අද්‍යතන ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතන අතරෙහි අගතරලමිණ වන් මහනුවර අස්ගිරි මහාවිහාර මහා පිරිවෙනෙහි ආදිකර්තෘභූත, ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ විසිවන සියවසේ මැද භාගයේ මෙරට ජාතික, ආගමික, සමාජයීය හා අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ මහා යතිවරයන් වහන්සේ නමකි.
කන්දඋඩරට රාජධානි සමයේ දේශපාලනික අස්ථාවරත්වයන් පැනනැඟුණු කල්හි එම අර්බුද සමනය කිරීම පිණිස නොබියව යුදබිමට පිළිපන් වීරෝදාර යුගපුරුෂයන් රාශියකගේ නිජභුමිය වූ, ශ්‍රී දළදා වහන්සේට ආරක්ෂාව සැලසූ ස්වභාව සෞන්දර්යයෙන් අනූන දුම්බර මිටියාවතේ උඩදුම්බර ගම්පහ බස්නාහිර කෝරළයේ හාල්යාල අතිගරු අනුනාහිමිපාණන් වහන්සේගේ ජන්මභූමිය විය.
එම ගමෙහි සම්භාවනීය පෙළපතකට අයත් අබසිං මුදියන්සේලාගේ අප්පුහාමි නිලමේතුමා සහ පිටවල හේරත් මුදියන්සේලාගේ පළිඟුමැණිකේ මැතිනියගේ පුත්රුවනක් වශයෙන් වර්ෂ 1908 මාර්තු මස 10 වැනි දින උපත ලද කුල කුමරුවාණෝ අබසිං මුදියන්සේලාගේ රම්බණ්ඩා නම් වූහ.
නිසි කල මැදිවක පාසලෙන් අක්ෂරෝද්ග්‍රහණය කොට ප්‍රව්‍රජ්‍යාවට සිත් ඇලුණු මේ කුමරුවාණෝ වර්ෂ 1925 දී පාතදුම්බර පලිස් පත්තුවේ බස්නාහිර කෝරළයේ නාරම්පනාව ගංගාතිලක විහාරයේ දී පාතදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක වේරගොඩතැන්නේ ශ්‍රී සරණපාල නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හාල්යාලේ සුමනතිස්ස නමින් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ. මෙහිදී අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී සහ ඓතිහාසික මහියංගණ රාජමහා විහාරාධිපති උඩුවාවල ශ්‍රී රේවත නාහිමිපාණන් වහන්සේ සමානාචාර්යවරයාණන් වහන්සේ වශයෙන් වැඩ සිටියහ. මෙම කීර්තිමත් සඟ පරපුර වනාහි ලක්දිව මහාවිහාර වංශික යති පරපුරෙන් අවිච්ඡින්නව පැවත ආ, මධ්‍යතන යුගයේ වනවාසී සම්ප්‍රදායට අයත් වූ, අස්ගිරි තල්පතට අනුව වලස්ගල ආරණ්‍ය සෙනසුනෙන් අස්ගිරියට වැඩමවූ යතිවර පරපුරට අයත්, අස්ගිරි මහා විහාරයීය දෙවන මහානායක පදවිය හෙබවූ ඉඳවලුගොඩ ශ්‍රී ධම්මපාල මහා නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර හෙවත් මැද පන්සල් පරපුරයි.
සපිරුණු විසිවයස් සහිත හාල්යාලේ සුමනතිස්ස සාමණේර හිමියන් වර්ෂ 1928 ජුනි මස 22 වැනි දින මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී ගුන්නෑපානේ ධම්මසිද්ධි ශ්‍රී සරණංකරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී ගරුතර කාරක මහා සංඝ සභාවේ ප්‍රසාදයට පත්ව ගලගෙදර ධම්මසිද්ධි ශ්‍රී ගුණරතනාභිධාන රංගිරි දඹුලු රජමහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ද, පසුකලෙක අනුනායක ධුරප්‍රාප්ත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී ගුණරතන නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් ද අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලා වෙතින් මූලික ශික්ෂණය ලබා ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙනට ඇතුළත්ව වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය පිණිස මෙරට සම්භාව්‍ය අධ්‍යාපනයේ මූලස්ථානයක් වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූහ.
විද්‍යොදය පිරිවෙනේ කහවේ රතනසාර නාහිමි හා බද්දේගම පියරතන නාහිමි යන පරිවේණාධිපතීන් වහන්සේලාගේ යුගයන්හි ශාස්ත්‍රෝද්ග්‍රහණය කරමින් 1934 වර්ෂයේ දී ප්‍රාරම්භ පරීක්ෂණයෙන් භාෂාත්‍රයෙන් ගෞරව පන්තියේ සාමර්ථ්‍යය ද, 1935 වර්ෂයේ මධ්‍යම පරීක්ෂණයෙන් ගෞරව පන්තියේ සාමර්ථ්‍යය ද ලබමින් රූපසිංහ ශිෂ්‍යත්වය, ශ්‍රී සුමංගල ශිෂ්‍යත්වය, පාලි විෂය ත්‍යාගය දිනා ගත්හ. ඉන් පසු 1938 වර්ෂයේ දී විද්‍යොදය පිරිවෙනේ අවසාන පරීක්ෂණයේ ප්‍රමුඛයා ලෙස සමත් වෙමින් විශිෂ්ටතම ශිෂ්‍යයා වෙත පිරිනමන ස්‍යාමරාජ ත්‍යාගයෙන් ද පිදුම් ලැබූහ. ඊට අමතරව අමුණුගම ශ්‍රීනිවාස ත්‍යාගය, රණසිංහ ත්‍යාගය හා ආටිගල ත්‍යාගය හිමි කර ගන්නා ලදි. විද්‍යොදය පිරිවෙනේ අධ්‍යාපනය සාර්ථකව නිම කිරීමෙන් පසු 1939 වර්ෂයේ දී ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලා වෙත ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ ගුරුපඬුරු පූජාවක් සිදු කොට කෘතවේදීත්වය දක්වා තිබේ.

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා විසින් ආරම්භ කළ විද්‍යාවිශාරද උපාධි පාඨමාලාවට දිවයිනෙන් ම තෝරාගත් පනහකට අඩු අතිදක්ෂ හිමිවරුන් අතරට ඇතුළත්වීමට හාල්යාලේ සුමනතිස්ස හිමියන් හට අවකාශ ලැබුණි. ඒ අනුව 1941 වර්ෂයේ දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1944 වර්ෂයේ දී විද්‍යාවිශාරද උපාධිධාරී වූහ. ඊට අතිරේකව කොළඹ ඕල්කට් විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා තිබේ.
අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු ස්වකීය ජාතභූමි ප්‍රදේශයේ අභිවෘද්ධියට කැප වූ හාල්යාලේ සුමනතිස්ස හිමියන් බදුලු මුතියංගණ රජමහා විහාරාධිපතිව වැඩ විසූ කොටගම ශ්‍රී සුනන්ද නාහිමියන් පවත්වාගෙන ගිය වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙනෙහි ආචාර්ය ධුරයකට 1942 වර්ෂයේ දී පත්ව එහි සුවිසල් දියුණුවක් ඇති කිරීමට සමත් විය. ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ සහ මීගම්මන රජමහා විහාරාධිපති නාහිමියන්ගේ උපකාර ලබමින් 1946 මැයි මස 23 වැනි දින වත්තේගම ධර්මද්වීප පිරිවෙන ආරම්භ කොට ඉතා කෙටි කලෙකින් සකලාංග පරිපූර්ණ පාරිවේණස්ථානයක් බවට පමුණුවාලන ලදි.
අස්ගිරි මහාවිහාර බිමෙහි පාරිවේණස්ථානයක් නොමැති වීමේ අඩුපාඩුව හඳුනාගත් යටවත්තේ ශ්‍රී ධම්මරතන මහ නාහිමිපාණන් වහන්සේ සහ බොරගොල්ලේ ශ්‍රී ධම්මානන්ද ලේඛකාධිකාරී නාහිමිපාණන් වහන්සේ විසින් අස්ගිරි මහාවිහාර බිමෙහි පිරිවෙනක් ආරම්භ කරන ලෙස හාල්යාලේ සුමනතිස්ස හිමියන් වෙත සිදු කළ ආරාධනය සාවධානව පිළිගත් ශ්‍රී සුමනතිස්ස හිමියන් වර්ෂ 1958 ජූලි මස 31 වැනි දින මහාවිහාර මහ පිරිවෙන ආරම්භ කරන ලදි. හාල්යාලේ සුමනතිස්ස හිමියන්ගේ පාණ්ඩිත්‍යය සේම සුපේෂල, ශික්ෂාකාමී, නිරහංකාර සංඝ ශෝභන ගුණයන් හේතුවෙන් පිරිවෙන දිනෙන් දින දියුණුවට පත්වන අන්දම හඳුනාගත් සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය විසින් 1964 ජුනි මස පළමු වැනි දින අස්ගිරි මහාවිහාරයට යාබදව පිහිටි, රජයට අයත් මවුන්ට් එයරි නම් බංගලාව පිරිවෙන පවත්වාගෙන යෑම සඳහා පූජා කරන ලදි.

ගිහි දරුවන්ගේ යහපත පිණිස නාරම්පනාව ගංගාතිලක විහාරයේ ශ්‍රී ධර්මදාන දහම් පාසල, මුතියංගණ රජමහා විහාරයේ ශ්‍රී සුමනතිස්ස දහම් පාසල, වත්තේගම ධර්මද්වීප පිරිවෙනේ දහම් පාසල යන දහම් පාසල් ආරම්භ කරවීමේ ගෞරවය ද හාල්යාලේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ සතු වෙති.
පුවත්පත්, සඟරා සඳහා දහම් ලිපි සම්පාදනය කිරීම, දහම් පත්‍රිකා රචනා කිරීම ආදියෙහි නිරත වූ නාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ටතම ග්‍රන්ථකරණය නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකත්වය ලබා පේතවත්ථුව සංස්කරණය කිරීමයි. ඊට අතිරේකව බුද්ධාගම නම් ග්‍රන්ථයක් නාහිමිපාණන් වහන්සේ අතින් රචනා වී තිබේ. 1954 වර්ෂයේ සිරිලකට පැමිණි දෙවන එලිසබෙත් මහාධිරාජිණියට ආසිරි පතමින් රචිත පාලි ස්තෝත්‍ර පත්‍රය ද නාහිමිපාණන් වහන්සේ අතින් රචනා වූවකි.
වර්ෂ 1949 දී යටවත්තේ ශ්‍රී ධම්මරතන මහ නාහිමියන් වෙතින් රාජුපස්ථානීය පරමධම්මසභා නම් වූ අස්ගිරි මහා විහාරයේ විංශත් වර්ගික ගරුතර කාරක මහා සංඝ සභික ධුරයට පත් වූ හාල්යාලේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ 1962 වර්ෂයේ දී ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කිරීමට භාග්‍යවත් වූහ.
අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවට අයත් සම්භාවනීය විහාරස්ථානයක් වූ, සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපූජිත බදුලු මුතියංගණ රජමහා විහාරයේ නායක පදවිය 1972 වර්ෂයේ දී පුද දුනි. පලීපාන ශ්‍රී චන්දානන්ද අනුනාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත්වීමෙන් පුරප්පාඩු වී පැවති අස්ගිරි මහා විහාරයේ අනුනායක පදවිය සඳහා 1976 වර්ෂයේ දී තේරී පත් වී වදාළහ. අනුනායක පදවියට පැවරෙන ජාතික හා ආගමික වගකීම් සමුදාය නොකඩ කොට ඉටු කළ හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායයන් වහන්සේ නමක් වශයෙන් උපසම්පදාපේක්ෂක හිමිවරුන් හට සමූපකාරී වූහ.
මුතියංගණ රජමහා විහාරස්ථානය පූජාභූමියක් බවට රජය මගින් ප්‍රකාශයට පත් කරවා ගැනීම, පොහොය සීමාවක් ඉදි කිරීම, මැද විහාර මන්දිරය පිළිසකර කරවීම, වෙහෙර මළුව සකස් කිරීම, බෝධි ප්‍රාකාරය, සතර වාහල්කඩ හා විශ්‍රාමශාලා ගොඩනැංවීම, සංඝාවාසය ප්‍රතිසංස්කරණය අද මෙන් සන්නිවේදන ක්‍රම සුලභ නොවූ එම අවධියේ නවම් පොහෝ දින ගුවන්විදුලි ආගමික කටයුතු විකාශය වර්ෂිකව මුතියංගණයේ සිට සිදු කරවීම, කෝමාරිකයේ සුමනාරාමය නමින් මුතියංගණ විහාරයට අනුබද්ධ විහාරස්ථානයක් ආරම්භ කිරීම, එවක රජය ලවා ශ්‍රී සුමනතිස්සගම නමින් උදාගමක් ආරම්භ කරවා නිවාස නොමැති ජනතාවට නිවාස පහසුකම් සැලසීම වැනි සේවා රාශියක් නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණි.
තමන්වහන්සේගේ ආධිපත්‍යයේ පැවැති නාරම්පනාව ගංගාතිලක විහාරය, කරල්ලියද්ද, අරත්තන, කොස්ගම, බතලවත්ත නිග්‍රෝධාරාමය, හාල්යාල, බුලත්වැල්කඳුර ආදී විහාරස්ථාන දියුණුවට පත් කරවීමට ද පුරෝගාමී වූහ. තමන්වහන්සේට ම අනන්‍ය වූ සුගම දේශන ශෛලිය නිසා ශ්‍රාවකයන් අතර සම්භාවනාවට පත් වූහ.
බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව, බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලය, ඓතිහාසික අත්ලිපි කොමිෂන් සභාව, පිරිවෙන් පනත් සම්පාදක මණ්ඩලය, පාසල් පොත් උපදේශක මණ්ඩලය, ප්‍රාචීන භාෂෝපකාර සමිතිය, ගුවන්විදුලි බෞද්ධ උපදේශක සභාව, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය, සංස්කෘතික අමාත්‍යාංශයේ මධ්‍යම උපදේශක මණ්ඩලය, පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ආදී කමිටුවල සාමාජිකත්වය හා තනතුරු දරමින් විශාල මෙහෙවරක නිරත වූහ.
හාල්යාලේ සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ වෙතින් ශාස්ත්‍රලාභය ලද සිසු පිරිස ශත සහස්‍රාධික ය. නාහිමිපාණන් වහන්සේ වෙතින් පැවිදි බව ලද සිසු පිරිස අතර නාරම්පනාව ගංගාතිලක විහාරාධිපති හාල්යාලේ ඤාණවිමල නාහිමි, මැදිවක දේවසිරි නාහිමි සහ නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙති. විශේෂයෙන් හාල්යාලේ නාහිමියන් ගිලන් වූ පසු අඩපණ වී පැවැති මහාවිහාර මහ පිරිවෙන දෙස් විදෙස් සුපතළ විද්‍යාස්ථානයක් බවට පත් කරවූයේ නාරම්පනාවේ ශ්‍රී ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ විසිනි.
හාල්යාලේ සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ ස්වකීය සැඳෑ සමයේ ඇලිකේවෙල සීලානන්ද නාහිමියන් වෙත පවසා ඇති පරිදි තමන්වහන්සේගේ අපේක්ෂාව නාරම්පනාවේ ආනන්ද හිමියන් මතු කලෙක පිරිවෙන භාරගෙන දියුණු කරනු ඇති බවයි. 1940 දශකයේ විද්‍යොදය පිරිවෙනේ ස්‍යාමරාජ ත්‍යාගලාභීව, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත වැනි උපාධි ලබා අගනුවර රැඳෙමින් හෝ විදෙස් රටක ඉහළ ශාස්ත්‍රීය ලෝකයට පිවිසීමේ අවස්ථා හැර දමා හාල්යාලේ අනුනාහිමියන් වත්තේගම විද්‍යා දර්ශන පිරිවෙනට පැමිණියා සේ නාරම්පනාවේ ආනන්ද අනුනාහිමියන් ද, ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ මග යමින් කැලණිය සරසවියේ කථිකාචාර්ය පදවිය හැර දමා අසිරි මහාවිහාර පිරිවෙනට පුනර්ජීවය ලබා දුන් බව සඳහන් කළ යුතුය.පුරා දශක අටකට වැඩි කාලයක් ආයු වින්දනය කළ විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ 1988 පෙබරවාරි මස 17 වැනි දින සියල් සකරදම් අනියත බව පසක් කරමින් අපවත්වී වදාළ සේක.
දිමුතු පුන්සර කොළඹගේ ✍️

