සුදත්ත නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා

rashi
By rashi
10 Min Read

බුද්ධකාලීන උපාසක උපාසිකාවෝ -13

සුදත්ත නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව අප බොහෝදෙනකු දන්නේ, දීමෙහි ඇලුන පුද්ගලයන් අතර අප මහා බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි අග තනතුර දරන උපාසකයන් ලෙසය. එතුමන් මෙම තනතුර ප්‍රාර්ථනා කරන්නේ පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි එම තනතුර උවසුවකුට ලබාදෙනු දැකීමෙනි. අනතුරුව කල්ප ලක්ෂයක් තිස්සේ එම තනතුර අපේක්ෂාවෙන් පින් දහම් කරමින් දෙව් මිනිස් ලොව සැරිසැරීමෙන් අනතුරුව කුසල් සම්පූර්ණ කළ ඔහු අප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි සැවැත්පුරයෙහි සුමන සිටුවරයාගේ නිවසෙහි සුදත්ත යන නමින් උපත ලබා හැදී වැඩුණි. (මනෝරථපූරණි, අනාථපිණ්ඩිකසෙට්ඨි වස්තුව). රජගහ නුවර සිටුවරයා සුදත්ත සිටුවරයාගේ සොහොයුරිය සමගත්, සුදත්ත සිටුවරයා හා රජගහ නුවර සිටුවරයාගේ සොහොයුරිය සමගත්, විවාහ වූ නිසා මෙම දෙදෙනා අතර බොහෝ සමීප සබඳතාවක් පැවතිණි (සාරත්ථප්පකාසිනී, යක්ඛසංයුත්තය, ඉන්දකවග්ගෝ, සුදත්තථප්පකාසිනී). අනාථපිණ්ඩික සිටුතුමාට බුද්ධ අනුගාමිකයකු වීමෙහි අවස්ථාව උදා වන්නේ ද, රජගහ නුවර සිටුවරයා හා සමග පැවැති මෙම සමීප සබඳතාව හේතුවෙනි. ( සංයුත්ත නිකාය, සගාථවග්ගය, යක්ඛසංයුත්තය, ඉන්දකවග්ගය සුදත්ත සූත්‍රය හා චුල්ලවග්ගපාලි, සේනාසන ඛන්‍ධකය, දෙවන බණවර).

අනාථපිණ්ඩික සිටුතුමන් පිළිබඳව ත්‍රිපිටකයෙහි හා අටුවාවල දැක්වෙන තොරතුරු සියල්ල ගොනුකළ විට එතුමන්ගේ චරිතය බුද්ධ අනුගාමිකයකු ලෙස අප ජීවිත සකසා ගත යුතු විවිධ පැතිකඩයන් රැසක් පිළිබඳව අපට මඟපෙන්වයි. බුදුරජාණන්වහන්සේ හමුවූ පළමු අවස්ථාවෙහිම සෝවාන් ඵලයට පත් එතුමන්ගේ දීමෙහි ඇලුණ ස්වභාවය අපට බුද්ධ අනුගාමිකයකු ලෙස දන්දෙන්නකු පවත්වා ගත යුතු සිතෙහි ස්වභාවය කියා දෙයි. දරුවන් ශ්‍රාවකසංඝ තත්ත්වයට එනම් මගපඵලාභින් බවට පත් කිරීමට මඟපෙන්වීමට සමත් වූ එතුමන් අපට, දෙමාපියන් සිය දරුවන් කෙසේ ධර්ම මාර්ගයට යොමු කළ යුතුදැයි පෙන්වා දෙයි. දරුවන් තේරුම් ගනිමින් ඔවුන්ගේ දුර්වලකමම ඔවුන් ධර්ම මාර්ගයට යොමු කිරීමට දක්ෂ පියකු වූ එතුමන් තමන් දානයෙහි ඇලෙමින් මහා දානයන් පිළියෙල කරන අතරතුරම තම දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ද උත්සුක වූ පරමාදර්ශී පියකු ලෙස අපට වැදගත් වෙයි. එසේම මරණමංඤකයේදී ඇතිවන දුක් වේදනාවන්ට යට නොවී සිත ධර්මයට යොමුකර ගත හැකි ආකාරය අපට එතුමන්ගෙන් උගත හැකිය. මෙලොව ගතකළ ධාර්මික ජීවිතය පරලොව සැපවත් කිරීමට උපකාර වන ආකාරය පැහැදිලි කරන්නකු ලෙස ද එතුමන් අපට උපකාර කරයි.

සිය ව්‍යාපාර කටයුතු සඳහා රජගහනුවරට පැමිණි සුදත්ත සිටුවරයා, සිය ඥාතිමිත්‍ර වූ රජගහනුවර සිටුවරයාගෙන් සම්මාසම්බුදුරජාණන්වහන්සේ ලොව පහළව ඇති බව අසා, සිය ඥාතිමිත්‍රයාගේ නිවසට පසුදින දනට වඩින තෙක් වත් බලා නොසිට, එම රාත්‍රියෙහිම බුදුරජාණන්වහන්සේ බැහැදැකීමට පිටත් විය. පසුදින පාන්දරම බුදුරජාණන්වහන්සේ හමුව දහම් අසා සෝවන් ඵලයට පත්ව, පසුදිනට බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේට දනට ආරාධනා කළේය. ආගන්තුකව සිටිමින් සිටුතුමා කළ ආරාධනය අසා, බිම්බිසාර රජතුමා, ඇතුළු රජගහනුවර ප්‍රභූන් සිටුතුමා වෙනුවට දානය දීමට ඉදිරිපත් වුව ද, තම ධනයම වියපැහැදම් කර සිය පළමු දානය රජගහ නුවර සිටු නිවසේදීම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේට පිළිගැන්වූ සුදත්ත සිටුවරයා, බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේට වස් විසීම සඳහා සැවැත් නුවරට වඩින ලෙස ද ආරාධනා කළේය. එම ආරාධණය පිළිගත් බුදුරජාණන්වහන්සේ,“තථාගතවරු ශුන්‍යාගාරයෙහි විසීම රිසි කරති” යැයි ප්‍රකාශ කළ සේක. එය ඇසූ සිටුවරයා තමන් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ දෙය අවබෝධ කරගත් බව “භාග්‍යවතුන් වහන්ස මට වැටහිණී, සුගතයන් වහන්ස මට වැටහිණි යැයි ප්‍රකාශ කළේය (චුල්ලවග්ගපාලි, සේනාසන ඛන්‍ධකය, දෙවන බණවර).

අනතුරුව සැවතට පැමිණෙන බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේට පහසු වන පිණිස, රජගහනුවර සිට සැවත දක්වා මගදිගට අතරමග ගම් නියම්ගම් වැසියන් අමතා විහාර පිහිටුවීමටත්, දන් පිළියෙල කිරීමටත් උපදෙස් දී, යොදුනෙන් යොදුනට ලක්ෂය බැගින් දී විහාර කරවීය. බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේ වෙත සුදත්ත සිටුවරයා තුළ තිබූ මෛත්‍රීසහගත ස්වභාවය, ආරාධනා කිරීමෙන් නොනැවතී, මෙලෙස උන්වහන්සේලාට පහසුවෙන් සැවතට වැඩමකිරීමට පහසුකම් සැලසීමට උත්සුක වීමෙන් පැහැදිලි වේ. එපමණකින් නොනැවතී සැවතට පැමිණීමෙන් අනතුරුව, බුදුරජාණන්වහන්සේ කළ ප්‍රකාශයට ගැළපෙන ස්ථානයක් සෙවීමට උත්සුක විය. දහවල් ජනාකීර්ණ නොවුණාවූ ද, රාත්‍රියෙහි නිහඬ වූද, විවේකයට සුදුසු වූද, එසේම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේ බැහැදැකීමට යන වැසියනට යෑම් ඊම් පහසු වූද, ස්ථානයක් සොයා බලා, ජේත කුමරාගේ උයන දැක එය උයනක් කිරීමට තමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම බිමෙහි රන් ඇතිරුවද එය ලබානොදෙන බව ජේත කුමරා පැවසුවත්, එසේ රන් අතුරා එය ලබාගැනීමට සිටුතුමා කැමැති විය. සිය සේවකයන් ලවා එම බිමෙහි අටලොස් කෙළක් මසුරන් ඇතුරූ පසු ද දොරටුව අසල සුළු කොටසක් ඇතිරීමට මසුරන් මදි විය. තවත් මසුරන් ගෙන එන ලෙස සේවකයනට පවසමින් සිය කටයුත්තෙහි නිර්ලෝභීව හැසිරෙන, අනාථපිණ්ඩික සිටුතුමාගේ නිර්ලෝභී හැසිරීම බලා සිටි ජේත කුමාරයාට, මෙලෙස මසුරන් පරිත්‍යාග කරන්නේ සුළුපටු කාර්යයකට නොවන බව සිතී, එම කොටස තමාගේ දානය ලෙස සලකන ලෙස පැවැසීය. ජනයා අතර ප්‍රකට මෙවැන්නකු සසුනෙහි පැහැදුණහොත් ඔහුගෙන් මහත් වැඩක් සිදුවන්නේ යැයි සිතා එම ඉල්ලීමට එකඟ වූ සිටුතුමා එම සුළු කොටසින් දායක වූ ජේත කුමාරයාගේ

නමින්ම විහාරය නම් කළේය. එතුමා අටළොස් කෙළක් මසුරන් වියදම් කර පිරිවෙන්, දොරටු, උවටැන් හල්, ගිනිහල්, වැසිකිළි, කැසිකිළි, සක්මන් මළු, සක්මල් හල්, ළින්, ළින්හල්, ජෙන්නාකගෘහ, ජෙන්නාකගෘහ ශාලා, පොකුණු මඩු, ආදියෙන් සමන්විතව එම විහාරය කරවිය. අනතුරුව අටලොස් කෙළක් මසුරන් වියදම් කර, සිවුවනක් පිරිසට පෙරබත් හා පසුබත්, කැමැති පරිදි දෙමින් විහාර පූජාව සිදුකළහ. මෙලෙස තමා පනස්හතර කෝටියක මහා ධනයක් වියදම් කළ ද, සුළු දායකත්වයක් ලබාදුන් ජේත කුමරාගේ නමින් ආරාමය නම් කරමින්, සසුනට හා ජනයාට වන සෙත සලකා තමාගේ කීර්තිනාමය පරිත්‍යාග කිරීමට තරම් වූ සිටුතුමාගේ බලවත් ශ්‍රද්ධාව හා නිහතමානි පරහිතකාමී ගුණය අපට නියම බුද්ධ ශ්‍රාවකයකු ලෙස අප සිත් සකසා ගත යුතු ආකාරය කියා දෙයි.

එතුමා දිනපතාම සලාක බත්, පක්ෂයකට අයත් බත්, සලාක කැඳ දීම්, පක්ෂයකට අයත් වන කැඳ, නිති බත්, ආගන්තුක බත්, ගමික බත්, ගිලානුපස්ථායක බත්, ආදී ලෙස පන්සියය බැගින් වන දානයන් පිළිගැන්වීය. ඒ සඳහා නිරතුරුවම පැනවූ අසුන් පන්සියයක් සිටු මැඳුරෙහි විය (චුල්ලවග්ගපාලි, සේනාසන ඛන්‍ධකය, දෙවන බණවර හා මනෝරථපූරණි, අනාථපිණ්ඩිකසෙට්ඨි වස්තුව). බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන අවස්ථාවල තෙවරක් බුද්ධ උපස්ථානය සඳහා යන සිටුතුමා, එතුමන් පැමිණෙන විට තමනට කුමක් හෝ දෙයක් ගෙන එන්නේ යැයි බලාසිටින ළමා වයසෙහි සිටින සාමණේර හාමුදුරුවරුන්ට ප්‍රත්‍ය දේ රැගෙන යෑම පුරුද්දක් කරගෙන සිටියේය.

එතුමන් තුළ තිබුණු ශාසනහිතකාමීත්වය, කුඩා සමණේර හිමිවරුන් දක්වාම පැතිර පැවැති ආකාරය මෙවැනි හැසිරීම් ප්‍රකට කරයි. බුදුරජාණන්වහන්සේ පන්සාලිස්වසින් විසිවසක්ම සැවැත් නුවර වස් විසීමට ප්‍රිය කරන්නට මෙවැනි දායකයන්ගේ චිත්ත ස්වභාවයම හේතු වූවා ද විය හැක. එසේම තමනට ධනය ඇති විටත්, ධනය හිඟ වූ විටත්, තමා එතෙක් කළ පරිත්‍යාග නතර නොකර, තිබෙන ආකාරයට කෙසේ හෝ දානයන් පවත්වාගෙන යෑමට එතුමෝ ක්‍රියාකළහ. දන්දීමෙහිදී ලබාදෙන ද්‍රව්‍යයනට වඩා දන්දීමට සිතැති බව වැදගත් බව එතුමාගේ මෙම හැසිරීම් ප්‍රකට කරයි (ධම්මපදට්ඨකථා, පාපවග්ගය, අනාථපිණ්ඩිකසෙට්ඨි වස්තුව).තම දියණිවරුන් ධර්ම මාර්ගයට යොමු වුව ද, සිය කාල නම් වූ පුත්‍රයා බුදුරජාණන්වහන්සේ හෝ සංඝයාවහන්සේ දැකීමට, උපස්ථාන කිරීමට කැමැත්තක් නොදැක්වීම සිටුතුමාට ගැටලුවක් වූයේ සිය පුත්‍රයා අපායගාමී වනු දැකීමට ඇති අකැමැත්ත නිසාය.

මුදල් වියදම් කර හෝ ඔහුගේ සිත වෙනස් කිරීමට සිතූ සිටුතුමා, කහවනු සියයක් දෙන බව පවසා, විහාරයට ගොස් පෙහෙවස් සමාදන්ව එන ලෙස පැවසීය. විහාරයට ගොස් නිදා සිට පසුදා පැමිණි කාල සිටුපුත්‍රයා කහවනු ලබාදෙන තුරු ආහාර ගැනීම ද ප්‍රතික්ෂේප කළේය. අනතුරුව වෙහෙරට ගොස් එක් දහම් පදයක් ඉගෙනගෙන පැමිණියහොත් කහවනු දහසක් දෙන බව පවසා සිටුතුමා දෙවන වරටත් සිය පුත්‍රයාව වෙහෙරට යැවීමට සමත් විය. එක පදයක් දැන විහාරයෙන් පිටව යෑමෙහි අරමුණෙන් වෙහෙරට ගිය සිටු පුත්‍රයාට, දහම් කරුණු මතක නොසිටීවා යැයි බුදුරජාණන්වහන්සේ අධිෂ්ඨාන කළ සේක. දහම් කරුණක් මතක තබා ගැනීමට අවධානය යොමුකළ සිටු පුත්‍රයා සිත එකග වීමෙන්, සෝවාන් ඵලයට පත් විය. සිය පුත්‍රයාගේ දුර්වලකමම ඔහුට සෙත සලසාදීමට යොදාගැනීමට තරම් ප්‍රඥාවත් වූ අනාථපිණ්ඩික සිටුතුමා දරුවන් උපක්‍රමශීලීව මෛත්‍රී සහගතව යහපතට යොමු කිරීම කෙසේ කළ යුතුදැයි අපට කියා දෙයි.

තමන් මරණාසන්නව සිටින බව වටහාගත් සිටුතුමා, විහාරයට ගොස් බුදුරජාණන්වහන්සේ පා වැඳ තමා ගිලන්ව සිටිනා බව පවසන ලෙසත්, සැරියුත් මහා රහතන්වහන්සේ පා වැඳ, තමන්ගේ ගිලන්භාවය දක්වා සැරියුත් මහා රහතන්වහන්සේට තමා කෙරෙහි අනුකම්පා කර නිවසට වඩින්නට ඉල්ලා සිටින ලෙසත්, පැවැසීය. එම ආරාධනය පිළිගත් සැරියුත් මහා රහතන්වහන්සේ, ආනන්ද තෙරුන්වහන්සේ ද සමග සිටු නිවසට වැඩම කළහ. සැරියුත් මහා රහතන්වහන්සේ සිටුවරයාගෙන්, දැනෙන වේදනාව ඉවසිය හැකිදැයි විමසූ විට, තමාට දැනෙන මරණාසන්න වූ විට කෙනකුට දැනෙන වේදනාව සිටුවරයෝ විස්තර කර දැක්වූහ. එවිට සැරියුත් මහා රහතන්වහන්සේ, පුද්ගල සඤ්ඤාවෙහි නොඇලෙන ලෙසට විස්තරාත්මකව පුද්ගල සංකල්පය බෙදා දක්වමින් සිටුවරයාට අවවාද කළේය. එවිට කදුළු පිරි දෙනෙතින්, දීර්ඝ රාත්‍රියන් තමා බුදුරජාණන්වහන්සේ හා සංඝයාවහන්සේ ඇසුරු කළත්, මෙබදු ධර්ම කථාවක් නොඇසූ බව පවසා, ගිහියනට ද මෙවැනි ධර්ම කථා වැටහෙන ලෙස ප්‍රාර්ථනා කළේය. අවවාද දී තෙරුන් වහන්සේ පිටත්ව ගිය පසු මරණයට පත්වූ සිටුවරයා අනාථපිණ්ඩික නමින් තුසිත දෙව්ලොව උපත ලැබීය.

අනාථපිණ්ඩික දේව පුත්‍රයෝ මධ්‍යම රාත්‍රියෙහි මනා පැහැ ඇතිව සියලු ජේතවන වෙහෙර බබළවමින් පැමිණ බුදුරජාණන්වහන්සේ වන්දනා කොට එකත්පසව සිට මෙම ගාථාව පවසමින් තම සිතෙහි පවතින ප්‍රීතිය ප්‍රකාශ කළහ.

“භික්ෂු සංඝයා විසින් නිති සෙවුනා ලද, ධර්මරාජයන් වහන්සේ වාසය කළ මෙම ජේතවනය මට ප්‍රීතිය උපදවයි.

මාර්ගච්තනා සංඛයාත කර්මය ද, මාර්ග ප්‍රඥා සංඛ්‍යාත විද්‍යාව ද, සමාධිපාක්ෂික ධර්මය ද, සිල්වත්හුගේ ජීවිතය ද, උතුම් වෙයි. මෙම කර්මාදිය හේතුකොටගෙන සත්ත්වයෝ විශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හො ශුද්ධ නොවෙති.

එහෙයින් පණ්ඩිත පුරුෂ තමහට වැඩ පසස්නේ, සමාධිපාක්ෂික, ධර්මය නුවණින් විමසන්නේ ය. මෙසේ ආර්ය මාර්ගයෙහි විශුද්ධ වෙයි.

ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, ක්ලේශොපමයෙන් ද, සාරිපුත්ත මහා ස්ථවිරයන් වහන්සේම ශ්‍රේෂ්ඨ වෙති. නිර්වාණපාරට පැමිණි යම් මහණෙක් වෙයි ද, හෙතෙම, සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේම පරම කොට ඇතිවන්නේය.
(මජ්ක්‍ධිම නිකාය, උපරිපණ්ණාසකය, සළායතනවග්ගය, අනාථපිණඩිකෝවාදසුත්තය)

අනාථපිණ්ඩික දේව පුත්‍රයන්ගේ මෙම ප්‍රකාශය ගිහියකු ලෙස කෙනකු කළ නොකළ යුතු දේ පිළිබඳ මඟපෙන්වීමක් අපට ලබා දෙයි. මෙලෙස අනාථපිණ්ඩික සිටුතුමන් මෙන්, ගිහි ශ්‍රාවකයකු ලෙස අපට පැවරෙන වගකීම් සමබර කරගනිමින් දන්දීමෙහි පටන් ධර්මාවබෝධය දක්වා අප කරන සෑම ක්‍රියාවක්ම කැපවීමකින් හා අවබෝධයෙන් යුක්තව, ධර්මානුකූලව හා ප්‍රඥාවත්ව කිරීමට අපත් උත්සුක වෙමු.

නිශාදිනී පිරිස් ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *