මිනිස්සු මගේ පුහුණුව පිළිබඳව විමසති. මා මගේ මනස භාවනාව සඳහා සකස් කරගන්නේ කෙසේ ද? එහි විශේෂ කිසිවක් නොමැත. මා කරන්නේ එය සෑම විට ම තිබෙන තැන තැබීම පමණි. “එසේ නම් ඔබවහන්සේ රහතන්වහන්සේ නමක් දැ?” යි ඔවුහු විමසති. ඒ බැව් මා දන්නවා ද? මා, වනයේ ඇති කොළ මල් ගෙඩි පිරි ගසක් වැනි ය. කුරුල්ලෝ එහි ඵල බුදීමට, කැදැලි තැනීමට එති. සත්තු එහි සෙවණේ ඉසුඹුලති. එනමුත් ගස එය නො හඳුනයි. එය එහි ස්වභාවය ම අනුගමනය කරයි. එය, එය ලෙස ම පවතී.
පරිවර්තනය: කසුන් හේමතිලක
මී හරකා
අපගේ සිතුවිලි, ඇස-කන-නාසාදී ආයතනයන් අනුව මෙහෙයවෙන අතර, කොතැනක ගිය ද ඒවා හඹා යයි. එහෙත් එකී එක ආයතනයකුදු වැදගත් නො වේ. ඒවා සියල්ල අනිත්‍ය, අතෘප්තිකර සහ හිස් දේ ය. ඒවා නැඟී සිටින විට, ඒවා නිරීක්ෂණය කර, සිදු වන්නේ කුමක් දැ යි බලන්න.
එය කුඹුරක සිටින මී හරකකු බලාගන්නවා වැනි ය. කිසිවකු මී හරකකු බලාගන්නා විට ඔහු ඌට රිසි සේ ඇවිදීමට ඉඩ දුන්න ද ඌ දෙස බලා සිටියි. මී හරකා ගොයමට ළං වූවොත් ඔහු ඌට කෑ ගසන අතර මී හරකා පසුපසට යයි. ඌ අවනත නො වන්නේ නම්, දැඩි කෝටු පහරක අමිහිරි අත්දැකීම විඳගනී. මී හරක් බලන පුද්ගලයාට නිදිකිරා වැටීම ද කළ නො හැක්කකි; නැත හොත් ඔහු අවදි වන විට සියලු ගොයම් පැළ කා දමා ඇති බව දකිනු ඇත.
මනස මී හරකා වැනි ය, ගොයම් පැළ ආයතන වැනි ය. අවබෝධය ඇති තැනැත්තා ගොපල්ලා ය. මනස නිරීක්ෂණය කරන විට, අවබෝධය ඇති තැනැත්තා සියල්ල නිරීක්ෂණය කරයි. ආයතනයන් අනුව කටයුතු කරන විට මනස කෙසේ හැසිරෙයි ද ආයතනයන් අනුව කටයුතු නො කරන විට මනස කෙසේ හැසිරෙයි ද කියා ඔහු දකියි. අවබෝධය ඇති තැනැත්තා මෙලෙස මනස නිරීක්ෂණය කරන කල්හි ප්‍රඥාව උපදී. කිසියම් දෙයක් මුණ ගැසුණු කල, මී හරකා ඌ ඇස ගැටෙන ගොයම් පැළය බුදින්නා සේ මනස එය අල්ලා ගනී. එබැවින් මනස කොතැනක සැරිසැරුව ද, ඔබ එය බලාගත යුතු ය. ඌ ගොයම් පැළ අසළට ළං වන කල්හි ඌට කෑ ගසන්න. ඌ ඔබට අවනත නො වන්නේ නම්, කෝටු පහරක් දෙන්න.
ළිඳ සහ උද්‍යානය
ලෝකය තුළ සාමකාමී බව සෙවීම සඳහා ඔබ මහන්සි විය යුතු ය. එය ජලය ලබාගැනීම සඳහා වන ළිඳක් වැනි ය – ජලය තිබෙන නමුදු එය ලබාගැනීමට ළිඳක් කැණීම කළ යුතු ය. නැත හොත් එය දැනටමත් වගා කර ඇති උද්‍යානයක් වැනි ය – එය ඵල දරා සිටින නමුත් අප ඵල නෙළා ගත යුතු ය. ඒවා නිරායාසයෙන් ඔබගේ කටට නො වැටෙනු ඇත.
ලී කොටය
කිසිවකුට සමථය සහ විපස්සනාව වෙන් කළ නො හැකි ය. සමථය යනු සන්සුන් බව වන අතර, විපස්සනාව යනු සිතින් විමසීම හෙවත් මෙනෙහි කිරීම ය. සිතින් විමසීමට නම් යම් පුද්ගලයකු සන්සුන් විය යුතු අතර, යම් පුද්ගලයකු සන්සුන් වීමට නම් මනස දැනගැනීම සඳහා සිතින් විමසිය යුතු ය. ඒ දෙක වෙන් කිරීමට ඇවැසි වීම, ලී කොටයක් මැදින් උස්සා එක් කෙළවරක් පමණක් එසැවීමට අවශ්‍ය වීමක් වැනි ය. එහි දෙ කෙළවර ම එක වර එසැවිය යුතු ය. ඔබට ඒ දෙක වෙන් කළ නො හැකි ය. අපේ පුහුණුවේ දී, සමථය හෝ විපස්සනාව ගැන කතා කිරීමට ඇවැසි නො වේ. එයට හුදෙක් ”දහම පුහුණුවේ යෙදවීම යැ” යි කියන්න; එය ප්‍රමාණවත් ය.
වැරදි පාර
දුක්ඛ සත්‍යය සහ ඉන් මිදෙන ආකාරය ඔබ අවබෝධ කර නො ගනී නම්, එකී මාර්ගයේ ඇති සියලු සාධක වැරදි වනු ඇත – වචන සහ ක්‍රියා වැරදි වීම, එසේ ම සිත එකඟ කිරීමේ පුහුණුව වැරදි වීම වශයෙනි. එය කිසියම් ගමක් කරා යෑමට ඇවැසි වීමක් වැනි ය. ඔබ අතපසුවීමකින් වැරදි පාරක ගමන් කරයි. එහෙත් එහි ගමන් කිරීම ඔබට සුවදායක බව හැඟෙන අතර ඔබ එලෙස වැරදි දිශාවකට දිගට ම ගමනේ යෙදෙයි. එකී මාර්ගය කොතරම් සුවදායක හා පහසු වුව ද, ඔබට ඇවැසි ස්ථානය කරා එය ඔබව රැගෙන නො යනු ඇත.
දහම නිවැරදි ජීවන රටාව අපට උගන්වන්නේ කෙසේ ද? එය අපට කෙසේ දිවි ගෙවිය යුතු දැ යි පෙන්වා දෙයි. ගස් ගල් මත හෝ හුදෙක් ඔබ අභියස ඇති දෑ ඇසුරෙන් – එය ඔබට පෙන්වා දෙන ආකාර බොහෝ ය. වදන් ඇසුරෙන් නො වූව ද එය ඉගැන්වීමකි. එබැවින්, මනස – හදවත සන්සුන් කොට නිරීක්ෂණය කිරීමට ඉගෙනගන්න. මේ මොහොතේ – මෙතැන දී ඔබට සකලවිධ දහම නිරාවරණය වන බව පසක් වනු ඇත. ඒ හැර කිනම් මොහොතක සහ ස්ථානයක දී ඔබ එය අත්දකින්න ද?
සුළු අන්තර්ඥානයකින් පවා අප ලෝක ස්වභාවය පැහැදිලි ව විනිවිද දකිනු සමත් වනු ඇත. ලෝකයේ සියලු දෙයක් ම ගුරුවරයකු බව අපට අවබෝධ වනු ඇත. නිදසුනක් ලෙස, ගස් වැල් යථා ස්වභාවය අපට හෙළි කර දෙනු ඇත. ප්‍රඥාව ඇති කල්හි කිසිවකු ප්‍රශ්න කළ යුතු හෝ කිසිවක් උගත යුතු හෝ නො වේ. අවබෝධය ඇති කරගැනීම සඳහා ඇවැසි බොහෝ දෑ අපට සොබාදහමෙන් උගත හැකි ය.
තුන් අවුරුද්දකට වැඩි කාලයක් පුරා, සොබාදහමේ නිදසුන් වටා දිගහැරුණු “අජාන් චා හිමියන් වදාළ උපමා බණ” ලිපි පෙළ මෙතෙකින් සමාප්ත වේ.

