සීලය අමතක කොට ධර්මාවබෝධය ලැබිය හැකි ද?

rashi
By rashi
7 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය

මිරිස්සේ ධම්මික හිමි

භාග්‍යවතුන් වහන්සේ විසින් සීලය මුල් කොට දෙසූ දහමක් අද ඔබට ඉදිරිපත් කරන්නෙමි. අංගුත්තර නිකායේ ඇතුළත් සික්ඛානිසංස සූත්‍ර දේශනාව මේ සඳහා ආශ්‍රය කෙරේ. ‘සික්ඛානිසංසමිදං භික්ඛවෙ බ්‍රහ්මචරියං වුස්සති පඤ්ඤුත්තරං විමුත්තිසාරං සතාධිපතෙය්‍යං’ මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උතුම් කොට ඇති, විමුක්තිය සාර කොට ඇති, සතිය ආධිපත්‍යය කොට ඇති මේ බඹසර වසනු ඇත. මේ ධර්ම දායාදය විස්තර කොට කයින් ද මනසින් ද ධර්ම රසයට හිමිකමක් එකතු කොටගනිමු.

මේ බඹසර කෙසේ නම් හික්මීම අනුහස් කොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් අපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත්, උත්තරීතර වූ ප්‍රතිපදාව මුල් කොට ශික්ෂාවන් පනවා ඇත්තේ ය. ඒ ශික්ෂාවන් අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකම්මාස ලෙස රැකිය යුත්තේ ය. එනම් මුලින් හෝ අගින් සමාදන් වූ ශීලය අවබෝධයෙන් ම නො කඩන්නේ ය. මැදින් එක ද ශික්ෂා පදයක් හෝ නො කඩන්නේ ය. පිළිවෙළින් හෝ දෙක හෝ තුන බැගින් නො කඩන්නේ ය. සමාදන් වූ ශීලයෙහි අතරින් අතර හෝ ශික්ෂාවන් නො කඩන්නේ ය. මෙය උතුම් වූ හැසිරීම නම් වූ ආභිසමාචාරික සීලය නම් වේ ම ය.

එමෙන්ම මාර්ග බ්‍රහ්මචර්යාවට මුල් වූ සංවර සීලයන් පනවන ලද්දේ ය. සියලු ආකාරයෙන් දුක් නැති කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දේශනා කරන ලද්දේ ද එය ද අඛණ්ඩ, අච්ඡිද්ද ආදි ලෙසින් දිවි හිමියෙන් ආරක්ෂා කොටගත යුත්තේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. යම් ආකාරයකින් මා විසින් සියලු ආකාරයෙන් මනා ලෙස දුක් නැසීම පිණිස ආදි බ්‍රහ්මචරියක සීලය පනවන ලද ද ඒ ඒ සැටියෙන් ම ඒ ශික්ෂායෙහි අඛණ්ඩකාරී වෙයි. අච්ඡිද්දකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මැනවින් සමාදන් ව ශික්‍ෂාපදයෙහි හික්මෙයි. මෙසේ මේ බඹසර ශික්‍ෂා ආනිසංස කොට ඇත්තේ වෙයි. මේ ශික්ෂා ආාරක්ෂාවේ දී සම්මා ප්‍රඥාව මත පිහිටා ම හික්මිය යුත්තේ ය. නිදසුන් ලෙස මෙසේ ය. අපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් ශික්ෂාවන් රැකිය යුත්තේ ය යන කරුණයි. සියලු සංඛත ධර්මයෝ අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණයට යටත් ය නම් වූ සිද්ධාන්තය ඔස්සේ සිත සහ සිහිය පිහිටුවාගත යුත්තේ ය. මෙහි ප්‍රතිඵලය විය යුත්තේ සිතින් ගන්නා වූ අරමුණු දැඩි ව ගැනීම නම් වූ උපාදානය නො වී ලෝභාදී කෙලෙසුන්හි සන්සිඳීමක් වීමයි. ඒ සන්සිඳීම හෝ සන්සිඳෙන මඟට සිත් පුහුණු කරවමින් ම කායික සහ වාචසික සංවරය සිදු විය යුත්තේ ය. එනම් සීලයෙන් සුන්දර විය යුත්තේ ය.

බඹසර කෙසේ නම් උත්තම කොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරති. මේ සසුනෙහි ශ්‍රාවකයන්ට මා විසින් සියලු ආකාරයෙන් මනා ලෙස දුක් නසනු පිණිස දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතු සච්චයෝ දෙසන ලද හ. එය ඒ සැටියෙන් ම ශ්‍රාවකයෝ ප්‍රඥාවෙන් අවබෝධ කළාහු වෙත්. මේ බඹසර උත්තම කොට ඇත්තේ වෙයි. භවයේ ඇති ඝෝර බව දුක්ඛ ආර්ය සත්‍යයෙන් වටහාගත යුතු වන්නේ ය. ඒ දුකින් පිරුණු භවය සකස් වීමට හේතුව නම් සමුදය හෙවත් තෘෂ්ණාවයි. හේතුන් ප්‍රත්‍ය කොටගෙන හටගැනීමත්, ඒ හේතුන්ගේ ම විසිර යෑමත් අවබෝධ නො කර ගැනීම අවිද්‍යාවයි. මේ නිසා උදය සහ ව්‍යය නුවණින් නො දැකීම නිසා වස්තූන් මම ය මාගේ ය නම් වූ දෘෂ්ටියෙන් දැඩි ව ගනු ලැබෙයි. මේ ලෝභ, දෝස, මෝහයන්ගේ සකස් වීමයි. තෘෂ්ණාවේ සම්භවයයි. නිරෝධය නම් අවිද්‍යාවෙන් විද්‍යාවට සිත මෙහෙයවා ලෝභ, දෝස, මෝහ නො ඉපදවීමයි. සෑම මොහොතක ම සිදු වන උප්පාදය සහ භංගය අවබෝධ කොට ගත්තේ ද, ඇලීමකින් හෝ ගැටීමකින් තොර ව අරමුණු භංගයට පත් වෙයි. මේ ආශ්‍රව හෙවත් කෙලෙසුන්හි නිරෝධයයි. ඒ කෙලෙස් නිරෝධගාමිණි ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදි වශයෙනි. මෙය විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී හෙවත් නිවන් පිණිස ම සිත මෙහෙයවාගෙන ම පැවතිය යුත්තේ ය. ඒ මාර්ග සත්‍යයයි.

බඹසර කෙසේ විමුක්තිය සාර කොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ වදාරති. මේ ශාසනයෙහි මා විසින් සියලු ආකාරයෙන් දුක් නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදි. එසේ දෙසන ලද දහම් ඒ ඒ සැටියෙන් ම ශ්‍රාවකයන් විසින් විමුක්ති හෙවත් සම්මා ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ ය. එය මෙසේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි. බොහෝ අය ධර්මාවබෝධය පිණිස පවත්නා මාර්ගයෙහි පවත්නා යම් යම් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරත්. පස්පව් සහ දස අකුසල්වලින් බැහැර වූ ලෝභ, දෝස, මෝහ උද්දීපනය නො කරන එවැනි සිරිත් විරිත් බෞද්ධ දර්ශනයෙහි ප්‍රතික්‍ෂේප නො කෙරේ. සාමාන්‍ය ජනයාගේ සිත් එකවිට ම පටිච්චසමුප්පන්න හෙවත් පරමාර්ථ ධර්මයට නතු කළ නොහැකි බැවිනි. එනමුත් ධර්මයෙහි සාරය හෙවත් පරම සත්‍යය අවබෝධ වන්නේ නාම-කාය දෙකෙන් ම පරම සත්‍යය හෙවත් චතුරාර්ය සත්‍යය ස්පර්ශ වීමෙනි. එනම් තම අත්දැකීමෙනි. සමථ-විදර්ශනා භාවනා ප්‍රතිපදාව එම කාර්යට මැනවින් උපකාරී වෙයි.

කෙසේ නම් බඹසර සතිය, ආධිපත්‍යය කොට ඇත්තේ ද? යම් සේ සම්පූර්ණ නො වූ ආභිසමාචාරික ශික්‍ෂා පුරමි යි හෝ මනා ව සම්පූර්ණ වූ ආභිසමාචාරික ශික්‍ෂා ඒ ඒ අරමුණෙහි විදර්ශනා ප්‍රඥාවෙන් අනුගමනය කරන්නෙමි යි තම සිතෙහි සිහිය මැනවින් පවත්වාගන්නේ වෙයි. එවිට අපරිපූර්ණ ශික්‍ෂා පරිපූර්ණ කරගන්නටත්, පරිපූර්ණ ශික්‍ෂාවන් අනුගමනය කරමින් තම ආධ්‍යාත්මය සම්මා සතියට අනුගත කරගන්නටත් සමත් විය යුත්තේ ය.

මාර්ග ප්‍රඥාවෙන් නො දක්නා ලද හෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මඟ මෙතෙක් ස්පර්ශ වී නොමැත්තේ ය යි සිහියට හසු කරගන්නේ නම් ඒ චතුසච්ච අවබෝධය පිණිස මාර්ග ප්‍රඥාවෙන් ම සමන්නාගත වන්නෙමි යි ආධ්‍යාත්මයෙහි සතිය මනා කොට පිහිටුවාගන්නේ වෙයි. මෙසේ ඥාන දර්ශනයට හසු නො වූ ධර්මය අර්හත් ඵල විමුක්තියෙන් ම අවබෝධ කරගන්නෙමි යි ද, ස්පර්ශ වන්නා වූ චතුසච්ච ධර්ම මාර්ගය සම්මා ප්‍රඥාවෙන් ම දකිමින් ආධ්‍යාත්මයෙහි සතිය මනා කොට පිහිටුවාගන්නේ වෙයි. එසේ මඟ අනුගමනය කිරීම ම බඹසර, සතිය අධිපති කොට පැවැත්වූයේ වෙයි.

සියලු කායික, වාචසික සහ මානසික ක්‍රියාවන්ට සිත මුල් වෙයි. සිත ප්‍රධාන වෙයි. සිත ම සත්ත්වයාව හසුරුවයි. ඒ සිත සම්මා ප්‍රඥාවට අනුගත ව පුරුදු පුහුණු නො කරන ලද්දේ ද එපමණකින් මිච්ඡා සතියට හසු වෙයි. පරමාර්ථ ධර්ම හෙවත් උදය-ව්‍යය දැකීමකින් තොර ව කැමැති අරමුණෙහි රාගයෙන් ඇලෙයි. නිමිති පවත්වයි. තෘෂ්ණාවෙන් බැඳේ. අකැමැති අරමුණෙහි ගැටෙයි. ද්වේෂය මුල් කොටගත් විපළිසර වන තරහව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, බද්ධ වෛරය ආදි අධර්මයට එකතු වෙයි. මේ නිසා සතිය නම් මාර්ග ප්‍රඥාවේ දී සතර සතිපට්ඨානය ම පුරුදු පුහුණු කළ යුත්තේ ම ය. එමගින් ලෞකික සහ ලෝකොත්තර නම් වූ දෙමඟ ම ආධ්‍යාත්මික උත්තරීතර බවට පත් වන්නේ ය. සීලය සුන්දර වූ විට සිත සුන්දර වෙයි. සිත විදර්ශනාවෙන් සුන්දර වූ විට අසුන්දර වූ භවය සුන්දර ලෙස නිමා කොට ගත හැකි වනුයේ වෙයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *