The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(පළමුවැනි කොටස)
ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
පමාදේ නො සැලෙනු’යි සති බලය යැ
මෙම පොතෙහි කියැවෙන සතිය යනු ඇත්ත වශයෙන් ම එයට ම ආවේණික වූ බලයකින් යුක්ත වූවක් ද? ජීවිතයේ සාමාන්‍ය පරමාර්ථ අනුව බලන විට එවැන්නක් පෙනෙන්නේ නැත. විවිධාකාර ලෞකික ආශා ඉටු කරගැනීම සඳහා වඩා වැදගත් යැ යි පෙනෙන මානසික ශක්ති අතර සතියට (අප්‍රමාදයට) ඇත්තේ සාමාන්‍ය තැනෙකි. මෙහි ලා සතිය යනු, යමකු තම අරමුණු ඉටු කරගැනීමට කරන වෑයමේ දී පය පැකිළීමෙන් ඇද වැටී නො යනු පිණිසත් ලද අවස්ථාව පැහැර නො හැර යනු පිණිසත් තබන පියවර ගැන සූදානම් ශරීරයෙන් යුක්ත වීම හෙවත් සැලකිලිමත් වීමයි. සුවිශේෂී කටයුත්තක දී හෝ දක්ෂතාවක දී හෝ පමණක් යම් කෙනකු සතිමත් වීමට උද්යෝගී වුව ද එහි දී සතියට පැනවෙන්නේ අප්‍රධාන භූමිකාවකි. මන්ද, සතියේ ඇති සුවිශේෂී වූත් පුළුල් වූත් විෂය හා හැකියාවල් හඳුනාගෙන නොමැති බැවිනි.
බුදු දහම උගැන්වීමේ දී පවා, සතිය ඇතුළත් වී තිබෙන චෛතසික ලැයිස්තු හා වර්ග අතරත් මෙම සති ඉන්ද්රිය යනු බොහෝ ඉන්ද්රියයන් අතර තවත් එකක් පමණකැ යි යන අදහසට යමකු පොලඹවන අයුරක් ඇත. එහි ලා සතියට ඇත්තේ අප්‍රධාන තැනක් ය යි ද, අනෙකුත් ඉන්ද්රියයන් එය අබිබවා සිටී යැ යි ද කියවන්නාට හැඟී යනවාට සැක නැත.
එහෙත් සතියට පණ දී බැලුවොත් එය අව්‍යාජ නිරහංකාර ලක්ෂණයෙන් යුක්ත බව වැටහෙනු ඇත. සතිය හා ගළපා බලන විට ශ්‍රද්ධාව, වීර්යය, චිත්ත භාවනාව හා ප්‍රඥාව හැඳින්විය හැක්කේ මිනිසුන් අතර මෙන්ම සිද්ධි අතරත් ක්ෂණික ප්‍රබල බලපෑමක් කරනසුලු, වඩා වර්ණවත් පුද්ගලයන් හැටියට ය. ඒවායේ බලපෑම පුළුල් මෙන්ම බලවත් නමුදු අනාරක්ෂිත බවක් දනවයි. ඒ අනුව සතිය ආක්‍රමණශීලී නො වන අතර, එහි ගුණාංග බැබළෙන්නේ ඇතුළතිනි. සාමාන්‍ය ජීවිතයේ දී සතියට අයත් මෙම ආටෝප විරහිත සරල ගුණ අනෙකුත් චෛතසික විසින් අත්පත් කරගනු ලැබේ. එවිට සතියට ලැබිය යුතු මෙම ගරු සම්මාන සියල්ල ලැබෙන්නේ ඒ ඉන්ද්‍රියයන්ට ය. මේ නිසා සතියේ වටිනාකමත් නිහඬ විනිවිද දක්නාසුලු ගුණයත් ප්රත්යක්ෂ කර ගැනීමට නම් සතියේ මෙම ගුණ හොඳාකාර ව ම කල් තියා දැනගත යුතුය. ඒවා හඳුනාගත යුතු ය. සතිය ගමන් කරන්නේ මන්දගාමී ව හා ආයාසකර ව ය. එහි කටයුතු ඒකාකාරී ය. එසේ වුව ද, සතිය යම් තැනෙක තම පය ගැසුවොත් එතැනින් ඉවත් කර ලීම අපහසු ය. එසේම තමා බලය පැතිරවූ භූමි ප්‍රදේශය නියම ලෙස තම වසඟයේ පවත්වන්නටත් සමර්ථ ය. ආධිපත්‍යය පතුරුවාගෙන එය පැවැත්වීමටත් සමර්ථ ය.
මෙවන් ගුණ ඇති මනුෂ්‍ය චරිත සාමාන්‍ය ජීවිතයේ දී කැපී නො පෙනෙන්නාක් මෙන් සතියද සැලකිල්ලට භාජනය වන්නේ නැති තරම් ය. බොහෝ විට අවතක්සේරුවට පවා ලක් වේ. නිහතමානී ගුණයෙන් යුක්ත මේ සතියේ ගුණ කියන විට එහි සැඟවී ඇති හැකියාවල් මතු කරගැනීමට හෙවත් ගැබ් වී ඇති සම්පත්තිකර ගුණ මහිමය ඔප් නංවා දීමට බුදුරජාණන් වහන්සේ වැනි මහා පුරුෂයකු ම පහළ විය යුතු ය. බැලූ බැල්මට කුඩාවට පෙනෙන මෙවන් දෙයක ශක්ති ප්‍රභාව විනිවිද දැකීමට හා ප්‍රසිද්ධ ලෙස වැඩට ගැනීමට මහා පුරුෂයකුම අවශ්‍ය ය. මේ අනුව, මෙහි දී කුඩා නුමුදු දෙයක ඇති මහා බලය හෙළිදරව් වීමක් සිදු වේ. වටිනාකම යළි ඇගැයීමක් කෙරේ. මහා දේ හා කුඩා දේ අතර මිනුම වෙනසකට බඳුන් වේ. සතියේ බල මහිමය අඩයක්, ආකීමීඩියානු ලක්ෂ්‍යයක් කරගෙන අනන්ත වූ ලෞකික දුක් සමුදාය නැංගුරම් ලා සිටින අවිද්‍යා හා තණ්හා මූලයන් ගෙන් උදුරා දමා ලීමට බුදු රජාණන්වහන්සේ සමත් වූ සේක.
සතිය සතු මේ බලය හෙවත් සතියේ බල මහිමය සම්බන්ධයෙන් සර්වඥයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සතිං ඛ්වාංහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි” [අග්ගි සූත්‍රය, සං. නි. 5(1) – (බු. ජ. ත්‍රි. 218 පිට)] – “මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමැති විය යුතු ය යි මම කියමි.”
එසේම:
“සතාධිපතෙය්යාය සබ්බෙ ධම්මා” [කිංමූලක සූත්‍රය, අං. නි. 5 – (බු. ජ. ත්‍රි. 344 පිට)] – “සියලු දහම් සතිය ආධිපත්‍යය කොට ඇත්තේ ය.”
මීට අමතර ව, සතියෙහි පදනම හෙවත් ප්‍රතිෂ්ඨාව ගැන දේශිත සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ මෙන්ම අවසානයේ ද ඇති මෙම බරසාර වාක්‍යය ගැන සලකන්න.
“මහණෙනි, සත්ත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ශෝක පරිදේවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයට පැමිණීම පිණිස, නිවන් සාක්ෂාත් කිරීම පිණිස මේ ඒකායන මාර්ගයෙක් වෙයි. එනම් සතර සතිපට්ඨානයෝයි.”
සති මාත්‍රය හෙවත් ක්ෂණ මාත්‍ර සතිය
සාමාන්‍ය ජීවිතයේ සතිය හෙවත් අප්‍රමාදය කිසියම් අරමුණකට යොමු කළ හොත්, එය එම අරමුණ පිළිබඳ ඇති සැටිය අවබෝධ කරගැනීමට තරම් සෑහෙන කාලයක් පවත්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ සති මාත්රයත් සමග ම අරමුණ පිළිබඳ ව ප්‍රපංච කිරීමට පටන් ගැනීමයි. මේ අනුව චිත්තවේගී ප්‍රතික්‍රියා, අගතිගාමී සිතුවිලි, ප්රත්යවේක්ෂණ හෝ සචේතනික ක්‍රියා සමග සති මාත්‍රය පටලැවේ. ධර්මයට අනුව, සතිය බොහෝ විට සම්පජඤ්ඤයත් සමග සමීප සම්බන්ධතාවක් පවත්වයි. මේ සිහිය සහ නුවණ (සිහි නුවණ) වනාහි කළ යුතු නො කළ යුතු බව, කළ හැකි නො කළ හැකි බව සහ තමාගේ රුචි අරුචි බව යන කාරණා අනුව පහළ විය හැක්කේ ය. මේ අනුව පෙනී යන්නේ සතිය සාමාන්‍යයෙන් තනි ව පෙනී නොසිටින බවයි. මේ කාරණය තේරුම්ගෙන සතියේ නියම බලය දියුණු කිරීමට නම් එය නිර්මල ව අමිශ්‍ර ව හඳුනාගැනීම වැදගත් ය. මෙයට අපි සති මාත්‍රය, හුදු සතිය යැ යි කියමු.
සති මාත්‍රය අවබෝධ කිරීම හරහා වැඩ දෙකක් පිළිබඳ වැටහීම් සිදු වේ. එනම්, අරමුණක් හුදු සතියට ලක් වූ විට සිදු වන්නේ කුමක් දැ යි යන්නත් අනතුරු චිත්තක්ෂණවල සිදු වන්නේ කුමක් දැ යි යන්නත් වටහා ගැනීමයි. මෙයට සති මාත්‍රය යැ යි නම් කිරීමට හේතුව නම්, මේ සතිමත් වීම අනුව කිසි ම කායික වාචසික හෝ මානසික ප්‍රතික්‍රියාවකට නතු නො වී ඇති තතු ඇති සැටියෙන් ම දැකීම ය. මෙම සතිමත් චිත්තක්ෂණය කෙනකුගේ අවධානයට ලක් නො වී ගිළිහුණොත් එය අරුමයක් නො වේ.
කෙසේ නමුත් සතියේ බල මහිමය දියුණු කිරීම සඳහා නම්, මෙම ක්ෂණ මාත්‍ර සතිය සමාධියකට ප්‍රමාණවත් වන තුරු අඛණ්ඩව පැවැත්වීම අත්‍යවශ්‍ය ය. මේ අනුව එනම් සතිපට්ඨාන සූත්‍රයට අනුව – මෙම සති මාත්‍රය නිවනට දොර විවෘත කරන යතුරයි.
සති මාත්‍රය දියුණු කරගත හැකි ක්‍රම දෙකකි.
- කර්මස්ථාන භාවනාව; තෝරාගන්නා ලද අරමුණකට මනසිකාරය යෙදවීම හරහා කරන ක්රමික භාවනාව.
- එදිනෙදා කටයුතුවල දී හැකි තරම් සිහි නුවණින් කටයුතු කිරීමේ දෙවැනි ක්‍රමය.
මෙම ක්‍රම පිළිබඳව අන් තැන්වල දී විස්තර සපයා ඇති නිසා මෙහි ලා නැවත ඇතුළත් නො කරමු. (බෞද්ධ භාවනාවේ හදවත, පූජ්‍ය ඤාණපොනික හිමි, පරිවර්තනය: දොස්තර ජයසිංහ මහතා)
මෙම රචනයේ අදහස, සති මාත්‍රය යන්න හඳුන්වා දීමත් එම සතිය ම සති බලයක් බවට පත් කරගන්නා ආකාරය දැක්වීමත් ය.
විශේෂයෙන් කෙළවරක් නැති බාහිර කටයුතු අන්ධානුකරණයෙන් පිදීමට පුරුදු ව සිටින මෙවැනි යුගයක සමහරු මෙසේ ප්‍රශ්න කරති. හුදු සති මාත්‍රය පමණකින් මෙතරම් මහඟු ප්‍රතිඵල ලැබෙන්නේ කෙසේ ද? එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ හේතු දැක්විය හැකි ය. සැක පහළ කර නො ගෙන බුද්ධ වචනයට අනුව පළමුව අත්හදා බලන්න. කෙසේ නමුත්
මාර්ගෝපදේශකයකු නැති ව ඒ ගැන තවම ඇදහීමක් නැති අය, ඉතා ම අහිංසක, ඒ නිසා ම අමුත්තක් හැටියට පෙනෙන සතිය වැනි ධර්මයක් සාධාරණ හේතු නොමැති ව අනුගමනය කිරීමට පැකිළෙනු ඇත. එහෙයින් පාඨකයාගේ පරීක්ෂණය සඳහා උපකාර වන “සාධාරණ හේතු” පහත දක්වනු ලැබේ. එහෙයින් මෙය සතිපට්ඨානයෙහි සාරාර්ථය ගැන දිය හැකි හැඳින්වීමක් හැටියට ද, එහි පුළුල් දර්ශන පථ පිළිබඳ පිළිබිඹුවක් හැටියට ද අදහස් කරනු ලැබේ. තව ද මෙම ප්‍රතිපදාවට පිළිපන් අය, මතු සඳහන් කරනු ලබන දේවල් තමා ම අත්දකිනු ඇතැ යි යනු අපගේ විශ්වාසයයි. එමඟින් ඔහුට තව තවත් සති අභ්‍යාසය පුරුදු කිරීමට අවශ්‍ය උනන්දුව සහ චිත්ත ධෛර්යය ලැබෙනු ඇත.
සති මාත්‍රයට ආසන්න කාරණා
බලවත් සතියක් ඇති වීමට පාදක වන මේ සති මාත්‍රයෙහි ආසන්න කාරණා හෙවත් පදට්ඨාන හතරක් වේ. ඒවා එක ම මූලාශ්‍ර සේ දැඩි ව ගත යුතු නැත. කෙසේ නමුත් මේවා මානසික වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන බව සලකන්න. ඒවා නම්:-
- සති මාත්රයේදී පුරුදු කරනු ලබන “පිරිසිඳ දැකීම හෙවත් වෙන් කොට හඳුනා ගැනීම” හා ඒ අනුව “නම් කිරීම.”
- සති මාත්‍රය සතු අවිරුද්ධ ප්‍රතිපදාව, නො ගැටෙන බව.
- සති මාත්‍රය සතු නැවතිල්ලේ කටයුතු කරන බව හා නිරෝධය පිළිගැනීම.
- සති දියුණුව අනුව ඉදිරියේ දී පහළ වන විපස්සනා ඥාන දර්ශනය.
(මතු සම්බන්ධයි)