සැලසුම්සහගත වීමේ අගය

cmadurawala
3 Min Read

භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා සැලසුම්සහගත වීම අවශ්‍ය ය. එනමුත් සැලසුම් තිබුණු පමණින් ම ද සියල්ල සාර්ථක නො වේ. ජීවිතය යනු හැලහැප්පිලි සහිත ව යන ගමනකි. විටෙක සාර්ථක ය. විටෙක අසාර්ථක ය. ඒ අටලෝ දහම ය. ඒ බැව් වටහාගෙන සැලසුම් සකස් කරන්නේ නම් අනපේක්ෂිත ලෙස සියල්ල කඩා වැටෙන අවස්ථාවල දී දැඩි චිත්ත පීඩා ඇති නො වේ.

සමහරු බලාපොරොත්තු ඉහළින් ම තබාගෙන සිටිති. සුබවාදී ව සිතීම, පැතීම නරක නැත. එහෙත් සුබවාදී වීම යනු සිහින ලෝකයක මායාවන් අතර අතාර්කික ව සැරිසැරීමක් නො විය යුතු ය.

පිටු ගණන් ලියූ සැලසුම් කොට්ටය යටින් තබාගෙන නිදාගත් පමණින් ඒවා මුදුන්පත් කරගත හැකි වන්නේ නැත. ඒ සම්බන්ධ නිවැරදි පූර්ව තක්සේරුවක් කර තිබීම අවශ්‍ය ය. ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ද යන්න පමණක් නො ව නිවැරැදි, පිරිසිදු බුදුදහමට අනුකූල ද, තමනුත් අන්‍යයනුත් මුළාවේ හෙළන ක්‍රියාමාර්ග එහි ඇතුළත් නො වේ ද වැනි කරුණු කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. දියුණු වීමේ කෙටි මං ඇත. එහෙත් ඒවා දහමට පටහැනි ය. එවැනි සැලසුම් බැහැර ලිය යුතු ය.

ඕනෑ ම සැලසුමක් ක්‍රියාත්මක වීමට නම් ක්‍රමවේදයක් හා කාල රාමුවක් තිබිය යුතු වේ. සමහර අයගේ සිත්වල මහමෙරක් උසට සැලසුම් පවතින නමුත් ඒවා ක්‍රියාවට නැංවීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධ ව ඔවුන් නො දැනුවත් ය. මෙවැනි අය ජීවිතය දැනටමත් හරි පාරේ ගොස් ජයගෙන සිටින අය වෙතින් උපදෙස් පැතිය යුතු ය. ඔවුනට නිසි මඟ පෙන්වීම සඳහා සිද්ධස්ථාන, අධ්‍යාපනික හා සමාජ සේවා ආයතන, සංවිධාන හරහා විධිමත් වැඩසටහන්, උපදේශන සේවා වැඩි වැඩියෙන් දියත් විය යුතු ය.

ජීවිතය දැහැමි ලෙස ජයගැනීම පිණිස උපකාර කරන සංවිධාන හා ආයතන ගණනාවක් අප රට තුළ ද පවතියි. එහෙත් ඒවායේ සේවය ලබාගැනීමටත් පිනක් තිබිය යුතු ය යි සිතෙන තරමට සමහරු ඒවායේ සේවාව ලබාගැනීමට මන්දෝත්සාහී ය. මේ අතර සමහරුන් අන්‍යයන්ගේ මඟපෙන්වීම් ලබා ගැනීමට යොමු නො වන්නේ තමන් සිතන ආකාරය ම නිවැරදි බවට අධිතක්සේරුවක් තමන් තුළ ඇති හෙයිනි. මේ අය සම්බන්ධයෙන් නම් කළ හැකි කිසිවක් නැත. අහම්බයකින් හරි ගියොත් මිස සිය දහස් වරක් වැරදුණත් මෙවැනි අය පාඩම් ඉගෙන ගන්නේ නැති තරම් ය.

ජීවිතය යනු කෙටි කාල පරිච්ඡේදයකි. ඒ කෙටි කාලයෙනුත් කොපමණ කාලයක් අපට තව ඉතිරි ව තිබේ ද යන්න අපි නො දනිමු. අනෙක, අප ලබා තිබෙන්නේ බුදුදහමෙහි පෙන්වන පරිදි විරල, වටිනා මනුෂ්‍ය ජීවිතයකි. ඒ නිසා රිසි රිසි පරිදි අත්හදාබැලීම් කරමින් නාස්ති කිරීමට කාලයක් අපට නොමැත. අප යා යුතු යුතු මඟ දහමෙහි පැහැදිලි ව පෙන්වා දී ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *