දිමුතු පුන්සර කොළඹගේ
සුපේසල ශික්ෂාකාමී ධුතංගධාරී සමථ විපස්සනා භාවනානුයෝගී සම්බුද්ධ ශාසන භාරධාරී චිරරාත්‍රඥ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වශයෙන් හැඳින්විය හැකි රුගන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, විදර්ශනාචාර්ය මාතලේ සීලරක්ඛිත මාහිමිපාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥාදියෙන් සාරවත් වූ අල්පේච්ඡතාදී ගුණදහමින් පිරිපුන් සංඝ ශෝභන ගුණධාරී වූහ.
“මට වයස තිස්වියේ පමණ වෙනවා මම මෙහාට වඩිනකොට. මේ සේනාසනය හීනෙන් පෙනිලා වැඩියේ. සතිපට්ඨාන භාවනා කරල පාඩම් කරගෙන භාවිත කරන දවසක තමයි මට හීනෙන් පෙනුනේ.”
මෙලෙසින් සිහිනෙන් පෙන් වූ මංසලකුණු ඔස්සේ පැමිණ රුවන්ගිරි කන්දේ ආරණ්‍ය සේනාසනය පිහිටුවා ස්වාර්ථ මෙන්ම පරාර්ථ සාධනයෙහි ද නිරතවෙමින් වැඩ සිටි මහා යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් මාතලේ සීලරක්ඛිත නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය.
මාතලේ දිස්ත්‍රික්කයේ මැදසියපත්තුවේ ගුරුලවලදී වර්ෂ 1896 පෙබරවාරි මස 26වන දින කොඩිතුවක්කු ගෙදර දන්තු වෙද මහත්තයා පියතුමන්ගේ සහ සපුමලී මව්තුමියගේ පුත් රුවනක ලෙස ජන්මලාභය ලද මාහිමිපාණන් වහන්සේගේ බාලම සොහොයුරා ද කුඩා කාලයේම පැවිදිවී මාතලේ ගුණානන්ද හිමියන් නමින් ප්‍රකටව වැඩ විසූහ.
නිසි වයස් එළඹුණු කල්හි ඇල්වල රෝමානු කතෝලික පාසලින් මූලික අධ්‍යාපනය ලැබූ අතර නිති පන්සිල් පොහොය අටසිල් ආරක්ෂා කරමින් ශ්‍රද්ධා සම්පන්නව ආගමික කටයුතුවල නිරත විය. තුරුණු වියේදීම සතිපට්ඨාන සූත්‍රය ආදිය අර්ථ සහිතව කට පාඩමෙහි තබා ගනිමින් උවසු උවැසියන් වෙත දහම් දෙසීමට තරම් හේ සමත්කම් දැක් වීය.
නිසි වයස් එළඹුණු කල්හි දෙගුරුන්ගේ අනුදැනුම මත සරණ බන්ධනයකට යටත්ව දරු දෙදෙනෙකුගේ පියකු බවට පත් විය. ස්වකීය ස්වාමි දියණියගේ අකල් වියෝවෙන් පසු දරු දෙදෙනා සහෝදරයන් හට භාරදී පැවිදිවීම පිණිස නික්ම ගියේ ය.
ගිහි ගෙයින් නික්මී දසසිල් සමාදන් වූ උපාසකවරයකු වශයෙන් අනුරාධපුර පූජනීය ස්ථාන ආදී විවිධ පූජනීය ස්ථාන වන්දනා කරමින් ද වනගත වී හුදෙකලාව පැවැති පෞරාණික ආරණ්‍ය සේනාසනයන් වෙත ගොස් භාවනානුයෝගීව පිළිවෙත් පුරමින් කාලය ගත කළහ. මෙම කාලයේ මෙතුමන් කෙරෙහි පැහැදුණු ලබුනෝරුව ගමෙහි සැදැහැවතුන් පිරිසක් එතුමන් තමට ආසන්නව පිහිටි වීදිපාය ආරණ්‍යයට කැඳවාගෙන ගොස් ධර්මාවවාද ලබමින් උපස්ථාන සිදු කළහ.
මෙලෙස කල්ගත කරමින් සිටින අතරතුර පැවිද්ද කෙරෙහි සිත යොමු වී බලගල්ලේ සරස්වති පිරුවන්හි ආදි කර්තෘභූත පණ්ඩිතාචාර්ය මුඩගමුවේ ශ්‍රී සිරිනිවාස මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, තත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යවර පේරාදෙණියේ සාරානන්ද පිරුවන්හි ආදි කර්තෘභූත උඩුනුවර සාරානන්ද මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් 1932 ඔක්තෝබර් මාසයේ දී පේරාදෙණිය සාරානන්ද පිරුවනේදී පැවිදිබිමට පත් වූහ. කඩුගන්නාවේ කොටලිගොඩ ආරාමයේ වැඩ සිටිමින් බැමිණිගල්ලේ සද්ධාවිමල හිමියන් ඇසුරෙහි වැඩ සිට බණ දහම් ප්‍රගුණකොට වර්ෂ 1933 මැයි මස 01වැනිදා මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමාවේදී උපසම්පදාව ලැබූහ. උපසම්පදාවෙන් පසු කලක් ගත වන තුරු විවිධ විහාරස්ථානවල වැඩ සිටි මාතලේ සීලරක්ඛිත හිමිපාණන් වහන්සේ ආචාර්යයන් වහන්සේලාගේ අවසරය ලබා භාවනාව පිණිස වනගත වූහ. මෙම කාලයේ එනම් 1936 ජූලි මස 12වැනි දින සිහිනෙන් ලද තොරතුරු අනුව සොයා ගොස් රුවන්ගිරි කන්දේ ආරණ්‍යය සොයා ගොස් එහි නිත්‍යවාසී වූහ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල පෙදෙසේ කඳුකර බිම්කඩක අක්කර හාරසීයක පමණ බිම් කඩක් වසා පවතින වනාන්තරයක් තුළ රුවන්ගිරි කන්ද ආරණ්‍යය පිහිටා තිබේ. අට්ඨකථාවන්හි රත්නගිරි පබ්බත විහාරය වශයෙන් හඳුන්වන මෙම ආරණ්‍යය විශුද්ධි මාර්ගයෙහි සහ මනෝරථපූරණියෙහි සඳහන් මහා මිත්ත මහ රහතන්වහන්සේ සහ චුල්ලපිණ්ඩපාතිකතිස්ස මහ රහතන්වහන්සේ වැනි නික්ලේෂී උතුමන් වහන්සේලා වැඩ විසූ ස්ථානය බව පිළිගැනීමයි. මාහිමිපාණන් වහන්සේ රුවන්ගිරි කන්දෙහි වැඩ සිටින බව ඇසීමෙන් ප්‍රමුදිත වූ සැදැහැති දායක සමූහයා ආරණ්‍යයට පැමිණ සිවුපස පුදමින් වතාවත්වල නිරත වූ අතර සැදැහැවත් දායක පිරිසකගේ දායකත්වයෙන් ආරණ්‍ය පාලක දායක සභාවක් පිහිටුවා මාහිමිපාණන් වහන්සේගේ අවසර ලැබෙන පරිදි ආරණ්‍යයේ පහසුකම් වැඩි දියුණු කරවන ලදි.
ජරාවාසව පැවති ගල්ලෙන් එළි පෙහෙළි කරවා සක්මන්මළු, වැසිකිළි කැසිකිළි පහසුකම්, දාන ශාලා, පාත්‍රාධාතු සෑය, ළිං පොකුණු, ගල්පඩි ආදී ආරණ්‍යයට අවශ්‍ය ඉදිකිරීම් සම්පාදනය වූයේ එම දායක සභාවේ ක්‍රියාකාරීත්වයෙනි.
ස්වකීය ආචාර්යපාදයන් වහන්සේ ද රුවන්ගිරි කන්දට වැඩම කරවා 1945 වර්ෂයේ පටන් තෙවසරක කාලයක් උපස්ථාන කටයුතු සිදු කරවූහ. ආරණ්‍යවාසී මහා සංඝරත්නයේ පරිහරණය පිණිස 1944 මැයි මස 29වන දින ආරණ්‍ය සේනාසනස්ථ බුද්ධ සීමාව ස්ථාපනය කර වීය.
සෞශීල්‍යාදී ගුණාංගයන්ගෙන් අනූනව ගිහි පැවිදි උභය පාර්ශ්වයේම ප්‍රසාදයට පත්වෙමින් මාතලේ සීලරක්ඛිත මාහිමිපාණන් වහන්සේ වැඩ සිටියහ. වියගහකට වඩා දුර නොබලන යුගමාත්‍ර දස්සාවී ඉන්ද්‍රීය සංවර ශීලයෙන් සමන්විත වූහ. කාන්තාවන් දෙස නෙත යොමු නොකළහ. පාංශුකූලික සිවුරුම දැරූහ. පිණ්ඩපාතික වූහ. වන සෙනසුනක ම විසූහ. ධුතංගධාරීව මැනවින් ඉඳුරන් සංවර කොට දුටුවන් හට ප්‍රසාදාවහ වූහ.
1966 වර්ෂයේ එක්තරා දිනයක මාහිමිපාණන් වහන්සේ දැඩි ලෙස ගිලන්ව දායක පිරිස විසින් කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුළු කළහ. රාත්‍රී කාලයේ ගිලන් ඇඳ මත පර්යංකයෙන් වැඩහිඳින බව දුටු වෛද්‍යවරයා නාහිමිපාණන් වහන්සේ වෙත සැතපීමට උපදෙස් දුනි. සහසෙය්‍ය ඇවත සිදුවන නිසා තමන් වහන්සේ සැතපීම ප්‍රතික්ෂේප කරන බව දැන් වූහ.
මාහිමිපාණන් වහන්සේ දස කසිණයත්, කායගතාසතියත්, ආනාපානසතියත්, සතර බ්‍රහ්ම විහාරත්, බුද්ධානුස්සතියත්, ධාතු මනසිකාරයත් බහුල ලෙස වැඩූහ. සමථ භාවනාවන්හි උද්ග්‍රහ නිමිත්තත් ප්‍රතිභාග නිමිත්තත් උපදවා ගෙන චිත්ත සමාධියට එළඹෙන අන්දම ස්වකීය යෝගාවචරයන් වහන්සේලා වෙත දන්වා සිටියහ. ස්වකීය සමාධි බලයෙන් විවිධ වූ ආශ්චර්යයවත් දේ සිදු කළහ. නියං සමයේ ආපෝ කසිණයෙන් ලද ප්‍රතිභාග නිමිත්ත මහ මුහුද තෙක් විහිදුවා මුහුදු ජලය අහසට නංවා වළාකුළු බවට පත්කොට වැස්ස ඇති කළහ. ආනාපානසතියෙන් සිත් සැහැල්ලු කොට පුළුන් රොදක් මෙන් ශරීරය සැහැල්ලුව සමාධිගත කළහ. මෙබඳු ආශ්චර්යමත් බොහෝ දේ නාහිමිපාණන් වහන්සේ අත්විඳි බව කිය වේ.
බුරුම රට මහා යතිවරයාණන් වහන්සේ නමක වූ අග්ගමහා පණ්ඩිත භදන්ත ශෝභන මහාසී සෙයාඩෝ මාහිමිපාණන් වහන්සේගේ සිසු වූ භදන්ත යූ. සුජාතා සොයාඩෝ මාහිමිපාණන් වහන්සේ ලක්දිවට වැඩම වූ කාලයේ එම හිමියන් වෙතින් සතිපට්ඨාන භාවනා මාර්ගය ප්‍රගුණ කර වීය. මෙම ඉගෙනුමට මගපෑද වූයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්යව වැඩ සිටි මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
පිළිවෙත් සරු සඟ සමාජයක් ඇතිකර වීමේ උතුම් පරමාර්ථයෙන් අති පූජ්‍ය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශ නාහිමිපාණන් වහන්සේ සහ මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ සමග 1951 ජූනි මස 18 වන දින ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කරන අවස්ථාවේදී මාතලේ සීලරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද එම උතුම් කර්තව්‍යයට සමූපකාරී වූහ. අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ද සීලරක්ඛිත මාහිමියන් වෙතින් තමන් වහන්සේ ලද ගුරු හරුකම් මහත් ගෞරවයෙන් විස්තර කොට තිබේ.
ස්වකීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර මාවතගම ගුණානන්ද හිමියන් කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ආදි කර්තෘ මාහිමිපාණන් වහන්සේලාගේ ඇසුරට යොමුකරවා ධර්ම විනය ප්‍රගුණ කර වූයේ මතු නොව නාථගනේ, නා උයන, නාගොල්ල, නාගම්සෝල ආදී වයඹ පළාතේ විවිධ ස්ථානවල ආරණ්‍ය සේනාසන ඉදි කර වූහ.
අරුණෝදයට පෙර අවදිව දැහැටි වළඳා සිරුරු කිස නිමවා භාවනාවෙහි නිරතවෙමින් දින චර්යාව ආරම්භ කිරීම නාහිමිපාණන් වහන්සේගේ සිරිතයි. එතැන් පටන් අර්ථාන්විත අන්දමින් භාවනාවෙහි යෙදෙමින්, වතාවත්වල නිරතවීම නාහිමිපාණන් වහන්සේ නොකඩ කොට සිදු කළහ.
වයෝවෘද්ධව ගිලන්භාවයට පත් වූයේ වුව ද මනා ස්මෘතියෙන් යුතුව විනයානුකූල දිවි පැවැත්මෙහිම පිහිටා ක්‍රියා කළහ. 1983 ජූලි මස 04 වන දින මාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.
බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති මාවතගම ගුණානන්ද හිමි, මාදම්පේ කළුගමුවේ සුමනසිරි හිමි, වීරාගල ධම්මානන්ද හිමි, පලපොලුවේ සිරිනිවාස හිමි ආදී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රාශියක් මාතලේ සීලරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වශයෙන් සම්බුදු සසුන ඒකාලෝක කළහ.

