සන්ථාගාරය

cmadurawala
8 Min Read

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

සන්ථාගාරය යන වචනය අයත් වන්නේ පාලි භාෂාවටයි. එය, එහි රැස්වීම් ශාලාව යන අර්ථයෙන් යොදා ඇත. ලිච්ඡවී රජවරුන් සන්ථාගාරයට රැස්ව බුදු ගුණ, දම් ගුණ සහ සඟ ගුණ ගැන සාකච්ඡා කළ බව විනය පිටකයට අයත් මහාවග්ගපාලියෙහි භේසජ්ජක්ඛන්ධකයෙහි එන සීහභාණවාර නම් කොටසෙහි සඳහන් වෙයි. බුදුන් වහන්සේ ගැන කතා කිරීම යනු මනුෂ්‍යාත්මභාවයකින් ලද හැකි විශිෂ්ට ගුණ ගැන කතා කිරීමකි. ධර්මය යනු, යහපත ගැන කතා කිරීම වන අතර සංඝරත්නය ගැන කතා කිරීම යනු, ධර්මයේ වාහකයන් ගැන කතා කිරීම වෙයි. එහෙයින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයාණන් ලෙස වැඩවිසූ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ යුගයේ සරසවියේ ආචාර්යවරුන් රැස්වන විවේක ශාලාව ‘සන්ථාගාරය’ ලෙස නම් කරන ලද්දේ එහි ඇති ගැඹුරු අරුත ගැන බලවත් හැඟීමක් ඇතිව බව පෙනේ.

මෙකී චතුත්ථභාණවාරයෙහි සඳහන් වන පරිදි සිංහ සේනාපති යනු, නිගණ්ඨනාථ පුත්‍රතුමන්ගේ ද සදාශ්‍රය ලද චරිතයකි. එබඳු වූ ඔහුට බුදුන් වහන්සේ දැකීමට යෑමේ කැමැත්ත ඇතිවෙයි. ඒ අවස්ථාවේ නාථ පුත්‍රතුමා ප්‍රශ්න කරන්නේ ක්‍රියාවාදියකු වන ඔබ අක්‍රියවාදියකු – අකිරියවාදියකු වන ශ්‍රමණ ගෞතමයන් වෙත කුමකට නම් යන්නේ ද යනුවෙනි. එහෙත් ඔහුට සිංහ සේනාපතිගේ ඒ ගමන වළක්වනු නොහැකි වෙයි.

සන්ථාගාර ශාලාවට යන එන සිංහ සේනාපතිට දක්නට ලැබෙන්නේ ප්‍රචලිත ලිච්ඡවී රජ දරුවන් බුදු – දම් – සඟ ගුණ ගැන ගැඹුරින් සාකච්ඡා කරන ආකාරයයි. මේ නිසා ඔහු නාථපුත්‍රතුමන්ට නොදන්වාම බුදුහිමියන් හමුවීමට යයි. මෙහිදී වැදගත් වන කරුණ වන්නේ බුදුන් වහන්සේ හමුවීමට තරම් ඔහු පොලඹවන්නේ සන්ථාගාරයේ සිදුවූ සාකච්ඡා වීමයි.

බුදුන් වහන්සේ තමා වෙත පැමිණ ප්‍රශ්න කළ සිංහ සේනාපතිට පවසන්නේ තමා නොකිරීම පිණිස දහම් දෙසීමෙන් ශ්‍රාවකයන් හික්මවන බවයි. එසේම සිඳලීම පිණිස ද පිළිකුල් බව පිණිස ද විනාශය පිණිස ද තපස පිණිස ද නොඉපදීම පිණිස ද අස්වැසුම පිණිස ද දහම් දෙසන බව බුදුහිමියෝ වැඩිදුරටත් පවසති. ඉක්බිති උන්වහන්සේ ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරති.

අප කාටත් වැටහී යන පරිදි නොකළ යුතු දෙය කවුරු කීවත් නොකළ යුතුය. එසේම කවුරුන් විසින් වළකන්නට හැදුවත් කළ යුතු දෙය කළ යුතුය. එසේම සිඳලිය යුතු දෙය සිඳලිය යුතු අතර පිළිකුල් කළ යුතු දෙය පිළිකුල් කළ යුතුය. තරහව – වෛරය – ද්වේෂය – රාගය අපේ ජීවිත අවුල් කරන්නේ නම් ඒවා සිඳලිය යුතුය. පාපය – වරද කවර යහපත් වේශයක් ගෙන අප වෙත පැමිණියත් ඒ පිළිකුල් කළ යුතුය.

අපට දැනෙන්නේ ආදරයෙන් වැලඳගත යුතු දෙය ආදරයෙන් වැලඳ ගන්නා අතර දුෂ්ටත්වය විනාශ කළ යුතු බවය. මෙයින් අදහස් වන්නේ පුද්ගලයන් විනාශ කිරීම නොව දුෂ්ටකම විනාශ කිරීමය. දුෂ්ටකම් හෝ යහපත්කම් ඇති වන්නේ අපේම සිත්වලයි. එහෙයින් අපේ සිත්වල ඇතිවන දුෂ්ටකම් පළමුව විනාශකොට අනුන්ගේ සිත්වල ඇතිවන දුෂ්ටකම් විනාශ කිරීම සඳහා අපට කළ හැකි දෙය කළ යුතුය.

බොහෝවිට උගත් නූගත් භේදයකින් තොරව පිරිස් රැස්වන තැන්වලදී සිදුවන්නේ දුෂ්ටයන් විනාශ කිරීම ගැන කතා කිරීමය. ඇතැමෙක් තමා තුළ දුෂ්ටත්වය තබාගෙන ලෝකයේ දුෂ්ටත්වයට විරුද්ධව කතා කරති; තමා ලෝභීව හිඳිමින් අනුන්ගේ ලෝබය ගැන කතා කරති.

තපස යනු, හික්මීම පිළිබඳ වන ක්‍රියා පිළිවෙතකි. නොඉපදීම ගැන කතා කිරීම යනු ජීවිතයේ දුකින් මිදීම ගැන කතා කිරීමකි. අස්වැසීම ගැන කතා කිරීම යනු ලෝකයට සුවය ගෙන දෙන සැටි ගැන කතා කිරීමකි. බුදුන් වහන්සේ වදාළ මෙම කරුණුය, සන්ථාගාරයේදී ලිච්ඡවී රජදරුවනට සිය සාකච්ඡාවන්ට මාතෘකාකොට ගැන්මට සිතුණේ. ඒ සන්ථාගාර සාකච්ඡාය, සිංහ සේනාපතිට දැනුණේ. ඒ නිසාය, ඔහු බුදුහිමියන් වෙත යැවුණේ.

මේ අනුව ශ්‍රී සෝරත නාහිමියන් හෝ මේ නම තැබූ විද්වතා අදහස් කරන්නට ඇත්තේ සරසවියේ සන්ථාගාරය ආහාර පාන ගන්නා පුවත්පත් – රූපවාහිනි බලන එක් එක් අයගේ පෞද්ගලික තොරතුරු ගැන කතාබස් කරන තැනකට වඩා අප කාගේත් ජීවිත තිබෙන තත්ත්වයට වඩා උසස් කරවන ගැඹුරු සාකච්ඡා පවත්වන තැනක් වීම විය යුතුය. ඒවා පෞද්ගලික වශයෙන් අපේ ජීවිත මෙන්ම පොදු වශයෙන් ලෝකයේ ජීවිතය ද උසස් කරවනසුලු විය යුතුය.

විශ්වවිද්‍යාලයක සන්ථාගාරයට – සාකච්ඡා ශාලාවට විවිධ විෂය නියෝජනය කරන විද්වත්හු පැමිණෙති. විද්‍යාඥයෝ ද කලාකරුවෝ ද සමාජ විද්‍යාඥයෝ ද ඉතිහාසඥයෝ ද කළමනාකරුවෝ ද භාෂඥයෝ ද ආදී වශයෙන් මේ විවිධ විද්වත් චරිත එක්තැනකදී එකට කිසියම් විවේකසහගත වූ කාලපරාසයකදී මුණගැසෙති. කවර හෝ ගැටලුවකට එක් අයකු ළඟ නැති පිළිතුර තවත් කෙනකු ළඟ තිබෙනවා විය හැකිය. මේ අනුව නිරවද්‍ය ලෙස කෙරෙන සන්ථාගාර සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වන්නේ නොයෙක් සමාජ ගැටලුවලට පිළිතුරු ලැබීමයි.

සන්ථාගාර සාකච්ඡාවලදී වැදගත් විය හැකි තවත් සුවිශේෂ කරුණක් අපගේ අධ්‍යයනයට ලක්වන භේසජ්ජක්ඛන්ධකයේ සීහ භාණවාරයෙන් මතුකොට ගත හැකිය. ඒ බුදුන් වහන්සේ සීහ සේනාපතිට කාය සුචරිතය, වාචී සුචරිතය හා මනෝ සුචරිතය ගැන කරුණු දක්වන කොටසයි.

සුචරිත යන වචනය සැදෙන්නේ යහපත්, ශෝභමාන යන අර්ථයන්හි යෙදෙන ‘සු’ උපසර්ගය මුලට යෙදී හැසිරීම යන අර්ථයේ යෙදෙන ‘චර්’ ධාතුවෙනි. මේ අනුව සුචරිතය යනු, යහපත් හැසිරීමයි. කයෙන් ද මනසින් ද වචනයෙන් ද ඒ යහපත් හැසිරීම තිබිය යුතු බව බුදුන් වහන්සේ වදාරති. මේවා සන්ථාගාරයක සලකුණු විය යුතුය.

සන්ථාගාරය යනු, කිසිවකුගේ අතක් තවත් කෙනකුට එරෙහිව එසවෙන තැනක් නොවේ. වචනයෙන් අන්‍යයන් හෙළා දකින තැනක් නොවේ. මනසින් වුව අයහපත කරන තැනක් නොවේ.

සිංහ සේනාපති, ධර්ම සාකච්ඡාවෙන් පසු බුදුන් වහන්සේ වෙතින් නික්ම යන්නේ පැමිණියාට වඩා උසස් භාවයකට පත් වූ ප්‍රඥාවන්තයකු ලෙසිනි. ඒ අනුව ඔහු ප්‍රඥාවන්ත ලිච්ඡවීන්ගේ සන්ථාගාරයට යළි ඇතුළු වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සන්ථාගාර සාමාජිකයකු බවට පත්වීමෙන් පසුය.

සිංහ සේනාපතිට බුදුන් වහන්සේගේ අවංක වූත් අව්‍යාජ වූත් ප්‍රඥාවන්ත වූත් වචන දැනිණ. ඒ වචන ඔහුගේ ජීවිතය තුළ විශාල පරිවර්තනයක් ඇති කළ බව පෙනේ. බුදුන් වහන්සේ රාගයේත්, ද්වේෂයේත් මෝහයේත් සංසිඳීම උදෙසා වදාළ ධර්මය වටහා ගැන්මට සිංහ සමත් විය. ඒ අනුව එතැන් සිට සන්ථාගාරයේදී වේවා වෙනත් තැනකදී වේවා ඔහු කතා කළේ රාගය, ද්වේෂය හෝ මෝහය වර්ධනය වන අන්දමේ කතා නොවේ. රාග – ද්වේෂ – මෝහ වර්ධක කතා ඒ කියන තැනැත්තන්ගේ මෙන්ම අසන අයගේ ද ජීවිත පිරිහෙනු මිස උසස් භාවයට පත් නොකරයි. එහෙත් මෙහි ප්‍රතිවිරුද්ධ පක්ෂය වන රාගනාශක – ද්වේෂනාශක – මෝහනාශක කතා සිදුවනවිට අලුත් අලුත් දේ මතු වෙයි. එවිට තමාගේ ජීවිතය මෙන්ම අන්‍යයන්ගේ ජීවිත ද උසස් වෙයි. මේ වූ කලී සන්ථාගාරයක තිබිය යුතු අනන්‍යතාවයි.

එහෙත් අභාග්‍යයකට මෙන් බොහෝ තැන්වල බොහෝවිට සිදුවන්නේ රාගවර්ධක, ද්වේෂවර්ධක, මෝහවර්ධක කතාය. සරසවියක සන්ථාගාරයේ වේවා, ගුරු විවේකාගාරයක වේවා සිදුවන්නේ ඒ දෙය නම් සත්‍ය වූ සමාජ වෙනසක් අපි කෙසේ නම් අපේක්ෂා කරමුද? මෙහි අරුත මෙයට වෙනස් කතාබහ ඒ තැන්වල සිදුනොවන බව නොවේ. ඒවා අඩු බවය.

සාහිත්‍ය කෘතියක ගැඹුරු තැන්, කවියක ගුණ රුව ගැන සාකච්ඡා කරනු කැමැති ත්‍රිරෝද රථ රියැදුරන් මෙන්ම ගරාජයන්හි වැඩ කරන කාර්මිකයෝ ද ඇතැම්විට අපට මුණගැසෙති. ඔවුහු ඇලෙක්සැන්ඩර් ඩූමා ගැන රවීන්ද්‍රනාත් තාගෝර් ගැන අපෙන් විමසති. මෙය අසත්‍යයක් නොවේ. අපට ඔවුන් දැනෙන්නේ හැඟෙන්නේ සන්ථාගාර සාමාජිකයන් ලෙසයි.

බුදුන් වහන්සේට සවන් දුන් සිංහ සේනාපති, යටිකුරු කළ දෙයක් උඩුකුරු කොට පැහැදිලිව දැක්වූවාක් මෙන් ද වසන ලද දෙය විවෘත කොට පෙන්වූවාක් මෙන් ද මංමුළා වූවකුට මඟ පැහැදිලි වූවාක් මෙන් ද ගනඳුරක යනවිට අත දරාගත් තෙල් පහන නිසා රූප පැහැදිලි වන්නාක් මෙන් ද බුද්ධ වචනය වැටහුණු බව කියා බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උවසුවකු බවට පත් වෙයි.

මෙහිදී සිංහ සේනාපති අමතා බුදුන් වහන්සේ කරන ප්‍රකාශය, සමාජය විසින් කවර හෝ ආකාරයකින් බරක් තබන ලද සමාජ සම්භාවනයට පත් ප්‍රබල මිනිසුන් විසින් ගැඹුරින් මෙනෙහි කළ යුතු වෙයි. මන්ද ඒ අයගේ කතාබහ, හැසිරීම් අන් අයගේ කතාබහ හැසිරීම්වලට වඩා සමාජයට බලපාන බැවිනි. විශේෂයෙන් වර්තමාන සමාජය ගත්විට පූජ්‍ය චරිතය, සරසවි ඇදුරා, ගුරුවරයා, දේශපාලනඥයා, වෛiවරයා, ඉංජිනේරුවා, කළමනාකරුවා, රංගධරයා ආදී විශේෂ භූමිකා නියෝජනය කරන චරිත දෙස සමාජය සැලකිල්ලෙන් බලා සිටියි. ඇතැමෙක් ඔවුන්ගේ වචන සහ හැසිරීම් ආදර්ශයට ගනිති. එහෙයින් විශේෂයෙන් එබඳු චරිත, සිංහ සේනාපතිට බුදුහිමියන් වදාළ පහත සඳහන් වචන ගැන අන් කිසිවකුටවත් වඩා සතිමත් විය යුතු වෙති; සැලකිලිමත් විය යුතු වෙති.

“අනුවිච්චකාරං ඛෝ සීහ, කරෝති

අනිවිච්චකාරෝ තුම්හාදිසානං ඤාත මනුස්සානං සාධු හෝතීති”

සීහය, දැන බලා ක්‍රියා කරව. ඔබ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයනට සිතා බලා කටයුතු කිරීම ම සුදුසු වන බැවිනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *