උඳුවප් පොහොය දින වැදගත්කම

rashi
By rashi
8 Min Read

සංඝමිත්තා තෙරණියන් වහන්සේගේ ලංකාගමනය සහ භික්ෂුණී පරපුර ආරම්භ වීම

මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ

ක්‍රි. පූ. 247 වසරේ උඳුවප් හෙවත් මග්ගසිර මාසයේදී සංඝමිත්තා රහත් තෙරණියන්වහන්සේ ලක්දිවට වැඩම වූ බව ඉතිහාසගත සිද්ධියකි. ඒ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහානාග යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පැවිදිභාවය ඉල්ලා සිටීම නිසාය. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බාලපණ්ඩිත නම් සූත්‍රාන්ත ධර්ම දේශනාව ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත් වූ අනුලා දේවිය ඇතුළු ස්ත්‍රීන් පන්සියයක්දෙනා දේවානම්පියතිස්ස රජු විසින් කරන ලද ආරාම පූජාවේදී මහින්ද මහ රහතන් වහන්සේට වන්දනා කිරීම පිණිස පැමිණියෝ සකෘදාගාමි ඵලයට පත්වූහ. තමන් ඇතුළු කාන්තා පිරිස පැවිදි වීමට කැමැති බව අනුලා දේවිය දේවානම්පියතිස්ස රජුට පැවසුවාය. ඒ විස්තරය මහාවංසයේ සඳහන් වන්නේය.

රජතුමා කාන්තාවන්ගේ පැවිදිවීමේ අවශ්‍යතාව පිළිබඳව මිහිඳු මහ රහතන් වහන්සේට පැවසූවිට උන්වහන්සේ කියා සිටියේ

‘න කප්පති මහාරාජ පබ්බාජේතුං ත්‍ථියො හි නො’ යනුවෙන් තමන්ට ස්ත්‍රීන් පැවිදි කරවීමට කැප නැති බවයි.

සංඝමිත්තා ගමනයේ කතාන්දරය දිග හැරෙන්නේ මෙතැන් සිටය. ඒ හා සම්බන්ධ පාලි ගාථා ද සිංහල අර්ථය ද මහාවංසයෙන් කියවා දැනගත හැකිය. මාගේ නැඟණි වූ සංඝමිත්තා නමින් ප්‍රසිද්ධ වූ බහුශ්‍රැත වූ මෙහෙණින්නක් තොමෝ පැළලුප් නුවර ඇත්තීය. නරේන්ද්‍රය ඕතොමෝ ශ්‍රමණෙන්ද්‍ර වූ සර්වඥයන් වහන්සේගේ මහා බෝධි වෘක්ෂ රාජයාගෙන් දක්ෂිණ ශාඛාව ද එසේම උත්තම වූ භික්ෂුණීන් ද ගෙන වඩනා සේක්වා’යි අප පිය මහරජු කරා හසුන් යව ව. ඒ ස්ථවිරීතොමෝ මෙහි අවුත් මේ ස්ත්‍රීන් පැවිදි කරන්නීය’ යි රජහට වදාළ සේක.

මිහිඳු මහ රහතන් වහන්සේ සහ රජතුමා අතර මේ සංවාදය සිදුවූයේ පොසොන් මාසයේදීය. පොසොන් මාසයේ සිට උඳුවප් මාසය දක්වා කාලසීමාවේදී ඇතිවන්නේ ඉහත දැක්වූ ඒ වැදගත් කාර්යද්වය සඳහා සූදානම් වීමයි. ස්ත්‍රී පැවිද්ද ලක්දිව ආරම්භ කිරීමට මඟ පෑදුණේ අනුලා දේවිය විසින් භික්ෂුණීත්වය සඳහා රජතුමාට කරන ලද ඉල්ලීම අනුව බව ද මෙහිදී මනාව පැහැදිලි වේ. සඟමිත් රහත් තෙරණිය තවත් භික්ෂුණීන් සමග කාන්තාවන් පැවිදි කිරීම සඳහා පැමිණීමේදී බෝ රදුන්ගේ දක්ඛිණ ශාඛාවද වඩමවා ගෙන එන ලෙස ධර්මාශෝක රජතුමාට දන්වා යවන මෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට සහ ධර්මාශෝක අධිරාජ්‍යයා සංඝමිත්තා රහත් තෙරණියට දන්වා සිටි ආකාරය මනහරය.

ලක්දිවට බුදු දහම ගෙන ඒමෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණියන් යටතේ පැවිදිභාවය ලබාගෙන බුදු සසුනේ මාර්ගඵලාබෝධය ප්‍රථමයෙන්ම ලබාගන්නා ලද්දේ කාන්තාවන් විසිනි. භාරතයේ සිට ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ දූත මෙහෙවර කරන ලද්දේද කාන්තාවක විසිනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ගෞරවයට ද පූජනීයත්වයට ද පත් වූ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම වන ලද්දේ ද කාන්තාවක විසිනි. මේ සියල්ලටම මුල් වූයේ උඳුවප් මාසයේ සිදු වූ සංඝමිත්තා රහත් තෙරණියන් වහන්සේගේ ලංකා ගමනයයි. එබැවින්ම උඳුවප් මාසය බෞද්ධ ජනතාවට ඉමහත් සේ වැදගත් වේ. උඳුවප් පුන් පොහොය ශ්‍රේෂ්ඨ ආගමික දිනයකි.

සංඝමිත්තා රහත් තෙරණියන් සහ ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා දඹදිව පැළලුප් නුවරට දූත පිරිසක් යවන ලද්දේ වප් මාසයෙහි ශුක්ල පක්ෂයෙහි දෙවන දවසේ බව මහාවංසය මෙසේ සඳහන් කර ඇත.

‘අස්සයුජ සුක්ක පක්ඛේ නික්ඛන්තො දුතියෙ’හනි
සොනුයුත්තො ජම්බුකෝලෙ නාවං ආරුය්හ පට්ටනෙ’

මෙහි අස්සයුජ යනුවෙන් හඳුන්වා ඇත්තේ සිංහල මාස ක්‍රමය අනුව වප් මාසයයි. දඹදිව ගිය එම දූත පිරිසෙහි නායකයා වූයේ අරිට්ඨ කුමාරයාය. පැළලුප් නුවරට පැමිණි අරිට්ඨ කුමාරයා ප්‍රමුඛ පිරිස රජතුමාගේ එම පණිවිඩය ධර්මාශෝක අධිරාජයාට දන්වා සිටියහ. ඒ පණිවිඩය සමන්තපාසාදිකා විනය අටුවාවෙහි බාහිර නිධානයේ විස්තරාත්මකව දැක්වේ.

දේවයන් වහන්ස, ඔබගේ පුත්‍ර වූ මහා මහින්ද මහා ස්ථවීරයන් වහන්සේ ඔබ වහන්සේගේ යහළු වූ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා නම් දේවී තොමෝ පැවිදිවනු කැමැත්තීය. ඇය පැවිදි කරන්නට ආර්ය සංඝමිත්‍රා ස්ථවීරින් එවනු මැනවි. ඒ ආර්යාව සමගම මහාබෝධියත් එවහු’යි දන්වන්නට මට නියම කළ සේක්යැයි කීයේය.

ධර්මාශෝක අධිරාජයා තම දියණිය වූ සංඝමිත්තා රහත් තෙරණිය ලක්දිවට යැවීමට කැමැති නොවූව ද බුදුදහම ලක්දිව පතුරුවා ලීමේ පරම උතුම් අදහසින්ම දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීමට එකඟ විය. ඒ බව සඳහන් කරන සමන්තපාසාදිකාව, සංඝමිත්තා රහත් තෙරණියන්ගේ අදහස මෙලෙසින් දක්වා ඇත.

මහරජ, මාගේ සොහොයුරුගේ වචනය මට බරය. අනුලා ක්‍ෂත්‍රියා තොමෝද දහසක් ස්ත්‍රීන්ගෙන් පිරිවරණ ලද්දී පැවිද්ද පිණිස උපන් ආශාව පෙරටුකොට ඇත්තී මා එනු බලාපොරොත්තු වේ. මහරජ, එහෙයින් මම එහි යමි’යි සංඝමිත්තා තොමෝ කියා සිටියාය. එසේ නම් දුව! මහා බෝධියත් ගෙන යව’යි අධිරාජ්‍යයා කීයේය.

සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ සඳහන් ඉහත විස්තර මෙහි උපුටා දැක්වූයේ සංඝමිත්තා රහත් තෙරණියන්ගේ ලංකාගමනයට බලපෑ ප්‍රධාන හේතූන් පැහැදිලි කිරීමටය. තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම වූයේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා දේවිය තොමෝ පන්සියයක් කන්‍යාවන් හා පන්සියයක් ඇතුළු පුරවැසි ස්ත්‍රීන් සමග පැවිදිවනු කැමැත්තීය. මාගේ ඊම බලාපොරොත්තු වෙති. මහරජ, එහෙයින් මම හෙළදිවට යමි යන අදහසිනි.

ශ්‍රී මහා බෝධි ශාඛාව ද වඩමවන ලෙස ධර්මාශෝක අධිරාජයා තෙරණියන්ට යෝජනා කළේ ඉන්පසුවය. මිහිඳු මහ රහතන් වහන්සේගේත් දේවානම්පියතිස්ස රජතුමාගේත් පණිවිඩය වූයේ පැළලුප් නුවරට ගොස් මහා බෝධිය සමග ආර්ය සංඝමිත්‍රා ස්ථවිරීන් මෙහි (ලක්දිවට) කැඳවාගෙන ඒමයි. රජතුමාට මේ සිද්ධිය සිහිපත්ව ඇත්තේ වස්සාන කාලය තුළදී බව මහාවංසය සඳහන් වේ.

දඹදිව සිට ලක්දිවට ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කිරීම සහ ලක්දිව කාන්තාවන් පැවිදි කිරීම පිළිබඳ කතාන්දරය මෙතැන් සිට මහාවංසයෙන් සහ වංසත්ථප්පකාසිනියෙන් සාකච්ඡා වේ. සංදේශය රැගත් අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිවට යෑමට දඹකොළ පටුනෙන් පිටත්වූයේ අස්සයුජ මාසයේදීය. ඉන්දීය චන්ද්‍ර මාස ක්‍රමය අනුව අස්සයුජ මාසය යනු සැප්තැම්බර් මස පුර පොහෝ දින සිට ඔක්තෝබර් මස පුන් පොහෝ දින දක්වා කාලයයි. එය චන්ද්‍රයා වැඩෙන පසළොස්වන දිනය පුරපක්ෂය නමින් හැඳින්වේ.

එසේ නම් සංඝමිත්තා තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම පිළිබඳ සංදේශය දේවානම්පියතිස්ස රජතුමා ධර්මාශෝක අධිරාජයාට යවා ඇත්තේ වප් පුර පසළොස්වක පොහොය දිනයට පසු දෙවන දිනයේදීය. වප් මාසයේ බෞද්ධාගමික වැදගත්කම හා සම්බන්ධව රචනා කෙරෙන ග්‍රන්ථයේ මේ කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇත.

මෙලෙස මහා බෝධි ග්‍රහණය හා සම්බන්ධ කටයුතු දඹදිව පැළලුප් නුවර සිදුවන කාලවකවානුවේදී ලක්දිව අනුලා දේවි ඇතුළු කාන්තාවෝ සඟමිත් රහත් තෙරණියන් වහන්සේ වැඩම කර තමා පැවිදි කරවන තුරු දස සිල් සමාදන් වී උපාසිකා විහාරයේ වාසය කළහ. මෙතැන් සිට මේ ග්‍රන්ථයෙන් සාකච්ඡා කරනු ලබන්නේ ලක්දිව භික්ෂුණී පරම්පරාවක ආරම්භය සහ එහි ව්‍යාප්තිය හා සම්බන්ධ තොරතුරුයි. භික්ෂුණී පරපුර හා සම්බන්ධව තොරතුරු විමසීමේදී වඩාත්ම වැදගත් වූයේ දීපවංසයයි.

ලක්දිවට බුදුදහම ගෙන ඒමෙන් පසුව මුල් බීජය වටා ගෙතී රෝපණය වූ ඉතිහාසය සම්ප්‍රදායයන් සමූහය එකම ග්‍රන්ථයකට යොමු කොට සම්පාදනය කිරීමට ගත් මුල්ම ප්‍රයත්නය වූයේ දීපවංසය රචනා කිරීමයි. ඉතිහාසය පරම්පරාවෙන් දැනට ඉතිරි වී ඇති පැරණිම වාර්තාව වශයෙන් දීපවංසය ක්‍රි.පූ. පළමු වන සියවසේ සිට ක්‍රි.ව. හතර වන සියවස දක්වා කාලපරිච්ඡේදය අතරතුර සකස් වූ කෘතියක් ලෙස සැලකේ. එබැවින් දීපවංසය කඩින්කඩ රචනා කරගෙන එන ලදුව පසුව ක්‍රි.ව. හතර වන සහ පස්වන ශතවර්ෂ අතර කාලය තුළදී ග්‍රන්ථයක් වශයෙන් සකස් කරන ලද බව ජී.සී. මැන්දිස් මහතා සඳහන් කර ඇත. දඹදිව මහා ප්‍රජාපතී රහත් තෙරණියන් වහන්සේගේ කාලයේ සිට ලක්දිව භාතිකාභය රාජ්‍ය කාලය (ක්‍රි.පූ. 22 – ක්‍රි.ව. 7) තෙක් පැවැති භික්ෂුණී ආචාර්ය පරම්පරාව පිළිබඳව විස්තරයක් දීපවංසයේ දැක්වේ. දීපවංසය සලකනු ලබන්නේ භික්ෂුණීන් විසින් රචනා කරන ලද කෘතියක් ලෙසටය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *