අශෝකා අබේවර්ධන
‘පුත්තා වත්ථු මනුස්සානං’
මෙලොව උපන් සත්ත්වයාට දරුවන් මහා සම්පතක් බැව් මහා කාරුණිකයන් වහන්සේ බුදු මුවින් ම දේශනා කොට වදාළ බව අපි දනිමු. එය ප්‍රකට කරුණකි.
සමහර විටෙක ගසෙක මල් ඵල හටගැනීම යම් තරමකට පමා විය හැකි ය. එසේ පමා වී හටගන්නා මල් ද පල ද කැකුළු අවස්ථාවේ සිට ම නටුවෙන් ගිලිහී යෑම සිදු විය හැකි බව නම් ලෝක ධර්මතාවයයි. එසේම කිසාගෝතමිය ද මඳ කලක් පමා වී ලද දරු සම්පත ඉතා ළදරු වියේ දී ම ශෝචනීය ලෙස ඇයට අහිමි විය.
ලද දරු සම්පත අහිමි වීම නිසා ම උමතු භාවයට පත් කිසාගෝතමිය බුදු සමිඳුන්ගේ මහා කාරුණික සෙනෙහස නිසා ම සුවපත් වූවා ය. එපමණක් නො ව සියලු සංසාර දුක් ගැහැටවලින් ද නිවී සුවපත් වූවා ය.
අපගේ බුදු රදුන් සමයෙහි දිළිඳු ව උපන් ඇය ගෝතමී නම් වූවා ය. කෙසඟ සිරුරක් ඇති බැවින් කිසාගෝතමී යැ යි ප්‍රකට වූවා ය. පති කුලයට ගිය විට ද දුප්පත් එකියකැ යි ඇයට ඥාතීහු පරිභව කළෝ ය. සසර නම් දුක සැප දෙක ම උරුම තැනෙකි. අල්ප ආශ්වාදයක් ඇති මුත් දුක් බොහෝ ය. “අප්පස්සාදා බහු දුක්ඛා”.
පැතුම් ඉටු වන්නට ද නිසි කාලය පැමිණිය යුතු ය. කලකට පසුව ඇය පුතෙකු ලැබ මවක් වූවා ය. ඉන්පසු ඇය නෑයන්ගේ ගෞරවයට සම්මානයට පාත්‍ර වුව ද දුව පැන ඇවිදින වයසේ දී සුරතල් පුතු රෝගී ව මරණයට පත් විය. හිමි ව තිබූ දරු සෙනෙහස ගරු බුහුමන අහිමි වීමේ ශෝකයෙන් ම ඕ උමතු භාවයට පත් වූවා ය.
පෙර දින පරිභවයට පත් වූ මම පුතු උපන් දින සිට ගෞරවයට පැමිණියෙමි. මේ ඥාතීහු මගේ පුතු මළ බව කියමින් බැහැර කිරීමට තැත් කරති යි ශෝකයෙන් උමතු වී මළ සිරුර ඔසවාගෙන මගේ පුතුට බෙහෙත් දෙන්න යි කියමින් ගෙපිළිවෙළින් ඇවිද ගියා ය. ඒ යන ගමනේ දී කිසිවෙකු ගෙන් බෙහෙත් නො ලද ඇය ඒ වෙනුවට ලදුයේ සැම ගෙන් ම අවමානයයි, පරිභවයයි, නින්දාවයි. එහෙත් ඕ කිසිවක් නො තකමින් තම පුතු නො මළේ ය යි සිතමින් ඔහු සුවපත් කර ගන්නට බෙහෙත් ම සොයමින් ඇවිද ගියා ය.
ඇය සියල්ලන් ගෙන් ම ගැරහුම් ලබනු දුටු එක් නුවණැති පුරුෂයෙක් භව රෝගයට මහා වෙදැදුරාණන් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ හමුවට යන ලෙස දැන්වූයෙන් ඕ බුදුන් හමුවට ගොස් වැඳ වැටී තම පුතුට බෙහෙතක් දෙන්නැ යි ආයාචනා කළා ය. එහි දී බුදුරදුන් ගෙන් ලද උපදේශයට අනුව බෙහෙත් පිළියෙල කිරීම සඳහා නො මළ ගෙයකින් අබ සොයා ගිය ගමනේ දී ඇයට හමු වූයේ මළ ගෙවල් ම පමණි. ගෙන් ගෙට ඇවිදීමෙන් ලද කායික වෙහෙසත් මළ මිනියෙන් හැමූ ඉවසිය නොහැකි දුගඳත් ඇයට පියවි සිහිය ගෙන දෙන්නට සමත් විය. උපන් සත්ත්වයාට මරණය උරුම වීම නම් සනාතන ලෝක ධර්මතාවය බව ඇයට පසක් වූයේ පෙර භවයන්හි ඇය විසින් ම කරන ලද කුසල කර්මයන් ද උපනිශ්‍රය වීමෙනි.
මුළු නුවරෙහි ම ධර්මතාවය එක සේ ම ය. බුදු පියාණන් වහන්සේ මා වෙත හිතානුකම්පිත ව මඟ නොමඟ පෙන්වා දෙන ලදැ යි සංවේගයට පත් ව තම මළ පුතු කෙරෙහි බැඳුණු පුත්‍ර ස්නේහය අතහැර සිරුර අමු සොහොනට දමා මෙය එක් ගමක හෝ නිගමක හෝ එක් පවුලක හෝ දෙකක ධර්මතාවයක් නො ව දෙවියන් සහිත සමස්ත ලෝකයාගේ ම එක ම ධර්මතාවයි. එනම් අනිත්‍ය ධර්මතාවයි. මෙසේ මෙනෙහි කොට කියමින් බුදුන් හමුවට ගියා ය. ඉක්බිති බුදුරදුන්
“ගෝතමීනි, අබැටක් ලද්දේ ද?” යි විමසූ හ. “හිමියනි, අබැටෙහි කාර්යය ඉෂ්ට විය. එහෙත් මා තවමත් අසරණ ය. දැන් මට පිහිට වනු මැනවැ” යි බුදු සිරිපා වන්දනා කළා ය. ඉක්බිත්තෙන් බුදුන් ඇය අමතා “පුතුන් හා ගව සම්පත ආදී දේපළ වස්තූන් ගෙන් සතුටු වන ඇලීම් සහිත පුද්ගලයා මිනිසුන් නිදා සිටින ගමක් ජල ප්‍රවාහයෙන් ගසාගෙන යන්නාක් මෙන් මාරයා විත් රැගෙන යති” යි දේශනා කොට වදාළ හ. එම දහම අසා හුන් අයුරින් ම සෝවාන් ඵලයෙහි පිහිටා බුදුරදුන් ගෙන් පැවිදි බව අයැද සිටියා ය. බුදුහු එය අනුදත්තෙන් තෙවරක් ම බුදුන් පැදකුණු කරමින් වන්දනා කොට භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි උපසම්පදාව ලබා නුවණින් මෙනෙහි කරමින් හැම කටයුතු ම කරන්නී සිහිය පිහිටුවා විදසුන් වැඩුවා ය.
මෙකරුණ මැනවින් ම දුටු බුදු පියාණන් වහන්සේ “යමෙක් නිවන් මඟ නො දකිමින් සියක් වස් ජීවත් වේ ද එයට වඩා නිවන් මඟ දකිමින් එක් දිනක් ජීවත් වීම උතුම් වේ” යන ප්‍රබෝධකාරී ගාථා ධර්මය දේශනා කළ සේක. දස පාරමිතාවන් සපුරාගෙන සිටි ඕතොමෝ ගාථා කෙළවර සිව් පිළිසිඹියා පත් මහ රහත් බව ලබා පළිබෝධ සහිත වූ දුක්බර සසර ගමන නිමා කොටගත්තා ය.
එකාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් වඩා දිගු කලක් පුරන ලද පාරමී දම් ඇති එතුමීන් වහන්සේ නුවණින් මෙනෙහි කරන්නී පිරිකර පරිභෝගයෙහි කළකිරීමට පත් ව ගොරෝසු දළ තුන් සිවුර පොරවා පැවිදි බිමෙහි මැනැවින් හැසිරුණා ය. පසු කලෙක බුදුහු භික්ෂුණීන් පිළිවෙළින් තානාන්තරයන්හි තබනුයේ, ඇය දළ සිවුරු දරණ භික්ෂුණීන් අතුරෙහි අග්‍ර වන්නේ යැ යි අග තනතුරෙහි තැබූ සේක. සියලු කෙලෙස් රෝග සුවපත් කොටගත් කිසා ගෝතමී මහ රහත් උත්තමාවිය පූර්වේ නිවාසානුස්මෘති ඥානය ද, ඍද්ධි බලය ද දිව්‍ය ඇස ද, දිව්‍ය කන ද, පරසිත් දන්නා නුවණ ද ලබා ඇගේ අතීත සංසාර ගමන මැනවින් දුටුවා ය.
මෙයින් කල්ප සියක් දහසකට පෙර පියුමතුරා බුදුරදුන් ජීවමාන සමයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද නිතර නිතර ඒ බුදුන් වෙත එළඹ අමා දහම් ඇසුවා ය. දිනක් ඒ බුදුන් වහන්සේ කඨෝර චීවර පොරවන භික්ෂුණීන් ගෙන් එක් තෙරණියක් එකරුණෙහි අග තැන්හි තබමින් ඇගේ ගුණ වර්ණනා කළ හ. ඒ භික්ෂුණියගේ ගුණ අසා බෙහෙවින් සතුටට පත් ඇය ශක්ති පමණින් බුදුන් වහන්සේට උපස්ථාන කොට අවසන බුදුරදුන්ට පසඟ පිහිටුවා වැඳ තමන්ටත් එබඳු පින් අසිරි ලබනු කැමැති ව එම තනතුර ම පැතුවා ය. අනාගතය බලා වදාළ ඒ බුදුන් වහන්සේ එම ප්‍රාර්ථනය ඉටු වන්නේ යි අනුදත් හ.
මෙයින් කල්ප සියක් දහසක් ගත වූ කල්හි ක්ෂත්‍රිය වංශයෙහි පහළ වන ගෞතම නම් බුදුන් සමයෙහි ඔබේ පැතුම ඉටු වන්නේ ය යි ද උන් වහන්සේගේ ධර්මයට හිමිකම් කියන්නා වූ ඔබ කිසා ගෝතමී නම් වන්නී ය යි ද විවරණ ශ්‍රී ලබා දුන් සේක.
බුදුන් බසින් සතුටු වූ ඕ තොමෝ ඒ මුණිවරයාණන් වහන්සේට දිවි ඇති තෙක් ම මෙත් සිතින් උපස්ථාන කොට ඒ පින්කම්හි අනුහසින් හා චේතනාව පිහිටුවීමේ බලයෙන් මරණින් මතු තවුතිසාවෙහි උපන්නා ය. දෙව් මිනිස් දෙගතියෙහි ම පාරමී පුරමින් කුසල්හි ම හැසිරෙමින් මේ භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුන් සමයෙහි බරණැස් නුවර කිකී නම් කාසි රජතුමන්ගේ ධර්මා නමින් පස්වැනි දියණිය ව උපන්නා ය. කුසලය කුසලයට ම උපනිශ්‍රය වේ. බුදුරදුන් ගෙන් බණ අසා ගිහි බවෙහි ආදීනව දුටු ඇය තම සිතින් පැවිදි බවට ම බැඳී ගියා ය. පැවිදි වීම සඳහා තම පියාණන් ගෙන් අවසර පැතුව ද පියා ඊට අනු නො දත්තෙන් අවුරුදු විසි දහසක් කල් ම ගිහි ගෙයි වෙසෙමින් නමුත් අනලස් ව දන් පින් දෙමින් බ්‍රහ්මචාරී ව බොහෝ කුසල් රැස් කළා ය.
පිය බසට නතු ව කීකරු ව අවනත වීම ද, බ්‍රහ්මචාරී වීම ද ඇගේ සිත තව තවත් කුසලයෙහි බැඳී ශක්තිමත් කරවන්නට හේතු විය. සමණි, සමණගුත්තා, භික්ඛුණී, භික්ඛුදාසිකා, ධම්මා, සුධම්මා හා සංඝදාසිකා යන රාජ දියණියන් සත් දෙන ම අනලස් ව බුදුරදුන්ට උවටැන් කිරීමෙහි ඇලී කුමරි බඹසරහි ම දිවි ගෙවූ හ. ඒ දියණියන් සත් දෙනා නම් අපගේ ගෞතම නම් වූ බුදුරදුන් සමයෙහි සංසාර ගමන නිමා කොට සුව සේ ම නිවන්පුර වැද එපමණක් නො ව අනාගත බුදු සසුනෙක පින්වත් ස්ත්‍රීන්ට ද ආදර්ශයෙන් මඟ පෙන්වා දුන් අග්‍රශ්‍රාවිකා ඛේමා, උත්පලවණ්ණා, පටාචාරා, කුණ්ඩලකේශි, කිසාගෝතමී, ධම්මදින්නා හා විශාකා යන සත් දෙනා වෙති. පින්වන්ත රහත් භික්ෂුණීන් වහන්සේගේ පින් අසිරිය දුටු බොහෝ අනාගත නිකෙලෙස් උත්තමාවියන්ගේ පාරමිතා ගමනෙහි ආරම්භය ද සනිටුහන් වන්නට ඇතැ යි විශ්වාස කිරීම බොහෝ සෙයින් ම වටී. එම ගෞරවනීය විශ්වාසය හේතු කොටගෙන නුවණැති මනුෂ්‍යයා තුළ නිවන් මඟ යන අභිලාෂයක් ඇති වීම නම් පුදුමයක් නො වේ. මේ දැන් දැන් වුව ද උන්වහන්සේලා වින්දා වූ අමා නිවන් සිරි අසිරිය ලබනු රිසි වන පින් බර ලලනාවන් බිහි වීම අභව්‍ය කරුණක් නො වේ. එය බුදුන් වහන්සේගේ භගවා බුදු ගුණයේ ද මහිමයයි, අසිරියයි.
නිකෙලෙස් වූ රහත් උත්තමාවිය සිත් පුරා රහත් සුවය විඳිමින් සිය නිර්මල හද මඬල විවර කොට ඒ සුවය නම් කෙබඳු දැ යි උදාන ගී ගැයුවා ය. ලෝක නාථයාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය සම්ප්‍රයුක්ත ගාථා ධර්මය අසා මම දහම් ඇස පිරිසිදු කළෙමි. එසේ ධර්මය දැනගත් මම අනගාරික ශාසනයෙහි පැවිදි වීමි. ශාසන කාර්යයෙහි අනලස් ව යෙදෙමින් නොබෝ කලකින් ම රහත් වීමි. ඍද්ධි බලය ලබා ගතිමි. දිව කණ ලබා ගතිමි. අනුන්ගේ සිත් දතිමි. පෙර විසූ අත් බැව් දතිමි. දිවැස පිරිසිදු කළෙමි. සියලු අසව් (බැඳීම්) දුරුකර පිරිසිදු වීමි. නිර්මල වීමි. සියල්ලෙන් ම නිදහස් වීමි.
බුදුන් දෙසූ පිළිවෙත පුහුණු කළෙමි. බුදුන්ගේ අනුශාසනාව පිළිපැදීමි. කෙලෙස් බර බහාලීමි. භව කාරක ධර්මයන් විනාශ කළෙමි. යම් අරමුණක් උදෙසා ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිද්ද ලැබුවෙහි ද සියලු සංයෝජනයන් නැති කිරීම් සංඛ්‍යාත ඒ අරමුණ ඉටු කරගතිමි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අර්ථ, ධර්ම, නිරුක්ති හා පටිභාන විෂයයෙහි මගේ නුවණ වැඩිණ. සිත පිරිසිදු විය.
කුණු ගොඩවලින්, සොහොනින් හා වීදිවලින් ගෙනා රෙදිවලින් රූක්ෂ දළ සිවුරු මසාගෙන පෙරවීමි. එම දළ සිවුරෙහි සුවය දෙව්ලොවෙත් බඹ ලොවෙත් නො වෙති යි පසක් කර ගතිමි. මා එසේ දළ සිවුරු දැරීම නිසා සතුටු වූ බුදුන් වහන්සේ පිරිස් මැද මා අග තනතුරක තැබූ හ. මගේ කෙලෙස් දවන ලදී. පෙර බුදුවරුන්ගේ අනුශාසනා ඉටු කළෙමි. (ථෙරි ගාථා උදානය).
මහ රහත් උත්තමාවියන් සියලු කෙලෙස් බර බහාතැබීමෙන් ලද නිකෙලෙස් සමහන් සුවය ලැබ ගන්නට පින්වත් නැණවත් සියලු ස්ත්‍රීන් ම තම තම පාරමිතා ගමන අද අද ම අරඹන්නට තිර ව අදිටන් කළ යුත්තේ ය.
සැමට තෙරුවන් සරණයි!