අජාන් චා හිමියන් වදාළ උපමා බණ

rashi
By rashi
5 Min Read

මිනිස්සු මගේ පුහුණුව පිළිබඳව විමසති. මා මගේ මනස භාවනාව සඳහා සකස් කරගන්නේ කෙසේ ද? එහි විශේෂ කිසිවක් නොමැත. මා කරන්නේ එය සෑම විට ම තිබෙන තැන තැබීම පමණි. “එසේ නම් ඔබවහන්සේ රහතන්වහන්සේ නමක් දැ?” යි ඔවුහු විමසති. ඒ බැව් මා දන්නවා ද? මා, වනයේ ඇති කොළ මල් ගෙඩි පිරි ගසක් වැනි ය. කුරුල්ලෝ එහි ඵල බුදීමට, කැදැලි තැනීමට එති. සත්තු එහි සෙවණේ ඉසුඹුලති. එනමුත් ගස එය නො හඳුනයි. එය එහි ස්වභාවය ම අනුගමනය කරයි. එය, එය ලෙස ම පවතී.

පරිවර්තනය: කසුන් හේමතිලක

ගස

බුදුදහමේ භාවිතය ප්‍රගුණ කිරීම ගසකට සමාන කළ හැකි ය. ගසක මුල්, කඳ, අතු සහ කොළ ඇත. කඳ ඇතුළු සෑම කොළයක් සහ අත්තක් ම පෝෂණය උකහාගෙන ඒ ඒ තැන් වෙත යැවීමේ කාර්යය සම්බන්ධයෙන් ගසේ මුල් මත යැපෙයි. ගසක් පෝෂණය වීම සම්බන්ධයෙන් එහි මුල් මත යැපෙයි. අප ද එසේ ම ය. අපගේ ක්‍රියාවන් සහ අප වදන් කඳ, අතු සහ ඉති වැනි ය. මනස, එකී කොටස්වල යහපැවැත්ම සහ අවසානයේ පල දැරීම සඳහා ඒවා වෙත පෝෂණය බෙදාහරින මුල් වැනි ය. වැරදි‌ හෝ නිවැරදි වූ කිනම් දැක්මක් මත පදනම් ව මනස කිනම් තත්ත්වයක සිටිය ද, ඒකී වැරදි‌ හෝ නිවැරදි දැක්ම අපගේ ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ පිටතට පැමිණෙයි. එබැවින් බුදු දහමේ ඉගැන්වීම්වල ප්‍රායෝගික භාවිතයන් පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත් වේ.

පිටතට වැඩෙන ගස්

ගස් වැ‌ඩෙන ආකාරයෙන් ඒවා වැඩීමට කිසිවෙකු නියම කරනවා ද? ඒවාට කතා කළ නොහැකි ය, එහා මෙහා යෑමට ද නොහැකි ය, එනමුත් ඒවා බාධක මැඬගෙන වැ‌‌ඩෙයි. සිර වී ඇති වර්ධනය වීම අපහසු කිසියම් තැනක් වේ ද, ඒවා එතැනින් බැහැරට නැමෙයි. ගස් ස්වාභාවික ව කිසිවක් නො දනී. ඒවා ස්වභාවධර්මයේ නියමයන්ට අනුකූල ව කටයුතු කරන නමුත් අනතුරකින් ඉවත් වී වැඩීමට, සුදුසු තැතක් වෙන නැඹුරු වීමට තරම් ප්‍රමාණවත් දැනුමක් ඒවා සතු ව පවතී. මිනිස්සු ද ඒ හා සමාන වෙති. අපට දුක අතික්‍රමණය කිරීමට ඇවැසි වේ. අප කැමැති මෙන් ම අකැමැති දේ ද වනුයේ දුක නම්, එවිට දුකින් සිර වී මිරිකීමට ලක් වීමට තරම් ඒවා අසලට අප නො ගොස් සිටිය යුතු ය. අප බුදුන් වහන්සේ වෙත නැඹුරු වන කල්හි, දුක කෙමෙන් තුනී වන අතර අවසානයේ පූර්ණ නිවීමකට පත් වනු ඇත.

පුහු බව

ලෞකික පුද්ගලයන් සාමාන්‍යයෙන් කතා කරන දේ නිස්සාර බවින් යුතු වේ. උදාහරණයක් ලෙස, ඔබ දිගු කලකින් නො දුටු පුද්ගලයෙකු සිටි අතර දිනක් ඔහුව හදිසියේ දුම්රියේ දී මුණ ගැසුණේ යැ යි සිතන්න: “අනේ, ඔබව දැකීම කෙතරම් සතුටක් ද! මම ඔයාගෙ සැප දුක විමසන්නයි හිතන් හිටියෙ!” යැ යි ඔබ පවසයි. සැබැවින් ම එය එසේ නො වේ. ඔබ ඔහු ගැන කිසිසේත් ම සිතුවේ නැත. එනමුත් ඒ මොහොතේ දී ඇති වූ සොම්නස නිසා නිකමට මෙන් එසේ පවසයි. එලෙස එය මුසාවක් වෙයි. ඔව්, එය අනුවණකම නිසා මුසාබස් දෙඩීමකි. මෙය විනීත ආකාරයෙන් මුසා බස් දෙඩීමක් වන අතර මිනිස්සු මේ අයුරින් කතා කිරීමට පෙලඹෙති. මෙය ද අප අත් හැරීම ප්‍රගුණ කළ යුතු ක්ලේශයකි.

වැල

වැඩෙන දරුවකු වැ‌ඩෙන වැලක් වැනි ය. වැලක් වර්ධනය වන විට එය ඒ අසල ම ඇති ගස සමග එකිනෙක බැ‌f​ඳයි. එය අනෙකුත් ගස් හෝ දේවල් අනුගමනය නො කරන අතර එය එහි හැඩය සහ වැ‌ඩෙන දිශාව උකහා ගන්නේ එකී ගසෙනි. ගස ඍජු ව ඉහළට වැඩෙයි නම්, වැල ද එමෙන් ම ඍජු ව ඉහළට වැඩෙනු ඇත. ගස වක් ව දෙපසට වැඩේ නම්, වැල ද එලෙස ම වැඩෙනු ඇත.

දරුවාට ඔබ විසින් උගන්වනු ලබන දෙය ඔබ ඔහුට පවසන කිසියම් දෙයට වඩා ඔබේ ස්වභාවය සහ දරුවා දකින දෙය මත රඳා පවතී. එබැවින් ඔබගේ පුරුදු පුහුණුව ඔබේ ම පමණක් නො වේ. එය ඔබ දරුවන් සඳහා ද ඔබ වටා සිටින්නන් සඳහා ද ඇවැසි දෙයකි.

ගිජු ලිහිණියා

විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙනීම ලබා උපාධි උපයා සපයාගෙන ලෞකික ජයග්‍රහණ අත්පත් කරගත් බොහෝ දෙනෙකුට තම ජීවිතයේ තවමත් කිසියම් අඩුවක් ඇති බව හැඟී යයි. ඔවුන් උසස් චින්තනයකින් සහ බුද්ධිමය කරුණු සම්බන්ධයෙන් විදග්ධ වුව ද, ඔවුන්ගේ හදවත් තවමත් නිෂ්ප්‍රයෝජන දෙයට දෙන වැදගත්කමින් හා සැකයෙන් පිරී ඇත. එය ගිජුලිහිණියෙකු වැනි ය: ඌ ඉහළ අහසේ පියාසර කරයි. එනමුත් ඌ යැපෙන්නේ කිනම් අහරක් මත ද?

මංජුසාව

අප දිගින් දිගට ම භාවනාවේ නිමග්න ව සිටියොත්, අප වෙත ශක්තිය ගලා එනු ඇත. මෙය මංජුසාවක ඇති ජලයට සමාන ය. අපි එයට වතුරට දමා එය පුරවා තබා ගනිමු. වතුරේ සිටින කීටයන් නො මැරෙන පරිදි අපි වතුර භාජනයට වතුර පුරවමින් සිටිමු. වීර්යය වඩා අපගේ එදිනෙදා පුහුණුවේ යෙදීම ද මෙවැන්නකි. අපි එය නිරතුරු ව පුරවා තබාගත යුතු ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *