සුජාතා මහ රහත් තෙරණින් වහන්සේ

rashi
By rashi
8 Min Read

අශෝකා අබේවර්ධන

ගිහි බව නමැති කෙලෙස් ඕඝයෙන් පැන පැවිදි බව නම් ක්ෂේම භූමියට සැපැත් ව ඉන් පසුව රහත් බව නමැති මාණික්‍ය රත්නය සොයාගත් උතුමන් වහන්සේලා සූවිසි අසංඛ්‍යයක් වෙතැ යි නොයෙක් දේශනාවන්හි අපි අසා ඇත්තෙමු. එසේම ඒ උතුම් අසිරිමත් මාණික්‍ය රත්නය ගිහි කටු අකුළෙහි සිටිය දී ම සොයාගෙන අනතුරු ව පැවිදි වූ රහතන් වහන්සේලා කිහිප නමක ගැන ද අසා ඇත්තෙමු.

ශුද්ධෝදන පිය මහ රජ්ජුරුවන් වහන්සේ දිව්‍ය මාළිගයක් බඳු රජ මාළිගයක ගිහි ව සිටිය දී බුදුරජාණන් වහන්සේ ගෙන් අමා ධර්මය අසා සත්‍යය අවබෝධ කොට ගෙන රාග, දෝස, මෝහා දී සියලු කෙලෙස් ධර්මයන් නසා දමා අරහත් භාවයට පත් ව ගිහිවත දරමින් සිටිය දී ම පිරිනිවන් පා වදාළ සේක. උන් වහන්සේ පැවිදි බිමට ඇතුළු වූවේ නැත.

දාරුචීරිය උතුමාණන් වහන්සේ ද සියලු කෙලෙස් ධර්මයන් නසා දමා පිරිනිවන් පා දුක්බර වූ සංසාර ගමන නිමා කොට ගත්ත ද අරිහත් ධජය නම් වූ උතුම් චීවරය දරන්නට වාසනාව ලැබුවේ නැත. බුද්ධ ශාසනයක ඇති අටමහා කුසලයන්ට අයත් වූ අෂ්ට පරිෂ්කාර පූජාව මහා කුසලයක් ම බව ලොව්තුරා බුදු රජවරුන් ශ්‍රී මුඛ දේශනාවන්හි ඉස්මතු කොට දක්වා තිබෙන්නේ ශ්‍රාවක ජනයා කෙරෙහි පවත්නා මහානුකම්පාවෙන් ම වේ.

භද්දජී මහ රහතන් වහන්සේ ද මහ බෝසතාණන් වහන්සේ තරමට ම පෙර ප්‍රත්‍ය මහිමයෙන් ලද සැප සම්පත් සපිරි ජීවිතයක් ගත කරමින් සිටි අතරතුර දී ම සර්වාභරණයෙන් සැරසී ගිහි ව සිටිය දී අපගේ සම්බුදු හිමි රජුන්ගේ අමා දහම් අසා සත්‍ය අවබෝධ කොට ගෙන අරහත්වයට පත් ව පසුව උතුම් පැවිදිභාවයට පත් වූ අසිරිමත් කථාපුවත ශ්‍රද්ධාව කුළුගන්වනසුලු‍ ය. උග්ගසේන සිටු පුත්‍රයා ද එසේ ගිහි වත් දරා සිටිය දී ම රහත් ව පැවිදි වූ බව කියැවේ.

ගිහි වතින් රහත් වී අනතුරු ව පැවිද්ද ලැබීමේ දුලබ වරම පුරුෂ පක්ෂයට පමණක් උරුම වූවක් නො වේ. එබඳු වරමක් ලද මහ පිනැති උත්තමාවක ගැන පුවතක් මෙසේ ය. උන්වහන්සේ නමින් සුජාතා මහ රහත් තෙරණින් වහන්සේ වෙති. සුජාතා මහරහත් තෙරණින් වහන්සේ සිටු කුලයක ඉපිද සම ජාතික සිටු කුමාරයෙකු හා විවාපත් ව සුවසේ වෙසෙන්නී උයනට ගොස් නැකැත් කෙළි කෙළිමින් සිට පිරිවර ජනයා සමඟ නගරයට එන අතරතුර දී අඳුන් වනයෙහි වෙසෙන බුදු රජුන් වෙත එළඹ සැදැහැයෙන් වැඳ එකත් පසෙක සිටියා ය. “සත්ථා දේව මනුස්සානං” ගුණ සපිරි අනුත්තර බුදු පියාණන් වහන්සේ මේ සුජාතා සිටු කුමරිය අරමුණු කොට ගෙන ඈ කෙරෙහි අපරිමිත අනුකම්පාවෙන් කරුණාවෙන් පළමුකොට ම අනුපිළිවෙළ දහම් කථාව කියා දුන් සේක. (දාන කථා, සීල කථා, සග්ග කථා, කාමයන්ගේ ආදීනව කථා, එහි පහත් බව හා කෙලෙසීම ගැන කථා, නෙක්ඛම්මයෙහි ආනිශංස පැවසීම වශයෙනි.)

තමන් වහන්සේගේ අසිරිමත් දහම් කතාවෙන් සුජාතා සිටු දේවියගේ පිංබර චිත්ත සන්තානය නමැති පිං කෙත කෙලෙස් වල් පැළෑටි බෙලහීන ව ගොස් මනාව සැකසුණ බව දුටු බුදු පියාණන් වහන්සේ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය නමැති සරු බීජයන් වපුරාලමින් ඉතා ලුහුඬින් දහම් මඟ කියා දුන් සේක. ඒ බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් දේශනා ප්‍රාතිහාර්යයයි.

මැනැවින් සැකසූ සරුසාර කෙත් බිමෙක වපුළ පිං බීජයන් මහත් ඵල දරන්නට බොහෝ කල් නො ගන්නා බව සත්‍යයකි. කෙටි කලකින් ම මල් පිපී සුවඳ පතුරුවා ලන්නේ ද අසිරිමත් බවෙකිනි. ලුහුඬු වුවත් මනා කොට දේශිත ශ්‍රී සද්ධර්මය මනා කොට පිහිටුවා ගත් සිතින් සවන් දී අවසන ඕතොමෝ තමා විසින් සසරෙහි දිගු කලක් ම කරන ලද පුණ්‍යාධිකාර්යය ඇති බැවින් ද, විදසුන් මුහුකුරා ගොස් තුබූ බැවින් ද බුදු රජුන්ගේ අසිරිමත් දේශනා විලාසය නිසා ද හුන් අයුරින් ම අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යන සිව්පිළිසිඹිියා සහිත මහ රහත්භාවයට පත් වූවා ය.

රහතන් වහන්සේ නමක අරහත් භාවයට පත් වන විට නසා දමන දස සංයෝජන ධර්ම අතර මාන සංයෝජන ධර්මය ද වේ. සංයෝජන ධර්ම නමැති යදම් පට සත්ත්වයා සසරට ම බැඳ තබන්නේ ය. අරහත් තත්ත්වයත් සමඟ ම මාන නමැති (රැහැන් පට) සංයෝජන ධර්මය ද සිඳී විනාශයට පත් වේ. එම නිසාවෙන් මානය සිඳ දමන්නට රුකුල් දෙන, චිත්ත ශක්තිය ලබා දෙන වෘද්ධාභිවන්දන කුසලය නිතර සිදු කිරීම බෙහෙවින් ම අගනේ ය.

සුජාතා මහ රහත් තෙරණින් වහන්සේ සියලු ගිහි බැඳීම් පමණක් නො ව භවගාමී සංසාරික බැඳුම් සියල්ල ලෙහා දැමූ පසුව ද බුදු සසුනෙක මෙන්ම නිකලෙස් බවෙහි ඇති අසිරිමත් බව ද ලොවට පෙන්වා දෙමින් එතුමින් වහන්සේ පෙර ගිහි ගෙදර බැඳීම් සහිත ව සිටි සිය සැමියා ගෙන් ද, දෙගුරුන් ගෙන් ද අනුමැතිය ලබාගෙන බුදු රජුන්ගේ අණින් භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තා ය. අරහත්භාවයට පත් වීමෙන් පසු වුවත් එසේ අනුමැතිය ඉල්ලා සිටීම අසිරිමත් කරුණෙකි.

සියලු කෙලෙස් නසා දමා අරහත් බව ලබා ගැනීමට ගිහිවත බාධාවක් නො වූව ද රහත් උත්තමයන් වහන්සේ නමක් දරා සිටීමට ගිහිවත සවිමත් නො වේ. බලවත් නො වේ. තේජාන්වින නො වේ. කිසියම් උතුමෙකු ගිහි ව සිටිය දී සියලු කෙලෙස් නසා අරහත්භාවයට පත් වූයේ නම් උන් වහන්සේ එක්කෝ පැවිදි විය යුතු ය. නොඑසේ නම් පිරිනිවන් පා වදාළ යුතු ය. එසේ වුව ද කවර භූමියක සිට හෝ කෙලෙස් නසා ලීම ම උතුම් වේ. රහතන් වහන්සේට ඇත්තේ ස්වකීය අවසන් කය පරිහරණය කිරීමේ පළිබෝධය පමණක් ම වේ.

එසේ කෙලෙස් නසා දැමූ පසු එම උත්තමාවියට ඇත්තේ තමන් ලබා ගත් නිකලෙස් සුවය පිළිබඳ උදානයන් ගෙන හැර පෑම මිස වෙන අන් කුමක් ද? සංසාර කෙලෙස් බර හිස මතින් බිමට හෙ`එෑ පසු කිසිදු බියක් නැති ඒ උත්තමාවිය සියල්ලෙන් ම නිදහස් ය.

එතුමින් වහන්සේ නිවන උදෙසා කළ යුතු සියල්ල ම නිමා කොට වදාළා ය. “කතං කරණීයං” “වුසිතං බ්‍රහ්ම චරියං” අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා පත් මහ රහත් උත්තමාවියක වූ සුජාතා තෙරණියන් වහන්සේ තම අතීත සංසාර ගමන් මඟ මැනැවින් දුටුවා ය. උන් වහන්සේගේ පාරමිතා ගමනෙහි මූලාරම්භය කවදා, කෙසේ සිදු වූවා දැ යි ථෙරිගාථා අටුවාවෙහි සඳහන් ව නැතත් පෙර බොහෝ බුදු සසුන් හිදී දාන සීලාදී බොහෝ පින් කුසල් කොට රැස් කොට ගත් මහා පින් කඳක් ඇති ව අපගේ ගෞතම නම් වූ බුදු රජුන් හමු වන තුරු ම සුවසේ ම පැමිණි බව සඳහන් වේ.

අන්නංපානඤ්ච ආදාය ඛජ්ජභොජ්ජමනප්පකං
ගේහතෝනික්ඛමිත්වාන උය්‍යානමභිහාරයිං

තත්ථ රමිත්වා කීළිත්වා
ආගච්ඡන්තී සකං ඝරං
විහාරං දට්ඨුං පවිසිං
සාකේතේ අඤ්ජනං වනං

දිස්වාන ලෝකපජ්ජෝතං
වන්දිත්වාන උපාවිසිං
සෝ මේ ධම්මදේසේසි
අනුකම්පාය චක්ඛුමා

සුත්වා ච ඛෝ මහේසිස්ස
සච්චං අප්පටිවිජ්ඣහං
තත්ථේව විරජං ධම්මං
ඵුස්සයිං අමතං පදං

තතෝ විඤ්ඤාතසද්ධම්මා
පබ්බජිං අනගාරියං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා
අමෝඝං බුද්ධසාසනං

අබරණින් සැරසී විසිතුරු ඇඳුම් ඇඳගෙන මල් මාලා පැළඳ සඳුන්සුණු අලෙව්දි දාසි සමූහයා විසින් පිරිවරන ලදුව ආහාරපානාදී ඛාද්‍යභෝද්‍ය බොහෝ සෙයින් රැගෙන ගෙයින් පිටත් ව උයනට ගියෙමි.

එහි කෙළිදෙළෙන් පසුව තම ගෙදරට පෙරලා එන අතර සාකේත නුවර අඳුන් වනයෙහි වූ විහාරය බැලීමට එහි පිවිසියෙමි.

ලෝකයට පහනක් වැනි වූ ඒ බුදුන්වහන්සේට වැඳ පසෙක හිඳගතිමි. මට අනුකම්පා කළ උන්වහන්සේ ධර්මය දේශනා කළ සේක.

ඒ බුදුන්ගේ බණ අසා මම සත්‍යය අවබෝධ කළෙමි. එතැන්හි දී ම ඒ ධර්මය අවසාන කොට ඇති අමාමහ නිවන ස්පර්ශ කළෙමි.

ඉන් පසු දැනගත් දහම් ඇති මම අනගාරික ශාසනයෙහි පැවිදි වීමි. ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ අවවාදය නොසිස් වූවකි.

දුක්බර වූ කඨෝර වූ මේ සංසාර කතරින් එතෙර වූ මුණිවරයාණන් වහන්සේලා අතරට එක් ව පිරිනිවන් පා වදාලීම තරම් අසිරියක් මේ සක්වළ තලයෙහි නො වේ.

එලෙස ම සුජාතා මහ රහත් තෙරණියන් වහන්සේ ද එම අසිරිමත් බව අත් දුටුවා ය. අපට ද ඉතා ඉක්මන් භවයක දී ඒ අමා නිවන් සුවය අත් විදීමට පුණ්‍ය මහිමය උදා වේ වා! කරන කරන සියලු පින් මහිමයන් ඒ උදෙසා ම වේ වා!

සැමට තෙරුවන් සරණයි!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *