දෙනගම සිරිවර්ධන
සැවැත්නුවර මහවීදියේ ගමන් කරමින් සිටි ඛිතක නමැති තරුණ බමුණාට අභය සිටුවරයාගේ කටහඬ ඇසිණ. ඔහු කතා කරන්නේ මහත් ප්‍රීතියෙනි. කීපදෙනෙක් ඔහුට සවන්දී සිටිති.
“නුඹලා අසා තිබෙනවාද රජගහනුවර සක්ඛර ගමේ කෝසිය සිටුතුමා ගැන?”
“අපි අහලා තියෙනවා, එතුමා කවුරුත් දන්නේ මසුරු සිටාණෝ නමින්”
“අන්න හරි. මසුරු සිටුතුමා දැන් ජේතවනාරාමයට ඇවිල්ලා එතුමාගේ මසුරුකම නැතිවෙලා.”
“පුදුමයි – ඒක විශ්වාස කරන්න බැහැ.”
“පුදුම තමයි. මා ජේතවනාරාමයට ගියාමයි දැක්කේ. කෝසිය සිටුතුමා සිටුදේවිය සමග මහා දානයක් දීමට සූදානම්. එතුමාගේ මසුරුකම නැති කළේ අපේ මුගලන් මහරහතන් වහන්සේ විසින්. සිටුතුමාට කැවුම් කන්න හිතිලා දේවියට කියල තියෙනවා ගෙයි උඩු මහලේ දොරවල් වහගෙන කැවුම් හදන්න කියලා. කාටවත් දෙන්න වෙනවටයි දොරවල් වැහුවේ. මේක දැනගත්ත මුගලන් හාමුදුරුවෝ අහසින් වැඩලා පෙනී සිටියා.”
“අහසේ වාඩිවෙලා සිටියත් කැවුම් දෙන්නෙ නැහැ.” සිටුතුමා කීවා. මුගලන් හාමුදුරුවෝ අහසේ වැඩ සිටියා.
“කවුළු පඩිය උඩ වැඩ සිටියත් කැවුම් දෙන්නෙ නැහැ.” සිටුතුමා කී ය. උන්වහන්සේ එතනටත් වැඩියා. කැවුම් තැනූ කාමරය දුමෙන් පිරුණා. සිටුතුමාට හුස්ම ගන්නත් අපහසු වේගෙන ආවා. පුංචි කැවුමක් දීලා මේ හාමුදුරුවන් යවමු කියා සිටුවරයා කීවා. පිටි ස්වල්පයක් තාච්චියට දැම්මත් හැදුනේ විශාල කැවුමක්. ඒක දෙන්න බැහැ. තවත් පුංචි එකක් හදන්න කීවා. ඒකත් ලොකු වුණා. දුම වැඩි වුණා. පුංචි කැවුමක් හදන්න බැරිවුණා. “ඔය පුංචි කැවුමක් තෝරලා දෙන්න කියා සිටුතුමා දේවියට කීවා. දේවිය කැවුම් හට්ටියට අත දමා පුංචි කැවුමක් තෝරා ගන්න හැදුවා. ඔක්කොම කැවුම් එකට ඇලුණා. කැවුමක් ගලවා ගන්න සිටු යුවළ කැවුම් ගුළිය දෙපසට ඇද්දා. බැරි වුණා. හරි මහන්සියි. සිටුතුමාගේ කැවුම් කෑමේ ආසාව නැති වුණා. “ඔය කැවුම් ඔක්කොම අර මහණට දීල දාන්න” සිටුවරයා කෝපයෙන් කීවා. සිටු දේවිය මුගලන් හාමුදුරුවන්ට කැවුම් පිදුවා.
උන්වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කළා. ඔවුන්ගේ සිත් සන්සුන් වුණා. මසුරුකමේ වරද- දන් දීමේ අගය වැටහුණා. “මැඳුර තුළට වැඩම කොට කැවුම් වළඳන්නැ”යි ආරාධනා කළා.
“මම තනිවම, මෙහිදී මේවා නොවළඳමි. සැවැත්නුවර ජේතවනාරාමයට කැවුම් ද ගෙන, ඔබත් සමගම යමි” යි වදාළ මුගලන් මහරහතන් වහන්සේ ජේතවනාරාමයට අහසින් වැඩම කළා. තනිවම නොවෙයි අර සිටු යුවළ ද සමග.
දැන් ඒ මසුරු සිටාණෝ දානපතියෙක් වෙලා.”
ඛිතක බමුණු තරුණයා විස්මයට පත් විය.
අභය සිටුවරයා මුගලන් රහතන් වහන්සේ ගැන තවත් කතා කීවේ ය.
“උන්වහන්සේ ඍද්ධිමතුන් අතර අග්‍රයි. වතුරේ කිමිදෙනවා වාගේ මහපොළොව පසාරු කරගෙන යන්න, මහා ගල් පර්වත මැදින් යන්න, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල එක මොහොතකින් සංචාරය කොට ආපසු එන්න, පොළොව සොලවන්න උන්වහන්සේට පුළුවන්.”
ඛිතක ජේතවනාරාමය දෙසට හැරුණේය.
“මමත් මුගලන් හිමි මෙන් ඍද්ධිමතකු වෙනවා.”
ඔහු එදාම පැවිදි වී බුදු සසුනට ඇතුළු විය.
ඛිතක හිමියෝ සමථ – විදර්ශනා භාවනාවන්හි යෙදී සුළු කලෙකින් ෂඩ් අභිඥාලාභී මහතෙර නමක් වශයෙන් රහත් බවට පත් වූහ.
සසර දුකෙන් ජනතාව මුදා ගනු සඳහා ඛිතක මහරහතන් වහන්සේ ඍද්ධිමය හැකියාවන් යොදා ගත්හ. ඍද්ධිමය ප්රාතිහාර්යයන් ගෙන් මෙන්ම අනුශාසනා ප්රාතිහාර්යයන් ද දක්වමින් උන්වහන්සේ සිදු කරන මෙහෙය ඇගයූ භික්ෂූහු ප්රාතිහාර්ය පාන්නේ කෙසේ දැයි විමසූහ.
මෙසේ පිළිතුරු ලැබිණ.
“පංචනීවරණයන් ගෙන් දුරුව, සිත දමනය කොට, සතර ඍද්ධිපාද වැඩීමෙන් ද, මනාව පුහුණු කළ වශී භාවය ද නිසා මගේ රූපස්කන්ධය – ශරීරය සැහැල්ලු වුණා. සතර මහා භූතයන් ගෙන් (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සැදුණු මේ ශරීරය මම සිතට අනුව පරිහරණය කරමි. ප්‍රීති සුඛය ශරීරය පුරා පැතිර පවතිනවා. ඒ නිසා ම ශරීරය සැහැල්ලුයි. සුඛ සංඥාවට පැමිණීමත් සමග ලුහු සංඥාවට (සැහැල්ලු) බැස ගන්නවා. ලුහු සංඥාවට බැස ගත් විට ශරීරය පුළුන් පොදක් මෙන් වැටහෙනවා. සැහැල්ලු වෙනවා. නොපෙනෙන කයින් බඹලොවට ද යනවා.”
ඛිතක මහරහතන් වහන්සේ මේ අදහස්වලින් යුත් උදාන ගාථාවක් දෙසූහ.
මගේ සිරුර දැන් හරිම සැහැල්ලුයි
ප්‍රීති සුඛය එහි පිරී තිබේ
සුළඟින් මතු වූ පුළුන් රොදක් මෙන්
පාවී යන්නෙමි මම් අහසේ

