දුරුතු පොහොය දින වැදගත්කම

rashi
By rashi
11 Min Read

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදීනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න

දුරුතු පෝය දිනට

2026 ව්‍යවහාර වර්ෂය ආරම්භ වන්නේ දුරුතු පොහොයෙනි. මෙදින බෞද්ධයාට විශේෂ වනුයේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය, සුමන සමන් දෙවියන්ට කේශධාතු පිළිගැන්වීම, සිදුවූ පොහොය දිනය වන හෙයිනි. ලංකාවේ බෞද්ධ ජනයා අප්‍රමාණ ගෞරවාදරයට බඳුන් වූ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම මෙම පොහොය දිනය හා බැඳී පවතින සිදුවීමක් බැවින් හා සිරිපා සමයේ ආරම්භය ද වන බැවින් අද පෝදා බොදු බැති ගීතය සඳහා තෝරා ගනු ලැබුවේද සිසිර සේනාරත්නයන් විසින් ගැයූ ශ්‍රීපා වඳිමු මුනිගේ… යන ගීතයයි. මෙහි පද රචනය කරුණාරත්න අබේසේකරයන් විසිනි. හින්දී ගී අනුකාරක තනුවක් නමුදු මෙම ගීතය බෞද්ධ රසික ජනයා අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීතයක් බැවින් හා ප්‍රබන්ධයෙහි එන විශේෂ යෙදුම් කීපයක්ද අද තෝරා ගැනීමට හේතු විය.

ශ්‍රී පා වඳිමූ මුණිගේ
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
නිරිඳා දිළිඳා එකසේ
සිතාලා සැනසූ දෙසූ සදහම්

මේ ඝෝර සසරේ මහ ඝන අඳුරේ
තැවුන පාපී දනා
මෙත් ගඟ නහවා සෙත් ගඟ පෑවා
මාරජී භගවා
පය දූලී සේ සලකා
රාජ සෞභාග්‍යය ඇතැරි නරදම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ

පෙරුම් දම් පුරා මරුන් මන් මරා
අනර්ඝ මෝක්ෂේ ලැබී
ලෝ හිමි ධර්මේ සදාය සාමේ
තුන් ලොව තාම වඳී
ශ්‍රී පාමුල ලෝ හිමිගේ
මගේ හිස පාපිස්නකට පුදම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ

සමනල කන්ද මුදුනේ පිහිටි සිරිපතුල් ලකුණ අපට පූජනීය වන්නේ එය ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පා සළකුණ හෙයිනි. එය පූජනීය වන්නේ තුන්ලොවෙහි කිසිදු පුද්ගලයෙකුගේ යටි පතුලෙහි නොපිහිටන්නා වූ අසිරිමත් ස්වභාවය හේතුවෙනි. මේ ධම්ප්‍රදීපිකාවෙහි බුදුන් වහන්සේගේ පතුල්වල අසිරිමත් බව සඳහන් අයුරුය.

“… සුප්‍රනිෂ්ඨිතපාදතා නම් කවරයත්? අනුන් පතුල් බිම ඔබන කලැ අග්‍රපාද තලය හෝ පාර්ෂණීය හෝ පාර්ශ්වය හෝ පෙරටවැ භූමිස්පර්ශ කෙරෙයි. පාදතලමධ්‍යයෙහි ෂඡීද්‍ර හෝ වෙයි, පත්ල නඟන කල ද අග්‍රපාලතලාදීන් කෙරෙන් අන්‍යතරස්ථානයෙක් පෙරටවැ නැගෙයි. මොවුන් පතුල් වූ කල ස්වර්ණපාදුකා සෙයින් එකපැහැර භූමිස්පර්ශ කෙරෙයි. එක්පැහැර නැඟේ. ඉදින් අනේකශතපෞරුෂ නරක ප්‍රපාතයෙහි අත්වෙමි යි පය එයට එළවූයේ වී නම් එ මැ විගස වලතැන් භස්ත්‍රා සෙයින් පිරෙයි. ගොඩතැන් භේරිතල හෙයින් සම වේ. දුර ඇත්වෙමියි එය නැඟුවේ වී නම් ප්‍රාතිහාර්යාවසානයෙහි සෙයින් මෙරුප්‍රමාණ පර්වතයෙකුදු හුයාපි වේයගඟබඩක් සෙයින් නැමී පාදසමීපයට උපගත වේ (ධර්‍මප්‍රදීපිකා – 4 පිටුව)

ශ්‍රී පතුල් හි ස්වරූපය මෙන්ම එහි පිහිටියාවූ මංගල ලක්ෂණ ලක්ෂණ සූත්‍රයෙහි සඳහන් වේ. එක් සිරිපතුලක 108ක් ලෙසින් දෙපතුල්හි 216ක් මඟුල් ලකුණු තිබූ බව පූජාවලියෙහි මෙසේ දැක්වෙයි.

සිරිවස, ස්වස්තික, නඳවට, සෝවැති, අවතංස, වඩමං, භද්‍රාපීඨ, ප්‍රාසාද, මඟුල් තොරණ, සේසත්, මඟුල් කඩු, තාල වෘන්ත, පිල් කලප් චාමර, නළල් පට, මිණි රුවන්, සුමනදම්, නීලෝත්පල, රත්තෝත්පල, ශ්වේතෝත්පල, රන් පියුම්, හෙළ පියුම්, පුන්කලස්, පූර්ණ පාත්‍ර, කිරි මුහුද, නිල් මුහුද, ප්‍රවාල සාගර, ස්වර්ණ සාගර, පත්වල ගල, හිමාලය ගල, මෙරගල්, ගිර විමන්, සඳ විමන්, පූර්ව විදේහ දිවයින්, පශ්චිම දිවයින්, උතුරුතුරු දිවයින්, ජම්බුද්වීප, සප්තරත්න, සපරිවරින් සිටින චක්‍රවර්තී, දක්ෂිණවෘත ශංඛ, ස්වර්ණ මාඝධි යුගල, චක්‍රායුධ, සප්ත මහා සිදත්ත සාගර, යුගන්ධර පර්වත, ඊශධර පර්වත, කරවික පර්වත, සුදර්ශන පර්වත, නෙමින්ධර පර්වත, චිත්තක පර්වත, අශ්වකර්ණ පර්වත, අනවතප්ත විල්, ඡද්දන්ත විල්, කර්ණ මුණ්ඩ විල්, රථකාර විල්, සිංහප්‍රතාප විල්, මන්ද්‍රාකිණි විල්, කුණාල වල්, ගරුඬ රාජයෝ, සුංසුමාරයෝ, මඟුල් ධ්වජ, පතාකා, අශ්ව රාජයෝ, උපොසථ රාජයෝ, වාසුකී නම් නාගරාජයෝ, හංස රාජයෝ, වෘෂභ රාජයෝ, කෞඤ්ච රාජයෝ , චක්‍රමාකර රාජයෝ, ඡීවං ජීවකයෝ,වාතුර්මහාරාජිත දෙවියෝ, තව්තිසා දෙව්ලෝ, තුසිත දෙවියෝ, නිර්මාණරතී දෙව්ලෝ, රනිම්මනති වශවර්තී දෙව්ලෝ, රූපාවචර වූ බ්‍රාහ්මපාරිපාද්‍ය නම් බඹලෝ, අප්‍රමාණ සුභ නම් බඹලෝ ආභස්සතර නම් බඹ ලෝ, අප්‍රමාණභ නම් බඹලෝ, ශුභකීර්ණක නම් බඹලෝ, වෙහෙප්ඵල නම් බඹ ලෝ, අසඤ්ඤසන්ත නම් බඹලෝ, අවිහ නම් බඹලෝ, අතප්ප නම් බඹලෝ, සුදස්ස නම් බඹලෝ, සුදස්සී නම් බඹලෝ, අකනිෂ්ඨක නම් බඹලෝ…” (පූජාවලිය, 153 පිට, මහාභිනික්මන් පූජා කථා)

ගීතයෙහි රචකයා ආරම්භයේදීම නමදින්නේ ඒ අසිරිමත් බුදු යටිපතුල්ය. මෞන යන සංස්කෘත ශබ්දය මුනි ලෙසින් තත්සමව යෙදේ. එහි අදහස නිහඬ හෙවත් නිශ්ශබ්ද තැනැත්තා යන්නය. භාවනායෝගීව වැඩ සිටින ඕනෑම අයෙක් “මුනි” වේ. ධම්මප්‍රදීපිකාව දක්වන ලෙස එවැනි මුනිවරු වර්ග හයක් සිටිති. ඒ සියලු මුනිවරුන්ට අධිපති බැවින් බුදුහු මුනි මුනි නම් වෙති. “මුනිඳු” හෙවත් ගීතයෙහි දැක්වෙන මුනිගේ යන්නෙන් අදහස් වන්නේ ධර්ම ප්‍රදීපිකාවෙහි දැක්වෙන ලෙස මුනි ූ ඉන්ද්‍ර ු ුමුනින්ද්‍ර හෙවත් මුනිවරුන්ට අධිපති වන්නා, එනම් බුදුහුය.ගීතයෙහි ස්ථායී කොටසෙහි සඳහන් නිරිඳා දිළිඳා එකසේ යන්නද විමසිය යුතු වේ.

රජවරුන් හා දිළින්දන්ට ද කරුණාව දැක්විය හැකි වන්නේ ලෝක යථාර්ථය පසක් කරගත් ලොව්තුරා බුදුවරයන් වහන්සේට පමණි. එම උත්තරීතර චිත්ත ස්වභාවය හෙවත් මහාකාරුණික බව මනාව පැහැදිලි කරන අයුරු දළදා සිරිත නම් කෘතියෙහි දැක්වෙන්නේ මෙලෙසිනි.

“මේ බුදුරජාන කෙනෙකුන් වහන්සේ දීපංකර පාදමූලයෙදී සව්සතුන් කෙරෙහි පතල මහ කුලුණෙන් අත්පත් කරගත් නිවන් හැරැපියා සමතිස් පැරුම් පුරමින් පරවැඩ කළ සේක් ද, තවද බුදු මැ අදාන්ත වූ කූටදන්තාදී බමුණන් වූ, අජාසත් රජ ආදී රජුන්ද, අංගුලිමාලාදී සොරුන්ද ආලවකාදී යකුන් ද සභිය ආදී පරිබ්‍රාජකයන්ද සච්චකාදී තීර්ථකයන්ද උරුවෙලකාශවාදී ජටිලයන්ද නන්දෝපනන්දාදී නා රජුන්ද නාලාගිරි ආදී ඇතුන්ද සක්දෙවිඳු ආදී දෙවියන්ද, බකාදී බඹුන්ද, රාහු අසුරිදු යැ යන මේ ආදීන් ඍධි ධර්‍ම දේශනාදීත් දමා අමා මඟ නිවන් පුරයට පමුණුවා වදාළ සේක්ද? (මේ) ඒ සද්ධර්මචක්‍රවර්තී වූ තථාගත අප්‍රති පුද්ගල අසමසම දශබලධාරී මහා කාරුණික වූ සර්‍වඥ රජෝත්තමයාණෝ….” (දළදා සිරිත – 23 පිටුව)

මේ අනුව ගීතයේ ස්ථායි කොටසෙන් ගීතයේ රචකයා නැමදීමට අපටද ආරාධනා කර සිටින බුදු සිරිපතුලේ අසිරිමත් බව ඉතා සරල වදන් කීපයකින් මනා ලෙස සිත්තම් කරයි.

පළමු අන්තරා කොටස ඇරඹෙන්නේ අඳුරු රුදුරු සංසාරයේ තැවෙන්නා වූ පාපී ජනයා පිළිබඳව සඳහන් කරමිනි. නිවන් දැකීමට අපොහොසත් වූ සියලුදෙනා භව තෘෂ්ණාව හේතුවෙන් රුදුරු අඳුරු සංසාරයේ සැරිසරන බව භක්ති ශතකයෙහිද මෙසේ දැක්වේ.

ආත්ම බුද්ධිරිහ යස්‍ය ජායතෙ
සා ච තස්‍ය ජනයෙදහංකෘතිම්
සා තනොති සූතරං භවස්සහාං
සෛ,ව මොහජනනී මුහුදුර්මුහුඃ – භක්ති ශතකය – 86 ශ්ලෝකය

යම් පුද්ගලයකුට පඤ්චස්කන්ධයෙහි ආත්මය යැයි හැඟීම නිසා අහංකාරය හෙවත් මමය යන හැඟීම ඇති වේ. එය නියත වශයෙන්ම භව තෘෂ්ණාව ඇති කරයි. ඒ භව තෘෂ්ණාව මොහොතක් පාසා මෝහය උපදවයි.

ගීතයෙහි දැක්වෙන ලෙසට බුදුන් වහන්සේ විසින් මෙත් ගඟ නහවා සෙත් පා ඇත්තේ එකී පාපී දනා වෙතය. ඒ මාරජී භගවා හෙවත් මාර පරාජය කළ ලොව්තුරා බුදුන් වහන්සේය. මෙහි මාරජී යනුවෙන් යොදා ඇත්තේ මාරයා පැරදූ යන අරුතෙනි. “ජි” යන සංස්කෘත ක්‍රියා පදයෙන් ජයති යන අර්ථය ලැබේ. සටන් කිරීම, පැරදවීම, ජයගැනීම යන අර්ථය “ජයති” ශබ්දයෙන් කියැවේ. ගීතයේ දෙවැනි අන්තරා කොටසෙන් රාජ සෞභාග්‍ය පය ධූවිලි සේ අත්හැරි නරදම් හෙවත් නරෝත්තමයා පිළිබඳව කියැවේ. සිදුහත් කුමරුගේ රජ සැප වින්දනය හා බැඳි පුවත් ඉතා ප්‍රකටය.

රජකුමරෙකු ලෙස විඳි සුවපහසු ජීවිතය තරුණ වියේදීම හැර දමා ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස මාලිගයෙන් නික්මීම පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන පුවතට වඩා අරියපරියේසන සූත්‍රයේ පහත දැක්වෙන බුද්ධ දේශනාව සංවේදී බවින් යුතුය. (සිංහල පරිවර්තනය)

“මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙමි ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරු යුක්ත වූයෙමි. නොකැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී කෙස් රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙමි….” (මජ්ක්‍ඩිම නිකාය – අරියපරියේසන සූත්‍රය)

ගීතයෙහි පුනරුච්චරාරණය කෙරෙන “ශ්‍රී පා” හිමි වූයේ ඒ උත්තරීතර ආශ්චර්ය වූ මනුෂ්‍යයාටය. ගීතයෙහි තුන්වන අන්තරා කොටසෙහි පෙරුම් දම් පුරා මාර පරාජය කර අනර්ඝ මෝක්ෂය ලැබූ බව කියැවේ. “මෝක්ෂ” යන්නෙහි අරුත නම් මිදීම හෝ නිදහස්වීම යන්නය. බුදුන් වහන්සේ නිදහස් වී අන්‍යයන්ද නිදහස් කිරීමේ මාර්ගය වටහා ගැනීම නම් ලොව්තුරා බුද්ධත්වයට පත්විය යුතුය. ඒ ලොව්තුරා බුද්ධත්වය නම් කවර ස්වරූපයකැයි ධම්මප්‍රදීපිකාවෙහි මෙසේ දැක්වේ.

“සර්ධධර්මයන් සර්වාකාරයෙන් පරෝපදේශරහිත වැ ස්වයම්භූඥානයෙන් නිරවශේෂ කොට අවගමන කළ බැවින් “සම්‍යක් සම්බුද්ධ” නම් වේ. (ධර්‍මප්‍රදීපිකා – 28 පිටුව)

එසේ අනර්ඝ මෝක්ෂය ලබන ලද්දේ ගීතයෙහි අදහස් ලෙසට “මරුන් මන් මරා” දමමින් හෙවත් මාර පරාජය කරමිනි. එම අසිරිමත් සිදුවීම අමාවතුරෙහි මෙසේ විස්තර කෙරේ.

“එ සඳ මහපොළොව රැව්සුවහස් විහිද හැඬූවැ. එ සඳ යෙළසියක් යෙදුන් ගිරිමෙවුලා නම් ඇත් දරා එවැ, බැසැ – හෙවැ, මහපුරිසා සරණ ගියෙ. මරදෙව්පිත් බියපත්වැ මරපිරිස් සමඟ ගත් අවි පිළි පළදනා පියා සැලැයි. එකල්හි දෙව්බඹහු පලන මහපිරිස් දැකැ, මර පරද සිද්ධත් කුමර දිනි යැ, ජයමඟුල් කරම්හ’යි නයි නයින් කරා යවුහැ. ගුරුළුහු ගුරුළුන් කරා යමුහැ. දෙවියො දෙවියන් කරා යැවුහැ. බඹහු බඹුන් කරා යැවුහැ. මෙසේහෙයින් දසදහස් ලොබා වැසි දෙව් බඹහු සතුටු, සොම්නස්වැ ජයමඟුල් ගෙහෙමින් ගඳමල් ගෙනැ අවුදු මහසත්හු පිරිමැරූහ. (සවසන්තානදමනය – අමාවතුර)

ගීතයෙහි හතරවන අන්තරා කොටසෙහි සඳහන් වන්නේ තුන්ලොවට තවමත් වඳිනුයේ ලෝක සාමය උදාකරලූ හෙවත් සැදූ හෙයින් බවය. මෙහිදි සාමය සෑදූ යනුවෙන් දැක්වෙන්නේ සියලු සත්ත්වයින් වෙත සැදූ කරුණා මෛත්‍රිය යන අදහස බව පෙනේ. එකිනෙකාට මෛත්‍රී කරන්නේ නම් ලොවෙහි කිසිදු ගැටුමක් පැවතිය නොහැකිය.

ගීතය අවසන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය හමුවේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට තම හිස උන්වහන්සේගේ පා පිසීමට පූජාකිරීමට තරම් එකී ගුණ කදම්බය උත්තරීතර වන බවය. වර්තමානයේ පවා ඇතැම් ආගමික නායකයින් පා නගන විට ස්ත්‍රීන් තම හිසසේ කඩා දමා පාවඩයක් සේ හෙලණු දක්නට ලැබෙන්නේ එම අදහසිනි. මනුෂ්‍යයන් තබා තුන් ලෝකයේ බලවත් අයෙකු ලෙස සැලකෙන මහා බ්‍රහ්මයාගේ හිසෙහි වුවද බුදුන් වහන්සේට පා පිසිය හැකි බව “සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා..” යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන්නේ එබැවිනි. පාපිස්සක රැඳෙන්නේ පාදවල රැඳි දූවිල්ලය. තමා එම දූවිලි හෙවත් බුදුසිරිපා ගැටි දූවිල්ල ද බැති සිතින් පිළිගන්නා බව භක්ති ශතකයෙහි සඳහන් වේ.

ත්‍රිභුවනමසකෘත් නිරූප්‍ය යුෂ්මත්
පදසරසීරුහරෙණුමාශ්‍රීතොහම්
ශරණමයමයඤ්ච දෛවතම්මෙ
ගතිරපරා මම නාස්ති නාස්ති නාස්ති (භක්ති ශතකය – 12 ශ්ලෝකය)

මම තුන්ලොව නොයෙක් වර පරීක්ෂා කොට බලා නුඹ වහන්සේගේ පා දූවිල්ල ඇසුරු කළෙමි. මේ ශ්‍රී පාද රේණුව මත පිහිටය. මට දෙවිය. මම ඒ හැර අන් පිහිටක් නැත. නැත. නැත.

මෙසේ මෙම ගීතය පුරා මහත්වූ ශ්‍රද්ධා භක්තිය දැනවෙන යෙදුම්වලින් අන්තර්ගතය. හින්දී ගී තනුවකදී ඊට සිංහල වචන යොදන විට නිරවුල් පැහැදිලි සංකල්පයක් ඇතුළත් කිරීම අසීරු කටයුත්තකි. මෙහිදී බුදුගුණ ගැයීමට තරම් මෘදු තනුවක් උපයෝගී කරගෙන අසන්නාගේ සිතෙහි ශ්‍රද්ධාවක් ජනිත කිරීමට තරම් පොහොනා නිර්මාණයක් කිරීමට ප්‍රබන්ධක කරුණාරත්න අබේසේකරයන් හා සංගීතවත් කරමින් ගායනය කළ සිසිර සේනාරත්නයන්ද සමත්ව ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *