The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(දහ වැනි කොටස)
ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
අභිවෘද්ධියට හා කුසලතා වර්ධනයට ලෞකික මෙන්ම ලෝකෝත්තර ක්ෂේත්රවලත්, කායික මෙන්ම මානසික යන දෙතැන්හිදීත් මෙම නිතිපතා අභ්‍යාස කිරීම මහෝපකාරි වේ. අප්රමාදී බව, පමා නොවී මෙසේ කටයුතු කිරීම හරහා අපගේ මෙම සැඟවුණු කුසලතා අහඹු දුර්වල සිදුවීම් මට්ටමේ සිට වඩා තිරසර මට්ටමකට තහවුරු කර දේ. ක්ෂණික ප්‍රතික්‍රියාවල අනර්ථකාරී ආදීනව, පුරුද්දට වහල්වීම වශයෙන් දැක්වේ. මේ නිසා අබ්බැහිවූ නරක නපුරු ගති වැඩේ. මෙහිලා අපගේ වර්තමාන අවධානයට යොමු වන්නේ මේ නරක පුරුදු නිසා ඍජු දැක්මකට ඇති වන බාධා සහ ඒවා මුවහ කරවන අඳුරු ගතියයි.
ක්ෂණික ප්‍රතික්‍රියා තාවකාලික විය හැකි මුත් පුරුදු නිසා ඇති වන හානිය ඊට වඩා දුර දිග යයි. කාවදිනසුලුය. ජාලයක් මෙන් ගෙත්තම් වී වැඩි ප්‍රදේශයක පැතිරෙන ඇබ්බැහි / පුරුදු ජීවිතයේ බොහෝ ප්‍රදේශයක අධිකාරි බලය පවත්වන්නේ වටපිට ඇති දේවලුත් වහඑළා ගනිමිනි. මෙය ඉතිර පැතිර පවතී. ක්ෂණික ආශාවල් ද වරෙක මෙම දැලට හසු වී, එම ක්ෂණික මානසික වේග ස්ථිර චරිතාංග බවට පත් කරවයි. මෙවන් ක්ෂණික මානසික ආවේග, වරින් වර ලබන ආස්වාද නැත්නම් නොමියනසුලු ආශා, නිතර නිතර ඇතිවනසුලු වුවහොත් එය පාලනයකින් තොර ඇබ්බැහියක් වී ඉබේම කෙරෙන දෙයක් වශයෙන් සාධාරණීකරණය වේ. පාලනයකින් තොරව සන්තර්පණය කෙරෙන ආශා හරහා පුරුදු නිදන්ගත වේ. ඉන් පසු තමාම ඊට වහල් වේ. එය ආණ්ඩු මට්ටු කිරීමට නොහැකි තත්ත්වයට පත්වේ.
සමහර විට කෙනකුට තම රුචි, අනුස්සව නම්වූ ඇසූ විරූ දේවල්, චිත්ත තත්ත්ව වරෙක කිසිම වැදගැම්මකට නැති දේවල් ලෙස අතහැරීමට හෝ නැවත සලකා බැලීමකට ලක්කිරීමට හෝ පුළුවන. ඒ ඒ දේවල අදාළතාව හෝ ප්‍රයෝජනය නැතිවූ විට එසේ වේ.
අගතිගාමී බව නැතිව, පක්ෂග්රාහී නොවී සිටින මොහොතක එය සිදුවිය හැක. මුලදී අපට එය අතහැර දැමීමට මෙන්ම එය හා සමග නොපැටලැවී සිටීමත් දුෂ්කර නොවේ. එහෙත් අන්තයක ගැලී ගතහොත්, එමෙන්ම එහිම අභිනන්දනය කළහොත් එයම හරි යැයි ද සෙස්ස වැරදි යැයි ද තීරණය කිරීමට මෙන්ම එයම සාධාරණීයකරණය කිරීමටත් පෙලඹෙනු ඇත. ඒ අනුව ඒ කෙනා එම ලකුණින්ම හැඳිනීමට යයි. ඒ කෙනා එයින්ම තමා ද හඳුනාගත් පසු එයට විරුද්ධ වන සෑම කෙනකුම සෑම අවස්ථාවක්ම සමග ගැටේ. අභියෝගයක් සේ සලකා කලබලයට පත් වේ. ආදිකාලීන මිනිසා පිටතින් පැමිණෙන සියල්ල සතුරන් සේ, අභියෝග සේ, සලකා කටයුතු කරන්නට පෙලඹී ඇත. අමුත්තා කෙතරම් අහිංසක සාමකාමී කෙනකු වුවද ගෝත්‍රික ජනයාට ඔහු පෙනුණේ අභියෝගයක් ලෙසිනි.
යම්කිසි පුරුද්දක් නොවැදගත් සේ යමකුට වැටහෙන වාතාවරණයකදී මෙතෙක් එම පුරුද්දට තිබූ බැඳීම පිටතින් යමකු විසින් කරන ලද මෙහෙයවීමක් නිසා හටගත්තක් නොවන බවත් බාහිර අරමුණේ එය අන්තර්ගත නැති බවත් වටහා ගැනීම පහසුය. එවන් බැඳීමකට ආසන්න කාරණය තමාගේම පුහු මානය බව ද එය ඉතා බලවත් බලපෑමක් කරන බවද මෙහිදී තේරුම්ගත හැකි වනු ඇත. තමාගේ රුචිය විසින් සමහර විට ඉතා නොවැදගත් දෙයකට ඇති කරවනු ලබන මේ බැඳීම මොන තරම් නපුරු බලපෑමක් කරන්නේ ද කිවහොත් තමන්ගේ ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය මූලික දේවල් පවා ඉක්මවා යන තරමට එය බලවත් විය හැක. ඉතා කුඩාවට පටන්ගන්නා මේවා හික්මීමක් නැතිකම නිසා පැලපදියම් වුවහොත් ජීවිතයට කරන නපුර කිසිසේත් පාලනයකින් තොරය. දැඩි භාවයට පත් මෙවන් පුරුදු මනස පටු හා ඔළමොළ කිරීම හේතු කොටගෙන අපගේ ආධ්‍යාත්මික, සමාජික හා බුද්ධිමය සංසරණ නිදහසට සීමා පැනවේ. මෙලෙස හටගන්නා අලුත් මනාප අමනාපකම්, අගති, ඇබ්බැහි නිසා පෙර නොතිබූ අලුත් දුක් රාශියකට පරිසරය සකස් වේ. නරක ඇබ්බැහිය නිසා ආධ්‍යාත්මික දියුණුවකට තිබෙන ඉඩකඩ පෙරදාට වඩා අද වර්තමානයේ ඇහිරී ඇති බව ප්රකටය. නරක ඇබ්බැහි සඳහා ඇති ඉඩකඩ ප්‍රකට ලෙස වැඩෙන අයුරු දැකගැනීම පහසුය. වර්තමාන ලෝකය විශේෂණය කරන හා ප්‍රමිති කරන දේ දෙස බලන කෙනකුට එය අප්‍රකට නැත.
මේ නිසා සතිපට්ඨාන සූත්‍රයේ සංයෝජන වැඩෙන ආකාරය දැක්වෙන පාඨවලට අනුව සලකා බලන කෙනකුට මේ පුරුදුවල භූමිකාව නොසලකා හැරිය නොහැක.
“යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති,”
ඒ දෙක (බාහිර ආයතනය හා අනුරූප අරමුණ) නිසා යම් සංයෝජනයක් උපදී ද එයත් දැනගනී. යම් ඒ නූපන් සංයෝජනයක් උපදී ද එයත් දැනගනී.
බෞද්ධ උගැන්වීම්වලට අනුව මේ නරක පුරුදු නිසා වැඩියෙන්ම හටගන්නා සංයෝජනය නම් ථීනමිද්ධයයි. මේ නිසා එවන් අයගේ කාය – චිත්ත ලහුතාව හෙවත් කමර්ණ්ය – සැහැල්ලු බව දුර්වල වේ. මින් එහා යන හානිකර අවස්ථා සඳහා ආසන්න ලෙස බලපාන්නේ සිතේ ගති ස්වභාවයයි. එවන් ගති එක්තරා ප්‍රමාණයක උත්සන්නතාවකින් යුක්තව පුන පුනා ක්‍රියාත්මක විය හැක. එවන් උත්සන්නතා, අනුගාමික විඤ්ඤාණ ස්වරූප තමාට නතු කරගැනීමට පෙලඹේ. මේ අනුගාමික ස්වරූපයෝ ප්‍රබල ගති හා අනුව යමින් අන්තේවාසික වෙති. මේ වාද යටහත් පහත් ගති දක්වනවා වෙනුවට වරින්වර අභියෝග කරමින් ඒ ප්‍රධාන චිත්ත තත්ත්වයන්ට එරෙහිව පෙරළි කරයි. උදාහරණ ලෙස, සමාජයේ ජීවත් වන, කැපීපෙනීමට දඟලන පුද්ගලයන් දැක්විය හැක. එසේම ජීවවිද්‍යාත්මකව හටගන්න පිළිකා සෛල අනෙක් හොඳ සෛල අබිබවා මුල් දුවන ආකාරය දැක්විය හැක. අද අප සිටින පරමාණු යුගයේ දෘෂ්ටි පථයෙහි දිස්වන බලවත් අනතුරක් වන ජාන විපර්යාසය ද එවන් පිළිකාවකි.
දෙකට බෙදා ආණ්ඩු කිරීමේ විඤ්ඤාණයේ සහජ ගතිය නිසා හදිසි ආශා හා ආවේග යමකුගේ චරිතයෙහි ස්ථාවර ලක්ෂණයක් ලෙස මුල් බැසගැනීමට ඉඩ සැලසේ. එයිනුදු මේ භවයේ සෑහීමකට පත් නොවන අවස්ථාවලදී මෙම ගතිය ඊළඟ භවයේ මූලික ලක්ෂණයක් ලෙස ඉදිරිපත්වීමට ඉඩ තිබේ. ජපානයේ හය වන සෙන් ආර්යයන් වහන්සේ සඳහන් කොට ඇති පරිදි, අපගේ සන්තානයේ මෙවැනි අනන්ත අප්‍රමාණ මූල බීජ තැන්පත්ව ඇති අතර, ඒවා මේ සංසාර චක්‍රයෙන් නිදහස් කරලීමට අපි අදිටන් කරගත යුත්තෙමු.
(මතු සම්බන්ධයි)

