සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක ලෝකයේ පහළවීම ඉතාම දුර්ලභ කරුණකි. එම දුර්ලභ අවස්ථාව අපට හිමිවී තිබේ. එනම් මේ ගෝතම බුද්ධ ශාසනයයි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදහස් පන්සිය හැත්තෑ වසරක් ඉකුත්ව ගියත් වර්තමානයේ පවා පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සසරගත සියලු දුකින් අත්මිදීමේ අවස්ථාව පවතී. මේ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය විවිධ ධර්ම කොටස්වලින් හඳුන්වා දී තිබේ. මෙහිදී අපි ත්‍රිවිධ ශාසනය නම් වූ ධර්ම කොට්ඨාසය විමසා බලමු. එනම් පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධයයි. පර්යාප්ති ශාසනය නම් ධර්මය ඉගෙනීමයි. ධර්ම ශ්‍රවණය, ධාරණය, පොත පත කියවීම, සාකච්ඡාව සහ විමසීම මෙයට අයත්ය. ප්‍රතිපත්ති ශාසනය නම් තමා විසින් ලබාගත් ඉගෙනුම හෙවත් දැනුම ප්‍රායෝගිකව ජීවිතයේ ක්‍රියාත්මක කිරීමයි. ප්‍රතිවේධය නම් ප්‍රතිපත්තියේ යෙදීමෙන් ලබන්නාවූ අවබෝධයයි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සියලු කෙලෙස් හෙවත් තෘෂ්ණාව ප්රහාණය කිරීමයි.
අශ්‍රැතවත් පෘථග්ජන හෙවත් සාමාන්‍ය ජන සමාජයේ වැඩි පිරිසක් සිතාගෙන සිටින්නේ දැනුමම අවබෝධය ලෙසයි. දැනුම සකස් වන්නේ මොළය ඔස්සේ ගන්නා වූ තොරතුරු හෙවත් අරමුණු සිතට ලබාදීමෙනුයි. එනමුත්, සිත විසින් අරමුණ ස්පර්ශ කළත් සිතට මනාකොට පුරුදු කිරීම හෙවත් සිත අරමුණ ගැඹුරින් පිළිගත්තේ නැති නම් අවබෝධය සකස් නොවේ. මේ නිසා සිතට මනා කොට පුරුදු පුහුණු කොට, සිත විශ්වාසයෙන්, අත්දැකීමෙන්, පරීක්ෂණයෙන් පිළිගන්නාවූ අවස්ථාවකට පත්විය යුතුය. මෙම අදහස ද ගැඹුරින් තේරුම් ගත යුත්තේය. මොළයෙන් ගන්නා වූ සංඥා සිත ස්පර්ශ වන විට සම්මුතියෙහි හෙවත් පැවැත්මට පනවා ගත් හොඳ සහ නරක හෝ ප්‍රිය අප්‍රිය ලෙස අරමුණ ද සිතෙහි තදින් තැන්පත් විය හැක්කේය. මේ නිසා සම්මුතියෙහි පවත්නා හොඳ හෝ නරක, ප්‍රිය – අප්‍රිය, කැමැති – අකැමැති ලෙස පනවා ගත් අරමුණුවල යථා ස්වභාවය මැනවින් අවබෝධ කොට ගත යුත්තේය. මෙය කළ යුත්තේ ද පර්යාප්තිය සහ ප්‍රතිපත්තිය ඔස්සේ ය. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වෙතින් මනා කොට පැහැදිලි කෙරේ. අපි ඉතාමත් ප්‍රකට ඉගැන්වීම් කොටස් කීපයක් බලමු.
“යං කිඤ්චි සමුදය ධම්මං
සබ්බං තං නිරෝධ ධම්මං ති
“යමක් හටගන්නා සුලු ද ඒ හැම නැසෙන සුලුය.”
“සබ්බේ සංඛාරා අනිච්චාති”
“සියලු සංස්කාරයෝ අස්ථිරය.”
“හේතුං පටිච්ච සම්භූතං
හේතු භංගා නිරුජ්ඣති”
හේතූන් ප්‍රත්‍ය කොටගෙන සකස්වන යමක් වේද ඒ හේතුන්ගේම විසිර යෑමෙන් හටගත් ඵලය ද නැතිව යන්නේය.”
නායං භික්ඛවේ කායෝ තුම්හාතං
නාපි අඤ්ඤේසං
මේ කය ඔබට අයත් නැත. අන් අයකුගේ ද නොවේ.
මෙම සිද්ධාන්ත ධර්ම කොටස් ප්‍රායෝගිකව, සිතට පුරුදු පුහුණු කිරීමට නම් පනවා ගත් “මම” නම් වූ සත්ත්ව පුද්ගල සඤ්ඤාව විග්රහ කරගෙන නිවැරදිව විසඳා ගත යුත්තේය. සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් ලෙස පනවා ගනු ලබන්නේ මෙම ස්කන්ධ පඤ්චකයටයි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ නම් රාශීන් පහටයි. සත්ත්වයෙක්, පුද්ගලයෙක් ලෙසත් භාවිතයේදී “මම” ලෙස නම් කරගෙන පවත්වන්නේ මම කැමැති පරිදි පවත්වා ගත හැක්කේය, නම් වූ අදහසිනි. එය එසේ නොවන බවත්, ලෙඩවීම දිරාගෙන යෑම සහ මරණයට උරුම බව මොළයෙන් දෙන දැනුම ඔස්සේ සිතට දැනීම් කොට තිබුණත් සිත මැනවින් පිළිගන්නා තෙක් පුරුදු පුහුණු නොකොට පැවැතියොත් සිත හැසිරෙන්නේ පනවා ගත් අයුරින් ඔබය,
මාගේය, මා කැමැති පරිදි පවත්වා ගත හැකිය ආදී ලෙසිනි. ඒ අනුව රූපස්කන්ධය හසුරුවයි. එනම් ඇසෙන් රූප ද, කනින් ශබ්ද ද නාසයෙන් ආඝ්‍රහණ ද, දිවෙන් රස ද, කයෙන් ස්පර්ශ ද, මනසින් සිතුවිලි ද හසුරුවමිනි. මෙම ඇස ආදී ආයතන ද රූපාදී අරමුණු ද විඤ්ඤාණය සහ එහි හටගන්නා වූ චෛතසික හෙවත් සිතුවිලි ද ස්ථිර නැති බව හෙවත් අනිච්ච බව සිත නොදන්නවා නොවේ. එනමුත්, එම අනිච්ච බව සිතට මැනැවින් පිළිගන්නට තරම් පුරුදු පුහුණු නොවීම නිසා සිත හැසිරෙන්නේ මූලිකව හඳුනාගත් ‘අනිච්ච’ දහම අමතක කරමිනි. විවරණයට අනුව මේ ආකාරයෙන් සිදුවී නැති නිසාය.
- අභිඤ්ඤෙය්‍ය (දැනගැනීම)
- පරිඤ්ඤෙය්‍ය (මනාකොට දැනගැනීම)
- පහාතබ්බ (ගැඹුරු සිතින් අනිච්ච පිළිගැනීම)
- සච්ඡි සච්ඡිකාතබ්බ (පූර්ණ අවබෝධය)
- භාවේතබ්බ (අනුසය නම් වූ නිදිගත් කෙලෙස් ද
- මුලින්ම සංසිඳෙනා තෙක් සිත අනිච්ච ඔස්සේ පුරුදු කිරීම)
මෙම ආකාරයෙන් සිත හෙවත් විඤ්ඤාණය පුරුදු පුහුණු (භාවිත බහුලීකත) කරන විට ස්කන්ධ පඤ්චකය නම් වූ පනවා ගත් “මම” සම්මුතියක් පමණක් බවත් පරමාර්ථය හෙවත් පරම සත්‍යයට අනුව “නිච්ච, සුඛ, අත්ත ( ස්ථිර, සිතාගත් සැප, දිගින් දිගට පවත්නා) නැති බවත් පනවාගත් “මම” අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණයට යටත් බව වැටහිය යුත්තේය. මෙම පුහුණුව වඩාත් පහසුවන මාර්ගය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ සතර සතිපට්ඨානයට අනුව සිත පුරුදු කිරීමය.
- කායානුපස්සනාව (කයෙහි ඉරියව් ඇවතුම් පැවතුම් තිලක්ඛණයට යටත් කොට සිහිය පිහිටුවීම)
- වේදනානුපස්සනාව (පනවා ගත් විඳීම්, සැප, දුක්, මධ්‍යස්ථ වශයෙන් තිලක්ඛණයට යටත් කොට සිහිය පිහිටුවීම)
- චිත්තානුපස්සනාව (සිතෙහි ස්වභාවය, රාග, වීතරාග ආදී ලෙස තිලක්ඛණයට යමක් කොට සිහිය පිහිටුවීම)
- ධම්මානුපස්සනාව (ධම්ම – කාමච්ඡන්ද ආදී පඤ්ච නීවරණ සහ ස්කන්ධ පඤ්චකය තිලක්ඛණයට යටත්කොට සිහිය පිහිටුවීම)
මෙහිදී සතිපට්ඨානයෙහි හඳුන්වා දෙන්නේ සම්පජානකාරි වීම හෙවත් සම්පජඤ්ඤයට පත්විය යුතු බවයි. මෙතෙක් විස්තර කළ ආකාරයෙන් අනවබෝධයෙන් යුතුව ස්කන්ධ, පඤ්චකය හෙවත් පනවා ගත් “මම” සහ එහි හැසිරීම් මමය, මාගේය” ලෙස සිතින් දැඩිව ගැනීම (උපාදානය) අකුසල ලෙසත්, අවබෝධයෙන් යුතුව, සම්මුතියට “මමය මගේය” ලෙස පැවැත්වුවත්, පරමාර්ථයට අනුව සිත භවාංගයේදී හෙවත් ගැඹුරේදී “මම මගේය” නම් උපාදානය බැහැරවීම “මම වෙමි” නම් වූ අස්මී මානය ඉවත් වන තෙක් සිත පුරුදු පුහුණු කිරීම කුසලයට අයත්ය. එහිදී බලවත් වූ යටපත්ව පවත්නා සාංසාරික කෙලේස ද වන අනුසය පටන් ගනී. මෙහිදී කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය මානානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය නම් වූ සතෙන් මුලින්ම දිට්ඨානුසය සහ විචිකිච්ඡානුසය බැහැරවී, කෙලෙස් සැඩ පහර ජයගත් බවට පත්වීමට එනම්, සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස නම් තුන් සංයෝජන බැහැරවීම ‘සෝතාපත්ති’ නම් වූ සතර මාර්ග ඵලයන්හි මූලික පියවර සම්පූර්ණ කර ගැනීමයි. මෙහි සැනසෙන අදහස නම් සදාකාලිකවම සතර අපායෙන් නිදහස් වූ බවයි.
මෙම ලිපිය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තුවෙන් මෙහි විරාමය තබමි. දහම් දැනුම හෙවත් සිද්ධාන්ත පිළිබඳ බොහෝ පිරිසකට දැනුම තිබුණත් පටිපත්ති ලෙස පිංකම් සිදුකරමින් සිටියත් අනුක්රමයෙන් “පටිනිස්සග්ග” නම් වූ සිතින් කෙලෙස් බැහැර කිරීම සිදු නොවීම නිසා ප්‍රතිවේධය දුර්වල වී ඇත. ප්‍රතිපත්තියට අනුව පිංකම් කරමින් “හොඳ”, “යහපත්”, “සිල්වත්” ලෙස පෙනෙන්නට තිබුණත් ප්‍රතිවේධයට පැමිණීමේ ඇති දු හීන බව නිසා නැවතත් කෙලෙස්වලට වසඟ වී “නොහොඳ’ “අයහපත්” “දුසිල්වත්” බවට ඇදවැටෙති. ඔබ, මම, අපි සියලුදෙනාම “නිවන” ම අරමුණු කරමු.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය
මිරිස්සේ ධම්මික නාහිමිපාණෝ ✍️

