සුගත් වීරසූරිය
සිඳෙන බිඳෙන මහ රළ ගෙඩි විත් ගං වෙරළ සිප ගත්තේ ය. එයින් ඉක්බිති යළිදු ගඟ දෙසට ම ඇදී ගිය ඒ රළ පහර ගං දිය මත ම නො පෙනී ගියේ ය. කැළඹුණු නදිය නැවතත් නිසල විය. ඒ මොහොතකට පමණි. ඊළඟ මොහොතේ රළු සුළඟ ආ කෙණෙහි ඒ නීල නදී තලාවෙහි ගිලී අතුරුදන් ව ගිය රළ ගෙඩි පෙළ නැවතත් පැමිණ පෙර අතැර ගිය වැලි තලය මත වැතිරුණේ ය. පැමිණීම, නික්මීම, යළිත් පැමිණීම හා නැවතත් නික්ම යෑම මේ නම් කොයි තරම් සරල සිදු වීමක් ද? එහෙත් ගැඹුරින් ඒ දෙස බලන්නකුට එයින් කොයි තරම් නම් විශල් වූ සංසාර යථාර්ථයක් පසක් කරගත හැකි වන්නේ ද? අමා නිවනින් නො සැනසුණු ජීවිතය ද මෙඅයුරු ම නො වේ ද? මරණයෙන් ඉක්බිති ව එය එක සසර නවාතැනකින් නික්ම යයි. එහෙත් වෙනත් ස්වරූපයකින් එය නැවතත් සසර වැළඳගනී.
වේළුවනාරාමය ගැඹුරු නිහඬතාවයක ගිලී පැවතුණේ ය. එයින් ඇසුණා නම් ඇසුණේ වෙණ තත් පෙළක මිහිර ගෙන දෙන්නාක් මෙන් වූ කුරුල්ලන්ගේ කූජනය පමණි. ඒ හැරුණු කොට මඳ සුළඟ හා දැවටුණු තුරු ලිය මඬුලු ද අපූරු සංගීතයක මිහිර ලොවට බෙදා දුන්නේ ය. බුදුරජාණන්වහන්සේ වේළුවන අරමේ වැඩ උන් හ. උන්වහන්සේගේ මුව ගැබින් වැගිර ගලා ගිය අමා සදහම් දිය හැම සත් සිත් සතන් නිවා සනහද්දී සංසාර සාගරයට ඇරී තිබුණු දොරටු ගණනාවක් ද වැහී ගියේ ය. ඒ සමහරුන් එම සදහම් වැස්සේ තෙමුණු නිසා ය. එහෙත් තවෙකකුට නම් අමා දම් වැස්සත් එය දැනුණේ ම නැති තරම් වී. වේළුවන අරමට නුදුරින් ජීවිතය ගත කළ ‘උපසාල්හක’ එවැනි කෙනෙක් වී ය. ඔහු බමුණෙකි. සිය ඇඹෑනිය සමග අහංකාර ජීවිතයක් ගෙවූ ඔහුට එක පුතෙක් හිටියේ ය. උපසාල්හකට වුවමනා වූයේ හැකි තරම් පිරිසිදු ජීවිතයක් ගත කිරීමට ය. ඇත්ත වශයෙන් ම ඒ සීලයක් හෝ ගුණ දහමක් තුළින් අපේක්ෂා කළ පිවිතුරුතාවයක් නො වී ය. එය මහ අමුතු ම විකාරරූපී සිතිවිල්ලක් වී ය. තවත් කෙනකු තමන් සතු කිසිවක් ම අල්ලනවාට උප සාල්හක කැමති නො වී ය. කිසියම් හෙයකින් තව අයෙකුගේ ශරීරය සිය සිරුරෙහි යම්තම් ගෑවුණේ වී නමුදු උපසාල්හක වහා දිය නාන්නට පටන් ගත්තේ ය. එයට උදේ ද, රෑ ද, දහවල ද කියා වත් ඔහුට ගැටලුවක් නො වී ය. විටෙක එය ඔහුට ම මහා හිරිහැරයක් රැගෙන ආවේ ය. උපසාල්හක බත් කෑ පිඟාන හරි ම අපූරු එකක් වී ය. ඝන රනින් කළ එහි මල් ලිය කැටයම් පිරී තිබුණේ ය.
අවර ගිරගෙහි ඉර ගිලෙන්නට ගිය එක් හැන්දෑ යාමයක උපසාල්හක තම සිටු මාළිගයේ තනි ව ම කල්පනා කරමින් සිටියේ ය. ඔහුගේ බිරිය උයන ගෙයි රෑ බත පිළියෙල කරමින් සිටියා ය. පුතා මැඳුර ඇතුළත කාමරයකට වී කිසියම් වැඩක යෙදී සිටියේ ය. මැඳුරු මිදුලේ බොහෝ ගස්වල මල් පිපී තිබිණ. ඒ අතර වූ මදාරා මල් ගස උපසාල්හක බමුණාගේ හිත තදින් ඇද බැඳ ගත්තේ ය. සුදෝ සුදු රෙද්දක් පෙරවූවාක් මෙන් මලින් පිරී ඉතිරී පැවැති එය උපසාල්හක දෙස බලා සිටියේ ය. උපසාල්හක ඒ මල් ගහ ළඟට ගියේ ය. එයින් මලක් හෝ කඩන්නට ඔහුට ලෝභ සිතිණ. ඔහු මල්වලින් සුවඳ පමණක් උකහා ගති. අනතුරු ව ඔහුගේ හිත වෙනත් දෙසකට යොමු විය. එතැන තිබූ මල් ගසෙහි මල් හා කොළ වේළී තිබුණේ ය. එයට ළං වුණු ඔහු එය වඩාත් හොඳින් පරීක්ෂා කළේ ය. උපසාල්හක හිතූ ලෙස එම ගස මැලවී වේළී තිබුණේ ජලය නැති වීම නිසා නො වේ. මල් ගස එහි මුල ද සමගින් ම මිය ඇදී තිබුණේ ය. හෙතෙම එය උදුරා පසෙකට දැමී ය. ඊළඟට උපසාල්හකට කල්පනා වූයේ තම ජීවිතය ගැන ය. ස්වකීය ජීවිතයේ ස්වර්ණමය සමයන් හැමෙකක් ම දැන් ගෙවී ගොස් ඇත. ජීවිතයේ අගිස්සට ම යෑම සඳහා තවත් ඇත්තේ ස්වල්ප කාලයක් නො වේ ද? එතැනින් එහාට යන්නට තිබෙන්නේ කොතැනකට ද? ඒ සදාතනික නවාතැන්පළ මරණය පමණකැ යි උපසාල්හක වටහා ගත්තේ ය. එනමුත් ඒ හැඟුම ඔහු තුළ කිසියම් බයක්, කලකිරීමක් හෝ තැති ගැන්මක් ඇති නො කළේ ය. නිරාමිස නිකෙලෙස් ලොවකට ද ඔහු රැගෙන නො ගියේ ය. එය පෙරටු කර ගනිමින් උපසාල්හක හිතුවේ අමුතු ම දෙයක් ගැන ය.
“ඔව් මා තවත් ස්වල්ප කාලයකින් මිය යනවා. එයින් පසු මා මිහිදන් වෙන්න ඕනෑ කොතැනක ද? මා බොහොම පිරිසිදු කෙනෙක්. එම නිසා තවත් කෙනෙකු වළ දැමූ තැනක මගේ මළ කඳ වළ දමන්න කොහෙත් ම ඉඩ තබන්න බෑ. කවදා වත් කිසි ම කෙනෙකු නො දැවූ, නො වැළලූ තැනක මගේ මළ කඳ වළ දමන්න ඕනෑ. උපසාල්හක හිතුවේ ය. එදින රෑ අඳුර දිය වී පසු දිනට එළිය වැටිණ. උපසාල්හක තම පුතු කැඳවී ය. තමා මිය ඇදුණු පසු සිය සිරුර මිහිදන් කළ යුතු අයුර ගැන හේ පුතාට පැහැදිලි කළේ ය.
“පියාණෙනි, කිසිවකු වළ නො දැමූ තැනක් මා සොයා ගන්නේ කොහොම ද?මා එහෙම තැනක් ගැන කවදාක වත් අසා නෑ.” පුතා කී ය. ඒ ගැන ඔබ කලබල වෙන්න එපා. අපි එහෙම තැනක් සොයාගමු” බමුණා පැවසුවේ ය.
එයින් අඩ හෝරාවකට පමණ පසුව ඔවුහු ගමන ආරම්භ කළ හ. තවත් අඩ හෝරාවක් පමණ ගිය තැන දී ඔවුන් පැමිණ සිටියේ ගිජ්ජකූට පර්වතය ළඟට ය. නළල රැළි ගැන්වූ උපසාල්හක හිස ඔසවා පර්වතය දෙස බැළුවේ ය. “මේ මහ පර්වතය මුදුනෙ කවදාක වත් කවුරුවත් දවන්න නැති ව ඇති.” එසේ කී බමුණු තෙම පුතුගේ ද උපකාරය ඇති ව ගිජුකුළු පව්ව තරණය කිරීමට පටන් ගත්තේ ය. හෝරා දෙකක් පමණ ගෙවී යද්දී ඔවුහු කන්ද මුදුනට ම පැමිණිය හ. කඳු මුදුනේ ද බොහෝ වේලාවක් එහෙ මෙහෙ ඇවිද ගිය බමුණා එහි එක් තැනක් දෙස ඕනෑකමින් බැළුවේ ය. එතැන තිබුණේ තවත් උස පර්වතය තුනකි. “පුත, අර පේන කඳු තුනේ මුදුන් කන්දෙ ම මැද, මා මළ පසු මගේ මළ කඳ දවන්න” බමුණා කීවේ ය. එයින් ඉක්බිති ව දෙදෙනා ම කන්දෙන් ආපසු බැස එන්නට පටන් ගත් හ. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේ අවස්ථාවේ දී මහා කරුණා සමාපත්තියට සම වැදී සිටිය හ. උපසාල්හක බමුණාත්, ඔහුගේ පුතාත් උන්වහන්සේගේ නුවණ දැලට හසු විණි. එයින් ස්වල්ප වේලාවක් ගෙවී යත් ම බුදුරජාණන්වහන්සේ ඔවුන් ඉදිරියේ පෙනී සිටිය හ. “බමුණ නුඹලා මේ කවර නම් දෙසක ගොස් ආපසු එමින් සිටින්නේ ද?” උන්වහන්සේ විමසා වදාළ හ. අහංකාර බමුණා කිසිවක් කතා කළේ නැත. බිමට රවාගත් ඔහු කරබාගෙන සිටියේ ය. පුතා බුදුරජාණන්වහන්සේ සමග කතා කළේ ය. සිදු වූ සියල්ල විස්තර කළ ඔහු බුදුරජාණන්වහන්සේ වන්දනා කළේ ය.
“හා එහෙනම් අපි එතැන බලන්න යමු” යි බුදුරජාණන්වහන්සේ ඔවුන් දෙදෙනා ම කැටුව උපසාල්හක දවන්නට කතිකා කරගත් ස්ථානයට වැඩිය හ.
“පින්වත් බමුණ, මෙතැන කිසිවකු නො දැවූ නොඉඳුල් තැනක් කියා ඔබ සිතනවා ද?මෙතැන පමණක් නුඹ වැනි බමුණන් තුදුස් දහසකගේ මළ සිරුරු දවා තිබෙනවා.” යි වදාළ බුදුරජාණන්වහන්සේ එයට අදාළ අතීත කතාවක් ද ගෙනහැර දැක්වූ හ. මේ බමුණා ම එදා ද සිය පුතු සමගින් තමා මළ පසු දවන්නට වෙනත් මළ කඳන් නො දැමූ තැනක් සොයා ඇත. “ඉදින් බමුණ, මේ මහා පොළෝ තලය තුළ මළ කඳක් නො වැටුණු, නො දැමුණු, නො දැවූ තැනක් සොයා ගැනීමට නොහැකියි” යනුවෙන් වදාළ බුදුරජාණන්වහන්සේ මේ උපසාල්හක ජාතක දේශනාව නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ පිය පුතු දෙදෙනා ම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයෙහි පිහිටිය හ.
ජීවිතයකට මොනයම් දේ ලැබුණත් එය ජරාවාස බව වෙත ඇදී යයි. ලෙඩ දුක්වලට තල්ලු වී යයි. මේ හැම දෙයක ම එකතුවෙහි අවසානය මරණයයි. මෙය මෙසේ වුවත් ඒ සදාතනික මරණයෙන් තැතිගෙන අමා මහ නිවනට පිවිසෙන්නට වීර්යය කරන්නේ කී දෙනෙක් ද? එදත් අදත් එසේ සම්‍යක් දෘෂ්ටියෙන් සිතන අය අල්ප ය. උපසාල්හක බමුණා ද එදා එලෙස මරණය පිළිබඳව වැරදියට හිතුවේ ය. බුදුරජාණන්වහන්සේ ඔහුගේ එම වැරැදි දැකීම නිවැරැදි කර ඔහු සංසාර සාගරයෙන් ම එතෙර කර ලූ හ.