එය හුදෙක් එපමණයි

cmadurawala
8 Min Read

වූ යැන්ශෙං ලියූ Chinese Zen: A Path to Peace and Happiness කෘතියෙනි.

පරිවර්තනය – ආලෝක ෆර්ඩිනැන්ඩු

සෙන් බුදුසමය ඍජු අත්දැකීමෙහි වැදගත්කම අවධාරණය කරයි. “වතුර බොන තැනැත්තා එය උණු ද ඇල් ද යන වග හරියට ම දනී,” යන වේදිකා සූත්‍ර පාඨයෙන් කියැවෙන්නේ එබඳු පෞද්ගලික අත්දැකීමක් ගැන ය.

වතුර වීදුරුවක් පානය කරන ඔබ ද මා ද දෙදෙනා ම එය උණු යැ යි කීව ද, එයින් අදහස් වන්නේ එක ම දෙයක් නො විය හැකි ය. මා උණු යැයි කියන්නේ සෙල්සියස් අංශක 60ක් වත් උණු වන විට වුවත්, ඔබ අංශක 45 වතුරට උණු යැ යි ව්‍යවහාර කරයි. උණු යන්න අප දෙදෙනා ම යෙදුව ද, උණු ගතිය අත්විඳින්නේ අප එකිනෙකා වෙන වෙන ම ය.

අපගේ ආධ්‍යාත්මික සංජානනයන්ට අනුව අප දුක සහ සතුට නිර්ණය කරන අන්දම, වතුර වීදුරුවක උණු බව – ඇල් බව නිර්ණය කිරීමෙන් වෙනස් නො වේ.

ශ්‍රේෂ්ඨ චීන භාවනා ආචාර්යවරයකු වූ හොං යි (1879-1942) ගේ හොඳ යහළුවකු වූයේ, ප්‍රකට අධ්‍යාපනඥයකු වූ ක්සියා මියැන්සුන් ය. දිනක් හොං යි ඇදුරුතුමන් බැහැදකින්නට ආ ක්සියා මහතා දුටුවේ එතුමන් ලු‍ණු දැමූ එළවළු සහිත කුඩා දීසියක් අනුභව කරමින් හිඳින අන්දමයි. “ලු‍ණු වැඩි නැත් දැ?” යි ඔහු අසා සිටියේ ය.

“ලු‍ණු දාපු කෑමෙ තියෙන්නෙ ලු‍ණු රස නෙ,” ඇදුරුතුමා කීවේ ය.

ආහාරයෙන් පසු එතුමා උණු වතුර වීදුරුවක් වත් කරගෙන පානය කළේ ය.

“කිසි ම රසක් නැති බීමක් නේ ද?” ක්සියා මහතා නැවත ඇසුවේ ය.

“රස-නැති බීමෙ තියෙන්නෙ රස නැති රස නෙ,” ඇදුරුතුමා සිනා පාමින් කීවේ ය. ක්සියා මහතා මේ අසා බෙහෙවින් පැහැදුණේ ය.

ලු‍ණු දැමූ යමක ලු‍ණු රස අත්දැකිය හැකි සේ, රස-නීරස නැති යමක එසේ නැති බව අත්දැකිය හැකි වේ. අවබෝධයට පත් මනසක ස්වභාවය මෙයයි.

වීදුරුවක වතුර කැළඹුණු විට විනිවිද දකින්නට බැරි ය. අපගේ මනස් ද එබඳු ය. ඒවා නිතර කැලඹී ඇත්නම්, බැහැර ඇති කිසිවක් දකින්නට නො හැකි ය. අප සන්සුන් කරලන්නට සෙන් පුහුණුව අවශ්‍ය වන්නේ එබැවිනි.

කරාමයෙන් බොන වතුර එන්නට පෙර ඒවා මුලින් ම තිබුණේ ගංගාවේ ය. වැස්සෙන් පසු නිතර බොර වන මේ ගං දිය පිරිසිදු කරන්නට මිනිස්සු වතුර බටයට රසායනයක් එක් කළෝ ය. ටික වේලාවකින් අපද්‍රව්‍ය ටික පතුලට කිඳාබැස්ස අතර, වතුර ඉතා පැහැදිලි වී, බීමට ගත හැකි තත්ත්වයට පැමිණියේ ය. සෙන් භාවනාවෙහි මූලධර්මය මෙයයි.

අපේ මනස විවිධාකර සිතුවිලිවලින් අපවිත්‍ර වී කැළඹී තිබෙන විට, අර රසායනය කළාක් මෙන්, සෙන් භාවනාව විසින් එම කිලුටු ඉවත් කර දෙනු ලැබේ. මෙවිට අපට පැහැදිලි ව දකින්නට හැකි වෙයි. ‘ශ්‍රේෂ්ඨ වූ ඉගෙනුම’ නමැති කොන්ෆියුසියානු කෘතියෙහි මෙසේ එයි: “සීමාව ඉගෙනගන්න, එයින් ස්ථායී බව ලැබගන්න. ස්ථායී වූ පසු නිශ්චල බව ලැබගන්න. නිශ්චල වූ පසු සාමය ලැබ ගන්න. සාමය ලැබූ පසු සිතන්න; සිතා සියල්ල ලැබගන්න.”

බෞද්ධ ආරාමයකට දිනපතා ටෝෆු සැපයූ වෙළෙන්දෙක් විය. හැම දා ම වාගේ ඔහු ටෝෆු රැගෙන එන විට, භාවනා ශාලාවේ භික්ෂූහු කිහිප නමක් එරමිණිය ගොතාගෙන ඇස් පියාගෙන සිටිති. මේ අය කුමක් කරන්නේ දැ යි අදහසක් වෙළෙන්දාට නො වී ය. දිනක් ඔහු තම කුතුහලය සන්සිඳවා ගන්නට සිතා, විහාරාධිපති හිමියන් ගෙන් මේ ගැන අසා සිටියේ ය.

“මොකක් ද ලොකු හාමුදුරුවනේ මේ අය උදේ ඉඳන් රෑ වෙනකල් ඇස් පියාගෙන හෙල්ලෙන්නෙ නැතුව කරන්නෙ?”

“එන්ඩකො ටිකක්,” විහාරාධිපති හිමියෝ මඳ සිනා පා කී හ. “අද ටිකක් පරක්කු වෙලා ගෙදර ගියාට කමක් නෑ නෙ. ඔතනින් ටිකක් ඉඳගෙන ඉන්ඩකො.”

ටෝෆු වෙළෙන්දා ටික වෙලාවක් ආරාමයේ භික්ෂූන් සේ ඉඳගෙන සිටියේ ය. පැය බාගයකට පසු ඔහු කෑගසමින් භාවනා ශාලාවෙන් පිටතට ආවේ ය. “පුදුමයි, හරි ම පුදුමයි! එරමිණිය ගොතාගෙන ඉඳගෙන ඉන්න එක ඔය තරම් වටින දෙයක් කියල මම දැනගෙන හිටියෙ නෑ නෙ.”

“බොහොම ඉක්මනින් භාවනා දියුණුවක් ලැබුව එහෙනම්,” විහාරාධිපති හිමියෝ කී හ.

“ගොඩක් වෙලාවට මගෙ ඔළුව යකාගෙ කම්මල වාගෙ, නැත්නම් බොර වෙච්ච හොද්දක් වාගෙ. එරමිණිය ගොතාගෙන ඉන්නකොට තමයි මට දේවල් පැහැදිලි ව පේන්ඩ පටන් ගත්තෙ. දැන් මට හැම දේම හොඳට මතකයි. මට හදිසියේ මතක් වුණා, මීට අවුරුදු තිහකට කලින් අල්ලපු ගෙදර පුංචි වං මගෙන් ෆෙන් පහක ටෝෆු ණයට ගත්තා, අද වෙනකල් මිනිහ ඒක ගෙවල නෑ!”

විනෝදබර කතාවක් නමුත් මෙහි සිතා බලන්නට බොහෝ දෑ ඇත. දවසකට මිනිත්තු පහළවක් භාවනා කරන්නට ඔබට පුළුවන් නම්, මාසයක් නො කඩ ව මෙසේ කරන්නටත් පුළුවන් නම්, ඔබ ඉතා පැහැදිලි ප්‍රතිඵල අත් කරගනු ඇත. හිත සන්සුන් කරගන්නට අපට පුළුවන් වේ නම්, එය ම, මනින්නට බැරි තරම් වටිනා ඵලයකි.

ඔබ සෙන් ආශ්‍රමයකට ගොස් සෙන් යනු කුමක් දැ යි පැහැදිලි කරන ලෙස ඇදුරුතුමකු ගෙන් ඉල්ලා සිටියොත්, ඒ කවුරුත් වාගේ ඔබට දෙන්නේ මෙවැනි පිළිතුරකි.

“විනිවිද දකින්න, අතහරින්න, සැහැල්ලු‍ වෙන්න!”

මෙය පාඨයෙන් සෙන් දහමෙහි සැබෑ අරුමය ප්‍රකාශ වෙයි. විනිවිද දැකීමන් පමණක් අපට අත් හරින්නට හැකි වේ. අත්හැරීමෙන් පමණක් අපට ජීවිතය සැහැල්ලු‍ කරගන්නට හැකි වේ.

මේ ලෝකයෙහි ජීවත් වන අපට විවේකී වූත් සන්සුන් වූත් සැහැල්ලු‍වක් අවශ්‍ය වේ. ඇස් නිලංකාර වූ උමතු නූතනයා, පළමු කොට විනිවිද දකින්නටත්, ඊට පසු අත් හරින්නටත් ඉගෙන ගත යුතු ය.

වැරදි විනිශ්චයකට පැමිණීමෙන්, තමන්ට බෙහෙවින් ආදරය කළ පෙම්වතා අහිමි කරගත් තරුණියක් සිටියා ය. තමා ගත් තීරණය ගැන බෙහෙවින් පසුතැවුණු ඈ ප්‍රේමය බිඳවැටීම භාරගන්නට නො හැකි ව, හරි හැටි කෑමක් – බීමක් ද නො ගෙන, මල් නටුවක් සේ කෙට්ටු වී සිටියා ය. තමන්ට දඬුවම් කරගැනීමෙන් ඇයට ප්‍රශ්නයට විසඳුමක් නො ලැබිණ. සෙන් පුහුණුව ගැන මා දන්නා බව ඇසීමෙන්, ඈ මා හමුවට පැමිණ ඇගේ විස්තරය කියා සිටියා ය.

මම ඇගේ කතාවට ඇහුම්කන් දී, විසිතුරු වීදුරු කෝප්පයක් ඇය අතට දී, සිද්ධ වූ දේ ගැන කණගාටු නො වී, මේ කෝප්පයේ ලස්සන බලා සතුටු වන්නැ යි කීවෙමි.

කලා සිසුවියක වූ ඈ ඒ කෝප්පයේ අපූරු හැඩයටත් විසිතුරටත් වසඟ වී සිටියා ය. ඒ මොහොතේ මම එය ‘අතහැරියෙමි’. පොළොවෙහි වැදුණු කෝප්පය කැබැලි වී යනු සමඟ ඈ අඬන්නට වූවා ය.

විසිරුණු කැබැලි දක්වා මම ඇයට මෙසේ කීවෙමි.

“ඔයාට ඇත්තට ම කෝප්පෙ ගැන දුක හිතුණා. නමුත් කොච්චර දුක හිතුණත් ඒක ආපහු තිබුණු තත්ත්වෙට ගන්ඩ බෑ. මෙතැන් පටන් දේවල් තුනක් හිතේ තියා ගන්ඩ.

එක – හොඳ කෝප්පයක් හදන්ඩ හරි අමාරුයි. නමුත් තප්පරේකින් ඒක කඩා දාන්ඩ පුළුවන්. ඒ නිසා, ලස්සන කෝප්පයක් තියනව නම්, ඒක හොඳට රැකබලාගන්ඩ ඕනැ.

දෙක – බිඳුණට පස්සෙ කෝප්පෙ ආයෙ හදන්ඩ බෑ. ඒ නිසා ඒ ගැන හිත කලබල නො වී ඉන්ඩ ඕනැ.

තුන – කෝප්පෙ බිඳුණෙ ඒක සාමාන්‍ය වීදුරුවෙන් හදපු නිසයි. ඒ වෙනුවට සවිගැන්වූ වීදුරුවෙන් හදල තිබුණ නම් බිf​ඳන්නෙ නෑ. ඔයා තමන් ව සවිගැන්වූ වීදුරු බවට පරිවර්තනය කරගන්ඩ ඕනැ.”

ඇය නික්ම ගියේ කඳුළින් යුතු ව වුව මහත් බරක් නිදහස් කරගෙන ය. අද ඈ එදාට වඩා ඉතා සැහැල්ලු‍ වූත්, ආත්මවිශ්වාසයෙන් යුක්ත වූත් ජීවිතයක් ගෙවන්නී ය.

කෝප්පය අතහැරීම නම්, විනිවිද දැකීමේ හැකියාව සහ භාරගැනීමේ හැකියාවයි. කෝප්පය එසවීම යනු යථා ස්වභාවය තේරුම් ගෙන දුකෙහි බර පිළිගැනීමයි. හැම කෙනකු ම ජීවිත කාලය තුළ මේ පාඩම් දෙක උගත යුතු ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *