දහම් ගීතය

cmadurawala
9 Min Read


ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න

බක් පොහොය දිනය ලංකාවාසී බෞද්ධයන්ට අතිශයින් වැදගත් පොහොය දිනයකි. බුද්ධත්වයෙන් 5 වන වසරේ දෙවැනි වරට නාගදීපයට වැඩි දිනය ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මහාවංශයෙහි දැක්වෙන ලෙසට එදා නාගදීපයෙහි බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ රාජායතන නම් චෛත්‍යයක් කරවා ඇත. අද බොදු බැති ගී විමසුමට ලක්වන ගීතය ඍජුව එම කරුණ හා නොබැඳෙන නමුදු ලෝවැසි ජනයා බුදුරජාණන් වහන්සේගේ සිරිපා නමැද යළි යළි ප්‍රකාශ කරන තමන් සංසාරයේ දිගින් දිගටම යෙදෙන නිශ්ඵල ගමන පිළිබඳ වූ පසුතැවීම සඳහන් ජනප්‍රිය ගීතයකි. ගායන ශිල්පියා සුනිල් එදිරිසිංහයන්ය. සොයා පිළිසරණක් ගීතයෙහි ප්‍රබන්ධය කුමාරදාස සපුතන්ත්‍රී විසිනි.

සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආවෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආවෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිසිලක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ
පහන් වැට සේ සොයා ආවෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්

ලෝකයේ වෙසෙන ජනයා හට විවිධ තරාතිරමේ මිත්‍රයන් හෝ උපකාර කරන්නන් සිටිය හැකි නමුත් ඒ කිසිවකු හට කළ නොහැකි උපකාරයක් වේ. එනම් සංසාරයෙන් මුදවාලීමේ කර්තව්‍යයයි. සසරෙන් මිදීම කළ හැකි ආකාර දෙකකි. පළමුවැන්න බුදුදහම අනුගමනය කර නිවන් මාර්ගයට පැමිණීමය. දෙවැන්න යම් කලෙක ලොව බුදුකෙනකුන් පහළ වේද එදින බුදු පිහිට ලැබ ධර්මාවබෝධය ලැබීමය. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණ නම් හුදෙක් බුද්ධ කාය දර්ශනය වීම නිවනට හේතුවක් නොවන බවය. එයට අවශ්‍ය තරම් නිදසුන් බෞද්ධ සාහිත්‍යයෙන් සොයාගත හැකිය. මෙම ගීතයේ ද ඉතා පැහැදිලි ලෙස බුදුවදනක් හෙවත් බුදුන්ගේ ධර්ම දේශනයක් පිළිබඳ අපේක්ෂාව සඳහන් බැවින් එය නිර්වාණයම ප්‍රාර්ථනා කිරීමක් ලෙස සඳහන් කළ හැකිය.

ගීතය ආරම්භ වන්නේ සසර සැරිසරන පුද්ගලයා කෙතරම් අනාථභාවයකට පත්ව තිබේ දැයි වන සඳහනකිනි. සොයා පිළිසරණක් හෝ හව්හරණක් ලෝකයෙන් නොලැබුණු බව යන සඳහනෙන් දක්වන්නේ ඔහු ලෞකික වශයෙන් අනාථ වූවකු නොව ආධ්‍යාත්මික වශයෙන් අනාථ වූවකු බවය. එසේම දීර්ඝ සංසාර ගමනේ ඒකායන ප්‍රාර්ථනයද වී ඇත්තේ බුද්ධ දේශනාවක් ශ්‍රවණය කිරීමය. භව ගමනේ දෙව්ලොව, නිරය, තිරිසන් යෝනිය, අසුර ලෝකය, ප්‍රේත ලෝකය හා මනුෂ්‍ය ලෝකය ආදී වශයෙන් සත්ත්වයා ඉපදිය නොහැකි ලොවක් නොමැති බැවින් භව ගමනේ භයංකාරත්වය පෙනේ. එම කරුණ මැනවින් විස්තර කෙරෙන ශ්ලෝකයක් භක්ති ශතකයෙහි සදඟන් වේ.

ස්වර්ගෙ වා වසකිර්මමාස්තු නිරයෙ තිරයක්ෂු කිං වාසුරෙ
ප්‍රෙතානාං නගරෙථවා නරපුරෙ ක්වාප්‍යන්‍යකඃ කර්මණා
හො සර්වඥ තනස්තනස් තවගුණාන් කර්ණාමෘත ස්‍යන්දිනො
නිෂ්පාපානවලම්බතාමි මම මනො මාන්‍යා සුඛප්‍රාර්ථනා…

භක්ති ශතකය- (26 – ශ්ලෝකය)

දිව්‍ය ලෝකයෙහි ද නරකයෙහි ද නැවත තිරිසනුන් කෙරෙහිද අසුර භවනයෙහි ද නොහොත් ප්‍රේත භවනයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද නොහොත් බ්‍රහ්මලෝකයෙහි ද අන්කිසි තනෙක්හි ද කුසලාදී කර්ම බලයෙන් මම මාගේ වාසය කිරීම වේවායි භාග්‍යවත් වූ සර්වඥයන් වහන්ස ඒ ඒ උපන් තන්හි අසන්නාවුනගේ කනට අමා ඕනාවක් වැනි වූ රාගාදී පව් රහිත වූ ඔබ වහන්සේගේ ෂට් අසාධාරණ ගුණාදී ගුණයෙන් මාගේ චිත්තය තෙම එල්බේවා. මට මේ ඇර අන් සැප පැතීමෙක් නොවේවා!

බුදුන් වහන්සේගේ හඬ ඇසීමේ නොතිත් ආශාව හෙවත් ප්‍රාර්ථනය කොතරම්ද යන්ද ගීතයෙහි සඳහන් අගැයීම නිදසුනක් සහිතවම ලෝවැඩ සඟරාවෙහිද එයි. බුද්ධ දේශනාව පිළිබඳ අගය ඉන් මනාව විස්තර කර ඇත.

බුදුන් දෙසන බණ මිහිරෙන් ම සිත තැනී
පසන් වැ උන් මැඩියෙකු කෙවිටකින් ඇනී
එයින් විය තිදස ලද ඉසුරු නොපමනී
මෙවන් දහම් ඇසුමට මැළි නොවව් දැනී

(130 පද්‍යය)

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ මිහිරි වූ ධර්‍ම ශබ්දයෙන් ම සිතා සකස් වී පහන් සිතින් උන් මැඩියෙක් කෙවිටකින් අනින ලදුව එයින් මැරී දිව්‍ය ලෝකයෙහි ඉපිද බොහෝ ඓශ්චර්ය ලද්දේය. මෙබඳු ධර්මය ඇසීමට මැළි නොවෙමි.

ගීතයෙහි පළමු අන්තරා කොටසෙහි දැක්වෙන්නේ ගෙවා සුවහස් යොදුන් මේ කතරේ යනුවෙනි. “සුවහස් යොදුන්” යන සඳහන නිවැරදිව වටහා ගත යුතුය. ශ්‍රාවකයාට ගෝචර වන ලෙස හෙවත් කිව නොහැකි තරම් දුරක් දැක්වීමට එලෙස සම්මත මිම්මක් දක්වා ඇතත් එහි ධර්මානුකූල අරුත වටහා නොගතහොත් එය නිවැරදි නොවේ. ඊට හේතුව වර්තමාන ලෝකයෙහි “දුර” යන්න තවදුරටත් තරණය කිරීමට අපහසු සාධකයක් නොවන බැවිනි. මෙම කරුණ මැනවින් වටහා ගැනීමට සංයුක්ත නිකායෙහි නානාතිත්ථිය වර්‍ගයෙහි එන රෝහිතස්ස සූත්‍රය ඉවහල් වේ. එහි සිංහල අරුත මෙසේය.

“වහන්ස යම් තැනකදී නොඋපදී නම්, මහලු නොවේ නම් නොමැරේ නම් ච්‍යුත නොවේ නම්, නැවත නො උපදී නම් එසේ වූ ඒ ලෝකාන්තය දැනගන්නට හෝ යාගන්නට හෝ හැකිද?

(බුදුහු) ඇවැත්නි යම් තැනෙක්හි ජාතියෙන් (ඉපැද්දමෙන්) නැද්ද, ජරාවෙන් (මහලුවීමෙන්) නැද්ද, මරණයෙන් නැද්ද, ච්‍යුතියක් (ඉන් පිටත තැනෙක පිළිසිඳෙන්නට ඉවත්වීමක් නැද්ද, මැරී නැවත ඉපැත්මෙක් නැද්ද ඒ ලෝකාන්තය (පා ගමන් ඇදී) ගමනකින් හැත්තැයි දැක්ක, වෙත යාගත හැක්කැයි මම නොකියමි.

වහන්ස යමෙක්හි ඉපැත්මක්, ජරායෙක්, මරණයෙක්, ව්‍යුතියෙක් නැවත ඉපැත්මක් නැත්නම්, එය ගමනින් දැක හැක්කැයි, දක්ක හැත්තැයි වෙන යාගත හැක්කැයි නොකියමි. මෙය භගවා බුදුරජාණන් වහන්සේ විසින් කොතරම් මැනවින් වදාරන ලදද, වහන්ස ආශ්චර්යයි. වහන්ස, පුදුමයි.

(සංයුක්ත නිකාය, සයිමන් හේවාවිතාරණ ග්‍රන්ථ මාලා – 133 සිට)

ගීතයේ දැක්වෙන “ගෙවා සුවදහසක් යොදුන්” යන සඳහන වටහා ගත යුත්තේ ඉහත සූත්‍ර පාඨයට අනුවය.

ගීතයෙහි පළමු අන්තරා කොටස අවසන් වන්නේ

යුගෙන් යුගයේ සොයා ආවෙමි ඔබේ මුදු සිසිලක්” යනුවෙනි. එනම් ප්‍රකාශකයා සංසාර ගමනේ දීර්ඝ කාලයක් ගෙවමින් පැමිණ ඇත්තේ බුදුන්ගේ බුදු වදනක් ඇසීමේ එකම චේතනාවෙනි. බුද්ධ වචනය සිසිලක් හෙවත් නිවීමක් ඇති කරන බව ප්‍රකට කරුණකි. එය අමා දම් ලෙසින්ද හැ`ඳින්වෙන්නේ එබැවිනි. මෙම සිසිල හෙවත් නිවීම තුන් ලොව සියලු දෙනාටම සමකරුණාවෙන්ම පවතී. ඒ බව භක්ති ශතකයෙහි විචිත්‍ර ලෙස විස්තර කර ඇත්තේ මෙලෙසිනි.

ජගනි තව සතපා හි නිර්විශෙෂා
ප්‍රපව තයා ජින මඤ්ච දෝෂදුෂ්ටං
අලමහම්හ නො සුඛී තයෙන්දූර්
න සමකරශ්වරතීහ සාධ්වසාධ්වො
– 39 ශ්ලෝකය

සම්‍යක් සම්බුද්ධයන් වහන්ස, නුඹ වහන්සේගේ කරුණාව වනාහී සමස්ත ලෝකයාට සාධාරණව පවත්නීය. ඒ සකල ලෝක සාමාන්‍ය කරුණාවෙන් රාගද්වේෂාදියෙන් දූෂිත වූ මාද පවිත්‍ර කොට වදාළ මැනව. මම ඒ කරණස්ථාන මාත්‍රයකින් අන්‍යර්ථයෙන් සුවපත් වෙමි. (ඒ එසේ මැයි) මේ ලෝකයෙහි චන්ද්‍ර තෙම සිල්වත්වූ සත්පුරුෂයන් කෙරෙහිද චෞරාදී වූ අසත්පුරුෂයන් කෙරෙහිද සම වූ ශීතල රශ්මි ඇත්තේම නොහැසිරෙන්නේ නොවෙයි. හැසිරෙන්නේමැයි.

ගීතයෙහි දෙවන අන්තරා කොටස ඇරඹෙන “මහා කරුණා නුවන් දිය ගැඹරේ” යන්නද පෙර සඳහන් ශ්ලෝක පාඨයෙන් අර්ථවත් වේ. එහිම එන පහන් වැට සේ සොයා ආවෙමි. යෙදුම ද විමසිය යුත්තකි. ගීතයෙහි විස්තර කෙරෙන පුද්ගලයාගේ ප්‍රකාශය අනුව ඔවුන් බුදුන් දැක නිවන් දකින්නට පෙරුම් පුරන්නේ කිව නොහැකි තරම් දීර්ඝ කාලයක පුළුල් අර්ථයෙනි. භවයෙන් භවය දැකීමට තරම් හෙවත් ලෝකයේ යම් ස්ථානයක නිශ්චිතව ඇති ආලෝකය (පහන් වැට) සොයා ඒමට නම් එම පහන් වැටින් ප්‍රකාශ කෙරෙන බුදුන් වහන්සේ කෙබඳු විය යුතුද? විවිධ කතා හා සූත්‍ර පාඨවල බුදුන් වහන්සේගේ ප්‍රභාව පිළිබඳව සඳහන් නමුදු මෙහිදී එම සංකල්පය සංක්‍ෂිප්ත ලෙස යෙදුණු ස්ථානයක් සැලසීම වඩා උචිතය. ථේර ගාථා පාළියෙහි එන සේනක ස්ථවීර ගාථා සතරෙහි එක් ගාථාව උක්ත අදහස මනාව වටහාගත හැකි ආකාරයෙන් සදඟන්ය.

මහප්පං ගණචරියං අග්ගප්පත්තං විනයාකං
සදෙවකස්ස ලෝකස්ස ජිනං අතුලදස්සනං

මහත් වූ ශරීර ප්‍රභා හා ඥාන ප්‍රභා ඇති ගණාචාර්ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්‍රප්‍රාප්ත වූ පස්මරුන් දිනූ අසදෘශ දර්ශන ඇති (ථේරගාථා – පාළි 4.6- 1 බුද්ධ ජයන්ති මුද්‍රණය)

මෙම ගාථාව අනුව බුදුරජාණන් වහන්සේගේ බැබළීම ආකාර දෙකක් හේතුවෙන් සිදුවේ. පළමුවැන්න ශරීරයෙන් විහිදෙන සවනක් රැස් ප්‍රභා මාලාව හෙවත් පහන් වැටය. දෙවැන්න උන්වහන්සේගේ අසදෘශ ඥානය හේතුවෙන් ඇතිවන ඥාන ප්‍රභාව හෙවත් පහන් වැටය. එසේ පහන් වැට සේ දැකීමට ප්‍රාර්ථනා කරමින් සංසාරයේ බොහෝ දුර පැමිණියේ බුදුන්ගේ නෙතු කැල්මක් ලබන්නටය. කැල්ම යනු කාන්තියයි. නේත්‍ර යුග්මයෙන් නිකුත්වන ප්‍රියජනක බැල්ම “කැල්ම” වේ. “කැල්ම” බොහෝ විට යෙදෙන්නේ කාන්තාවන්ගේ බැල්මටය. එයද ප්‍රියජනක බැල්මක් නමුත් බුද්ධ නේත්‍රයෙන් නිකුත් කැල්ම පිළිසරණ සොයා යන්නාට පතළ මහා කරුණාවෙන් මෙන්ම බුද්ධ ශරීරය දැකීමට සැදැහැ සිතින් එන්නා වූ පුද්ගලයා දෙස හෙළන මිත්‍රශීලී බැල්මකි. ගීතයේ දැක්වෙන පුද්ගලයා බුදුන්ගෙන් අපේක්ෂා කරනුයේ එම දයානුකම්පා බැල්මය. මන්ද ඔහුට අවශ්‍ය බුදුසරණ බැවිනි.

මේ අනුව පෙනී යන්නේ බැලූ බැල්මට ඉතා සරළ සේ පෙනෙන පදමාලාවක පවා බෙහෙවින් ගැඹුරු ධර්ම කරුණු අන්තර්ගත බවය. ගීතයෙහි සැබෑ බොදු රසය දැනෙන්නේ එකී කරුණ ද යම් පමණකට හෝ දැන සිටීමෙනි. එසේ නැතහොත් ගීතය ශ්‍රවණය කිරීමෙන් පසු හෝ එහි පසුබිම සොයා බැලීමෙනි. මෙම ගීතයද එකී බොදු බැති රසය ජනිත කරවන උසස් ගීයකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *