. නිවන් යන මඟ ඇත්තේමය. සමාදන් කරවන මම ද සිටිම්මය. එසේද වුවත් මගේ ශ්‍රාවකයෝ මගේ මේ අවවාද අනුශාසනා අසා, ඇතැම්හු අත්‍යන්ත නිෂ්ටාව වූ නිර්වාණය සම්පාදනය කරති. ඇතැම්හු සම්පාදනය නොකරති. බ්‍රාහ්මණය මෙහිදී මම කුමක් කරම්ද? බ්‍රාහ්මණය, මම මඟ පවසන තථාගත වෙමි” පැවසූහ. මෙයින් බොහෝ සේ පැහැදුණ ගණක දිවිහිම් කොට තෙරුවන් සරණ ගියේය. (ම.නි. 3 – ගණක මොග්ගල්ලාන සූත්‍රය) උන්වහන්සේගේ සාධාරණ පිළිවෙත මෙයින් පැහැදිලි වේ.

උන්වහන්සේ වෙතට වරක් උග්ගතසරීර නම් බ්‍රාහ්මණ පැමිණියේය. ඔහු මහා යාගයක් කරන්නට යාග ස්තම්භය වෙතට ගවයන්, වස්සන්, වැස්සියන්, එළුවන් හා තිරෙළුවන් 500 බැගින් ගෙනවුත් තිබුණි. හේ “ගෞතමයෙනි, යාග සඳහා යඥ (මංගල) අග්නිය දැල්වීම ද යාග ස්තම්භය නැංවීම ද මහත් ඵල මහත් ආනිශංස දෙතියි මම අසා ඇත්තෙමි” කීය.

සර්වඥයන් වහන්සේ ද “යාග සඳහා යඥ අග්නිය දැල්වීම ද යාග ස්තම්භය නැංවීම ද මහත් ඵල මහත් ආනිශංස දෙතියි යන කරුණ මම ද අසා ඇත්තෙමි” වදාළහ. තව දෙවරක් මෙසේම සිදු විය. තුන්වන වාරයෙන් පසු උග්ගතශරීර “ගෞතමයන් ඇසූ දෙයත් මා ඇසූ දෙයත් හැම ලෙසින්ම සමානය” කීය. එවිට ආනන්ද හිමියෝ “බ්‍රාහ්මණය, මෙසේ අසන්න: ‘මම යඥ අග්නිය දැල්වීමට ද යඥ ස්තම්භය එසවීමට ද කැමැත්තෙමි. ඒ සඳහා මට අවවාද අනුශාසනා කරනු මැනවි’ යි අසන්නැ” යි උපදෙස් දුන්හ. එසේ ඇසූ කලයි, සර්වඥයන් වහන්සේ උපදෙස් දුන්නේ.

“බ්‍රාහ්මණය, යඥ අග්නිය දල්වා යඥ ස්තම්භය ඔසවන්නා එවිටම යාගයට සතුන් මරන්නට පෙරම අකුසල් සහිත දුක් උපදවන, දුක් විපාක ඇති ආයුධ තුනක් ඔසවයි. එනම් කාය ආයුධය, වාක් ආයුධය හා මනඃ ආයුධයයි” එය මැනැවින් විස්තර කර, රාග, ද්වේෂ, මෝහ යන ගිනි තුන නිවා දැමිය යුතු බව පහදා දෙති. “ඒ වෙනුවට ගිනි තුනක් සත්කාර කොට ගුරුකාර කොට බහුමාන කොට පූජා කොට මැනැවින් පරිහරණය කළ යුතුය. ආහුන්‍යෙය ගින්න, ගහපති ගින්න, දක්ඛිණෙය්‍ය ගින්නයි. එනම් මාපිය දෙදෙනා, අඹු දරුවන්, දාසයන් ආදීන්, චිත්ත දමනයයි” උග්ගතශරීර බුදුන් සරණ ගියේය. (අං. නි. 4 – මහාඥ සූත්‍රය) මොහු ගැන 23 පරිච්ඡේදයෙහි එයි.

මෙහිදී සර්වඥයන් වහන්සේ යාගය විවේචනය නොකළහ. උන්වහන්සේ කළේ “මම මෙසේ අසා ඇත්තෙමි” යනුවෙන් බ්‍රාහ්මණයා කළ ප්‍රකාශය “මමත් මෙසේ අසා ඇත්තෙමි” යි පැවසීම පමණකි. එය පැහැදිලි කළේ ආනන්ද හිමියන් නිවැරදි ප්‍රශ්නය බ්‍රාහ්මණට කියා දුන් පසුවය. උන්වහන්සේ බලහත්කාරයෙන් ධර්මය නොදෙසූ බව මෙයින්ද මනාව දැක්වෙයි.

සර්වඥයන් වහන්සේ වාද නොකර අදහස් දැක්වූ තවත් කදිම අවස්ථාවක්. රාගගෘහ පුරයේ කලන්දක නිවාපයට උන්වහන්සේ දැකීමට පැමිණි මගධ රාජ්‍යයේ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ වැදගත් කරුණක් පැවසීය. “ගෞතමයෙනි, අපි කරුණු සතරකින් සමන්වාගත ප්‍රාඥයා මහා පුරුෂයා යැයි සලකමු. එනම් ලෝකයේ ඇති ශෘතජාතය පිළිබඳ බහුශ්‍රැත වීම, ඒ ඒ භාෂිතයේ අර්ථය දැනීම, විශිෂ්ට ස්මරණයක් තිබීම, ගිහි ගෙයි කළ යුතු දෑ අනලස්ව උපාය වීමංසායෙන් සංවිධානය කිරීමට දක්ෂ වීමයි. මෙය නිවැරදි නම් අනුමෝදන් වනු මැනවි. වැරදි නම් ප්‍රතික්ෂේප කරනු මැනවි”

“බ්‍රාහ්මණ, මම ඔබේ වචනය අනුමෝදන් නොකරමි. ප්‍රතික්ෂේප ද නොකරමි. මම සතර කරුණකින් සමන්විත ප්‍රාඥයා මහා පුරුෂ යැයි කියමි. ඒ මෙසේය: බහු ජන හිත බහු ජන සුව පිණිස යෙදී කල්‍යාණ ධර්මතා කුශලතා ධර්මතා සහිත මාර්ගයේ ජනයා පිහිටුවීම; විතර්ක පථයෙහි චිත්ත වශීප්‍රාප්ත වීම; ධ්‍යාන සතරෙහි යෙදීම; ආශ්‍රව ක්ෂය කොට චෙතො විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ලැබීම.” වස්සකාර මහත් සේ පැහැදී සර්වඥයන් වහන්සේගේ ගුණ වර්ණනා කළේය. (අං. නි. 2 – වස්සකාර සූත්‍රය)

මුළු බ්‍රාහ්මණ ගමක්ම උන්වහන්සේගේ සාධාරණ බව නිසා තෙරුවන් සරණ ගිය කදිම පුවතක්. උන්වහන්සේ විශාල භික්ෂු පිරිසක් හා කෝසල ජනපදයේ චාරිකා කරමින්, වේළුද්වාර නම් බ්‍රාහ්මණ ගමට වැඩියහ. උන්වහන්සේගේ කීර්තිය අසා ඇති ඒ බ්‍රාහ්මණයෝ උන්වහන්සේ දකින්නට පැමිණියහ. ඇතැමුන් වැන්ද අතර, තවත් ඇතැම්හු කිසිත් නොකර නිහඬව උන්හ. ඔවුහු “ශ්‍රමණ ගෞතමයෙනි, අපි දරුවන් හදා වඩමින් රන් රිදී සිනිඳු සළු මල් සුවඳ විලවුන් දරමින් කාම ඡන්දයෙහි වසමු. අපට සුදුසු දහමක් දෙසනු මැනවි” කීහ. උන්වහන්සේ “ආර්ය ශ්‍රාවකයා මෙසේ සලකා බලයි: ‘මම මැරෙන්නට අකැමැත්තෙමි.

ජීවත් වන්නට කැමැත්තෙමි… යමකට මා අකැමැති නම් අන්‍යයෝද ඊට අකැමැතියහ…’ එසේ සලකා ප්‍රාණ ඝාතයෙන් වළකී…” මේ ආකාරයට, තමා යම් දෙයකට අකැමැතිද, එයට අනුන්ද අකැමැතිය යන පදනමෙහි සිට පව්කම් එකින් එක විග්‍රහ කළහ. එකල සියලු බ්‍රාහ්මණයෝ තෙරුවන් සරණ ගියහ. (සං.නි. 5/3 – වේළුද්වාරෙය්‍ය සූත්‍රය)

දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රාහ්මණ ධර්මය ඇදහූ ඒ බ්‍රාහ්මණ පිරිසට තථාගතයන් වහන්සේ දේශනා කළේ ඊට විරුද්ධ ධර්ම හෝ ගැඹුරු ධර්ම නොව, තම තමා පදනම් කොට ගෙන තාර්කිකව මෙන්ම හැඟීම් අනුවද සිතිය හැකි, පිළිගත හැකි ආචාර ධර්මීය කාරණාය. ඒවා බ්‍රාහ්මණ ධර්මයට පටහැනි ද නොවේ. උන්වහන්සේගේ උතුම් විචක්ෂණ නුවණ ද මෙහිදී පැහැදිලි වේ.

තවත් අවස්ථාවක පිංගලකොච්ඡ නම් බ්‍රාහ්මණ උන්වහන්සේ දැකීමට පැමිණ එකත්පස්ව හිඳ ෂඩ්ශාස්තෲන් සත්‍යය දන්නෝ ද නැද්දැයි ඇසීය. එවිට උන්වහන්සේ පැවසුවේ “ඒ ප්‍රශ්න එසේ තිබියේවා, මම ඔබට ධර්මය දෙසමි” යනුයි. ධර්ම දේශනාව කෙළවර බ්‍රාහ්මණ තෙරුවන් සරණ ගියේය. (ම.නි. 1 – චූල සාරොපම සූත්‍රය) ඒ විනා උන්වහන්සේ ෂඩ්ශාස්තෲන් විවේචනය නොකළහ.

සර්වඥයන් වහන්සේ දැකීමට වරෙක තෝදෙය්‍ය බ්‍රාහ්මණගේ පුත්‍ර සුභ මානවක පැමිණියේය. (තෝදෙය්‍ය යනු එවකට විසූ ප්‍රසිද්ධ ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණයෙකි.) පිළිසඳරින් පසු සුභ ඇසූ ප්‍රශ්න කිහිපයකදී සර්වඥයන් වහන්සේ “මානවකය, මම මෙහිදී විභජ්ජවාදයෙමි. ඒකාන්තවාදී නොවෙමි” යැයි කීපවරක් වදාළහ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *