කල්ප ලොකුවිතාන
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් වංචනික ප්‍රයෝගකාරී භික්ෂුවක අරබයා මෙම ජාතක කථාව දේශනා කළ සේක.
ජේතවනාරාමයේ වාසය කළ එක්තරා භික්ෂුවක සෙසු සංඝයා වහන්සේට බෙහෙවින් වංචා කරයි. ප්‍රයෝග කොට රවටයි. මේ බව වටහා ගත් භික්ෂූහු එම භික්ෂුව කැඳවාගෙන බුදුහිමි හමුවට ගොස් ඔහුගේ එම නොමනා කටයුතු ගැන දන්වා සිටියහ. ඒ ඇසූ බුදුන් වහන්සේ “මහණ නුඹ වංචා ප්‍රයෝග කරන්නේ දැ” යි භික්ෂුවගෙන් විමසු විට “එසේය ස්වාමීනි” යි භික්ෂුව පිළිතුරු දුනි. “මහණෙනි මේ භික්ෂුව දැන් පමණක් නොවෙයි, පෙරත් වංචා ප්‍රයෝගයෙහි යෙදුණේය” යි වදාරා භික්ෂූන් විසින් ආරාධනා කරනු ලැබ බුදුන් වහන්සේ මේ ජාතකය වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනකු රජකම් කරන සමයේ බෝධිසත්ත්වයෝ මීයකුව උපන්හ. ශරීර ප්‍රමාණයෙන් විශාල වූ ඔහු සිය දහස් ගණනක් වූ විශාල මී රංචුවකට නායකයාව මහා තුඹසක වාසය කළේය. ආහාර සොයමින් ගිය එක් සිවලෙක් එම විශාල මී රංචුව දැක උපායක් යෙදුවොත් උන් රවටා පහසුවෙන් ගොදුරු කරගත හැකි යැයි කල්පනා කළේය.
දිනක් මේ සිවලා බෝධිසත්ත්ව මී නායකයා යන මාර්ගය අසල නැඟෙනහිරට මුහුණලා කට ඇරගෙන පාද තුනක් ඔසවාගෙන එක පයකින් සිටගෙන උන්නේය. බෝධිසත්ත්වයෝ ඔහු දැක ළං වී “නුඹ කවරෙක් දැ” යි ඇසූහ.
“මම ධාර්මික නම් තවුසෙක්මි” සිවලා කීය. ඉක්බිති ඔවුන් අතර මෙබඳු සංවාදයක් විය.
“තවුසාණෙනි, ඔබ එක පයින් සිටින්නේ ඇයි?”
“මා සතර පයින් සිටියොත් පොළොවට මා උසුලා ගත නොහැකි වන නිසායි.”
“කට ඇරගෙනම සිටින්නේ ඇයි?”
“මම සුළඟින්ම යැපෙන බැවින් කටින් සුළං අල්ලා ගනු පිණිසයි”
“නැඟෙනහිරට මුහුණලා සිටින්නේ ඇයි?”
“සූර්ය දිව්‍ය පුත්‍රයන්ට ගෞරව කරනු සඳහා ය.”
මෙබස් ඇසූ නායක මීයා ඔහු කියන්නේ සැබෑවක් යැයි පිළිගෙන ඔහු යහපත් ගතිගුණ ඇත්තෙකැයි විශ්වාස කළේය. එතැන් සිට ඔහු තම පිරිස සමග දවසට දෙවරක් එහි විත් සිවලාට ගෞරවාදර දක්වන්නට විය. ඒ හැම අවස්ථාවකම සිවලා තමන් කරා විත් ආපසු යන මී රැලෙන් පසුවී යන එකෙක් අල්වාගෙන කා, කටේ ලේ පිසදමාගෙන වහාම තාපස ඉරියවුවෙන් යළි සිටියේය. ටික කලක් මෙය සිදුවන විට තම පිරිසේ සංඛ්‍යාව අඩුවන බව හැඟුණු මීයෝ නායක මීයා අමතා මෙසේ කීහ. “ස්වාමීනි, පෙර අප මේ තුඹස තුළ වාසය කළේ එකිනෙකාගේ ඇඟේ හැපෙමින් තෙරපීගෙනයි. දැන් එවැන්නක් නැත. පිරිස තුනී වී ගිය බවක් ඉන් පෙනේ. මේ ගැන සොයා බලනු මැනවි.”
ඒ කතාව ඇසූ නායක මීයා පිරිස අඩුවීමට හේතුව සිවලාගෙන් සිදුවන උවදුරක් විය හැකි යැයි සිතා ඒ බව පරීක්ෂා කරන්නට විය. දිනක් සිවලා දැකීමට විත් ආපසු යන ගමනකදී නායක මීයා සෙසු මීයන් හැම ඉදිරියෙන් යවා තමන් පසුවී ගමන් ගත්තේය. සිවලා එතෙක් කල් කළා මෙන් පසුවී ගිය නායක මීයා මතට පැන්නේය.
සූදානමින් සිට වහා උගෙන් ගැලවුණු නායක මීයා “නුඹ මෙතෙක් රැක ඇත්තේ බළලුන් රකින සීලය වැන්නකි. තපස් රකිමියි බොරුවෙන් අනුන් රවටා කළ මහා වංචාවට දඬුවම් දෙමි” යි කියා සිවලාගේ බෙල්ලට පැන උගේ ශ්වාස නාළය හපා ඌ මරණයට පත් කළේය. ඒ දුටු සෙසු මීයෝ දුවවිත් සිවලාගේ සිරුර මතට පැන එය රැල් රැල් කොට කටින් ලියා දැමූහ. ඊට පසුව සතුරු උපද්‍රව රහිතව විසූ මී පිරිස ආයු කෙළවර මරණයට පත් වූහ.
බුදුරජාණන් වහන්සේ “මහණෙනි, එසමයෙහි බොරු සිල් රැකි සිවලා නම් මේ භික්ෂුවය. මී
රැළට නායකයාව සිටියේ දැන් බුද්ධත්වයට පත්ව සිටින මම්ම වෙමි” යි අතීත කතාව සහ වර්තමාන කථාව ගළපා වදාළ සේක.
උපදේශය
වංචාකාරයාට හැමදෙන හැමදා රැවටිය නොහැකිය.

