බුද්ධ වර්ෂ 2569 එළැඹෙයි. වෙසක් යනු, සිංහල බසින් කියැවෙන්නකි. විශාඛා නම් වෙසක් මසට පාලියෙන් කියන්නකි. වෛශාඛ පෞර්ණමි යනුවෙන් කියන්නේ සංස්කෘත භාෂාවෙනි. ඉන්දියාවේ පවසන්නේ බුද්ධ පූර්ණිමා දවස වශයෙනි.
සියලු ලෝවැසි බෞද්ධයන්ගේ සැදැහැ ගුණ නුවණ පොබයන පිවිතුරු උදාව වෙසක් දවස වන්නේය. එළැඹ සිටි සිහියෙන් යුතුව – යෝනිසෝ මනසිකාරයෙන් – පූර්ණ අවධානයෙන් වර්තමානයේ කියන ලෙස සතිමත් බවින් දිවි ගෙවීම වටින්නේය. සිව්සස් දැන හඳුනා අරි අටඟි මඟේ පින් කුසල් පෙරුම් පුරමින් එනම් දන් සිල් බවුන් වඩමින් නිවන් අරමුණු කොට දිවිසැරිය ගත කිරීමයි. පවින් වැළැකිය යුතුය. සියලු පින් කුසල් කළ යුතුය. ආමිස හා ප්‍රතිපත්ති ලෙස දෙකකි. අප බොහෝවිට උත්සව සැමරීම් වශයෙන් ආමිසයේම ඇලී ගැලී සිටිනු ලැබේ. දන්සල්, තොරන්, සල් උයන්, පහන් කූඩු, සැදැහැ බැති ගී ගායනා බහුලය. මල් පූජා කිරීම යහපත්ය. එහෙත් දැන් ලංකාවේ ආවේණික වන මල් සොයා ගැනීම පහසු නැත. ඉස්සර මල් ලබාදුන්නේ පින්කමක් හැටියටය. අද මල් විකුණනු ලැබේ. එය කළ යුත්තේ කූට වෙළඳාමක් හැටියට නොව ධාර්මික උපයා ගැනීමක් ලෙසය. අපට සැමතැනම වැරදී ඇත. අපි ලෝකයේ නැසීම, වැනසීම ඉක්මන් කර ඇත්තෙමු. පුෂ්ප පූජාව අනිත්‍ය භාවනාවක ආරම්භයයි. බුදුන්ට පුදන සුවඳ පාට මල් පරවී යන්නා සේ අපිදු මරණයට, ජරාවට පත්වන්නෙමු. කීදෙනෙක් එසේ සිතනවාද? වෙසක් දවසේ පැහැදිලි ලෙස කිවයුතු කරුණක් ඇත. එනම් විච්චූර්ණ බොරුහර විවිධ මාදිලියේ මෝස්තර වැලඳගෙන නොවේ. පිළිවෙත් ගරු සරුවය අප විසින් වෙසක් සැමරිය යුත්තේ. වතුවල මල් වවති. එමල් මාවතට බර වේ. උදේ පහන්දොර එන මල් නෙළන්නෝ කිසිවකුට මලක් හෝ ඉතිරි නොකොට මල් නෙළති. ගස් වැල් මලින් සැරසී තිබෙනවිට ලොව ලස්සන වෙයි. තරගෙට මල් පූජා කිරීම, තමන්ට මල් පූජා කළ යුතු යැයි සිතීම ලෝබකමකි. කෑදර කමකි. බොදු ආර උචිත බව සිරිත විරිත කඩාබිඳ දැමීමකි. අපගේ ජීවිතයන්හි සෑම කටයුත්තක්ම, සිතිවිල්ලක්ම, වචනයක්ම ඔන්න ඔය ආකාරයේ තණ්හාවකින්, ආත්මාර්ථයෙන් ඇලී ගැලී ගැටී පවතී. එවිට අපි නිවනින් ඈත් මෑත් වෙමු. අපායට ළං වෙමු.
රොබට් නොක්ස් වාර්තාවේ සඳහන් කරුණු කීපයකි. ඒ උරුමය අද අපට තිබේද? ප්‍රශ්නයකි.
“සිංහලයෝ වනාහි දඹදිවදී මවිසින් දක්නා ලද අන් හැම මිනිසුනට වඩා යහපත් අය වෙති. භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කතා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝය.”
“සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේය. ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසිරීම ද ඉතා උදාරය. යම්කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේය. ඔවුහු ස්වභාවයෙන්ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙනසුලු නොවෙති. කෝපයක් ඇති වුවද වහා එය සංසිඳවාගෙන සමගි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසුදුය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩිවේලා නොනිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන් ලීලාව ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරිස්සමෙහි ඉතා දක්ෂ වෙති. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින්ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමි දුව කොතරම් මහේශාක්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින්ම ගෙදර සියලු කටයුතු කෙරෙති.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

