දිමුතු පුන්සර කොළඹගේ
මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් කෙරෙහි පැවති භාෂාන්තර ඥානය හා ධර්ම ඥානය සමකක්ෂයෙහිලා ගිනිය හැක. එය එකකට එකක් පෙර පසු නොවන අන්දමින් සමතැන් ගෙන පැවති බව උන්වහන්සේ විසින් සම්පාදිත පොතපතින් පෙනී යයි.”
විසි වන සිය වසේ ලක්දිව සසුනඹර එකලු කළ පහන් තාරකාවක් වශයෙන් ශ්‍රීපාදස්ථානාධිපති, සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, වාගීශ්වරාචාර්ය මොරොන්තුඩුවේ ශ්‍රී ඥානේශ්වර ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ සම්භාවනාවට පත් කළ හැකිය.
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර තොටමුණබද වාද්දුව බද්දට අයත් වූ, බණ්ඩාරගම සිට වස්කඩුවට දිවෙන මාර්ගයේ පිහිටි මොරොන්තුඩුව නම් ග්‍රාමයේ විසූ කඳනෙ ආරච්චිගේ දොන් ලුවිස් මැතිතුමාගේ සහ එම මැතිණියගේ පුත් රුවනක වශයෙන් වර්ෂ 1890 මාර්තු මස 6 වන දින කඳනෙ ආරච්චිගේ දොන් ජෝන් අප්පුහාමි නමින් මෙම කුල කුමරුවාණෝ ජන්මලාභය ලැබූහ.
කුඩා වියේ පටන් කීමෙහි, බිණීමෙහි මෙන් ම අක්‍ෂරෝද්ග්‍රහණයේ ද විශේෂ සමත්කම් පෑ හෙතෙම පුරාකෘත පුණ්‍ය මහිමය හේතුවෙන් බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අග්‍රෙසර ශිෂ්‍ය වූ හුණුපිටිය ගංගාරාමාධිපති දෙවුන්දර ජිනරතන නාහිමිපාණන් වහන්සේගේ සහ ද්විතීය ශිෂ්‍ය වූ විද්‍යොදය පරිවේණාධිපති මහගොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වශයෙන් මොරොන්තුඩුවේ ධම්මානන්ද නමින් පැවිදි බව ලැබූහ.
ස්වකීය ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේ ගොඩනංවන ලද කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට 1912 දී ඇතුළත්ව ස්වකීය ආචාර්යපාදෝත්තම ශ්‍රී ඥානේශ්වර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ඇසුර ලබමින් වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය ලද ශ්‍රී ධම්මානන්ද හිමියන් 1918 වර්ෂයේ දී අවසාන ද්විතීය වර්ගයේ දක්ෂතම ශිෂ්‍යයා වෙත පිරිනැමෙන ස්‍යාමරාජ ත්‍යාගලාභීව අධ්‍යාපන කටයුතු නිමා කළහ.
නිසි වයස් සපිරූ ධම්මානන්ද සාමණේරයන් වහන්සේ 1919 ජුනි මස 27 වන දින හුලුගල්ලේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර මේධංකරාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහාවිහාරයීය රාජාධිරාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබ ඊළඟ මාසයේ දී එනම් 1919 ජූලි 14 වන දින විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය පදවියකට පත් වූහ. අතිදක්ෂ ආචාර්යපාදයන් වහන්සේ නමක් වශයෙන් සිසුන් අතර කීර්තිමත්ව වැඩ සිටි ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ සිසුන් වෙතින් ඉදිරිපත් වන සාධාරණ දුක්ගැනවිලි සවණට ගනිමින් ද, සාධාරණ අරමුණු පෙරදැරිව සිදු කළ උද්ඝෝෂණ, විරෝධතා ආදියට සහය ලබාදීමෙන් ද ස්වකීය පරිණතභාවය ප්‍රකට කළහ.
තුරුණු වියේ දී ම ස්වකීය කිත් යසස් දසත පැතිරී යාම නිසා ලාබාල වියේ දී ම භාරදූර ශාසනික තානාන්තරවලින් පිදුම් ලැබීමට ශ්‍රී ධම්මානන්ද නාහිමියන් හට අවකාශ ලැබුණි. හුණුපිටිය ගංගාරාමයේ ද, විද්‍යොදය පිරිවෙනේ ද, කිරිඇල්ලේ බඩහැලවත්ත විහාරස්ථානයේ ද වැඩ සිටි මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමියන් වෙත 1922 වර්ෂයේ දී ශ්‍රී ඥානේශ්වර නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ සපරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය 1928 සැප්තැම්බර් 19 වන දින “වාගීශ්වරාචාර්ය ශ්‍රී ඥානේශ්වර” යන ගෞරව නාමය සහිතව මල්වතු විහාරයෙන් ද රඹුක්පොත පඤ්ඤාසාර නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රීපාදස්ථානාධිපති පදවිය 1934 වර්ෂයේ දී රත්නපුර දිසාවේ මල්වතු පාර්ශ්වීය ගරුතර මහා සංඝරත්නයේ එකඟත්වයෙන් ද පිරිනැමුණි.

හික්කඩුවේ පේමානන්ද නාහිමි, බද්දේගම පියරතන නාහිමි, පරිවේණාධිපති කහවේ රතනසාර නාහිමි, පරවාහැර වජිරඥාන නාහිමි, හෑගොඩ නන්දසාර නාහිමි, දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමි. පසු පෙළ වමේ සිට දෙවුන්දර වාචිස්සර නාහිමි, කුකුල්නාපේ දේවරක්ඛිත නාහිමි, පලන්නොරුවේ විමලධම්ම නාහිමි, කළුකොඳයාවේ පඤ්ඤාසේඛර නාහිමි, වැලිවිටියේ සෝරත නාහිමි
සිය සසුන් මගෙහි විවිධ වූ අභියෝගයන්ට මුහුණ දීමට ද ශ්‍රී ධම්මානන්ද නාහිමියන් හට සිදු වුණි. එක් අවස්ථාවක විද්‍යොදය පිරිවෙනේ විදුලිය හා වරිපනම් ගාස්තු පියවා ගනු වස් සිසුන්ගෙන් මුදලක් අයකර ගැනීමට තීරණය වූ අවස්ථාවෙහි එහි අයෝග්‍යභාවය දක්වා ශ්‍රී ධම්මානන්ද නාහිමියන් විරෝධතාවයක් දියත් කළේය. මේ නිසා 1936 වර්ෂයේ ගිලන්ව රෝහල්ගතවූ අවස්ථාවෙහි ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ඉගැන්වීමේ කාලසටහන් ඉවත් කොට ආචාර්ය පදවිය අත්හිටුවා තිබුණි. එම සිද්ධි දාමයේ ම දිගුවක් වශයෙන් ස්වකීය ප්‍රාචාර්යයන් වහන්සේ විසින් ආරම්භ කළ විද්‍යොදය පිරිවෙනෙහි හිමිකම් පිළිබඳ දීර්ඝ කාලීන අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවිය. එසේම නාහිමිපාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානාධිපති පදවියට පත් වූ අවස්ථාවෙහි පරාජයට පත් ඌරාපොල රතනජෝති හිමියන් සමග අධිකරණයට යාම නිසා දශක දෙකක කාලයක් පැවති අධිකරණ කටයුතු අවසන් වී මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමියන් ශ්‍රීපාදස්ථානාධිපති පදවියට පත් වූයේ 1954 අගෝස්තු 6 වන දින ය.
මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ අසහාය පාණ්ඩිත්‍යය පිළිබිඹු වන මහානීය ග්‍රන්ථරත්නය නම් සද්ධර්මකෞමදී නම් ධම්මපද විස්තර ව්‍යාඛ්‍යානයයි. ධම්මපදය වෙනුවෙන් රචිත විස්තර වර්ණනා සන්න ආදිය කෙතරම් පැවතුණත් ඒ සියල්ල අතර මුල් තැනට පැමිණෙන්නේ සද්ධර්මකෞමදිය බව අතිශයෝක්තියක් නොවේ. ධර්මප්‍රදීපිකා, අමෘතාවහ, සද්ධර්මරත්නාවලී, සද්ධර්මාලංකාර ආදී සම්භාව්‍ය සිංහල ග්‍රන්ථයන්හි නාමකරණයට ම අනුරූප වන පරිදි සද්ධර්මකෞමදී යනුවෙන් නම් කිරීම ද විශේෂත්වයකි. වර්තමානයට ද ගැලපෙන අන්දමින් මාතෘකා තැබූ සද්ධර්මකෞමදිය ආධුනික ධර්මදේශක හිමිවරුන් හට අත්පොතක් ම විය.
ඉතිවුත්තක අට්ඨකථාව සංස්කරණය කරමින් හේවාවිතාරණ අටුවා ශෝධනයට ද දායකත්වය ලබා දුන් ශ්‍රී ධම්මානන්ද නාහිමියන් වහන්සේ පරමත්ථමංජුසා නම් වූ විසුද්ධි මාර්ගයේ ටීකාව කොටස් දෙකකින් සංශෝධනය කරවූහ. එසේම විමානවත්ථු පේතවත්ථු ථෙර ථෙරිගාථා පාලිය ද එක් ග්‍රන්ථයක් වශයෙන් සම්පාදනය කරවූහ. නාහිමියන් සම්පාදනය කළ අමාවතුර ගැටපදයක් ද හමුවෙයි. මේ හැරුණු විට සඟරා පොත් පත් ආදියටත් විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙනුත් රචනා කළ ලිපි ප්‍රමාණය විශාල වෙයි.
ශ්‍රීපාදස්ථානයේ දියුණුව වෙනුවෙන් මෑත යුගයේ විශාලතම දියුණුව සළසන ලද්ද්දේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ යුගයේ දී ය. ලක්ෂපාන ජලවිදුලි යෝජනා ක්‍රමය සාර්ථක වීමෙන් පසු රජය මගින් හැටන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඉදිකරවීම මෙම යුගයට අයත් වූවකි. එවක මුදලින් රුපියල් ලක්ෂ හතක් පමණ වියදම් කොට අත්වැල් සහිතව නව පඩි බඳවා සිරිපා මාර්ගයන් විධිමත් කිරීමටත්, ජල හා සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීමටත් නාහිමිපාණන් වහන්සේ උත්සුක වූහ. ශ්‍රීපාදස්ථානය සතු නින්දගම් ඇතුළු ඉඩකඩම් මනා පාලනයකට ලක් කොට ලක්දිව වැඩිම ආදායම් ලබන සිද්ධස්ථානය ශ්‍රීපාදස්ථානය බවට පත් කරවා ශාසනික කටයුතු සඳහා එම ධනය යෙදවීය.
1956 වර්ෂයේ පටන් 1969 වර්ෂය දක්වා තෙළෙස් වසරක් ශ්‍රීපාදස්ථානාධිපති ධුරයේ කටයුතු කරද්දී නාහිමියන් ලද සම්පූර්ණ දීමනාව වූ රුපියල් 61,166.66 ක මුදල වාර්ෂිකව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය විෂයයන් හදාරන භික්ෂුන් වහන්සේලා දෙනමක් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම පිණිස 1969 වර්ෂයේ දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය වෙත පිරිනමා තිබේ. එය එතෙක් ලංකාවේ විශ්වවිද්‍යාලයක් ලද ඉහළ ම මූල්‍ය පරිත්‍යාගය වශයෙන් උපකුලපතිතුමා විසින් ප්‍රශංසා කොට තිබේ.
ශ්‍රීපාදස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත අගනුවරට පැමිණි විටෙක විවේක ගැනීමට ස්ථානයක් නොමැති වීමේ අඩුපාඩුව මගහරිණු වස් හුණුපිටියේ ගංගාරාමයත් විහාරමහාදේවි උද්‍යානයත් අතර පාක් වීදියේ නිල ආරාමයක් ස්ථාපනය කළහ.
මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ එකම ශිෂ්‍යවරයා වූයේ ප්‍රසිද්ධ පඬි රුවනක වූ පින්නගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ය. ආරෝහ පරිණාහ දේහධාරීව, ගැඹුරු කටහඬින් ද යුතු වූ මොරොන්තුඩුවේ නාහිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් වශයෙන් ද ප්‍රසිද්ධියට පත් වූහ.
සැඳෑ සමය එළඹීමත් සමග වසරකට වැඩි කාලයක් ගිලන්ව කොළඹ මහා රෝග්‍යශාලාවේ ප්‍රතිකාර ලැබූ මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ අසූ වසරකට ආසන්න කාලයක් ආයු වින්දනය කොට 1970 ජනවාරි මස 17 වන දින රාත්‍රී 7.30 ට පමණ අපවත් වී වදාළ සේක.

