සංඝයා උදෙසා වෙන් කළ දේ පැහැර ගත්තවුන්ට අත්වූ ඉරණම

cmadurawala
9 Min Read

ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමිපාණෝ

නොයෙක් වංචා, ප්‍රයෝග, දේශපාලන කූට උපක්‍රමයන් යොදාගනිමින් තුනුරුවන් සතු අරණ්‍යයන්, පන්සල්, දේපළ පැහැරගෙන කෑමෙහි ගිජු වූ, ලජ්ජා බිය නොමැති අශ්‍රද්ධාවත්, කපටි පුද්ගලයෝ මෙකල ද සිටිති. තුනුරුවන් සතු දේ පැහැර ගැනීමෙන් මතු තමන්ට විඳීමට සිදුවන ඉතා බියකරු දරුණු දුක් රැසක අනතුර පෙන්වා දෙන තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව එම වැරදිවලින් හාත්පසින්ම වැළකී සිටීමට මහඟු උපකාරයක් ලබා දෙයි.

සම්මා සම්බුද්ධරාජෝත්තමයන් වහන්සේ රජගහනුවර වැඩ වදාරණ කල්හි බොහෝ ප්‍රේතයන් අරභයා මේ ප්‍රේතවස්තුව දේශනා කළ සේක.

මේ කල්පයට කල්ප අනූ දෙකකට පෙර කාසිපුර නම් නුවරක් විය. එහි ජයසේන නම් රජෙක් රාජ්‍යය කරවීය. ඒ රජතුමා හට සිරිමා නමින් යුත් දේවියක් විය. එම දේවියගේ කුස ඵුස්ස නම් බෝසතාණෝ ඉපිද අනුක්‍රමයෙන් සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ සේක. ජයසේන රජතුමා “මාගේ පුතණුවෝ මහාභිනිෂ්ක්‍රමණය කොට බුදු වූ සේක. බුද්ධ රත්නය මාගේ ම ය, ධර්ම රත්නය මාගේ ම ය, සංඝ රත්නය මාගේ ම ය” යි මමත්වය උපදවාගෙන සියලු අවස්ථාවල දී ඔහු විසින් ම උපස්ථාන කරයි. අනිකෙකුට උපස්ථානයට ඉඩක් ලබා නොදෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බාල සහෝදර වූ දෙවෙනි මෑණියන්ගේ පුත්‍ර වූ සහෝදරයින් තිදෙන මෙසේ සිතූහ. ‘බුදුන් වහන්සේ නම් සියලු ලෝක සත්වයන් හට හිත සුව පිණිස උපදින්නෝ ය. එක් අයෙකුට පමණක් වැඩ පිණිස නූපදින්නෝ ය. අපගේ පිය රජාණෝ අනිකෙකුට අවසර නොදෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ හා සංඝරත්නයට අප කෙලෙස උපස්ථාන කරන්නෙමුද?’ මෙසේ සිතූ ඔවුහු “අපි දැන් කිසියම් උපායක් කරමු” යි එකඟත්වයට පැමිණියහ.

ඔවුන් පිටිසර ජනපදයක ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරවූහ. ඒ බව දැනගත් රජතුමා වැසියන් සන්සිඳවීම පිණිස සහෝදරයින් තිදෙන එහි යැවීය. ප්‍රශ්නය සන්සිඳවා පැමිණි ඔවුන් දැක සතුටට පත් රජතුමා “නුඹලා යමකට කැමති නම් එය ගනුව”යි වරයක් ලබාදුනි. ඔවුන් තිදෙන, අප භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමති බව ප්‍රකාශ කළහ. රජතුමා “එය හැර අන් වරයක් ගනුව” ය කී ය. රජතුමාගෙන් බොහෝ සේ කරන ලද ඉල්ලීම පරිදි අවසානයෙහි තුන් මසක කාලයකට පමණක් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කිරීමේ අවස්ථාව ඔවුනට හිමි විය.

රජකුමරුන් තිදෙන තමන්ට අයත් ජනපදයක විහාරාරාම ඉදිකොට කසාවතින් සැරසුණ පුරුෂයන් දහසක් යොදවා බුදුන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය උදෙසා මනා සේ උපස්ථාන කරන්නට වූහ. කුමාරවරුන්ගේ භාණ්ඩාගාරික වූ ගෘහපති පුත්‍රයා තුනුරුවන් කෙරෙහි බොහෝ ශ්‍රද්ධා සම්පන්න විය. එම භාණ්ඩාගාරිකතුමා හොඳින් සකස් කොට දාන වස්තුව දුන්නේ ය. ජනපදයෙහි අධිපති පුරුෂයා එම දාන වස්තුව ගෙන දනව්වැසි එකොළොස්දහසක් පමණ පුරුෂයන් අත මනාකොට දාන වස්තුව යැවී ය.

ඔවුන් අතරින් සමහර දනව් වැසියෝ දුර්වල වූ ශ්‍රද්ධා සිත් ඇති අය වූහ. එම පිරිස දනට බාධා කොට දාන වස්තුව තමන් විසින් ම අනුභව කළ හ. බත් හළ ද ගිනි තබා විනාශ කළහ. රාජපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට සත්කාර කොට උන්වහන්සේ පෙරටු කොටගෙන රජුගේ සමීපයටම නැවත ගියෝ ය.

කාලයාගේ ඇවෑමෙන් ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. රාජපුත්‍රයෝ ද ජනපද අධිපතියා ද භාණ්ඩාගාරිකයා ද පිළිවෙළින් කළුරිය කොට පිරිස සමග දෙව්ලොව උපන්හ.

සැදැහැසිත් නැති ජනපදවාසී මිනිසුන් මරණයෙන් පසු නිරයෙහි උපන්නෝ ය. මෙසේ දෙව්ලොවින් දෙව්ලොවට ද නිරයෙන් නිරයට ද ඉපදෙමින් එම මිනිසුන් දෙකොටසට ම කල්ප අනූදෙකක් ගත වී ගියේය.

නැවත මේ භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුද්ධ ශාසනයේ දී එම ශ්‍රද්ධාවක් නැති මනුෂ්‍යයෝ ප්‍රේත අපායෙහි උපන්නෝ ය. එම කාලයෙහි මිනිසුන් දන් පින් කර තම තමන්ගේ ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරති. එම ඥාති ප්‍රේතයෝ ද එය අනුමෝදන් ව සැප ලබති. එය දුටු මෙම ප්‍රේතයෝ ද කසුප් සම්මා සම්බුදුරජුන් වෙත එළඹ “ස්වාමීනි, අපටත් මෙලෙස සැප සලසා ගත හැකි ද?” යි විමසුවෝ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “මෙම කාලයෙහි සැප නො ලබන්නේ ය, අනාගත කාලයෙහි පහළ වන ගෞතම නම් සම්මා සම්බුදුන්ගේ කාලයෙහි බිම්බිසාර නම් රජෙක් වෙයි. එම රජතුමා පෙර නුඹලාගේ නෑයෙක් විය. ඒ බිම්බිසාර රජතෙම බුදුන්ට දන් දී නුඹලාට පින් දෙන්නේ ය. එවිට නුඹලා සැප සම්පත් ලබන්නාහු ය” යි වදාළ සේක. මේ අනුව ඔවුනට බොහෝ කාලයක් බලා සිටින්නට සිදු විය.

ඉනික්බිති බුද්ධාන්තරයක් ගෙවුණු පසු අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල ඒ රජපුත් තිදෙනා දහසක් පුරුෂයන් සමග දෙව්ලොවින් චුතව මගධ රට බමුණු කුලයක ඉපදී තාපස පව්‍රජ්‍යාවෙන් පැවිදිව ගයා ශීර්ෂයෙහි ජටිලයෝ වූහ. ජනපද ප්‍රධානී බිම්බිසාර රජ විය. භාණ්ඩාගාරික පුත්‍රයා විසාඛ නම් සිටු විය. ඔහුගේ භාර්යාව ධම්මදින්නා නම් සිටු දියණිය විය. සෙසු පිරිස රජ හට පිරිවර ව උපන්නෝ ය.

භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පැමිණි බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා ශ්‍රාවක සංඝරත්නය උදෙසා මාලිගයෙහි මහ දන් පැවැත්වී ය. ඉහත කී ප්‍රේත පිරිස දැන් අපට පින් අනුමෝදන් කරතියි සිතමින් මාලිගය පිරිවරා සිටියෝ ය. රජතුමාට දන් අවසන පින් පැමිණවීමට අමතකව ගිය බැවින් ප්‍රේතයෝ සුන් වූ බලාපොරොත්තු සහිතව දුකට පැමිණියහ. ඔවුහු රාත්‍රි කාලයෙහි රාජමන්දිරයෙහි සැරිසරමින් ඉතා බියකරු ලෙස ශබ්ද කරන්නට වූහ. එය ඇසූ රජතුමා බෙහෙවින් බිය තැති ගැනීමට ද සංවේගයට ද පැමිණියේ ය.

අලුයම භාග්‍යවතුන් වහන්සේ බැහැදුටු රජතුමා සියලු පුවත් සැලකර සිටියේ ය. “මහරජ, බිය නොවන්න. මෙයින් කිසි නපුරක් නො වන්නේ ය. ඔබට යහපතක් වන්නේ ය. වැඩක් වන්නේ ය. ඔබගේ ඥාති ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පින් ප්‍රාර්ථනා කරමින් පසුවෙති. පෙරදින පින් ලබා නො දුන් බැවින් එබඳු වූ භයානක ශබ්දයක් කළෝ ය” යි වදාළ සේක. “ස්වාමීනි, දැන්වත් පින් දුන් කල්හි එම ප්‍රේතයෝ සැප ලබත් ද?” යි රජු ඇසීය. “මහරජ, එසේය” යි බුදුරජුන් වදාළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අද දවස මගේ දානය ඉවසා වදාරණ සේක්වා. ඒ ප්‍රේතයන්ට පින් දෙන්නෙමි.” රජතුමා මාලිගයට ගොස් මහදන් පිළියෙල කරවා එම දාන වස්තූන් මැනවින් පූජා කරගන්නට යෙදුණි. භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි සියලු ප්‍රේතයින් රජතුමාට දක්නට සැලැස්වූ සේක. දානය අවසන් වීමෙන් පසු රජ තෙමේ පැන් පිළිගන්වමින් “මාගේ ඥාති ප්‍රේතයන්ට මේ පින වේවා” යි පැවසීය.

එකෙණෙහි ම ප්‍රේතයන්ට පියුම් පොකුණු පහළ විය. ප්‍රේතයෝ පොකුණුවලට බැස නා පැන් බී සන්සිඳුණු පිපාසා ඇති වූහ. සිරුරු දැවිලි රහිතව රන්වන් පැහැ ගත්තේ විය. දිව්‍යමය බොජුන්, වස්ත්‍ර සහ දිව්‍යමය ප්‍රාසාද ආදී අලංකාර දේවල් ද පහළ වූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ලද සැප සම්පත් රජතුමාට පෙනීමට සලස්වා ‘තිරෝකුඩ්ඩ සූත්‍රය’ දේශනා කොට වදාළ සේක.

“මිය ගිය ඥාති ප්‍රේතයෝ පෙර තමා විසූ නිවෙස් වෙත ‘තමාගේ ය’ යන සංඥාවෙන් පැමිණෙති. එසේ පැමිණ නිවෙස් තාප්ප, දොරවල් අසල, සතරමං සන්ධි, දොරෙන් පිටත, බිත්ති මුල්ලෙහි, තුන්මං සන්ධි ආදි ස්ථානවලට වී සිටිති. නගර දොරටු, නිවෙස් දොරටු ආදී තැන්වලත් සිටිති.

බොහෝ ආහාර පාන වර්ග ද පිළියෙල කර කෑමෙන් බීමෙන් සතුටුවන නමුත් මියගිය ඥාතීන්ගේ අකුසල කර්මයන්ගේ බලවත්කම හේතුවෙන් ඔවුනට ඥාතීන් සිහිපත් නොවේ. තමා විසින් කරන ලද නොදීම හා දීම වැළැක්වීමේ තද මසුරු අකුසල කර්මය ඊට හේතුවයි. ඔවුන්ගේ ඒ අකුසල කර්මය මළගියවුන් සිහි කිරීමට නෑයන්ට අවකාශ නො දෙයි.

යම් අනුකම්පා සහගත ඥාතියෙක් පිරිසිදු ප්‍රණීත ආහාර සකස් කොට ආර්යයන්ගේ පරිභෝගයට සුදුසු ලෙස දානමය පුණ්‍යකර්මය සිදුකර ඥාතීන්ට එම පින අනුමෝදන් කරන්නේ ය. ‘මේ දානයෙහි පින අපගේ ඥාති ප්‍රේතයන්ට වේවා! ඔවුන් සුවපත් වේවා!’ යි අනුමෝදන් කළ කල්හි එය දුකට පත් ප්‍රේතයන්ට එකෙණෙහිම සැප විපාක උපදවන්නේ ය.

ඒ ඥාති ප්‍රේතයෝ දන් දෙනු ලබන තැනට රැස්වී අනුමෝදන් ව බොහෝ සතුටට පත්වෙති. “අපගේ නෑයෝ බොහෝ කල් ජීවත් වේවා!” යි සෙත් පතති.”

ප්‍රේත ලෝකයේ ජීවත්වන ඔවුනට කුඹුරු වැඩ නොමැත. ගවයන් පාලනයක් නොමැත. වෙළෙඳාමකින් යැපීමක් නො වන්නේ ය. රන් කාසිවලින් කරන ගනුදෙනුවක් නොමැත. මරණයට පත් වී ප්‍රේත ලෝකයේ ඉපදී සිටින ඔවුහු තම ඥාතීන් විසින් අනුමෝදන් කරන පිනකින් යැපෙති.

උස් තැනට වැටුණ වර්ෂා ජලය පහත් තැන් කරා බැස යන්නේ යම් ආකාරයකට ද එසේ ම දෙන ලද දානයෙහි පින ප්‍රේතයන්ට පැමිණේ.

මියගිය අය විසින් මාහට මේ විදිහට ධනය දෙන ලදී. මගේ කටයුතු වලට උපකාර කරන ලදී. මේ අය මාගේ ඥාතීන්, හිත මිත්‍රාදීන් යහළුවන් යැයි සිතා ඔවුන් කරන ලද උපකාරයන් සිහිකරමින් පින් දීම සුදුසු ය.

රජතුමනි, ඔබ නෑයෙකු විසින් නෑයන්ට කළ යුතු මහත් පූජාවක් කරන ලදී. ප්‍රේතයන්ට මහත් පූජාවක් කරන ලදී. භික්ෂූන් වහන්සේලාට දන් පැන් පුදා කාය බලය දෙන ලදී. ඔබ විසින් මහත් පිනක් රැස්කර ගන්නා ලදී” යනුවෙන් වදාළ සේක.

මෙම දේශනාව අවසානයේ ප්‍රේත ලෝකයෙහි ඉපදීමේ ආදීනව විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම දේශනාව අසා නුවණින් වීර්යය කළ දහස් ගණනක පිරිසක් ධර්මාවබෝධයට පත්විය. දෙවන දිනයේද දෙව් මිනිසුන්ට මෙම දේශනාව කළ සේක. එසේ සත් දිනක් සත්වයන් හට ධර්මය අවබෝධයට මාර්ගය විවර විය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *