ටී. කුලසිරි ප්‍රනාන්දු
සිරිලක ශ්‍රීපාද පත්මය වන්දනා සමය සෑම වර්ෂයක් පාසාම උඳුවප් පුර පසොළොස්වක පෝය දිනයෙන් ආරම්භ වී ඊළඟ වර්ෂයේ වෙසක් පුන්සඳේ සඳ එළියෙන් නිමාවට පත්වේ. සමස්ත ලෝක වාසි බොදු බැතිමතුන්ට මෙන්ම නානාවිධ ආගම් අදහන බැතිමතුන්ට ද ශ්‍රීපාදස්ථානය ගෞරව බහුමානයට පාත්රවී ඇති බව පෙනේ. සමන්ත කූට පුණ්‍ය භූමිය හෙවත් ශ්‍රී පාදස්ථානය ගෞරවයට බඳුන් වී ඇත්තේ මෙහි විiමාන ගල් පර්වතයේ සලකුණු වී ඇති පාද ලාංඡනය නිසා බව පොදු පිළිගැනීමය.
යං නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිතෙක සුමනාච ලග්ගේ
යං තත්ත යෝනකපුරේ මුණිනෝච පාදං
තංපාද ලාංඡන මහං සිරසා නමාමි
සිරිපා වන්දනා කරන එම ගාථාව අනුව ලෝකයේ ස්ථාන සතරක තථාගතයන් වහන්සේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා ඇති බව කියවේ. හෙළ බොදුනුවන්ට අනුව මෙහි දර්ශනය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද සටහන බව විශ්වාස කරන අතර හින්දු භක්තිකයන් මෙය සිව දෙවියන්ගේ පා සටහන බව කියයි. මහෘදිතයන් එය බාබා ආදාම්ගේ පා සටහන ලෙසින් ද, ක්‍රිස්තු බැතිමතුන් ශාන්ත තෝමස් නම්වූ ක්‍රිස්තියානි මුනිවරයාගේ පා සටහන බව විශ්වාස කරනු ලැබේ.
ශ්‍රීපාදස්ථානයේ භූගෝලීය පිහිටීම සැලකීමේදී මෙම පුණ්‍ය භූමිය සිරිලක මධ්‍යම පළාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සබරගමුව කඳුවැටියේ මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උසින් පිහිටා ඇත. මෙය කඳුරට තෙත් කලාපයට අයිති ගන වනාන්තරය තුළ වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ගවලින් සමන්විත හරිත වර්ණයෙන් බැබළෙන වෘක්ෂලතා පරිසර පද්ධතියේ පහස ලබන අතිසුන්දර මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. මෙහි දිස්වන සොබාසෞන්දර්යයේ විචිත්රත්වය මෙන්ම එයින් ප්‍රකට වන විශ්වාසයන් පාදක කරගෙන අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන් මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවන්ටත්, සංචාරක පිරිස්වලටත් මෙම කඳු ශිඛරය දැකබලා ගැනීම ආගමික භක්තිය මෙන්ම විනෝදය ගෙනදෙන කාරණයක් බවට සිහිපත් කරනු කැමැත්තෙමි. එහෙයින් ශ්‍රීපාදස්ථානයේ ඓතිහාසික වැදගත්කම හා එහි විකාශනය පිළිබඳවත් කරුණු සෙවීම වැදගත් කාරණයක් වනු ඇත.

සිරිලක ප්රාග් බෞද්ධ යුගයේ සමන්ත කූට පෙදෙස භාරවූ දේව ගෝත්‍රික සුමන සමන් දෙවියන් ඇදහීමේ චාරිත්‍රය ප්‍රචලිතව පැවති බව කියයි. බෞද්ධ පුරාවෘත්තවලට අනුව තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වැනි මස වෙසක් පුර පසළොස්වක පෝදා තෙවැනිවරට සිරිලකට වැඩම කළ බුදුන් එදින කල්‍යාණ නදියේ දිය නා කැලණියේදී දහවල් දානය වළඳා සන්ධ්‍යා භාගයේ සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයෙන් සමනොළ ගිරි කුළ මත බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටුවූ බව මහා වංශයේ දැක්වේ.
කත්ථ ධම්මං දේසයික්වා සක්කා ලෝකානු සම්පකෝ
උග්ගන්නා සුමනේ කූටේ පදං දස්සේසි නායකෝ
මෙයින් සනාථ වන්නේ ක්‍රි.ව. 5 වැනි සියවස වනවිට බෞද්ධයා ශ්‍රීපාදය ගැන දැනසිටි වගයි. ශ්‍රීපාදය සොයාගැනීම පිළිබඳ ඓතිහාසික පුවත් විවිධ වන්නේය. මිහිදු හිමි දවස සිරිපතුල සොයා ගත්තැයි විශ්වාසයක් පවතී. සමන්මල් පෙරහැර අතීතයේ ශ්‍රීපාදය කේන්ද්‍ර කරගෙන උඳුවප් පෝය දිනෙන් ඇරඹී වෙසක් පෝය දිනෙන් අවසන් වූ බව කියවේ. ඓතිහාසික පුරාවෘත්ත අනුව සමනොළ කන්දේ ශ්‍රීපාද ලාංඡනය ප්‍රථමයෙන් සොයාගත්තේ ක්‍රි.පූ. 104 වට්ඨ ගාමිණි අභය රජතුමා බව සඳහන්ව ඇත. මෙම පුරාවෘත්තය විලියම් ස්කින් මැතිතුමා රචිත ග්‍රන්ථයක සටහන්ව ඇත. වසර 14ක් වනගතව සිටි වළගම්බා රජතුමා මුවෙක් පසුපස හඹායන්නේ අතරමඟදී ශ්‍රීපාද ලාංඡනය දැක එම පූජනීය වස්තුව යකඩ වැටකින් ආවරණය කළ බවයි. ක්‍රි.ව. 1059 සිට 1114 රාජ්‍ය විචාල 1 වැනි විජයබාහු රජ දවස සිරිපා වන්දනාවට මේ රටේ මිනිසුන් පෙලඹී ඇති බව ඓතිහාසික මුලාශ්රවල දැක්වේ. ක්‍රි.ව. 1153 1 වැනි පරාක්‍රමබාහු රජතුමා ද පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජතුමා ද දඹදෙණියේ II පැරකුම් රජතුමා ද සිරිපා වන්දනාවේ ගිය බවත් නීතිගත පුදපූජා පැවැත්වූ බවත් වංශ කතාවල දැක්වේ. ක්‍රි.ව. 1340 මැජිගෝ නම් ඉතාලි ජාතික තානාපතිවරයෙක් ද සමනොළ ගිර තරණය කළේය. ක්‍රි.පූ. 327 ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජු පවා සමන්ගිර තරණය කළ බව කියයි. ඉබන් බතූතා, මාර්කෝපෝලෝ, පාහියන් වැනි දේශාන්ටකයින් ද ශ්‍රීපාදය වන්දනාමානයට පැමිණ ඇත. ලංකාව ගැන ඉතිහාස ග්රන්ථයන් ලියන එමර්සන් මැනන් තම ග්‍රන්ථයේ ශ්‍රීපාදය ගැන තොරතුරු සඳහන් කොට ඇත.

පොළොන්නරු යුගයෙන් පසු යුගය ශ්‍රීපාදය ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක්ව පැවැති බවට සාධක එමටය. ක්‍රි.ව. 1554-1593 සීතාවක 1 වැනි රාජසිංහ රජතුමා ශිව ආගම වැලඳගෙන භික්ෂුන්ට හිරිහැර කළා පමණක් නොව ශ්‍රීපාදයේ භාරකාරත්වය හා පාලනය භික්ෂුන්ගෙන් ඉවත් කොට ශිව භක්තිකයන්ට පැවරීය.
එතැන් සිට ශත වර්ෂ 1 1/2ක් පමණ ශ්‍රීපාදයේ භාරකාරීත්වය හා පාලනය බමුණු සන්නාසියන් අත පැවතිණි. ක්‍රි.ව. 1747දී රජපැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ශ්‍රීපාද පුදබිම යළිත් බෞද්ධයන් අතට පත්කරන ලදී. අසරණ සරණ සරණංකර හිමිපාණන්ගේ මාර්ගෝපදේශකත්වය හා අනුශාසකත්වය පෙරදැරිව යළිත් සිරිලක උපසම්පදාව ස්ථාපිත කිරීමට කටයුතු කළේය. ශ්‍රීපාදයේ භාරකාරත්වය ද රජතුමා සන්නස්පත්රයකින් උන්වහන්සේට පිරිනමා ඇත. රාජාධිරාජසිංහ රාජ්‍ය යුගයේදී ශ්‍රීපාදයේ අයිතිය මල්වතු මහා විහාරයට පවරන ලදී. (ක්‍රි.ව. 1789) අනතුරුව මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි, සමන් ගිර නායක හිමි බවට පත්වූහ. කාලයාගේ ඇවෑමෙන් සංඝ නේතෘපාදයාණන් වහන්සේලා 9 දෙනෙක් එහි භාරකාරීත්වය දරා ඇති බව ලේඛනගතව ඇත. ගාල්ලේ මේධංකර හිමි, ඉඳුරුවේ සුමංගල හිමි, පරකුඹුරේ හිමි, ගලගම අත්ථදස්සී යන හිමිවරුන් භාරකාරීත්වය දරා ඇත. 1866 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිට භාරකාර පදවිය පිරිනමා ඇත. 1954දී මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන්ට මෙම පදවිය පැවරුණි. උන්වහන්සේ ශ්‍රීපාදයේ අභිවෘද්ධියට විසල් මෙහෙවරක් ඉටුකරන ලදී.

වර්තමානයේ ශ්‍රීපාදස්ථානයේ අධිපති හිමියන් තෝරාපත් කර ගනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂුන්ගේ ඡන්දයෙනි.
පසුගිය වකවානුවේදී හඳපාන්ගොඩ විමල නාහිමියන් භාරකාරීත්වය දැරූ අතර අවසාන ඡන්ද විමසීමේදී බෙංගමුවේ ධම්මදින්න නායන හිමිපාණෝ භාරකාරීත්වයට තේරී පත්වූහ.
සිරිපා අසිරිය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවේශ මාර්ගය ගැන ද සඳහන් කිරීම ද වැදගත් වෙයි. මේ සඳහා ප්‍රවේශ මාර්ග දෙකක් ඇත.
- හැටන් – නල්ලතන්නිය හරහා යන මාර්ගය
- රත්නපුර – පලාබද්දල හරහා යන මාර්ගය
මේ හැර කුරුවිට – එරත්න මාර්ගය, මුක්කුවත්ත පාර, මුර්යාවත්ත පාර හා මාලිබොඩ යන මාර්ග පරිශීලනය කළ හැකිය. සිරිපා කරුණාකරන වාරය ඊසාන දිග මෝසම් කාලය තුළ යෙදී ඇත්තේ වර්ෂාව අඩු හා ශීතල අඩු කාලගුණික තත්ත්වයන් පවතින බැවිනි.

ශ්‍රීපාදය ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු ඓතිහාසික හා අතිසුන්දර පූජා බිමකි. දොළොස් මහේ පහන, ඉදිකටුපාන, සීත ගඟුල වන්දනාකරවැන්ගේ සුවිශේෂී ස්ථාන ලෙස හැඳින්විය හැකිය. මහවැලි, කැලණි, වලවේ, කළු යන ගංගාවෝ ස්වභාව සෞන්දර්යයෙන් බැබළෙන අලංකාර සමන්ගිරෙන් උපත ලද්දෝ වෙති. මෙහි විද්‍යාමාන ඉර සේවය ද සුලබ දර්ශනයකි. මැදින් පෝය වන්දනා සමයේ උච්චතම අවස්ථාව වන්නේය. මෙහි විශේෂත්වය වන්නේ සියලු ජාතීන් හා විවිධ ආගමිකයන් මෙම පුදබිමට සම්ප්‍රාප්ත වීමය. මේ මහා භද්‍රකල්පයේ මීට පෙර බුදුවූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන තුන් බුදුවරුන්ගේ පා සටහන් ද සමන්ත කූටය මත පිහිටා තිබූ බව පොළොන්නරු කාලයට අයත් ෂ විජයබාහු රජතුමාගේ (1055-1111) අඹගමුව ශිලා ලිපිය කියයි. මෙම ලිපිය ගිනිගත්හේන බදුපොළ ගම්මානයේ දැකගත හැකිය. අක්කර 55948න් විශාල සමනොළ අඩවිය හා ලෝක ප්‍රකට අතිශ්‍රේෂ්ඨ මෙම පුණ්‍ය භූමිය හා ඒ ආශ්රිත රක්ෂිතය මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් මනහර පරිසර පද්ධතිය රැකගැනීම හා එය අනාගත පරපුරට උරුම කිරීම ඔබේ, අපේ වගකීමක් වන්නේය.

