මෙතෙක් සාරාංශය
“යෙධම්මාහෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ…”සත්පුරුෂ මහා ආර්යොත්තමයාණන් වහන්සේ නමක වූ අස්සජි මහා රහතන් වහන්සේ විසින් වදාරණ ලද මෙම ගාථා රත්නයේ පළමු පද දෙක පමණක් ශ්‍රවණය කිරීමෙන් උපතිස්ස පිරිවැජි තෙමේ සෝවාන් ආර්යශ්‍රාවකයෙකු බවට පත් වීමට එම ගාථා පද දෙකක අරුත පමණක් කෙසේ ප්‍රමාණවත් වූයේ ද යන්න පෙර පැහැදිලි කරන ලදි. ආර්යොත්තමයාණන් වහන්සේගේ දේශනාව ප්‍රඥාවෙන් විමසීම තුළ පිරිවැජි තෙමේ විසින් සාක්ෂාත් කරගනු ලබන්නේ හේතුඵල දහම බවත්, සියල්ල ම හේතු ඇති ව සැකසෙන හෙයින් අපේ සිත් තුළ හටගන්නා දුක උපදින්නේ ද හේතුවක් ඇති ව ම බවත්, එසේ නම් ඒ හේතූන් නිසා හටගන්නා දුක් එම හේතූන් නැති වුව හොත් නැවත ඇති වන්නට පිළිවන්කමක් නොමැති බවත් ඔබ වටහාගෙන ඇත.
එසේ නම් අපේ සිත් තුළ ඇති වන්නා වූ දුකට හේතුව සොයන්නේ කෙසේ ද? සෝක බිය දුක ඇති වන්නට එක ම හේතුව ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නා වූ තණ්හාව බවත්, දුක සහ තණ්හාව අතර ඇති අවස්ථා සම්බන්ධයත්, සබ්බාසව සූත්‍රය ඇසුරින් සෝවාන් ඵලස්ත පුද්ගලයකු බවට පත් වීමට අවශ්‍ය කෙරෙන මනසිකාරය වූ මෙම අවස්ථා සම්බන්ධය පිළිබඳ වත්, ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි යන්න විමසීමේ දී ඔහු මෙනෙහි කරනුයේ දුක සහ දුකට හේතුවත් - දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගයත් යන කාරණාවන් බවත් දීර්ඝ ව කරුණු පැහැදිලි කරන ලදී.
සැම දුකකට ම මුල් වන තණ්හාව අපව රවටමින් සසරේ රැගෙන යයි. ප්‍රබල වන තණ්හාව අපට අල්පාස්වාදයක් ලබා දී එම උපාදානය වූ වස්තූන් තුළ දැඩි ව ග්‍රහණය කරවමින්, දෘෂ්ටි මාන වශයෙන් අල්ලා ගැනීම් තුළ පරිග්‍රහණය කරගනිමින්, අනතුරු ව එම වස්තූන් නො වෙනස් ව තබාගැන්මට ගන්නා උත්සාහය රැක්ම හේතු කොටගෙන කුඩා දරුවෙකු පිළිබඳව මවකට අරමුණු වන හැඟීමක් මෙන් තණ්හාවෙන් උපාදානය වූ අරමුණ බොහෝ අකුසලයනටත් ඊළඟ භවය තීරණය කෙරෙන කර්ම පථයන් සඳහාත් අපට හේතු සකසා දෙන ආකාරයත් ඉකුත් කලාපයන් ගෙන් විස්තර කරන ලදි.
කොළඹ 7. ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද
උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
විසින් සිදු කරන ලද සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් සැකැසූ ලිපි මාලාවක අටවැනි කොටස.
එම උභය අරණ්‍යවාසී හල්තොට අස්සජි හිමියන් විසින් සකසන ලදි.
ඉකුත් කලාපයෙහි මෙම සටහන මඟින් පින්වත් ඔබ සැම වෙත අවධාරණය කළා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරණ මොහොතට පමණක් එම අවබෝධය සීමා නො කර දේශනාවක් අවසානයේ අපි යම් පුහුණු වැඩපිළිවෙළක් සඳහා කැප විය යුතු බව. උපාදානය කරගත් යම් අරමුණක් වස්තුවක් වේ නම් පවින් වැළැකී එයින් අපි ගැලවීමට ඇවැසි මනසිකාරය සකසා ගන්නා ආකාරය කෙසේ ද යන්න පිළිබඳව ඔබට පැහැදිලි කරන බවත් සටහන් කළා.
මෙහෙම නම් පින්වත්නි දැන් අපි මේ මනසිකාරය සකසා ගන්නා අයුරු විග්‍රහ කරගනිමු. කෙනෙකුට දුකක් එනවා නම් දුකක් දැනෙනවා නම් එය නිවැරදිව මනසට දැනෙන්න ඕනෑ දුකක් කියන්නේ තණ්හාවක් මයි කියලා. මේක කොහොම ද හදාගන්නේ? මා මෙතෙක් පුහුණු නො කළ හිතේ නැඟී එන මෙවැනි හැඟීමක් දෙස ඒ හැඟීම තණ්හාව ය යි දකින්නේ කොහොම ද? ඔබට මෙය ගැටලුවක් විය හැකියි. අපි මෙය සරල නිදසුනකින් පැහැදිලි කර ගැනීමට උත්සාහ ගනිමු.
මෙය සාමාන්‍ය ජීවිතයේ දී ඔබට ඇති නො වන හැඟීමක් ගැනයි මා මේ ප්‍රකාශය කරන්නේ… ඔබ හොඳ කල්පනාවෙන් විමසා බලන්න මෙම උදාහරණය. දැන් මම දැනගන්නවා යම් කෙනෙකු මට පරුෂ වචනයෙන් බැන අපහාස කළොත් මඟේ හිතේ දුකක් ඇති වෙනවා. ඒත් සමග ම මම දැනගන්නවා මේ දුක ඇති වුණේ ප්‍රිය වචන කෙරෙහි මගේ හිතේ තිබෙන තණ්හාව නිසා බව.
හොඳයි දැන් ඔබ ඔබෙන් ම යථාර්ථය විමසා බලන්න. කවරෙකු විසින් හෝ මට මේ මොහොතේ හෝ කුමන හෝ වේලාවෙක පරුෂ වචනයෙන් අපහාස කළොත් මගේ සිතේ ඇති වන දුක ඔය මුලින් ප්‍රකාශ කළ අදහස, එනම් ප්‍රිය වචන කෙරෙහි මගේ හිතේ තිබෙන තණ්හාව නිසා දුකක් උපන්නා ය යි කියන හැඟීම නිවැරදි ව මනසට දැනුණේ ද යන්න. එය එසේ එන්නේ නැති බව ඔබට පැහැදිලි කර දිය යුතු නැහැ. ඉන් අදහස් වන්නේ දුක හා තණ්හාව පිළිබඳ වූ ඒ සංඥාව නිවැරදි ව අපේ සිතේ සකස් වෙන්නේ නැති නිසායි කියල අපි තේරුම් ගත යුතු වෙනවා. ඇත්ත තත්ත්වය එහෙම නම් අපි මොකද කරන්න ඕනේ? මේක නිවැරදි ව සංඥාව උපදින්නා වූ අයුරින් සිත හදාගන්න ඕනේ වෙනවා.
මේ උදාහරණය දෙසත් අවබෝධයෙන් බලන්න. අපේ හිත නිවැරදි සංඥාව අනුව සැකැසෙන හෝ සකසා ගන්නා ආකාරය පිළිබඳව. දැන් මා මගේ හිත අතීතයට යොමු කරනවා හිත යොමු කරලා බලනවා, පරුෂ වචන නිසා මට දුක් ඇති වෙච්ච අවස්ථා ගැන, පරුෂ වචන නිසා මගේ හිතේ දුක් උපන් අවස්ථා පිළිබඳව. අපි හොඳින් හොයලා බලනවා විමසා මතක් කරනවා. මේ විමැසීමේ දී අහවලා මට බැන්නේ ය අසවලාගේ පරුෂ වදන් මට දුක් ඇති කළේ ය යන බොහෝ අවස්ථාවන් ඔබ මතකයට නැඟේ වි.
දැන් ඔබ හිත යොමු කර එම පුද්ගල සංඥාවන් අවස්ථා සම්බන්ධයන් තව තවත් විමැසුව හොත් ඔබට පසක් කර ගත හැකි වේ වි යම් අයෙකු ගෙන් ප්‍රිය වචන ලබා ගැනීම පිළිබඳව මගේ හිතේ තිබුණු තණ්හාව හින්දමයි, නොඑසේ නම් පුද්ගලයා නිසා වත් පරුෂ වචන නිසාවත් නො ව, ප්‍රිය වචනයන් කෙරෙහි මගේ හිත තුළ තියෙන තණ්හාව නිසයි මා දුකට පත් වුණේ කියල.
පින්වත්නි, අපි දැන් මේ අයුරින් නැවත එම තත්ත්වය විමසා බලමු. ඔබේ හිතේ දුකක් ඇති වුණේ පරුෂ වචනයන් නිසා නම් එය විමසා බැලුව හොත් එක ම තත්ත්වයක් යටතේ විවිධ පුද්ගලයන් කිහිප දෙනෙකු එක ම මොහොතක පරුෂ වචනයෙන් ආක්‍රෝශ කළ හොත් සිදු වන දේ විමසීමට යොමු කරන්න. තවත් විධියකින් කියනවා නම් අපි විචලනය වෙන සාධක නිත්‍ය කර බලනවා, සාධක කීපයක් විචලනය වෙනකොට දෙකක් තුනක් නිශ්චය කරලා නිශ්චිත කරලා බලනවා මේකට මොකද වෙන්නේ කියලා. එතකොට අපිට යමක් තේරුම්ගත හැකි වෙනවා.
අපි තවමත් හිතනවා නම් ඒ පරුෂ වචනයයි මට දුක ඇති කරවැව්වේ කියලා අපි මොකද කරන්නේ? මේ සිතිවිල්ල යටතේ අපි උපකල්පනය කර ගනිමු විවිධ පුද්ගලයන් කිහිප දෙනෙක්.
මට හිතවත් කෙනෙක්, අහිතවත් කෙනෙක්, මැදහත් කෙනෙක්, වෛරී පුද්ගලයෙක් වගේ කීප දෙනෙක් හොයාගෙන එක ම තාලෙට එක ම පරුෂ වචනය එක ම වෙලාවක දී ඔවුන් ගෙන් ඔබට ඇසෙන්නට සැලැස්වුව හොත් එක් එක් පුද්ගලයා ඒ වචන කියද්දී ඔබේ හිතේ ඇති වන දුක් වෙනස් වන බව ඔබට වැටහේ වි. ඊට හේතුව ඒ ඒ පුද්ගලයා ගෙන් ඔබ ප්‍රිය වචන බලාපොරොත්තු වන ස්වභාවයයි.
ඇතැම් අය ගෙන් ඔබට ප්‍රිය වචන ලබා ගැනීමේ තණ්හාව තිබෙන අතර ඇතැම් අය ගෙන් එහෙම ප්‍රිය වචන ලබාගැනීමට උවමනාවක් නැහැ. ඒ වගේම සමහර අය ගෙන් හිනාවක් ලබා ගැනීමේ වුවමනාව තිබුණට සමහර අයගෙන් බැල්මක් හෝ හිනාවක් කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ හිතේ තණ්හාව ඉපදිලා ඇති කෙනා ඔබට හිනා වුණේ නැත්නම් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. බොහෝ දුකට පත් වෙනවා.
එසේ තණ්හාවෙන් උපාදානය නො වුණ අයෙකු කෙරෙහි එවැනි හැඟීමක් උපදින්නේ නැහැ. එහෙම නම් පින්වත්නි අපි තේරුම් ගත යුතු වෙනවා මෙතන තියෙන සම්පූර්ණ ගැටලුව ඇත්තේ අපගේ ඇතුළාන්තයේ ම පමණක් බව. වෙන කොහෙ වත් ගැටලුවක් නෑ. මේ ලෝකයේ අපේ හිතක දුකක් ඇති වෙනවා නම් ඒ දුකට එක ම හේතුව ලෙස වටහාගන්නට ඕනෑ තේරුම් ගන්නට ඕනේ ඒ දුකට හේතුව වුණේ තණ්හාව බව.
පින්වත්නනි, සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් කළ මෙම ලිපි මාලාවෙහි ආරම්භයෙහි දී ම සඳහන් කළ පරිදි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ ගැටලුසහගත තැන් නැහැ. සියලු ම ගැටලු මනා අයුරින් විසඳා ලන නිරවුල් කර දෙන ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් අපි අපේ ඇතුළාන්තය තවදුරටත් විග්‍රහ කරගනිමු.
තෙරුවන් සරණයි!