සේරිවාණිජ ජාතකය

cmadurawala
7 Min Read

ආචාර්ය මහේෂ් ක්‍රිෂාන්ත

ආසාවෙන් මිදුණහුට සෝ බිය නැත

බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර දෙවුරමැහිදී එක්තරා බමුණකු අරභයා දේශනා කළ වදාළ

“තණ්හාය ජායතී සොකෝ
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතොභයං?”
යන ගාථාවෙන් කියවෙන “ආසාව නිසා සෝවීම උපදී බිය උපදී. ආසාවෙන් මිදුණු තැනැත්තාට සොවීමෙක් නැත. බියෙක් නැත.” යන බුදු වදන නිරායාසයෙන්ම ස්මරණයට නැඟුණේ සේරී වාණිජ ජාතකය කියවන සඳ ය. සේරිවාණිජ ජාතකය බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල පසුබට වීර්යය ඇති භික්ෂුන්වහන්සේ අරභයා වදාළ සේක.

“එම්බල මහණ, තෝ මෙබඳු මාර්ග ඵලදායක, ශාසනයෙහි මහණව වීර්යය හරණෙහිද? ලක්ෂයක් වටිනා ඝන රන් තලියෙන් පිරිහුණාවූ සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් සෝක කරන්නේ වේදැ”යි වදාරා තුෂ්ණිම්භූතව වැඩ හුන් සේක.” එකල එතැනට රැස්වූ භික්ෂූන් වහන්සේලාගේ ගෞරවනීය ඉල්ලීම නිසා බුදුරජාණන්වහන්සේ අන්‍යභවයෙන් සැඟවුණාවූ කාරණය ප්‍රකාශ කොට සේරිවාණිජ ජාතකය දේශනා කළ සේක.

පෙර කල දවස අප මහා බෝසත්වයෝ සේරිව රාජ්‍යයෙහි උපන්නාහුය. ඔවුහු රන් පසුබිම් පය්ය කරලා කිසිල්ලෙහි සඟවාගෙන වෙළෙඳාම් කරන බැවින් කච්ඡපුටවාණිජය නම් පට බැඳුණේය. මේ කච්ඡපුටවාණිජ වෙළෙන්දා සේරිවාණිජ නම් එක් ලෝභී වෙළෙන්දෙකු සමග නීලවාහිණි ගඟින් එතරව අන්ධපුර නුවරට ගොස් මාර්ග බෙදාගෙන තමන්ට අභිමත වීථියෙහි බඩු විකුණමින් යති. ඒ නුවර එක් සිටු කුලයක ඇත්තෝ දුප්පත් වූහ. පවුලේ සියලු වස්තුව ද වැඩිහිටියෝ ද දරුවෝ ද නැසී ගියෝය. ඉතිරිවූ මිනිබිරිය මුත්තණියන් ඇසුරෙහි සිටියාය. ඔවුහු අනුනට බැල මෙහෙ කොට ජීවත්වූහ. ඒ නිවසෙහි පළමු මහසිටාණන් බත් අනුභව කළ රන් තලියක් වෙයි. එය කලක් ප්‍රයෝජන නොගත් නිසා දුර්වර්ණව ගොස් තිබුණි. එය රන්තලියක් බව ඔවුහු නොදනිති. සේරිවාණිජ නම් ලෝභී වෙළෙන්දා “කදාවළලු ගනුව” යි කියමින් ඇවිදින අතර ඒ නිවසට ද පැමිණියේය. ඒ නිවසෙහි දැරිය වෙළෙන්දා දැක මුත්තනියට කියන්නී “මෑණියෙනි මට එක් පළඳනාවක් ගනුව” ඒ අසා මුත්තණියෝ “අපි දුක්ඛිතයම්හ. කුමක් දී පළඳනා ගනුමෝ දැ”යි කිවුය.

මේ සංවාදය කියවන කල වයෝවෘද්ධ, ගුණවෘද්ධ, ඥානවෘද්ධ වූ මව්වරුන්ගේ ස්නේහය, ආදරය, පරිත්‍යාගය, කරුණාව, ක්ෂාන්තිය, සෙනෙහස, ආශාව… යනාදී හොඳ මනුෂ්‍ය ගුණ මතු වෙයි. දැරියගේ මාර්ගයෙන් මිත්තණියගේ උතුම් මව්වත් ගුණ ඉස්මතු කරනුයේ “අපගේ මේ තලියක් ඇත. ඒ තලියෙන් අපට කිසි ප්‍රයෝජනයකුත් නැත. මේ තලිය දී පියා වළලු ගනු මැනවැ” යි කිව.

ඒ ඇසූ මුත්තනියෝ වෙළෙන්දා ගෙන්වා වාඩිවීමට අසුනක් පනවා “තලිය ගෙන වෙළෙන්දාට දී ඒ සඳහා පළඳනාවක් දුන මැනවැ” කිවුය. එවිට වෙළෙන්දා තලිය මත ඉදිකටුවකින් ඉරක් ගසා එය රන් තළියක් බව හැඳිනගෙන එය මුදලක් නොදී නිකම්ම ගැනීමේ අදහසින් “මේ තලිය කුමක් අගීද? අඩමඳටකුත් පමණ මේ තලියට මිල නැත්තේ” යයි කියා තලිය බිම දමා යන්ට ගියේය. ඊට පසුව කච්චපුට වෙළෙන්දා ඒ නිවසට “කදා වළලු ගනුව” යි පැමිණියේය. ඒ වෙළෙන්දාණන් දකින දැරිය සුපුරුදු පරිදිම මුත්තණියන්ට කියන්නී “මෑණියනි! මට වළලු අරගෙන දුන මැනවැ”යි එවිට දෙදෙනා අතර ඇති වන සංවාදය බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර වැනි ආර්ය්‍ය සත්‍යයට අයත් සම්මා ආජීව ඉස්මරණයට නංවයි.

“දුවණියෙනි! පළමු ආ වෙළෙඳාණො තමාට දුන් තලිය බිමට දමා ගියෝය. දැන් කුමක් දී ගතිමෝද?”

“මෑණියෙනි! ඒ වෙළෙඳ තෙම තද පරුෂ බස් ඇත්තේය. මේ වෙළෙඳාණෝ වූ කලී ප්‍රිය වූ දැකුම් ඇත්තෝය. මොළොක්වූ කථා ඇත්තෝය. එසේ හෙයින් මේ තලිය ඇරගෙන දී මට පළඳනා ඇරගෙන දුන මැනැවැ” යි වළලු නම් යහපත් වේදැ”යි කිවුය. ඒ අසා සිටි බෝසත් වෙළෙඳාණෝ මුත්තණිය දුන් තලිය රන්තලියක් බව දැන කියන්නාහු’‘ මෑණියනි! මේ තලිය අගනා බඩු මා අත නැතැ”යි කිවුය. ඒ අසන මුත්තණියෝ කියන්නෝ “පළමු ආ වෙළෙඳාණෝ මේ තලිය අඩමදටකුත් නොවටින්නේ” යැයි කියා බිම දමා ගියෝය. මේ තලිය නුඹ වහන්සේගේ කුසලයෙන් ස්වාමීනි රත්රන්ව ගියේ වනැ”යි අපි නුඹට මේ තලිය දෙම්හ. අපට යන්තම් දෙයක් දීපියා. මේ තලිය ගෙන ගිය මැනවැ”යි කිවුය. බෝධි සත්ත්වයෝ එවේලෙහිම අත තිබූ පන්සියයක් කහවනු ද පන්සියයක් අගනා බඩු ද දී තලිය ගෙන ගියේය. සේරිවාණිජ ජාතකය යහපත් වෙළෙඳාම හා කූට වෙළෙඳාම අතර හොඳ නරක වන විභාග කෙරෙන සරල කතාවක් නොවේ. මිනිසුන්ගේ මසුරුකම, දුෂ්ටකම, කුහකකම, තණ්හාව, මෝඩකම පමණක් නොව, ඇතැම් විට සද්ගුණ ද ඉස්මතු කරන විශිෂ්ට කෙටිකතාවට නොදෙවැනි වන්නකි. සේරිවාණිජ ජාතකයේ එන සේරිවාණිජ වෙළෙන්දාට සම්මා දිට්ඨිය හෙවත් යහපත් දැකීම තිබුණේ නැත. ඔහු රන්තලිය සතයකුදු නොදී ගැනීමට ආපසු පැමිණෙන කල කුමාරිකාවගේ මුත්තණියෝ ඕහට බැණ දොඩා “අපගේ ලක්ෂයක් වටනා ඝන රන් තැලියට අඩමදටක් නුපුස්නා කෙළෙහිය. තම ස්වාමි දරුවකු වැනි වූ එක් ධර්මිෂ්ඨ වෙළෙඳාණ කෙනෙක් අපට දාසක් මිලදී ඒ තලිය අරගෙන ගියෝවේදැ” යි කිවුය. ඒ අසා කච්ඡපුට වෙළෙඳාණන් විෂයයෙහි තද බල වෛර ඇති කරගෙන අතෙහි වූ කහවණු ද බඩු ද ගෙදරම විසිකර දමා පළම්දණ්ඩ මගුරක් මෙන් අලලාගෙන බෝසත් වෙළෙන්දා පසු පස ලුහුබැඳ ගියහ. “ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහි ගියෙම් වේදැ’යි මට බලවත් හානියෙකැ”යි සිදුවූයේ යැයි වෛර සිතින් ම “එම්බල තොටිය ඔරුව රඳව බිඳව” යි කියා අඬගසාලුවේය. ඒ අසන බෝධිසත්වයෝ තොටියාට කියන්නේ ඔරුව ආපසු නොහරවන ලෙසය. බෝධි සත්වයාණන්වහන්සේ ගේ නියමය පරිදි ඉදිරියට ම ඔරුව පදවන තොටියාගේ ක්‍රියාව දකින සේරිවාණිජ වෙළෙන්දාට බලවත් ශෝක උපදණෝය. ඔහුගේ පපුව උණුව ගියේය. කටින් උණු ලේ ගලා ගියේය. පසුව පැළී වෛර සිතින් මිය ගියේය. මේ වූකලී සාරා සංඛ්‍යකල්ප ලක්ෂයක් පෙරුම්පුරා මතු බුදුවන බෝධි සත්ත්වයාණන් වහන්සේ විෂයෙහි දෙව්දත්ගේ පළමු වෛර බැඳීම වන්නේය. ඔවුහු ඒ වෛරයෙන් නොමිදුණහ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව නිම කොට වදාළහ.

“යම් සේ පෙර සේරිවාණිජ නම් වෙළෙඳා ලක්ෂයක් වටිනා රන්තලිය නොලැබ ඒ තලිය ගන්ට වීර්යය නො කොට ඒ තලියෙන් පිරිහී ශේත කළේ ද, පශ්චාත්තාපයට පැමිණියේ ද එපරිද්දෙන්ම මහණ තොපිත් මේ ශාසනයෙහි සරහා පිළියෙල කරන ලද රන්තලියක් වැනි වූ ආර්යමාර්ගයට පසුබට වීර්යය ඇති බැවින් නොපැමිණ ඒ මාර්ග ඵලයෙනුත් පිරිහී බොහෝ කලක් සෝක කරන්නාහුය. ඉදින් තෝ වීර්යය නොහළුයෙහි වී නම් නුවණ ඇති වෙළෙඳාණන් රන් තලිය ප්‍රයෝජන වින්ද කලක් මෙන් මාගේ ශාසනයෙහි නව විධ ලෝකෝත්තර ධර්මය ලබන්නෙහි වේදැ”යි මෙසේ ඒ සර්වඥයන්වහන්සේ නැවතත් ඒ භික්ෂුන් වහන්සේට අරහත්ඵලය කුළු ගන්වමින් ධර්මදේශනා දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට වදාළ සේක.”

ධර්මදේශනාව කෙළවර පසුබට වීර්යය ඇති භික්ෂුව අරහත් ඵලයෙහි පිහිටි සේක. බුදුහු සේරිවාණිජ ජාතක කතාව පූර්වාපර සන්ධි ගළපා එසමයෙහි සේරිවාණිජ වෙළෙඳා නම් අද මේ දේවදත්ත ස්ථවීර යැයි ද කච්ඡපුට වෙළෙඳා නම් ලොවුතුරා බුදුවූ මම් ම වේ යැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. එබැවින් සේරිවාණිජ ජාතකය අනුන්ට දුක් දී තමනට සැප පතන මාරක ආයුධ වෙළෙඳාම, මත්පැන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම, මස් පිණිස සතුන් විකිණීම ඇතුළු මස් වෙළෙඳාම, කූට භාණ්ඩ වෙළෙඳාම යනාදී අනුන්ගේ විපතට හේතු වන දෑ නොකළ යුතුය යන පණිවුඩය සමාජගත කරන ආදර්ශවත් ජාතක කතාවකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *