ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක, මහෝපාධ්‍යාය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාසක ව වැඩසිටි, කර්මස්ථානාචාර්ය, අතිපූජ්‍ය
නාඋයනේ අරියධම්ම අනුනාහිමි
විසින් රචනා කරන ලද සහ දේශනා කරන ලද ජීවන තොරතුරු ඇසුරින් සැකැසුණු ‘අසිරිමත් බුදුමඟ පියසටහන්’ නමැති චරිතාපදානයෙන් උපුටාගත් කොටසකි මේ. තමන්වහන්සේ වැඩූ භාවනා ක්‍රම ගැන උන්වහන්සේ වදාළ දේශනා ඛණ්ඩයක් මෙසේ පළ කෙරෙන්නේ, පසුගිය හය වැනි දාට යෙදී තිබුණු උන්වහන්සේගේ හත් වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.
බුදුගුණ භාවනාව
“භාවනා ගැන කියන්න තියෙනවා ගොඩක් කරුණු. ඒ සියල්ල ම විස්තර කරන්න කාලය මදි. මම මගේ වයස නවයෙ දි නෙ සිල් සමාදන් වෙන්න පටන් ගත්තෙ. තුනේ පංතියෙ දි. ඒ කාලයේ මගේ අම්මාගෙ අම්මා – කිරි අම්මා කියලා දුන්නා. ‘ඉතිපි සෝ’ පාඨය නිතර කියවන්න. තේරුම මුකුත් දන්නෙ නෑ. මම ඉතින් ‘ඉතිපි සෝ’ පාඨය පුරවනවා. මට නවගුණ වැලකුත් දුන්නා ගණන් කරන්න කියලා. ඒ පුරුද්ද අද දක්වා ම තියෙනවා.
මම උපසම්පදා වී දෙවෙනි අවුරුද්දේ – එනම් 1960 පෙබරවාරි 4 වැනි දා මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ, පණ්ඩිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝ පීතෘන් වහසේලා දස නමක් පමණ දඹදිව වැඩියා. ආපසු වඩින ගමනේ දී බුද්ධගයාවෙන් සඳුන් හරයෙන් හැදුව නවගුණ වැල් අප වැනි සිසු දරුවන්ට ගෙනාවා. ඒ කාලයේ මාතර පුහුල්වැල්ලේ රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයෙහි ඉගෙනීමේ යෙදී සිටි නවක උපසම්පන්න පැවිද්දෙකු වූ මට පණ්ඩිත ස්වාමීන් වහන්සේ සඳුන් නව ගුණ වැලක් දුන්නා. “ඉතිපි සෝ පාඨයෙන් ලක්ෂ වාරයක් පුරවන්න” කියලා අනුශාසනා කළා. දිනපතා තුන් සියයක් පමණ බුදු ගුණ වාර පුරවමින් ඉගෙනීමේ යෙදී සිටි මම 1964 ජූලි 4 වැනි දා බුදුගුණ ලක්ෂ වාරය පුරවා නිම කළා.
1961 දී නිමලව ආරණ්‍යයේ දී මහා පිංකමක් තිබුණා යෝගාශ්‍රම සංස්ථාවට දස වස් පිරීම නිමිත්තෙන්. ඒ පිංකමට වැඩි රුවන්ගිරියේ ලොකු ස්වාමීන් වහන්සේට ආසන පනවා තිබුණේ මහ ගල්ලෙනෙහි. ඒ ඇඳ ළඟ ම මා සිටි බැවින් භාවනා ගැන වටිනා උපදෙස් අසා දැන ගත්තා.
මෛත්‍රී භාවනාව
දැන් නැවත කුඩා කාලයට හැරෙමු. නා උයන ආරණ්‍යය බිහි වුණාට පස්සේ අපට ලැබුණ නේ භාවනා පොත්. බුද්ධ ජයන්තියට ආසන්න කාලයේ ලැබුණ අතුලවංශ කියන ස්වාමීන් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක්. සම්පූර්ණයෙන් පාලියෙන් තිබුණේ. දස දිසාවට, සියලු සත්ත්ව කොට්ඨාසවලට මෛත්‍රී කරන හැටි. ඒක මම පාඩම් කරගත්තා. ඒ කාලයේ මම නා උයන ආරණ්‍යයට ගිහිල්ලා පොහොයට සිල් සමාදන් වෙන්න පුරුදු වුණාට පස්සේ බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක ශීලය නිත්‍ය වශයෙන් ම සමාදන් වුණා. මම වයස 15 දී පමණ බද්ධ පර්යංකයෙන් වාඩිවෙන්න පුරුදු වුණා. මහෝපාධ්‍යාය මාතර ස්වාමීන් වහන්සේගේ භාවනා පොතකින් තමයි බද්ධ පර්යංකය පුරුදු වුණේ. පැය භාගයක් මට බද්ධ පර්යංකයෙන් ඉන්න පුළුවන් වුණා. ඉතින් මම හැම දා ම රාත්‍රී කෑමෙන් පස්සේ පාඩම් කරලා, නිදා ගන්නේ වෙන ම කාමරයක. කාමරයේ ඇඳේ බද්ධ පර්යංකයෙක් වාඩිවෙලා බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක ශීලය සමාදන් වෙලා, කරණීයමෙත්ත සූත්‍රය කියලා අර පොතේ තියෙන මෛත්‍රී භාවනාව කළා. විනාඩි 10ක් 15ක් යනකොට මම ඉතින් අහසේ ඉන්නවා වගේ.
ඇඳේ ඉන්නවා කියලා දැනෙන්නෙ නෑ. ඇහැ පියාගෙන ඉන්නේ, වටේට හඳ එළිය වගේ. ඉතින් ඒක කරලා – දන්නෙත් එච්චරයි – පැය භාගයෙන් පසු නිදා ගන්නවා. පාන්දර 5.00ට අවදි වෙන්න මම හැම දා ම ඔරලෝසුවේ සීනුව තියා ගන්නවා. 5.00ට සීනුව වදින්න ළං වෙනෙකොට මට ඉබේ ම අවදි වෙනවා. අතක් පයක් වත් හෙලවිලා නෑ. දඟලන වයස නෙ. නමුත් එහෙම නෑ. ඇඳේ ඇතිරිල්ල වත් වෙනස් වෙලා නෑ. ඉතින් පසුව දා හරි ම ප්‍රීතිමත් විදියට ගත කරනවා. ඔය විදියට කුඩා කාලයේ භාවනා පුහුණු වුණා. මෛත්‍රී භාවනාව තමයි එදා භාවනා වශයෙන් කෙරුණේ. අනික් වෙලාවට කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරනවා. පිරිත් පොතේ පාඩම් තියෙන පිරිත් කියවනවා. ධම්මපදයේ ගාථා කියවනවා. පියතුමා භාවිතකරන පොත්පත් ඉඳහිට බලනවා. එතුමා භාවිත කරනවා විශුද්ධි මාර්ගය, උපාසක ජනාලංකාරය, විදර්ශනා භාවනා පොත. එහි දී විශුද්ධි මාර්ගය කියවනකොට, පියතුමා ඒ ගැන කරන සාකච්ඡා අහගෙන ඉන්න කොට මට හිතුණා, මේවා අපට කරන්න පුළුවන් නේ කියලා. එහෙම ඉන්න අතරේ තමයි භාවනා ආනිසංස දැකලා පැවිදි වීමේ ඡන්දය මතු වුණේ. ඉතින් ඒ කාලයේ පහළ වුණු අදහස ස්ථාවර වුණා.
මහා සී භාවනා ක්‍රමය,
ආනාපානා සතිය
අනතුරු ව පැවිද්දට යොමු වී පණ්ඩුපලාස උපාසක කාලයේ හිටියේ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ගමේ නෙ. එහි දී මහා සී භාවනා ක්‍රමයත් (උදරය පිම්බීම – හැකිළීම පිළිබඳ සිහිය පිහිටුවීම) ආනාපාන සතියත් පුහුණු වුණා. හොඳට සිහිය පිහිටුවා ගන්න හැකි වුණා. ඒ භාවනා ක්‍රම දෙක ම පුරුදු වෙලා පැයක් විතර සමාධියෙන් ඉන්න පුළුවන් වුණා. සමූහ භාවනා පැයේ දී බෝධිරක්ෂිත ස්වාමීන් වහන්සේ වෙලාව බලාගෙන ඉන්නවා. භාවනාව අවසන් කරන්න ස්වාමීන් වහන්සේ දැන්වීමට කලින් මම ඇස් ඇර බලනවා. ඇස් ඇර බලන කොට වෙලාව හරි. ස්වාමීන් වහන්සේ මගෙන් අහනවා “කොහොම ද වෙලාව බලාගන්නේ කියලා” මම කිව්වා “මට හිතුණා” කියලා. ඒ පණ්ඩුපලාස කාලයේ දී විගොඩ අපි සිටි තැන බණක් කියන්න ඕනේ කිව්වා. සැන්දෑවේ රැස් වූ පිරිසට ඉරියව්ව වත් මාරු නො කර එක හඬින් පැයක් බණ කිව්වා. හැමෝ ම ස්තුති කළා. ඒ දුරුතු පෝය දවසක. තව දවසක් දසසිල් කාලයේ මත්තේගොඩ සුමනාරාමයේ පැවිදි පිංකමක් බලන්න ගියා. දින දෙකක් විතර නැවතිලා හිටියා. එතැන දී පොහොයක් දවසක බණක් කියන්න කිව්වා. එතැන ද පැයක් බණ කිව්වා සමාධිගත සිතින් ම. ඔය විදියට ඒ කාලයේ භාවනා සම්බන්ධ පුහුණුවක් ලැබුණා. සතිය හොඳට පුරුදු කරන්න ලැබුණා. පැයක් ම චිත්ත සමාධියෙන් ඉන්නවා. ධ්‍යාන ගැන තේරුමක් නෑ. සමාධියෙන් ඉන්නවා. ශරීරය නො දැනී ආලෝකයක් තියෙනවා. එච්චරයි. දැනෙන්නේ. මම ඉගෙන ගන්න කාලයේ දීර්ඝ කාලයක් ඒ ගතිය පුරුදු කළා. ඒක ඉගෙනීමට බොහෝ ප්‍රයෝජන වුණා. පාඩම් මතක හිටිනවා හොඳට. ධර්ම දේශනා කරන විට ඇහැ පියාගෙන සමාධියෙන් වගේ තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ විදියට පුහුණු වුණා.
සමසතළිස් කර්මස්ථාන
ගල්දූවේ ඉන්න කාලයේ ශිෂ්‍ය පිරිසක් සමග සමසතළිස් කර්මස්ථාන ම පුරුදු කළා. වෙන ගුරු ඇසුරක් නෑ. විශුද්ධි මාර්ගය කියවමින් ඒ උපදෙස් දන්න හැටියට තෝරාගෙන තමයි කළේ. එයිනුත් අභ්‍යාසයක් ලැබුණා. දස කසිණය ම කළා. 1963 දී මැල්ලගල දී මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේගේ උපදෙස් ඇති ව මහා සී ක්‍රමය මාස එක හමාරක් පුහුණු කළා, දෙල්ගහකුටිය කියන ගල්ලෙනේ. මම බද්ධ පර්යංකයෙන් පැය හයක් එක දිගට ම භාවනා කරනවා. හවස 5.00 සිට රාත්‍රී 11.00 වන තුරු කිසි ම අපහසුවකින් තොර ව භාවනා කරනවා. ඉතින් හිත බඹ තලය දක්වා යනවා වගේ දැනෙනවා. ඊට වඩා දන්නේ නෑ. මහා සී ක්‍රමයෙහි ධ්‍යාන වැඩීමක් කියන්නේ නෑ නේ.
කෙසේ නමුත් ඒ විදියට පුහුණු වන කාලයේ තමයි භාවනා වැඩසටහන් වලට යොමු වුණේ. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයයේ ගුරුවරුන්ට බුද්ධානුස්සති – මෛත්‍රී – අසුභ – මරණ සති යන සතර කමටහන් හා ආනාපාන සතිය තමයි දෙන්න නියම වුණේ. දිනක් භාවනා පංති පවත්වන අවස්ථාවේ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ වැඩලා බොහෝ ම ප්‍රශංසා කළා. “හරියට හරි, මේක තමයි නියම පිළිවෙළ.” කියලා. පසුව කොළඹ භාවනා පංතිවලත් සියලු කමටහන් පුරුදු කරවූවා.
ඔය අතරේ තමයි බුරුම ගමන යෙදුණේ. මුල දී දවස් දහයක් පමණ මහා සී භාවනා මධ්‍යස්ථානයට යමින් එමින් භාවනා කළා. කලින් ඉතින් කරලා තියෙන ක්‍රමය.
අනතුරුව ඵා ඖ භාවනා මධ්‍යස්ථානයට ගොස් තමයි සමථ – විදර්ශනා භාවනා පිළිවෙළට වැඩුවේ. ඒවා ගැන විස්තර කියන්න මම සතුටු වෙන්නේ නෑ. එහි දී බොහොම හොඳට කටයුතු කරගෙන තමයි ආවේ”