අපට අවශ්‍ය සත්‍යයක් දැනගැනීමට ද? දුකින් මිදීමට ද?

rashi
By rashi
10 Min Read

අද බොහෝදෙනාගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ ඊනියා යථාර්ථයක්, සත්‍යයක් සොයා ගැනීමය. එහෙම නැතිනම් දැනගැනීමය. විද්‍යාඥයන්ගේ විද්‍යාර්ථින්ගේ අවශ්‍යතාවය එයයි. බුදුදහම හා විවිධ විද්‍යා ප්‍රවාද ආදිය සසඳමින් බොහෝදෙනා උත්සාහ ගන්නේ වඩා නිවැරදි එහෙම නැතිනම් වඩා යථාර්ථවාදී කුමක් ද ආදිය ගැන සොයා බැලීමටය. ලෝකයේ-විශ්වයේ ආරම්භය අවසානය සත්ත්වයාගේ ස්වභාවය, අවසානය පුනරුත්පත්තිය කුඩාම අංශුව කුමක්ද? ක්වොන්ටම් යාන්ත්‍රිකයෙන් නිවණ පැහැදිලි කර ගත හැකිද? අපට ගෝචර වන්නේ සත්‍ය ලෝකය ද? නැතිනම් මායාවක් ද? සත්‍ය ලෝකය දැකිය හැක්කේ කෙසේද? ඇත්තටම සත්‍ය ලෝකය එහෙම නැතිනම් වාස්තවික යථාර්ථය යනු කුමක්ද? මනසින් හා ඉන්ද්‍රිය පද්ධතියෙන් පරිබාහිරව ලෝකයක් ඇත්ද? වෙනස් ඉන්ද්‍රියන් සහිත සතකුට ලෝකය කෙසේ ග්‍රහණය වනු ඇත්ද? එවිට සත්‍ය ලෝකය දකින්නේ මොන සතා ද? ක්ෂණිකව වෙනස් වන රූප කලාප සහිත වස්තූන් ඇත්තටම නැති ද? ඒවා බාහිර රූප වස්තු ලෙස සැලකීම ද? ගැටලුව. මෙකී නොකී ගැටලු ප්‍රශ්න කොපමණ අද කතාබහට ලක්වනවා ද?

භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල පිරිවසා යන පරිදි වදාරන්නේ සබ්බ සූත්‍රයයි. එහිදී උන්වහන්සේ දෙසා වදාරන්නේ ඇස ද රූපය ඇත ලෙස ෂට් ඉන්ද්‍රියන් ගැනය. ඉන් ඔබ්බට උන්වහන්සේ කිසිවක් සඳහන් කරන්නේ නැත. එසේම ඉහත දැක්වූ වැනි ප්‍රශ්න කිසිවකට පිළිතුරු සපයා නැත. ඒ බොහෝ අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේගේ අවශ්‍යතාව වන්නේ සියලු සත්ත්වයා දුකින් මුදා ගැනීම බවය. ඇත්තේ දුක බවත් ඊට හේතු ඇති බවත් ඉන් මිදීමක් ඇති බවත් ඊට අදාළ පටිපදාව විදහා දැක්වීමය සියලු බුදුවරයන් වහන්සේලාගේ අරමුණ. ඊතලයක් වැදුණ මිනිසකුගේ උපමාවද මෙහිදී වැදගත්ය. එහෙත් අද සෝවාන් ඵලයවත් ලබා නැති අය බුදුන්වහන්සේගේ මේ ප්‍රතිචාර ගැන විග්‍රහ කරති. හිතළු කතා කියති. ඇත්තටම බෞද්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ ලෙස දැක්වෙන බොහෝ ඒවායේ ඇත්තේ එලොවටත් මෙලොවටත් ඵලක් නැති හිතළු පඹගාල්ය! මේවායෙන් ඉදිරිපත් කෙරෙන කරුණු ගැන තම මනාප වලින් ඔබ්බට යන තාර්කිකත්වය ගැනත් නිසි විමසුමක් වේද?

භාග්‍යවතුන් වහන්සේ සබ්බ සූත්‍රයෙන් විදහා දක්වන්නේ අප සාමාන්‍යයෙන් අත්දකින තත්ත්වයයි. ඉන් ඔබ්බට ගොස් හිතළු ප්‍රශ්න කරුණු කාරණා ගැන උත්සුක වීම උන්වහන්සේ අනුදැන වදාරන්නේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ මේ හිතළු ප්‍රශ්න ගැටලු මනසේ ඇතිවීම විමසා බලයි මෙවැනි ගැටලු ප්‍රශ්න සිතේ ඇති වන්නේ කෙසේද? මේ ගැන නොවිමසා මේ ගැටලුවලට ඒ මනසින් තව තවත් හිතළු මතවාද ප්‍රවාද නිමැවීමට උත්සාහ ගැනීිම හුදු හිතළු පඹගාලක පටලැවීමකට වැඩි දෙයක් නොවන බව උන්වහන්සේ පෙන්වා දේ. සිත ගැන නොදැන ඒ සිතින් නිර්මාණය වන අනේකවිධ ගැටලු, පරස්පර ආදියට ඒ සිතින්ම පිළිතුරු සෙයමින් හිතළු පඹගාලවල පැටලැවීම ගැනය,

උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මේ සියලු ගැටලු ප්‍රශ්න පැනනඟින සිතේ මූලයන් සොයා යෑමයි, උන්වහන්සේ යොනිසෝමනසිකාරය ලෙස දක්වන්නේ. මේ පර්යේෂණය තමයි ආර්ය පර්යේෂණය. කිසිම විද්‍යාඥයකුට, විද්‍යාර්ථියකුට මේ පර්යේෂණය ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙය ඇත්තටම අපේ චිත්තාභ්‍යන්තරයේ මුල් සොයා යෑමක්. මේ මුල් සොයාගෙන යෝනිසෝමනසිකාරයේ යෙදෙන විට තමයි, අපට දැන දැක ගතහැකි වන්නේ පෙරකී ගැටලු, ප්‍රශ්න සිතේ ඇති කරවන මූල හේතු. අපේ සිත් ක්‍රියාත්මක වන්නේ සිත්වල සංස්කාර ඔස්සේ, මේ භවයේදී, සංස්කෘතිවලින්, පවුල් පසුබිමින් සමාජයෙන් ගොඩනැඟී පැලපදියම් වී ඇති සංඛාර දිට්ඨි නමැති කැමති අකැමැතිකම් පොදියක් මත, පංච නියාමය තුළ ක්‍රියාත්මක මේ සංසාරයේ කොටස් මට අවශ්‍ය පරිදි මට කැමැති පරිදි මගේ ආස්වාදය සතුටට ගැළපෙන පරිදි ක්‍රියාත්මක විය යුතු ආකාරය මේ ඔස්සේ කියැවේ. මේ සංඛාර දිට්ඨි වලින් පල්වෙමින් මතුවී ඉන්ද්‍රියනට වැගිරෙන ආශ්‍රව ධර්මයන් ය ඉන්ද්‍රියානුබද්ධව (මනින්ද්‍රිය ද ඇතුළුව) බාහිර අරමුණු සංවේදන ද ඇසුරු කරගෙන අපව අපේ සතුට වෙනුවෙන් කියා විවිධ සිතීම්, කීම් ක්‍රියාකිරීම් වලට පොලොඹවන්නේ. මේ මොහොතක් නොපවතින අනිත්‍ය චක්‍රය තමයි දුක.

අපේ සිත් ක්‍රියාත්මක වන්නේ මෙලෙස සතුට සොයමින්ය, එසේ නොමැතිව කිසිම තර්කයනට අනුව නොවේ.තර්ක ගොඩනැඟෙන්නේ මේ කැමැති අකැමැතිකම් පදනම් කරගෙනය (විතක්ක-විචාර වචී සංකාර). මේ අනුව අප සියල්ල කරන්නේ මේ සක්කාය දිට්ඨිය මෙහෙයවන සතුට සොයා යන ක්‍රමය ඔස්සේය. එයයි දුක!

මේ චක්‍රය අනිත්‍යය, ඒ නිසාමය දුක, එසේම එය මගේ වසඟයේ නැත. එනම් සක්කාය දිට්ඨියට එය තම දිගුකාලින සැනසීම සතුට උදෙසා නවත්වා ගත නොහැකිය. දැන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දුක් චක්‍රය නිවාගැනීම පිළිබඳවය. සමථ විදර්ශනා මගින් වන්නේ එයයි. සමථයෙන් මේ චක්‍රයේ වේගය අඩු වන අතර එවිට විදර්ශනයෙන් මේ දුක් චක්‍රය ප්‍රකට කරගත හැක. එවිට මේ චක්‍රය ඉබේම නිවී යයි. මේ සඳහා උපයෝගි වන්නේ යෝනිසෝමනසිකාරයයි. එසේම එවිට සිතේ පවතින සක්ඛාය දිට්ඨිය ඇසුරුකරගත් සාමාන්‍ය වේදනා චෛතසිකය නිවී ගොස් (අවේදයික තත්ත්වය) සෝවාන් සිට නිවන දක්වා වූ නිවීම සංවේදනය ගෝචර වන ඉන්ද්‍රිය ප්‍රගුණ වේ. මේවා අරූපී ඉන්ද්‍රයන් ය.

සක්කාය දිට්ඨිය ප්‍රමුඛ දිට්ඨි සංඛාර ඔස්සේ සතුට සොම්නස සොයා ක්‍රියාත්මක දුක් චක්‍රය (අනිත්‍ය, අනන්ත වූ) ගෙදරක අභ්‍යන්තරයේ ඇවිළෙන ගින්නක් බදුය. මේ ගින්නේ පිළිස්සීම ගේ තුළ ඇති වේදනා චෛතසිකයට සංවේදියි. යෝනිසෝමනසිකාරය යන්න මේ ගෙදරින් යම් ආකාරයකට පිටත ගැන දන්නා මේ ගෙදරින් පිටවිය හැකි කෙනෙකි. දැන් මේ තත්ත්වය දැනගන්නා (ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර ඇසුර ඔස්සේ) කෙනා ක්‍රමයෙන් මේ ගිනි ගන්නා ගෙදරින් පිටතට පැමිණෙමින් (ධම්මානුධම්ම පටිපදාව ඔස්සේ) අර දුක් චක්‍රයට පණදුන් සිහිය (සතිය) ඉන් මුදාගෙන තමා වෙතට ගනී. එවිට ඒ දුක් චක්‍රය ක්‍රමයෙන් නිවී යයි එවිට ඇතිවන නිවීම මේ මනසිකාරයටම සබැඳි අරුපි ඉන්ද්‍රියන් විඳගනී. එයයි නිවීම. මේ දුක්ගිනි චක්‍රය. තම සතුට වෙනුවෙන් ප්‍රශ්න ගොඩනඟමින් පිළිතුරු සොයමින් විවිධ මතවාද ප්‍රවාද නිමවමින් කරනා මහා ව්‍යාජ ව්‍යායාමයකි.

මෙහි මුලින්ම සඳහන් කළ මහා දාර්ශනික ගැටලු හා පිළිතුරු ආදි යන්න මේ සියල්ලෙන්ම සිත උත්සාහ ගන්නේ තමන්ව සනසා ගැනීමටය. එහෙත් එහි මුල නොදන්නා තාක් එහි ඇති ව්‍යාජභාවය නොදන්නා තාක්. අවසානයේ එමගින් ඇති වන්නේද දුකක් පමණක් බවත් නෙදනී. සිතේ වේදනාව නිවීමට විවිධ ප්‍රවාද නිමවා වැඩක් නැත. ඒ සියලු ප්‍රවාද මතවාද යනු ද නැවත සිතේ සතුට ආස්වාදය වෙනුවෙන්ම නිමවන තවත් සංඛාර, දිට්ඨි පමණි. ඒවායින් වන්නේ තවත් දුක වැඩිවීම පමණය. සිත තේරුම් ගැනීම යන්න අර්ථවත් දෙයක් නොවේ. එය නිවිය යුතුය. සිත ඇසුරු කරගෙන අනෙක් ඉන්ද්‍රිය දත්ත මගින් ලෝකයේ බාහිර දෑ ගැන දැනගැනීම ප්‍රවාද සෑදීම (ලෞකික කටයුතු වෙනුවෙන්) වෙනම කතාවකි.

එහෙත් මේ තත්ත්වය සිතට ගැළපෙන්නේ නැත. සිත ක්‍රියාත්මක වන්නේ වේදනාව අනුවය. එයයි භාග්‍යවතුන් වහන්සේගේ බුදු වදන. මේ අනුව සිතන යන්ත්‍ර කෘත්‍රිම බුද්ධිය ගැන කතා කිරීම තේරුමක් නැත. මේ වේදනා ඔස්සේ (එනම් වේදනා සුඛදායි කර ගැනීමේ අභිලාශයෙන්)ක්‍රියාත්මක සිතින් නිමැවූ හඳුනාගැනීමේ ඇල්ගොරිතම (Pattern Recognition Algorithm) අනුව ක්‍රියාත්මක යන්ත්‍රයන්ය. ඔය කෘත්‍රිම බුද්ධිය යනු. ඒවා සියල්ල ක්‍රියාත්මක වන්නේ ඔය ඇල්ගොරිතම අනුවය. එහෙත් ඒවාට මිනිස් මනසට වඩා අතිශය සංකීර්ණ කටයුතු අතිශය වේගවත්ව කළ හැක. එහෙත් එය මිනිස් සිත මෙන් අනිත්‍ය වූ වේදනා (දුක්) චක්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වන්නේ නොවේ.මිනිස් සිතේ මේ දුක් චක්‍රය අනිත්‍යය එය අචින්තෙයිය බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දේ.

සියලු තර්ක ක්‍රමවල, විද්‍යා ප්‍රවාදවල පදනමේ ඇත්තේ මිනිස් සිතේ සතුට ආස්වාදය වෙනුවෙන් වූ ඕනෑ එපාකම් මත වූ සංඛාරයන්ය. ඉන් ඔබ්බට කිසිවක් ඒවායේ නැත (ඒ ඇතැම් ඒවාවල එදිනෙදා ලෞකික දිවියට අදාළ ප්‍රයෝජන පසුව ගොඩනාඟාගෙන ඇත) Theory of every thing යනු අද විද්‍යා ලෝකයේ මූලික සංකල්පයකි. ඒහෙත් එහි පදනම කුමක්ද? එය විශාල වටිනාකමක් ඇති චිත්ත ප්‍රීතිය උපදවන දෙයක් ලෙස මනසේ සංඛාරගත වීමට, දිට්ඨිගත විමකට වඩා එහි ඇත්තේ කුමක්ද?

නූතන කුලකවාදය (Sets theory) ගැන මූලික ප්‍රස්තුත නිම වූ එක් ගණිතඥයකු බර්ට්‍රන් රසල් නමැති දාර්ශනිකයා එහි ඇති පරස්පරයන් ගැන පෙන්වා යැවූ ලිපියක් නිසා අසනීප වී රෝහල්ගත කෙරී ඇත. මේ පරස්පරය නිසා භෞතික ලෝකයට කිසිවක් වූයේ නැත. එහෙත් ඒ ගනිතඥයාට ඒ ප්‍රස්තුත මගින් කොපමණ සිතේ සතුටක් ලැබෙන්නට ඇත්ද?

එහි වැරැද්ද පෙන්වූ විට අසනීප වූයේ ඒ සතුට කඩාවැටීම නිසා නොවේද? ඒත් මේ පෙන්වා දුන් වැරැද්ද ද තවත් මානසික වුවමනාකම් මතම ගොඩනැඟුණ බවත් එය වෙනත් ආකාරවලට ද පත් කළ හැකි බවත් මේ ගණිතඥයන් දැන සිටියා නම්, එනම් මේ සියල්ලට මුල් වන තම සිත් සතන් වල සැබෑව ඔවුන් දැන සිටියා නම් ඒ දැන සිටීමෙන් ඔවුනට කොපමණ සැනසිල්ලක් ලද හැකිව තිබුණි ද? තර්කයේ ඊනියා පරස්පරය ගැන එවිට ඔහු ඒ ආකාරයට දුක් වේද?

සියලු සත්ත්වයාගේ මූලික ගැටලුව වන්නේ දුක ය. එනම් මානසික දෝමනස්සයයි. ඒ සඳහා කළ යුත්තේ එහි මුල සොයා එය නිවීමය. එසේ නොමැතිව එහි සැබෑ මුල් නොදැන ඒ දුක නිසා හටගන්නා විවිධාකාර ද්විතීක තාවකාලික ගැටලු, කාරණා ඔස්සේ ගොස් තව තවත් දුක වැඩි කරන සංඛාර දිට්ඨි (ඇත්ටම අභිසංස්කාර) ගොඩනඟා ගැනීම නොවේ.

පුහුදුන් අය ලෙස ලෞකික කටයුතුවලට අදාළ විවිධ දැනුම් ගොඩනැඟීම ප්‍රවාද ගොඩනැඟීම ආදියේ ගැටලුවක් නැත. එහෙත් ඒවා තම සිතේ සතුට සඳහා වීම (අභිසංස්කරණ) අවම විය යුතුය. ඒ වෙනුවට ඒවායේ ප්‍රකට විය යුත්තේ කරුණාවයි. උත්තරීතර නිවීම සමඟ සියල්ල යොමු විය යුත්තේ සතර බ්‍රහ්ම විහරණයටය.මහා බෝසතාණන් වහන්සේ කල්ප ගණන් පෙරුම් පුරා බලාපොරොත්තු වන්නේ සත්ත්වයා දුකින් මිදීමටය.

දහම වියැකී ගිය කලෙක එය තමා විසින්ම නැවත මතුකරගෙන සසර සත්ත්වයාට දුකින් මිදිමේ මග එළි පෙහෙළි කිරීමටය, උන් වහන්සේ ක්‍රියාත්මක වූයේ. එය කරුණාවෙන් සිදු වුවකි. ඒ අනුව උන්වහන්සේගේ පර්යේෂණය උන්වහන්සේ විසින්ම පසුව හෙළි දරව් කරන පරිදි අභිසංස්කරණය වෙත නොව කරුණාව පෙරදැරිව සිදු වූවකි. එහිදී උන්වහන්සේට සංසාරය පිළිබඳ දැනගැනීම යන්න අරුත්ගන්වන සියලු දැනුම (සර්වඥතාවය) ලැබුණි.

එහෙත් උන්වහන්සේ අනුදැන වදාළේ මූලිකම ගැටලුව වන දුක නිවාගැනිම පිළිබඳව පමණය. ඉතින් අප කළ යුත්තේ මේ දුකින් මිදීමට අදාළ කටයුතුවල අභිසංස්කරණ වලින් ඈත් වෙමින් කරුණාබරිතව නියැළීමය. එවිට අප දැනගත යුතු දේ දැනගෙන දුකින් මිදෙනු ඇත. එසේ නොමැතිව බුදුවරයකු මෙන් සියල්ල දැනගැනීම පිළිබඳව අභිසංස්කාර මුලින්ම සිතේ ගොඩනඟාගෙන දුකින් මිදීම අඩාළ කරගෙන සංසාරයම අවුල් කරගැනිම නොවේ.

කපිල පීරිස් ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *