අපට බුදුන් බඳු මිහිඳු තෙරුන්

rashi
By rashi
10 Min Read

ගුණපාල කාරියවසම්

පන්සාළිස් වසරක් ධර්මය දේශනා කර අසූ විය ඉක්මවූ පසු බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු විය. ඒ දැනට වසර 2568 කට පෙර දී ය. බුදුන් වහන්සේ පිරිනිවී වසර 236ක් ගත වූ තැන දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ සමයේ දී එතුමාගේ දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ නායකත්වයෙන් පැලලුප් නුවර අශෝකාරාමයේ දී තෙවෙනි ධර්ම සංගායනාව සිදු කරන ලදී. එහි දී නොයෙකුත් ලාභ සත්කාර අපේක්‍ෂාවෙන් සිවුරු දරාගෙන සිටි අලජ්ජි භික්ෂූන් (තීර්ථකයන්) ශාසනයෙන් පහ කර පිරිසිදු භික්‍ෂු සමාජයක් ඇති කිරීමට ධර්මාශෝක අධිරාජයා කටයුතු කළේ ය. ඒ සමගම දඹදිවින් බැහැර ව බුදු දහම ප්‍රචාරය කිරීමට ද කටයුතු සලස්වන ලදී. රටවල් නවයක බුදු දහම ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඒ ඒ රටවල ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමට භික්ෂූන් වහන්සේලා පිටත් කරන ලදී. එහි දී අප රටට විශේෂත්වයක් දක්වන්නට යෙදිණි.

නව රට සසුන් පිහිටුවීමේ දී අපේ රට හැර අනෙකුත් රටවල් සඳහා භික්ෂූන් වහන්සේලා එක් නමක හෝ දෙනමක පිටත් කර හරින ලද අතර තම්බපණ්ණිය හෙවත් ශ්‍රී ලංකාද්වීපයට භික්ෂූන් වහන්සේලා පිරිසක් ම එවන ලදී. එය අප රටට කරන ලද විශේෂත්වයකි. මේ ගමන සිදු වූයේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉකුත් ව ගිය අද වන් පොසොන් පුර පසළොස්වක පෝය යෙදී තිබුණු දිනයක දී ය. බුදුන් වහන්සේ පිරිනිවන් පා තිබුණ ද, අප රටට ගෞතම බුදුන් වහන්සේට පමණක් දෙවෙනි වූ තවත් බුදුවරයෙක් පහළ විය. හෙවත් වැඩම කළ හ. ඒ නිසා ම උන් වහන්සේ බුදුන්ට පමණක් දෙවෙනි වූ අරුතින් ‘අනුබුදු’ නම් විය. ඒ අන් කවරකු වත් නො ව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. උන් වහන්සේගේ ලංකා ගමනය ඉතා සංවිධානාත්මක ගමනක් විය. උන්වහන්සේගේ දක්‍ෂතා හා හැකියාවන් පිළිබඳව මඳක් විමසා බලමු.

මහින්ද, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල හා සුමන යන රහතන් වහන්ස්ලා හයනමක් සමග අනාගාමී භණ්ඩුක උපාසකතුමා ඇතුළු හත් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් මේ ගමනට ඇතුළත් වූ හ. මුලින් නම් සඳහන් රහතන් වහන්සේලා පස් නම උපසම්පදා භික්ෂූන් වූ අතර සුමන හිමියන් සාමණේර නමකි. එසේ වූයේ ලක්දිව භික්‍ෂු සමාජය ඉක්මනින් ව්‍යාප්ත කිරීමේ පහසුව සලකාගෙන ය. විනය කර්මයක් සිදු කිරීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් සහභාගි විය යුතු බව විනය පිටකයේ සඳහන් ව ඇත. ඒ නිසා සුමන සාමණේරයන් වහන්සේ නිසි වයසට පත් වූ පසු මෙහි දී උපසම්පදා කිරීමටත්, ඒ අතරතුර අප රටේ යම්කිසි කුල දරුවකු බුදුදහම ගැන පැහැදී මහණ වූ පසු මෙම රටේ දී ම උපසම්පදා කරවීමේ පහසුව සලකාගෙන උපසම්පදා භික්ෂූන් පස් නමක මෙම ගමනට යොදාගෙන තිබූ බව පෙනේ. භික්ෂූන් වහන්සේලාට වතාවත් කිරීම, උවටැන් කිරීම නිසි පරිදි ඉටු කළ යුතු ය. අප රටවැසියන්ට ඒ පිළිබඳ ව නිසි අවබෝධයක් නො වී ය. එමෙන් ම භික්ෂූන් වහන්සේලා සමග කථාබහ කිරීමේ දී ඒ සඳහා සුදුසු ගැළපෙන වචන භාවිත කළ යුතු ය. ඒවා අප රටේ ජනතාවට පුරුදු පුහුණු කිරීමට නම් පළපුරුදු ගිහියෙකු සිටිය යුතු ය. ඒ සඳහා අනාගාමී භණ්ඩුක උපාසක තුමා මේ ගමනට යොදාගෙන තිබේ. හෙතෙම රාජකීය පවුලට අයත් කෙනෙකි. මිහිඳු හිමියන්ගේ මවගේ නැඟණියගේ දුවගේ පුතා ය. ඒ සමග ම රටේ රජතුමා ඇතුළු රාජකීය පිරිස බුදුදහම වැළඳගත් පසු අප රටේ දී ම මුලින් ම යම් ගිහියෙකු මහණ කරවීමේ අරමුණ සඳහා ද භණ්ඩුක උපාසක තැන සම්බන්ධ කරගෙන ඇත. ඒ අනුව භික්‍ෂුව යනු අද්භූත අමුතු අයෙතු නො ව භික්ෂූත්වයට පත් වන්නේ ගිහි පුද්ගලයෙකු බව පෙන්වා දී අප රටේ ඇත්තන්ගේ බිය දුරු කරවීමට ද අවස්ථාව උදා විය. මේ අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට සහභාගි කරවාගෙන ඇති පිරිස තුළින් ද උන්වහන්සේගේ සංවිධාන හැකියාව මනා ව පැහැදිලි වේ.

මේ කාලය වන විට ලක්දිව රජකම් කළේ මුටසීව රජතුමා ය. හෙතෙම බොහෝ වයස්ගත ය. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු දූත පිරිස අප රටට පැමිණෙනුයේ අලුත් දහමක් ස්ථාපිත කිරීමට ය. මේ වන විට අප රටේ ශිව ආගම මුල් බැසගෙන තිබූ අතර, ගස් ගල්වලට වැඳුම් පිදුම් කිරීම, යක්‍ෂ වන්දනාව ආදියට ජනයා පෙලඹී සිටිය හ. ඒ නිසා ඉතා ගැඹුරු එහෙත් සරල හෙවත් චාම් බුදු දහම අවබෝධ කර ගැනීමට, මෙන්ම එය ව්‍යාප්ත කිරීමට සහයෝගය ලබාදීමට වයස්ගත මුටසීව රජතුමාට නොහැකි බව මිහිඳු මහ රහතන් වහන්සේ වටහා ගත් හ. ඒ සමග ම තව නොබෝ කලකින් වයස්ගත මුටසීව රජු මිය යන බවත්, ඉන්පසු තරුණ බුද්ධිමත් තිස්ස කුමාරයා රජකමට පත් වන බවත්, වටහාගැනීමට මිහිඳු මහරහතන් වහන්සේට හැකි විය. ඒ නිසා ඒ අවස්ථාව උදා වන තෙක් ලක්දිවට නො පැමිණ තම මවගේ නගරය වන වේදිසා නගරයේ රැඳී සිටීමට තීරණය කළ හ. එය කාරණා කිහිපයක් නිසා වැදගත් විය. එම කාල පරාසය තුළ ලක්දිව පවතින ආගම් පිළිබඳව හා ඇදහිලි පිළිබඳව ද, භාෂාව හා සංස්කෘතිය පිළිබඳව ද දූත සේවාව මඟින් හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය. නොබෝ කලකින් මුටසීව රජුගේ අභාවයෙන් පසු ඔහු පුත් තිස්ස කුමාරයා රජකමට පත් විය. ඉන්පසු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අප රටේ මිහින්තලාවට සෘද්ධි බලයෙන් වැඩම කළ හ.

මෙදින අලුතින් රජ පැමිණි තිස්ස රජතුමා හතළිස් දහසක (40,000) පිරිසක් සමග මිහින්තලා වන පියසේ ගමන් කරද්දී (රජතුමා මුව දඩයමේ ගිය බව සමහරු පවසති. විශාල පිරිසක් සමග ගොස් මුවන් දඩයම් කළ හැකි දැ යි ඔබ ම සිතා බලන්න) “තිස්ස, තිස්ස” යනුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පර්වතයේ සිට රජු ඇමතූ හ. තමාගේ නම කියනු ඇසී රජතුමා වටපිට බලද්දී ගල මුදුනේ කිසිදා නො දුටු රුවක් දක්නට ලැබිණ. මිහිඳු මහ රහතන් වහන්සේ තමන්වහන්සේ පමණක් දැකීමට සැලැස්වූයෙන් රජතුමා උන්වහන්සේ සමග කෙටි සංවාදයක් ඇති කර ගත් පසු අනෙත් පිරිස ද දැක ගැනීමට සැලැස්වූ හ. මෙහි දී නව රජතුමාගේ බුද්ධි මහිමය පිරික්සා බැලීමට අඹ ප්‍රශ්නය හා නෑ ප්‍රශ්නය විමසූයෙන් රජු ගෙන් ලැබුණු පිළිතුරු තුළින් රජතුමා යමක් වටහා ගැනීමේ දක්‍ෂතාවයක් ඇති බුද්ධිමතෙකු බව මිහිඳු හිමියෝ වටහා ගත් හ. මෙහි දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් පව්ව අසලට පැමිණි රජු ඇතුළු පිරිසට ඉතා ගැඹුරු එහෙත් සංකීර්ණ නො වූ කථා පුවතක් ඇතුළත් ‘චුල්ල හත්ථිපදෝපම’ සූත්‍රය දේශනා කරන ලදී. ඉන් පසු රජ මාළිගයේ දී පේතවත්ථු, විමානවත්ථු යන ධර්ම දේශනා ශ්‍රවණය කළ අනුලා බිසව ඇතුළු පිරිස සෝවාන් බවට පත් වූ බව සඳහන් ය. මේ අවස්ථා දෙකෙහි දී මිහිඳු මහරහතන් වහන්සේ අනුගමනය කළ ක්‍රමවේදය තුළින් උන්වහන්සේ තුළ පැවැති ස්ථානෝචිත ප්‍රඥාව මොනවට පැහැදිලි වේ. ඒ තුළින් උන්වහන්සේගේ සංවිධාන හැකියාව ද ඉස්මතු වේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ දක්‍ෂතා හා සංවිධාන ශක්තිය මැන බැලීමේ දී උන්වහන්සේගේ ගිහි ජීවිතය හෙවත් මහින්ද කුමරාගේ චරිතය පිළිබඳව විමසා බැලීම වටී. එය කිසිවෙකු කථාබහට ලක් නො කරන දෙයකැ යි සිතේ. තම පියාණන් වන ධර්මාශෝක මහ අධිරාජයා මේ වන විට දිග්විජය ප්‍රතිපත්තිය අනුගමනය කර කාලිංග දේශය ද අත්පත් කරගෙන අධිරාජ්‍යයක් පිහිටුවා තිබුණි. ඔහුගේ ඇවෑමෙන් පසු එම මහා අධිරාජ්‍යයේ හිමිකරු වීමට සිටියේ ඔහුගේ එක ම පුත් මහින්ද කුමාරයා ය. මේ වන විට හෙතෙම විසි අවුරුදු වියෙහි පසු වූ අතර ආරෝහ පරිනාහ දේහයෙන් යුත් එඩිතර තරුණයෙකි. රාජ්‍යත්වය උදෙසා සූ සැට කලාවන් ප්‍රගුණ කළ අයෙකි. රාජ්‍යත්වය දැරීමට වුව ද හැකියාවක් තිබුණා විය හැකි ය. රාජ්‍ය තන්ත්‍රය මෙන්ම රටක් ගොඩනැඟීමට අවශ්‍ය ආර්ථික, සාමාජික සංස්කෘතික රටාව මෙන්ම කලාව, ගෘහ නිර්මාණය, වාරිමාර්ග සාහිත්‍ය ආදී සෑම දෙයක් කෙරෙහි ම මනා වැටහීමක් හා අවබෝධයක් ඇති ව සිටි රාජකීයයෙකි. මහා අධිරාජ්‍යයක් පාලනය කිරීමේ සෑම හැකියාවක් ම වැටහීමක් හා නිපුණතාවයක් ලබා සිටි අයෙකි. ප්‍රාන්ත රාජ්‍ය නායකයන්ට පාලනය පිළිබඳ උපදෙස් දීමේ හැකියාවක් ද තිබෙන්ට ඇතුවාට සැක නැත. එහෙත් ධර්මාශෝක පියරජුගේ ධාර්මික ප්‍රතිපත්තියත්, තිස්ස යුවරජු සසුන්ගත වීමත්, ඉන්පසු තම සහෝදරයා වූ සංඝමිත්තාවගේ සැමියා වූ ‘අග්ගිබ්‍රහ්ම’ කුමාරයා පැවිදි වීමත් නිසා රාජ්‍ය බලයට හිමිකම් ලබා සිටි මහින්ද කුමාරයට ද සසුනේ පැවිදි වීමේ ආශාවක් ඇති විය. ඒ අනුව පිය රජුට දන්වා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපාධ්‍යාශයෙන් හා මහාදේව මහරහතන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මහින්ද කුමාරයා විසි වයස් ගත වෙද්දී පැවිදි වූ හ. එදින ම සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. විසි වසරක් රාජකීය උරුමය ඇති ව ගිහි ජීවිතය ගත කර රාජ්‍ය පාලනය හා ආර්ථික සංවර්ධනය ගැන මනා දැනුමක් හා අවබෝධයක් ලබා සිටි මිහිඳු මහරහතන් වහන්සේ අප රට වැනි කුඩා රටක් නො ව විශාල රටක් වුව ද පාලනය කිරීමේ දක්‍ෂතාවයෙන් හෙබි උත්තමයෙකු බව කිව යුතු ය. එමෙන් ම ලක්දිව සසුන් පිහිටුවීම සඳහා උන්වහන්සේ විසින් තෝරා ගනු ලැබූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා ද උන්වහන්සේ මෙන් රාජකීය පවුල්වල කුසලතා පූර්ණ තරුණ පිරිසක් විය හැකි ය. එසේ නිගමනය කළ හැක්කේ එම පිරිසේ සිටි ඉතිරි දෙදෙනා වන සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක උපාසක තුමා ද රාජකීය පවුලට ඇති ඥාති සම්බන්ධය නිසා ය.

කෙසේ වෙතත් දේවානම් පියතිස්ස රජතුමාට රාජ්‍ය පාලනය ගැන උපදෙස් ලබාදෙමින් අපේ මේ කුඩා රට ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික වශයෙන් දියුණු කිරීමට, සංවර්ධනය කිරීමට මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන් සහාය අප ඉතා අගය කළ යුතු ය. උන්වහන්සේගේ ලංකාගමනය නිසා අප රට තුළ අලුත් නිවැරදි උතුම් දහමක් ස්ථාපිත කෙරිණ. අලුත් සංවර්ධිත රටක් බිහි විය. අප අද මේ නිදහස භුක්ති විඳිනුයේ උන්වහන්සේගේ පැමිණීම නිසා නො වේ ද? උන්වහන්සේ අප රටට පහළ වූ අලුත් බුදු කෙනෙකැ යි කීම වරදක් නො වේ. උන්වහන්සේ අපට දායාද කළ බුදු දහම අගයමින් වත් පිළිවෙත් රකිමින්, පෙහෙවස් සමාදන් වෙමින් තුන් පුණ්‍ය ක්‍රියා සිදුකරමින් මේ ඉතා දුර්ලභ මිනිස් ජීවිතය ලබා සිටින මේ ඉතා කෙටි කාලය තුළ අනුන්ට වෛර නො කර මෛත්‍රී සහගත ව ජීවත් වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *