පොසොන් පොහොය දින වැදගත්කම

rashi
By rashi
6 Min Read


 සකල ලෝකවාසී බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල වූ වෙසක් පොහොය දින උත්කර්ශවත් ලෙස සමරන්නේද ඉන් ඔබ්බට වූ සැමරීමක් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට තිබේද ඒ පොසොන් පොහොය දිනයයි. මහා මහේන්‍ද්‍ර හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් අසිරිමත් බුදු දහමේ පණිවුඩය අපට ලැබුණු උතුම් දිනය පොසොන් පොහොය දිනය බැවින් එම ප්‍රමුඛතාව හිමිවේ. ලංකාවේ බොදු බැති ගීතාවලියේ ද යම් පොහොය දිනයක් හෝ එම පොහෝ දිනට අදාළ සිද්ධස්ථානයක් හෝ පිළිබඳව ගැයුණු වැඩිම ගී ප්‍රමාණය ද පොසොන් පොහොය හා මිහින්තලාව පිළිබඳ වේ. අද බොදු බැති ගී විමසුමට ලක් කෙරෙන්නේද? ඉන් එක් පොසොන් බැති ගීයකි. මෙහි මුල් ගීතය මාලනී ප්‍රැක්සි නම් අප්‍රකට ගායිකාව විසින් ගයා ඇති අතර ප්‍රබන්ධය සඳහන් නොවේ. එම ගීය පී.එල්.ඒ. සෝමපාලයන් විසින් සංගීතවත් කර ඇත. පසුව නන්දා මාලිනිය විසින් ද මෙම ගීය ගැයූ අතර එහි නව සංගීත සංයෝජනය ස්ටැන්ලි පීරිස් ගෙනි.

 වැදී සුගන්දේ වෙළී සුළං හා
 පිපී රම්‍ය මාලා
 මිහින්තලා ගල දෙසින් පෙනේ
 ෂඩ් වර්ණ රශ්මි ධාරා
 බුදුන් දහම් සිසිලේ
 ගිලේ ගිලේ ලංකා
 අදයි සුපින්වත් මහින්ද නාහිමි
 වැඩිය පොසොන් පෝදා


 පින්බර මේ සෝබා
 උතුම් පොසොන් පොහොදා
 සිංහල ජාතිය සම්බුදු ධර්මය
 දිනේ සදා ලංකා

 ගීතය ඇරඹෙන්නේ සුන්දරත්වය හා සිසිල පිළිබඳව සඳහනකිනි. මෙම අසිරිය අදත් මිහින්තලයට යන සැදැහැවතුනට අත්විඳිය හැකිය. පරිසරයේ වූ මෙම මනස්කාන්ත බව ‘පොසොන්’ යන යෙදුමට පසුබිම් වූ බව පෙනේ. බුදුන් වහන්සේ ජනිත වූ ‘විසා‘ නැකත හේතුකොට ගෙන වෙසක් (සං:වෛශාඛ) යන්න ව්‍යවහාර වූ සේ පරිසරයේ අසිරිමත් බව හේතුවෙන් “පොසොන්” යන්න ව්‍යවහාර වූ බව එහි අරුත විමසීමෙන් පෙනේ. ‘පොසොන්’ යන්න සංස්කෘත ‘ප්‍රසුන’ යන්නෙහි තත්සම ශබ්දය වේ. ප්‍රසුන යනු පුෂ්ප හෝ පොහොට්ටු බව සංස්කෘත ශබ්දකෝෂ දක්වන අතර, පුරාණ නාමාවලියෙහි, මල්, පූජ, පොසොන්, කිසුම්, කුසුම් නම් මලට” යනුවෙන් දැක්වේ. ඒ අනුව පොසොන් යන මලින් පිරීගිය සමය යයි ගැනීම උචිත වේ. උතුම් දහමක් දෙසීමට උචිත සුන්දර පරිසරය ද ඉවහල් වන බව මිහිඳු මාහිමියන්ගේ අදහස ද වන්නට ඇත.

 “ඒ දෙවන පෑතිස් මහරජ තෙමේ අනුභව කෙරේවා, දූතයන් අතින් අසා තුනුරුවන් ගුණ දකීවා, පොසොන් පුන් පොහෝ දවස්හි මිශ්‍රක පර්වතයට නඟීවා, එදවස්ම අපි ප්‍රවර ලක්දිව යන්නමෝය’යි සිතූ බව මහාවංශයෙහි ද දැක්වේ.

 ගීතයෙහි දැක්වෙන්නේ මිහින්තලා ගල දෙසින් ෂඩ්වර්ණ රශ්මි ධාරා පෙනෙන බවය. නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජේෂ්ට, ප්‍රභාස්වර යන වර්ණ සයකින් යුත් බුදුරැස් විහිදෙන්නේ බුදුවරයකුගෙන් පමණි. ගීතයෙහි රචකයා අදහස් කරන්නට ඇත්තේ උතුම් වූ බුද්ධ ධර්මය මිහින්තලා පව්වෙන් නැඟුණු ආකාරයයි. එය ශ්‍රී සද්ධර්මය සංකේතවත් කිරීමට යෙදූ කාව්‍ය ප්‍රයෝගයක් බව පෙනේ. ගීතයෙහි දැක්වෙන ලෙසට එම මොහොතේ දහම් සිසිලෙන් ලංකා රාජ්‍යය ගිලී ගියේය. එවන් අසිරිය සිදුවීමට හේතු වූ පොසොන් පෝදා සිදුවීම මහින්ද මාහිමියන්ගේ වැඩමවීම යන්න සඳහන් කිරීමට වඩා බුදුදහමෙන් ලත් ආලෝකය රචකයාට වැදගත් වී ඇත. හේතුව පසුව සඳහන් කර ඇත්තේ එබැවිනි.

 ගීතයට ඍජු ලෙසම අදාළ නොවන නමුත් මිහින්තලය හා මිහිඳු හිමි පිළිබඳව සඳහන් එකම පුරාවිiා සාධකය පිළිබඳව ද සඳහන් කළ යුතුමය. වංශ කථා තොරතුරුවල මිහිඳු මාහිමියන් හා පිරිස පිළිබඳව කෙතෙක් සඳහන් වුවද ඇතැම් උගතුන් එම සිදුවීම පිළිබඳව සැක කළ නමුත් නැඟෙනහිර පළාතේ ‘රජගල’ නම් ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක ‘යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉචික තෙර මහිද තෙරහ තුබෙ’ යන පාඨය (මෙම දිවයිනෙහි පූර්ව වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ස්ථූපයයි) එකී මතවාද ප්‍රලාප බව ඔප්පු වීමට හේතු විය.

 දීපවංශයෙහි දැක්වෙන “මහින්දො නාම නාමේන සංඝත්ථෙරො තදා අහු ඉටඨියො උත්තියො ථෙරො බද්ධසාලොච සම්බලො” යන සඳහන නිවැරදි ඓතිහාසික සටහනක් බවද ඉන් සනාථ විය.

 ගීතයෙහි දැක්වෙන ලෙසට ලංකා භූමිය පින්බර භූමියක් බවට පත් වූයේ ද උතුම් පොසොන් පොහෝ පොහෝදා ය. එම සිදුවීම සිංහල ජාතිය ද සදාකල් දිනවීමට සමත්ය. මේ සියල්ලම හිමි වූයේ සම්බුදු ධර්මය හේතුවෙනි. ලංකාව නව ශිෂ්ටාචාරයක තෝතැන්න වූ බැවින් එතැන් සිට ලංකාවේ ශිෂ්ටාචාරයට බෞද්ධ ශිෂ්ටාචාරය යයි ව්‍යවහාර කෙරිණි. ඒ අනුව ලංකා ජනතාවගේ සියලු කරුණු හා ඇමතුම් පැවතුම් බෞද්ධ ශිෂ්ටාචාරයට අනුරූප විය. ගීතය අවසානයේ ප්‍රාර්ථනය ද පින්බිම මෙන්ම සිංහල ජාතියද සම්බුද්ධ ධර්මයද ලංකාව ද සදාකල් දිනේවා යන ප්‍රාර්ථනයෙනි.

 එකී උත්තම දේශය අප වෙත උරුම කර දීම සඳහා අශෝක රජුට දාව උපන් කුමරකු හා කුමරියක සිය ජීවිත පරදුවට තබා ඇත. මහේන්‍ද්‍ර හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේ හා සොයුරිය සංඝමිත්තා රහත් තෙරණිය හා භාරතයෙන් පැමිණි පිරිස පිළිබඳව සෙනරත් පරණවිතානයන් ලංකා ඉතිහාසය කෘතියට කළ සඳහන මෙහිදී සිහිපත් වේ.

 “ඉහත විස්තරයේ සඳහන් කරනු ලැබූ උත්තමයන් විසින් වපුරන ලද බිජුවට පැළ වූයේ සරු බිමකය. එයින් හටගත් අස්වැන්න වූ ආධ්‍යාත්මිකතත්වය, පරිත්‍යාගය හා කරුණා මෛත්‍රිය ශත වර්ෂ විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ ආරක්‍ෂිතව පැවතුණෝය. මේ කුඩා දිවයිනේ පමණක් නොව ඉතා ඈත රටවලද මනුෂ්‍යවර්ගයාට එයින් යහපතක් සැලසුණෝය. කෘතඥ ලංකාවාසීන් විසින් අද දක්වාම උන්වහන්සේලාගේ නම් මහත් භක්තියෙන් සිහි කරනු ලැබේ. මින් මතු පහළ වන තවත් බොහෝ පරම්පරාවන් ද ඒ එසේම සිහිකරනු ඇත.

 බොහෝ දෙනෙකු විසින් සරල වින්දනයක් ලැබේ යයි විශ්වාස කරනු ලබන බොදු බැති ගීයක් පසුපස කෙතරම් පුවත් සැඟවී තිබේ දැයි විමසුමට මෙම ගීතය නිදසුනකි. හීන රුචිකත්‍වය හා හීන සාහිත්‍ය දැනුම විසින් රසිකයා හට එම උරුමය අහිමි කර ඇත. පොසොන් සමයේ හෝ මෙවැනි ගීත ශ්‍රවණයට ඉඩක් ලැබීම ද වාසනාවකි.

 ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී දේශාභිමානී පී චන්ද්‍රරත්න ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *