වෙසක් සිංහලයන් අතර භාවිත වන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පැමිණීම, පිරිනිවන් පෑම යන තුන් මහ මඟුල් උලෙළ සඳහන් කරනු පිණිසය. පාළි භාෂාවෙන් විසාඛ, සංස්කෘත භාෂාවෙන් වෛශාඛ, උතුරු ඉන්දියාවේ හින්දි බසින් වෛශාඛ පූර්ණිමා වන වචන සංකල්ප ඔස්සේ සිංහලයට වෙසක් පැමිණ ඇත. වෙසක් යන හඬ ඇසෙන විට විශේෂයෙන් සිංහල බෞද්ධයන්ගේ හදවත් කෙරෙහි පහළ වන බැති පෙම් සැදැහැ සිතුවිලි අසීමිතය. ඒ හඬත් සමඟම ඔවුනට ඇති වන්නේ සසරින් එතෙර කරන සිවුසස් දහම සහ සසරින් එතෙර වී ලබන නිවන් සුවය පිළිබඳව ලොවුතුරු හැඟීමකි. සිංහල බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව තුළ ද වෙසක් උලෙළ ජනිත කරවන්නේ ඉමහත් ප්‍රීතියකි. මෙබඳු උතුම් සිතුවිලි සිත් තුළ ඇති කරවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නව ලොවුතුරු සිරි සදහම් මඟ ඔස්සේ සංවර්ධනය වුණු මනුෂ්‍ය චින්තනය හේතු කොටගෙනය.
බක් මාසයත්, වෙසක් මාසයත් ඇතුළත් වන කාලයක්ෂු වසන්තය නමින් හඳුන්වනු ලැබේ. මධු මාධවී යනු බක් වෙසක් දෙමාසය වියත් කැරෙන වචනයකි. අවුරුද්දේ ඉතාමත් සුවසොම්නස් දනවන කාල පරිච්ඡේදය වසන්තයයි. වසන්තයේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දා දඹදිව මධ්‍ය මණ්ඩලයේ සිදුවුණු සිරි සිදුහත් ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදු බව ලැබීම, පිරිනිවන් පෑම යන සිදුවීම් බෙහෙවින් වැදගත් ය.
ලෝක ඉතිහාසයෙහි ප්‍රබල වෙනස්කම් සමූහයක් සිදුකළ බුද්ධෝත්පාදය මිනිසාගේ මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීමට හේතු වූයේය. මෙම පසුබිම තුළින් පහළවූ වෙසක් උලෙළ පොදු මිනිස් උලෙළක් බවට පත් වෙමින් මුළුලොව පුරා විහිදී ගොස් ඇත. සාමාන්‍යයෙන් රස වින්දනය පිළිබඳ සංකල්පයට වෙසක් අලුත් රසයක් එකතු කිරීමට සමත් වූයේ ඉහත කී කරුණු තුළිනි. මේ එළැඹියේ බු.ව. 2570 වැන්නයි.
වෙසක් පොහොය දින මනුෂ්‍ය සංහතියට ලැබුණු පරම දායාදය නම් සර්වඥතා ඥානයයි. සම්මා සම්බෝධියයි. එනම් සම්බුදු නුවණයි. බුදුරජාණන් වහන්සේ මෙම සම්බුදු නුවණ දඹදිව ජයසිරි මහබෝ මැඬ විදුරසුන් මතදී ලබා ගත් සේක. බුදුරජාණන් වහන්සේ වටහා ගත් ශ්‍රී සද්ධර්මය එවක පැතිර පැවැති ලෝකය මවා හදන වඩන ඊශ්වර වාදයට විරුද්ධ පරම සත්‍යය අනාවරණය කළ දර්ශනයකි. ඒ නිසා සමාජයේ මුල් බැස ගෙන තිබුණු නොයෙක් මතවාද දෙදරුම් කා ගියේය. ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබන්නට ඉගැන්වුණු නව දර්ශනයෙහි නිදහස් නිවහල් නිවැරැදි සිතුවිල්ලට ජය මාවත විවෘත වූයේය. ලෝකයේ පහළ වූ විවිධ දර්ශනයන් අතර බෞද්ධ දර්ශනය අග්‍රගණ්‍ය ස්ථානයක පැවතීමට හේතු වන්නේ ඉහත කී විශේෂයයි. බුද්ධියට ගෝචර වන පරිදි, දේශනා කරන ලද බුදුදහම මිනිස් වාදය උසස් තන්හි තබා අගය කරනු ලබන්නකි. එහි අරමුණ මිනිසාගේ යහපත සලසා දීමයි. දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග යන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් වර්තමාන ලෝකයේ මිනිස් සංහතිය සුවපත් කරලීමට යොදා ගත හැකි බව මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමු.

