ලැව් ගිනි මැද සසර බැමි සිඳ

cmadurawala
7 Min Read

ගුණතිලක මැටියගනේ

(ශාස්ත්‍රපති පූජ්‍ය දෙණීකේ ආනන්ද නාහිමියන්ගේ ධර්මානුශාසනාවක් ඇසුරිනි)

‘අප්පමාද රතෝ භික්ඛු
පමාදෝ භයදස්සි වා
සංයෝජනං අණුං ථූලං
ඪහං අග්ගීව ගච්ඡති

(පමාවෙහි භය දක්නා නොපමා බවෙහි ඇලුණු භික්ෂුව ලොකු කුඩා සසර බන්ධන දවමින් ගින්නක් මෙන් (නිවන කරා ඉහළටම) ගමන් කරයි)

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධර්ම ග්‍රන්ථ පසළොසින් එක් ග්‍රන්ථයක් වන ධම්මපද පාලියෙහි අප්පමාද වග්ගයට අයත් මෙම ගාථා ධර්මය තිලෝගුරු අමා මෑණියන් විසින් එක්තරා භික්ෂුවකට දේශනා කරන්නට යෙදුණු සුවිශේෂී ධර්මෝපදේශයක්.

මේකියන එක්තරා භික්ෂුව සසර බිය දැක කෙලෙසුන් නසා අර්හත් මාර්ග ඵලයෙන් සැනසෙමියි සිතා බුදුපියාණන් හමුවී අදාළ කමටහන් ලබාගෙන දුරින් පිහිටි මහ වනාන්තර බද ප්‍රදේශයකට වඩිනවා. උන්වහන්සේ සතර සම්‍යක් ප්‍රධන් වීරියෙන් යුතුව ඒ ප්‍රතිපදාවෙහි නියැලුණ ද අරමුණුගත ශ්‍රමණඵල නොලැබ නැවත බුදුන් හමුවී කමටහන් අවුල් හැර හගිස්වා ගැනීමේ අදහසින් බුදුන් දක්නට පෙරලා පැමිණෙනවා. ඒ එන අතරමඟ මහ වනමැද විශාල සුළිකුණාටුවකට හසුව එහි ප්‍රතිඵලයක් ලෙස අටගත් ලැව් ගින්නකට මැදිවෙනවා. උන්වහන්සේ අසීරුවෙන් උස්ව නැඟී පැතිර ගිය ගල් පව්වකට නැඟගන්නවා. එවිට උන්වහන්සේට දැකගත හැකිවන්නේ දසතින්ම බුර බුරා නැඟෙන ලැව් ගිනි ජාලාව.

භික්ෂුව මේ දසුනත් තම කමටහනත් ඒකාත්මික කැර ගන්නවා. යම් සේ මේ ගින්න කුදු මහත් දෑ දවමින් ආධිපත්‍යය පතුරුවන්නේ ද එසේම අරහත් මාර්ග ඥාන නමැති ගින්නත් බොල් වී මෙන් මහත් වූත් තුනී වීමෙන් කුඩා වූත් කෙලෙසුන් දැවිය යුතුය යනුවෙන්.

මෙවේලේ සැවැත්නුවර දෙව්රමෙහි සිට මහා කරුණාවෙන් ලොව බලා වදාරන බුදු පියාණන් මේ අසීරුතර මොහොත දැක, මට්ටකුණ්ඩලී ගැටවරයාටත් රජ්ජුමාලාවටත් පිහිට වූ සෙයින් එහි සිංහ බුද්ධ රශ්මි කලාවක් එවා භික්ෂුව අමතා, එම්බල මහණ, තොප සිතූ නියාව යහපත. යම් සේ කැලයට වැදුණු ගින්න නිවාලිය හැක්කක් නොව, ලැව්ගිනි හෙයින් දැවීමේ තේරුමක් නැත. එපරිද්දෙන් අරහත් මාර්ග ඥාන නමැති ගිනිගත් සියලු කෙලෙස් නමැති කසළ දවා වීය….. යනුවෙන් පෙර දැක්වූ ගාථා ධර්මය ද පාදක කොට ගනිමින් අනුශාසනා කළහ. එම ගාථා කෙළවර එම භික්ෂුව සියලු සංයෝජනයන් නසා සිවි පිළිසිඹියා පත් රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා.

‘අප්පමාදො අමත පදං පමාදො මච්චුනො පදං’ වශයෙන් ගැනීමෙනුත් බුද්ධ දේශනාව තුළ බහුල වශයෙන් මේ අප්‍රමාදී බව ඉස්මතු කොට දක්වන්නට යෙදෙනවා. එමතුද නොව, උපවත්තන සල් උයනෙහි පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින්ද උන්වහන්සේගේ අවසන් බුද්ධාවවාදය ලෙස සඳහන් වන්නේද ‘අප්පමාදෙන සම්පාදෙථ’ යන පාඨයයි.

මෙහිදී අප්‍රමාදය යන වදනෙහි සැබෑ ගාම්භීරාර්ථය අප අතර බහුල ලෙස ප්‍රචලිත පමාවීම, සුනංගුවීම (delay) යන්න නොව, අඩුපාඩුවක් නොමැතිවම මේ මොහොතේ කළ යුතු දේ කොට අවසන් කිරීම ලෙස හැඳින්විය හැකියි.

මේ බුදුවදන හුදෙක් භික්ෂුව අරබයා පමණක් වෙන්කොට ගතහැක්කක් නොව, ගිහියන්ටත් පොදු උපදෙසක්. එහි විරුද්ධාර්ථය ප්‍රමාදය හෙවත් කුසීතකමයි. එය භික්ෂුවකට නොගැළපෙන්නක්. භික්ෂුව ‘අප්පකිච්චෝච සල්ලහුකවුත්තී’ විය යුතු (අද ට්‍රැක්ටර් රථ පදවාගෙන කුඹුරු සී සෑමෙහි යෙදෙන භික්ෂුන් ද සිටින වගත් මාධ්‍යයෙන් පෙන්නන්නෙ. එවිට හෙතෙම බහුකිච්ච වෙනවා.) භික්ෂුව අල්පේච්ඡතාවයේ සංකේතයක්. සරල ආකාරයකින් තුන් සිවුරකින් ලැබෙන සේනාසනයකින්, අඩු වැඩි ප්‍රමාණයක් සහිත සරල සැහැල්ලු සිතින් යුක්ත වියයුතුයි. දිනපතා නොවරදවා වතාවත් රාශියක් ඉටුකළ යුතු. වැසිකිළි කැසිකිලි පවා ශුද්ධ පවිත්‍ර කොට තබා ගතයුත. එවිටයි වත්ථකුචි වන්නේ. පිණ්ඩපාත වතාවතත් භික්ෂුවකට වැදගත් වන්නේ එය ධුතාංග කොටසටත් අයත් වන නිසා.

ප්‍රමාදය භයට හේතුවන්නන්. ප්‍රමාදයට උඩ ගෙඩි දෙන දින චරියාවන් කීපයක් ධර්මානුකූලව මතක් කළොත් එකක් නිද්දාරාමතා නම් වනවා. එනම් අධික ලෙස නින්දට ගිජුවීම. බුදුන් වහන්සේ ද තම දින චරියාවේ නින්ද වෙනුවෙන් වෙන්කොට තිබුණේ පෑ එකාමාරක් පමණක් බවයි කියැවෙන්නේ. මීළඟට භත්තාරමතා යනු රංචු ගැසී අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් උස් හඬින් දොඩමලු වීම, වරක් බුදුන් වහන්සේ එවන් ඝෝෂාකාරී භික්‍ෂු පිරිසක් විහාර බිමින් එලවා දමනවා.

මීළඟට අද බොහොමයක් නායක උන්නාන්සේලාට නීවරණයක් බවට පත්ව ඇත්තේ කම්මාරාමතා වශයෙන් පන්සලම දියුණු කැරලන්නට කැප වී සිටීමයි. දෙමහල් ධර්මශාලා, සතර දේවාල, ආවාස මන්දිර, රන්වැට, බෝධි ප්‍රාකාර, වලාකළු බැම්ම, වාහල්කඩ ආදියෙන් සමලංකෘත කරන්නට දැඟලීම විනා උන්වහන්සේලාට බණ භාවනාවක නියැළෙන්නට කාලයක් ඉතිරි වන්නේ නෑ. නවකම්ම විචාරාමතාවට ගැලී හිටියොත් පැවිදි වීමේ අරමුණ ඈතින් ඈතට යනවා.

“පබස්සර මිදා භික්ඛවෙ චිත්තං” අපි කවුරුත් උපදිනවිට රැගෙන එන්නේ දියමන්තියක් මෙන් පිවිතුරු මනසක්. ඒත් ඒ හා සමගම බැඳීම් (විලංගු) දමාගෙනයි මෙලොව එළිය දකින්නේ. මුලින්ම මව් තුරුල, මව් උණුසුම, මව් කිරි සුවඳ, ඒ රසය, නැළැවිලි ගීය එක්කාසු කොට ‘අම්මා’ යන බන්ධනය බැඳ ගන්නවා. මේ විලංගු දහමෙහි වැහැරෙන්නේ සංයෝජන වශයෙන්. දහම තුළ ඒවා සංඛ්‍යාත්මකව දහයක් ලෙසට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී ලෙසින් දහ අතේ ගෙනිහින් නැංගූරම් දානවා. මේ බිලී ඇමුණුම් එක්ක නම් ගිහින් සසරින් ගොඩ එනවා බොරු!

නිවන් අවබෝධයේ දී පළමු පියවර සෝතාපන්න හෙවත් සෝවාන් ඵලයයි. ඊට ළඟා වියහැකි වන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන විලංගු කඩා බිඳ දැමීමෙන්.

නතෙ භවං අට්ඨමං ආදියන්ති එලෙස උතුම් සෝතාපන්න අධිගමයට පත්වූ තැනැත්තන්ට ඉනික්බිතිව ඇත්තේ භව හතක් පමණයි. එවැන්නන් හඳුන්වන්නට දහමේ වාසගම් කීපයක් දැකගත හැකියි. ඒක බීජ, කෝලංකෝල හා සත්තුක්ඛච්ඡ පරම ලෙසින් ඒක බීජ ලෙසින් මේ භවයේ දී සෝතාපන්න ඵලයෙන් නිවුණු අයෙක් ඊළඟ භවයෙන් පසු සසර ගමන අවසන් කර ගන්නවා. කෝලංකෝල කියන්නේ එලෙස සත්වෙනි භවය දක්වා දුග්ගති ස්ථානවල නොඉපදී 3-6 අතර භවයන්හි සැරිසරන්නා වූ අයටයි. සත්තුක්ඛච්ඡ නම ලැබෙන්නේ ඒ අතර ඉහළ අධිගමයකට පත්ව පිරිනිවීමට පත්වන අයට.

මේ භවයෙහිදී සෝතාපන්න මාර්ග ඵලයෙන් අවබෝධයට පත්ව ඊළඟ භවයේත් මනුෂ්‍ය භවයේම හටගන්නා අය හඳුන්වන්නට ජාති සෝතාපන්නයා යන නම යොදාගන්නවා. මෙවැන්නන් පිළිබඳව ඉතා ගැඹුරින් ගවේෂණයක යෙදුණු අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ එක් සොයාගැනීමක් මෙහෙම සඳහන් කළොත්, හෙළයේ අග්‍රගණ්‍ය බොදු විදුහල වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ඇතුළත් වීමේ ලේඛනයේ අංක එකට ලියාපදිංචි වී ඇත්තේ එවන් ජාති සෝතාපන්නයෙක් බවටයි උන්වහන්සේ පවසන්නේ.

එහෙව් අයකු හඳුනාගතහැකි වන්නේ වයස අවුරුදු හතර පහ වනවිට අසාමාන්‍ය ලෙස සූත්‍ර පාඨ, ගාථා ධර්ම කටපාඩම් වීම, ආගමික වැඩට ලැදියාව දැක්වීම, නිවුණු ශාන්ත ගති පැවැතුම් ඇති බව සැලකිය හැකියි. බෞද්ධ ඉතිහාසයෙහි එන සෝපාක, රාහුල වැනි සත්හැවිරිදි වනවිට මහ රහත් ඵල උදාපත් කැර ගත් පුණ්‍යවන්ත දරුවනුත් ඒ ගොඩේම වෙන්ට බැරි ද?

මීට වසර විස්සකට පමණ පෙර අපට ද අසන්නට ලැබුණු එවන් පස්, හය හැවිරිදි දරුවකු ගැන සටහනක් තබන්නටත් අවසර. ඒ කුලියාපිටිය බිහල්පොළ පැත්තේ ගමකින්. ඒ කුඩා දරුවාත් අසාමාන්‍ය ලෙස ගැඹුරු දහම් කරුණු ලිහා දෙන්නට සමත් වුණා. ඇතැම් භික්‍ෂුන් වහන්සේලාත් එහි ගොස් නැඟූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබුණා. හැබැයි මේ පුවත පතළ වී යන්නට ඒ මාපියන් ඉඩ දුන්නේ නෑ. ඔවුන් බිය වුණා. ඔවුන් දරුවා හැංගුවා. ඒ පිළිබඳව විමසන අයට පිළිතුරු ලැබුණේ, නෑ එහෙම ළමයෙක් මෙහේ නෑ වශයෙන්. ඒ අසිරිමත් සිද්ධිය එතැනින්ම යට ගසන්නට ඒ මාපියන් සමත් වුණා. කෙසේ වෙතත් ඒ දරුවා ලොකු මහත් වී අද යම් ඓතිහාසික අධිගමයක් අත්විඳිනවා ඇති.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *