දිමුතු පුන්සර කොළඹගේ
(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)
“ඇසුරු කරන අය කෙරෙහි ප්‍රඥාකර හාමුදුරුවන්ගේ තිබුණේ පුදුම විදියේ ලෙංගතුකමක්. බොහෝ කටයුතුවලදී කැප වී ක්‍රියා කිරීමත්, එඩිතරව ඉදිරියට යාමත් උන්වහන්සේගේ විශේෂ ලක්ෂණ. ප්‍රඥාකර හාමුදුරුවන් ඉතාම කාරුණික යි. ඉවසිලිවන්තයි. හරිම අවංකයි. ඒ වගේම හොඳ උපායශීලී දක්ෂ හාමුදුරු නමක්. හොඳ හදවතක් උන්වහන්සේට තිබුණා.”
-මාපලගම විපුලසාර හිමි
නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය ශෝභාවත් කළ සය වැනි නාහිමිපාණන් වහන්සේ වෙති. ශ්‍රී ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේගේ මෙහෙවර ඉස්මතු වන්නේ ශ්‍රී ධර්මානන්ද, ශ්‍රී ප්‍රඥාසාර, ශ්‍රී ප්‍රඥාරාම නාහිමිවරුන්ගේ යුග තුනෙහි දී විදුලකරින් ප්‍රභවිත විදුකිරණ දසත පැතිරවීම කෙරෙහි ස්වකීය සංවිධාන ශක්තිය මෙහෙයවා ක්‍රියා කරමින් පරිවේණාධ්‍යක්ෂ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් වෙත සමුපකාර වීම නිසාවෙනි. යක්කඩුවේ නාහිමියන්ගේ දෑත මෙන් වැඩ හිඳිමින් එම කටයුතුවලට සවිය සැපයූවේ කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ සහ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේ ය.
නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේ බස්නාහිර පළාතෙන් පිට ජන්ම ලාභය ලද ප්‍රථම විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ වෙති. එසේම විද්‍යාලංකාර පිරුවන් බිමේ දී ම පැවිදි බව ලබා පරිවේණාධිපති පදවියට පත් පළමු නාහිමිපාණන් වහන්සේ වෙති.
දහනව වන සියවසේ අග භාගයේ පටන් පිටිගල් කෝරළයේ ගිහි පැවිදි ප්‍රභූන් තුළ විද්‍යාලංකාරය කෙරෙහි පැවතුනේ මහත් ප්‍රසාදයකි. මහවැව ශ්‍රී නාගවනාරාමය, නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවන බඳු විහාරස්ථාන සේ ම විදුලකරේ අභිවෘද්ධිය පිණිස පොල්වතු ශ්‍රී ධර්මාරාම නාහිමියන් වෙත මේ පළාතෙන් පුද දී තිබුණි. මේ ගෞරවය කෙතරම් ඉහළ ස්ථානයක පැවතියේ ද යත් පළාත් වැසි ගිහි පැවිදි සම්භාවනීයයන් මල්වතු විහාරයෙන් ඉල්ලීම් සිදු කොට එවක දිස්ත්‍රික්කයක් වශයෙන් පැවති හලාවත දිස්ත්‍රික්කය වෙනුවෙන් අභිනව නායක පදවියක් සම්මත කරවා 1898 දී කොළඹ පළාතේ නායක පදවිය හොබවමින් සිටි ශ්‍රී ධර්මාරාම නාහිමියන් වෙත පුද දුනි. ශ්‍රී ධර්මානන්ද, ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේලා දෙනම ම විදුලකර පරිවේණාධිපති පදවියට පත් වීමට පෙර වීරහේන පිරුවනේ ආධිපත්‍යය හොබවමින් නාත්තන්ඩියේ වැඩ සිටියහ.
වයඹ පළාතේ පිටිගල් කෝරළයේ නාත්තන්ඩිය විජේසිංහ අබේකෝන් සුන්දර අප්පුහාමි විදානආරච්චි රාළහාමිගේ සහ එම මැතිණියගේ දරුවන් සය දෙනාගෙන් බාල ම දියණිය හා පුතු නිවුන් දරුවන් වූ අතර එම බාල ම පුතණුවෝ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේ වූහ. ස්වකීය ජන්මයෙන් පසළොස් වන වියේ දී, එනම් 1930 ඔක්තෝබර් මස 23 වන දා පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ දී ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ ආචාර්යයත්වයෙන් නාත්තන්ඩියේ ප්‍රඥාකර නමින් පැවිදි බිමට පත් විය. කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, හැඩිපන්නල ප්‍රඥාලෝක මාහිමි, යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමි, මිරිස්සේ ප්‍රඥාසිරි මාහිමි, ගල්මුරුවේ ප්‍රඥාරතන මාහිමි, පිනැංගුවේ (මැලේසියාවේ පිනෑං) ආනන්ද හිමි, පිනැංගුවේ මහින්ද හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රඥාකර හිමියන්ගේ පැවිදි සහෝදරයන් වහන්සේලා වූහ.
විද්‍යාලංකාර පිරුවන දීප්තිමත් ව පැවති අවධියේ වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය ලද ප්‍රඥාකර සාමණේර හිමියන්ගේ විශේෂ ලක්ෂණයක් වූයේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් වත් පිළිවෙත්වල යෙදීම යි. දිනකට තෙවරක් මල්පහන් පුදා බුදුන් වැඳීම අනිවාර්ය ප්‍රඥාකර හිමියන්ගේ දිනචර්යාවේ අංගයක් විය.
ගුරුදෙවි ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ සැදැහැති ප්‍රඥාකර පොඩි හාමුදුරුවන්ට තමන්වහන්සේට තෙරුවන් වන්දනා කිරීමට මල් නෙළීමේ කටයුත්ත පවරා තිබුණි. ඒ කටයුත්ත කෙතරම් මැනවින් ඉටු කළේ ද යත් නාහිමිපාණන් වහන්සේ මේ පොඩි හාමුදුරුවන් ඇමතුවේ “තේවාව” යන ආදරණීය නාමයෙනි. ගුරු සිසු දෙනම කෙතරම් සුහදත්වයට පත් වූයේ ද යත්, නාහිමිපාණන් වහන්සේ වළඳන දානයෙන් කොටසක් ප්‍රඥාකර හිමියන් වෙත ඉතුරු කිරීමේ සිරිතක් පැවතුණි. වරෙක සිය දහර කළ මතක සටහන් අවධි කරන ප්‍රඥාකර හිමියෝ මෙසේ පැවසූහ.
“විද්‍යාලංකාර පිරුවනේ ආදි උතුමන් සිහි කරන දවසේ සිදුවන ඉතා රසවත් සිද්ධියක් ද මට මතක් වෙයි. මා පැවිද්ද පතා ගමෙන් ආ තැන් පටන් මගේ පියාණන් මා බැලීමට එද්දී මොන මොන තෑගිබෝග ගෙනාවත් රතිඤ්ඤා පෙට්ටි දෙක තුනකුත් ගෙන ඒමට අමතක කරන්නේ නැත. ඒවා භාර දෙන්නේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ අතටයි. අනික් සියලුම තෑගිබෝග මට ලැබෙන නමුත් රතිඤ්ඤා ටික නම් ලැබෙන්නේ නැත. අල්මාරියේ තබා ගන්නා රතිඤ්ඤා ගුණානුස්මරණ දිනයේ පුද පූජා අවසානයේ පත්තු කොට ශබ්ද පූජාව පැවැත්වීම සිරිතක් විය.”
උපසම්පදාව ලැබීමට නිසි වයස් සපුරා සිටි නාත්තන්ඩියේ ප්‍රඥාකර සාමණේර හිමියන් වර්ෂ 1939 ජූනි 25 වන දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් උපසම්පදාව ලැබූහ.
පෙර සඳහන් කළ පරිදි ප්‍රඥාකර නාහිමියන්ගේ කාර්යභාරය ඉස්මතු වන්නේ යක්කඩුවේ නාහිමියන් විද්‍යාලංකාරයේ යෝධ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් සමගිනි. යක්කඩුවේ නාහිමියන් නුවණින් ගන්නා ලද තීරණ යථාර්ථයක් වීම පිණිස ප්‍රඥාකර නාහිමියන් කය වෙහෙසා මහත් කැප කිරීමක් සිදු කළහ. සංවිධාන ශක්තියට අනිවාර්ය අංගයක් නම් පරිවාර සම්පත්‍යයයි. ප්‍රඥාකර හිමියන් තුරුණු වියේ වැඩ සිටි ප්‍රඥාකර හිමියන් වටා නිබඳව ම පිරිසක් සිටි බව කියවේ.
“ප්‍රඥාකර හාමුදුරුවෝ ඒ කාලයේ පිරුවනේ ආචාර්යවරයෙක් නෙවෙයි. අද වගේම එදත් ප්‍රඥාකර හාමුදුරුවෝ බොහෝම ජනප්‍රියයි. හැන්දෑවේ කොල්ලො කුරුට්ටො කොයි කවුරුත් ඒ කාමරේට එකතු වී කතාබහ කිරීම, සිනාසීම සාමාන්‍ය සිරිතයි. සමහර විට ඉතා තදින් සිනාසෙනවා. කොටහේනේ ප්‍රඥාකීර්ති හාමුදුරුවො එබී බලනවා.
“මොක ද ප්‍රඥාකර මේ? කියනවා විතරයි.”
එතකොට මීයට පිම්බා වගේ කිසි සද්දයක් නෑ.”
අපේ ගමන් මග 21-22 පිටු
1946 වර්ෂයේ දී භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශනය සැකසීමේ හා එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රඥාකර හිමියන් ද සම්බන්ධ විය. මේ සිදුවීම නිසා එවක පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වූ ලේක් හවුස් ආයතනයේ මුද්‍රිත පුවත්පත් මගින් විදුලකර පිරුවන පිළිබඳ දුර්මත පැතිරවීම නිසා තත්කාලීන නිවැරදි තොරතුරු සමාජගත කරවීම පිණිස “ලේක් හවුස් පත්තර ජනසතු කළ යුත්තේ ඇයි” යනුවෙන් කෘතියක් ප්‍රඥාකර හිමියන් රචනා කොට තිබේ. එසේම කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියන්ගේ කර්තෘත්වයෙන් පිරුවනෙන් එළි දැක් වූ කාලය පුවත්පතට ද දායකත්වය ලබා දී ඇත. රටේ පූර්ණ නිදහසක් අපේක්ෂා කරමින් ආරම්භ කළ ලංකා එක්සත් භික්ෂු මණ්ඩලයේ කැපී පෙනන චරිතයක් වූ ප්‍රඥාකර හිමියන් නිදහස් අධ්‍යාපනය නීතිගත කරනු පිණිස ගමින් ගමට වැඩම කරමින් ජනමතය සකස් කිරීමට විශාල මෙහෙයක් සිදු කරන ලදි.
යක්කඩුවේ නාහිමියන් මුල් වී ඇරඹූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ පාලකයා වූයේ කොටහේනේ ප්‍රඥාකීර්ති නාහිමිපාණන් වහන්සේ ය. ප්‍රඥාකර හිමියන් එහි සංවිධායක විය. ප්‍රඥාකර හිමියන්ගේ සංවිධාන ශක්තිය විද්‍යාලයේ සාර්ථකත්වයට මහත් රුකුලක් විය.
“මේ විද්‍යාලයට කල්පවෘක්ෂය මෙන් සිටි, තමන්ගේ ධනයත්, ශ්‍රමයත් වැය කළ, මේ විද්‍යාලයට උසස්ම සේවයක් කළ උත්තමයා තමා අපේ පඤ්ඤාකර ස්ථවිරයො.”
කොටහේනේ ප්‍රඥාකීර්ති හිමි
විස්මයජනක ආත්ම ශක්තියකින් හෙබි ප්‍රඥාකර හිමියෝ යම්කිසි උත්සවයක, සමුළුවක කටයුතුවලට දායක වූයේ ද ඒ හැම විටක ම අපූරු සංවිධාන ශක්තියකින් හා කාර්යශූරත්වයකින් ක්‍රියා කළහ. විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාවට වැඩම කළ හිමිවරුන්ගේ ප්‍රත්‍ය පහසුකම් ඇතුළු කාර්ය සම්පාදනය ප්‍රඥාකර හිමියන් අතින් සිදු විය.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ දී දෙමටගොඩට පිරුවන රැගෙන ගොස් ස්ථාපනය කළ කල්හි දෙමටගොඩ පිරුවනේ පාලන භාරකාර නාත්තන්ඩියේ හිමියන් වෙත පැවරුණි. ප්‍රඥාකර හිමියන් විශ්වවිද්‍යාලයේ ප්‍රථම පුස්තකාලයාධිපති පදවියට පත් වූහ. එසේම පිරුවනේ ආචාර්යයන් වහන්සේ නමක වශයෙන් ද ක්‍රියා කළහ.
පසු කලෙක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ අනන්‍යතාව ගිලිහී ගොස් සඟසතු විදුලකර බිම රජයට පවරා ගන්නා ලද අවස්ථාවෙහි නැවත වරක් පිරුවන සඟසතු කිරීම පිණිස යක්කඩුවේ නාහිමියන් වෙත අයෝමය ශක්තිය සැපයුවේ ප්‍රඥාකර හිමියන් විසිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් යළිත් විදුලකර පිරුවන වෙත මුල් බිම පිදූ පසු 1980 වර්ෂයේ යළිත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කිරීමට ප්‍රඥාකර හිමියන් ද දායක විය.
යක්කඩුවේ නාහිමියන් සෑම විටම විදුලකරේ රැඳී සිටීම ප්‍රිය කළ බැවින් නාහිමියන් නියෝජනය කරමින් රජයේ උත්සව, කමිටු, පිංකම් ආදියට සහභාගි වූයේ කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියන් සහ නාත්තන්ඩියේ ප්‍රඥාකර හිමියන් විසිනි.
1971 වර්ෂයේ කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියන් අපවත් වීමෙන් පසු ප්‍රඥාකර හිමියන් වෙත විද්‍යාලංකාර පිරුවනේ උපපරිවේණාධිපති පදවිය පිරිනමන ලදි. මේ සමග “පුංචි නායක හාමුදුරුවෝ” යන ගෞරවනීය ආදර නාමයෙන් ප්‍රඥාකර හිමියන් හඳුන්වන ලදි. පසු කලෙක විද්‍යාලංකාර උපපරිවේණාධිපති හිමියන් වෙත මල්වතු විහාරයෙන් පුද දෙන කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය ද ප්‍රඥාකර හිමියන් වෙත පුද දී තිබුණි. එසේම කලක් අකර්මණ්‍ය වී පැවති නාත්තන්ඩියේ වීරහේන විද්‍යාරත්න පිරුවන 1982 ආරම්භ කළ පසු එහි කෘත්‍යාධිකාරී ධුරයේ වගකීම ප්‍රඥාකර හිමියන් වෙත පැවරුණි.
යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේ අපවත් වූ 1986 අවධිය වන විට විද්‍යාලංකාර සඟ පරපුරේ වැඩසිටි ජ්‍යෙෂ්ඨ ත ම යතිවරයාණෝ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේ වූහ. ඒ වන විට දැඩි ලෙස ගිලන්ව වැඩ සිටි ප්‍රඥාකර හිමියන්ට යක්කඩුවේ නාහිමියන්ගේ අපවත් වීම පිළිබඳ හෝ දැනීමක් නොවීය.
යක්කඩුවේ නාහිමියන් අපවත් වීමට පෙර නිර්දේශ කළ පරිදි පරිවේණාධිපති පදවිය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් වෙත පිරිනැමීමට සියල්ලෝ ම සූදානමින් සිටියහ. එහෙත් විද්‍යාලංකාර පිරුවන වෙනුවෙන් මුළු දිවිය ම කැප කළ, එසේ ම විද්‍යාලංකාර පිරුවනේ වැඩ සිටි චිරරාත්‍රඥ ම හිමි නම වූ ලෙඩ ඇඳේ වැතිර සිටි ප්‍රඥාකර හිමියන් වෙත පරිවේණාධිපති පදවිය පරිනමන ලද්දේ වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ බලවත් ඕනෑකම නිසා ය. කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය සහ උපාධ්‍යාය පදවිය මල්වතු විහාරයෙන් ප්‍රඥාකර නාහිමියන් වෙත පිරිනැමුණේ ද කුසලධම්ම හිමියන්ගේ බලවත් ඉල්ලීම නිසා ය. මල්වතු විහාරයෙන් ස්මෘතියෙන් ද දුර්වලව වැඩ සිටි හිමිනමක වෙත නායක පදවියක් සහ උපාධ්‍යාය පදවියක් පිරිනැමූ එක ම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වී තිබේ. 1986 පටන් සිවු වසක් විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය හෙබ වූ ප්‍රඥාකර හිමියන්ගේ යුගයේ සෑම කටයුත්තක් ම සොයා බලමින් සිදු කළේ වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසිනි. සැත්තෑ පස් වසරකට අධික කාලයක් ආයු වින්දනය කළ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමිපාණන් වහන්සේ 1990 මැයි මස 26 වන දා පෙරවරුවේ කොළඹ මහ රෝහලේ දී අපවත් වී වදාළ සේක.


වටිනා ලිපියක්..