නවම් පොහොය දින වැදගත්කම

cmadurawala
7 Min Read

මානවතිලක වර්ෂා හැන්නදිගේ

නවම් පසළොස්වක පුන් පෝදා සම්බුද්ධ ශාසනයෙන්

ශ්‍රී දීපංකර බුදු පාමුලදී සුමේධ තාපසයාව සිටි අවස්ථාවේදී තමන්ට බුදු බව ලැබීමට දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනයෙන් නියත විවරණ ලැබුවා වූ සුමේධ තාපස තෙමේ, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් වූ දීර්ඝ සංසාර ගමනේ, මැරි මැරී ඉපැදී ඉපැදී මෙයට වසර දෙදහස් හයසිය තිස්එකකට පෙර, අප අසල්වැසි ඉන්දියාවේ දඹදිව් තලයේ වර්තමාන නේපාලයේ එදා මල්ලව රජදරුවන්ගේ ලුම්බිණි සල් උයනේදී සිද්ධාර්ථ නමින් රජ කුමරෙක්ව උප්පත්තිය ලදහ.

එයින් වසර තිස්පහකට පසුව මෙයට වසර දෙදහස් පන්සිය අනූහයකට පෙර දඹදිව් තලයේ බුද්ධගයාවේ ඇසතු බෝධියට පිටදී සියලු බැඳීම් ඇලීම් අත්හැරීමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසු මිනිසකු වශයෙන් ලැබිය හැකි උතුම්ම අභිෂේකය වූ සම්මා සම්බුද්ධත්වය, තමන් වහන්සේ විසින්ම අවබෝධ ඥානය ලබාගත් සේක. දෙව් බඹුන්, මිනිසුන් සහිත වූ තුන්ලොවටම අග්‍ර වූ සේක. තුන් ලෝ තිලක වූ සේක.

සත්සති ගති කිරීමෙන් අනතුරුව පුරා මාසයක් ගතවීමෙන් පසු පස්වග තවුසන් හමුවී දේශනා කළ පළමු ධර්ම දේශනාව ‘ධම්ම චක්ක පවත්තන සූත්‍රය’ දේශනා කිරීමෙන් පසු ආරම්භ කළ සංඝ ශාසනයේ පස්වග මහණුන්ගෙන් ද යසකුල පුත්‍රයා සමගින් වූ යහළුවන් පනස් හතර දෙනාගෙන් ද එතැන් සිට එක්දහස් දෙසිය පනස් දෙනකු වූ මහ රහත් සංඝයා වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයේදී එක්රැස්වී පළමු සංඝ සම්මේලනය පැවැත්වූයේ අද වැනි නවම් මස පුර පසළොස්වක පෝ දිනකය. ලොවෙහි පළමුවරට බලය, නිලය, ඥාතිත්වය, තමන්වහන්සේට තිබූ ඇඟෑලුම්කම් සම්බන්ධීකරණ සියල්ල ඉවතලා, සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ සම්බුදු ධර්ම රාජ්‍යයේ පළමු තනතුරු ප්‍රදානය වූ අග්‍ර ශ්‍රාවක දෙනම තනතුරුවලින් ශක්තිමත් කළේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

රාජ්‍යයන් පාලනය කිරීමටත් නීති රීති අවශ්‍ය වේ. නීතිය සමගින් විනය ස්ථාපිත කිරීමෙන්, රාජ්‍යයේ හෝ ආයතනයේ හෝ එකමුතු සංවිධානයේ ආයු පවතින්නේය. සම්බුදු ධර්ම රාජ්‍යයේ පළමු නීති මාලාව ලෙසට සංඝ සමාජයේ පැවැත්මට, භික්ෂූන් වහන්සේලාට ‘ඕවාද පාතිමොක්ඛය’ දේශනා කළේත් අද වැනි නවම් මස පුන්පොහෝ දිනකය.

දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන්ගේ හිතසුව පිණිසත්, දිවි පැවැත්ම උදෙසාත්, රාජ්‍ය පාලනය උදෙසාත් ඒ සියල්ල කෙළවර සසර දුකෙන් එතෙර වී මේ ආත්ම භවයේදී මියයෑමෙන් පසු නැවත ඉපැදීමකින් තොර සසර භවදුක කෙළවර වන්නා වූ ‘නිර්වාණ සැපත’ ලබාගැනීමටත් සකල සත්ත්වයා වෙත පතලා වූ කරුණාවෙන් ඒ අමා දහම් මඟ පෙන්වා දුන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය අසල දී අද වැනි නවම්පුර පුන් පෝ දිනෙක ආයුසංස්කාරය අත්හැර මෙයින් මාස තුනකට පසු පිරිනිවන් පාන බව සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරුන් වහන්සේට දැනුම් දුන්නා වූ වග සුවාසු දහසක් ධර්මස්කන්ධය ඒකරාශී කළ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය පරිශීලනය කරන්නා වූ අයට පැහැදිලි වන්නේය.

පුණ්ඩරීකං යථා වග්ගු – තොයෙන න උපලිප්පති
එවං පුඤෙඤච පාපෙච – උභයෙ ත්වං න ලිප්පසි
පාදෙ වීර පසාරෙහි – සභියො වන්දති සත්ථුනො

මනරම් පියුම දියෙහි යම් සේ නොතැවරෙන්නේ ද එමෙන් ඔබ වහන්සේ පින්පව් දෙකෙහි තැවැරෙන්නේ නැත. වීරයාණන්වහන්ස: ඔබ වහන්සේගේ පාසඟල දිගු කරන්න.

ම පාද නමස්කාරය කරන්නෙමි. සම්බුදු සසුනෙහි පැවිද්ද මට ලබාදෙන සේක්වා.

සභිය’ නමැති අන්‍ය ආගමික තීර්ථකයෙක් එදා බුදුරජුන් දෙසූ ධර්මය අසා, සම්බුදු සසුනෙහි පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේය. සිත ගැන ගවේෂණාත්මක යුගයක්ව පැවැති සිදුහත් උප්පත්තිය සිදුවී, රජ කුමරෙක් සියලු සැප සම්පත් ඉවත දමා ලොවෙහි ලැබිය හැකි පරම සුවය ‘සිතේ බලය’ උගතුන්, බුද්ධිමතුන්, අනුගමනය කරන්නා වූ සහපිරිවර සමගින් ජීවමාන බුදුන් දැක නිවන් අවබෝධය ලබාගත් ජීවමාන බුදු සමය පන්සාළිස් වසරකට සීමා විය. එහෙත් එදාට වඩා අද, සම්බුදු දහමේ ව්‍යාප්තිය ආසියාවේ පමණක් නොව, ලොවෙහි මිලියන හාරසීයකට වැඩි ජනතාවක් බුදු දහමින් සැනසිලි සුවය ලබා ගැනීමට මානසික සහනය උදෙසා වැඩි කැමැත්තකින් යොමුවී ඇත.

ජීවිතය කටුක බව, ගැටලු සහිත බව, ආශාවෙන් හා බැඳීමෙන් එක්රැස් කළ සියල්ල මරණයෙන් අත්හැර යන බව, ජීවත්වීම, පැවැත්ම, බලාපොරොත්තු, ප්‍රාර්ථනා සියල්ලේ අනිත්‍ය බව, සම්බුදු දහම සොයා බලන්නා වූ සැමට එක සේ එදත් අදත් හෙටත් පැහැදිලි වන්නේ, සම්බුදු දහමින් පමණය.

රාත්‍රිර්‍ගමිෂ්‍යති භවිෂ්‍යති සුප්‍රභාතං – හාස්වානුදෙෂ්‍යති හසිෂ්‍යති පද්මජාලම්
ඉත්‍ථං විචින්තයති කොශගතෙ – ද්විරෙඵෙ හා, හන්ත, හන්ත නලීනී. ගජ උජ්ජහාර

මී මැස්සා පැණි බොමින් සිටියදී නොදැන මෑ මල මුකුලිත වූයේ දිනෙන් දින ජරාමල ළං වේ. එක ලෙඩක් පැමිණි විට මිනිසා මලෙහි හිර වූ මී මැස්සා ඉර උදා වූ කල පැන යන්නට සිතන්නා සේ, ලෙඩ සුව වූ පසු හොඳ මිනිසකු වන්නටත් පරලොව සඳහා පින් කරන්නටත් සිතයි. එහෙත් ඒ ලෙසින්ම මරණය සිදුවෙයි. තමාගේ ජීවිතයත් තමාගේ ධනයත් තමාට නැති වෙයි.

එසේ බුදු දහම පාලි භාෂාවෙන්, තේරුම් ගැනීමට උත්සුක නොවන, මෙසමයෙහි ත්‍රිපිටකය පාලි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති මේ යුගයේ ජීවත් වීම, සසර දුක, එය නැති කිරීමේ මාර්ගය තමා හට ඇතැඹුලක් සේ පවතිද්දීත් ආශාව හා බැඳීම පසුපසම හඹා යන චින්තනය, වැසි සහිත දිනවලට මතුවී ආලෝකය කරා පියාඹාගෙන එන මෙරුන් සේ තම ජීවිත විනාශ කරගන්නා තෙක් පමණක් චින්තනය හසුරුවා ගන්නා බවයි.

බුදු දහමින් චින්තනය පුබුදුවාගත යුතු වන්නේ, සාරගුණ ධර්ම පිරි සමාජයක යහපැවැත්ම උදෙසා නීතිගරුක, විනයගරුක හොඳ යහපත් පුරවැසියකු වීම චින්තනයෙහි අවදි කිරීම උදෙසාය.

බුදුදහම පදනම් වී ඇත්තේ, සිත මූලික කරගෙන නිසා සිත යනු සියලු දේට මුල්වීමය. හොඳ නරක, යහපත අයහපත, සියල්ල සිදුවන්නේ සිත තුළ ක්‍රියාත්මක වන අදහස් තුළින් වන නිසා වර්තමාන සමාජයේ අද මුළු ලොවම එක පියැස්සක් සේ ව්‍යාප්ත වී ඇති, සම්බන්ධීකරණ ජාලාව නිසා, මිනිස් චින්තනය යහපතට පුබුදුවාලන්නට, බුදු දහමින් කළ හැකි යහපත අපමණය. බුදුන් තෙවරක් ජීවමානව වැඩම කළ ශ්‍රී ලංකාද්වීපය තුන්වරක්ම බුදුන්ට පූජා කළ මෙම පින්බිම වෙසෙන මිනිසුන්ගේ චින්තනයේ ඇති විනාශකාරී තත්ත්ව නිසා ගැටුම්, ආරවුල්, බෙදීම්, යුදගිනි ඇවිළී ඇත.

මෙම යුදගිනි නිවාලමින් සිත සන්සුන් කිරීමටත්, ජන ජීවිතය යහත් කිරීමටත්, සදාචාර ගුණධර්ම ඇති කිරීමටත්, රාජ්‍ය පාලනය යහපත් කිරීමටත්, මිනිසාගේ සිත පංචසීලය තුළ පස්පවින් වැළකී කටයුතු කිරීමේ සිතුවිල්ල රජ කරවු විට, සියලු දැවෙන ප්‍රශ්න විසඳී යන්නේය. යම් කෙනකු එය නොතකන්නේ ද පණ ඇති කකුළුවන් තැම්බීමට ජලය බහා ලූ භාජනයක ජලය මතුපිට දිය කෙළින කකුළුවන් සේ බේරී යෑමට නොහැකි බව ධනය, බලය, නිලය නිසාවෙන් මුදල්ම පසුපස හඹායන චින්තනය නිවැරදි නොවන බව පැහැදිලි වන තෙක් ගැටුම් ආරවුල්වලින් විනාශය වැළකීමට නොහැකි වන සේම බුදුදහම අනුව රාජ්‍ය පාලනය කරන රාජ්‍ය නායකයන්ගේ රාජ්‍ය පාලනය තුළින් නැවත යහපත උදාවී මිනිස්කම සාරගුණධර්ම රජයන සමාජයක් ඇති කිරීමට බුදු සිරිත මඟපෙන්වනු ඇත.

සැමට සම්මා සම්බුදු සරණයි!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *