මඝ නම් වූ තරුණයා සෙනඟ බොහෝ රැස් වී සිටිය තැනකට ගියේය. එහිදී ඉඩ-කඩ මදිවීම නිසා ඔහුට සිටගෙන සිටීමට සිදුවූයේ කුණු ගොඩක් මත්තේය. ඔහු එතැන තිබූ කුණු කකුල් දෙකෙන් ඉවත් කොට තමාට හිටගෙන සිටීමට තරම් ඉඩ-කඩ පිරිසිදු කර ගත්තේය. එවිට ශක්තිමත් පුද්ගලයෙක් පැමිණ ඔහු එතැනින් ඉවත්කර තල්ලු කොට දමා ඔහු පිරිසිදු කළ තැන බලෙන් අත්පත් කර ගත්තේය. මඝ නම් තරුණයාට කුණු ගොඩ උඩ සිටගන්නට සිදුවිණ. ඔහු එතැන ද පෙර පරිදිම දෙපයින් සුද්ද කොට පිරිසිදු තැනක් හදා ගත්තේය. මොහොතකින් තවත් හැඩි-දැඩි පුද්ගලයෙක් විත් ඔහු තල්ලුකොට දමා එතැන ද අල්ලා ගත්තේය. මෙසේ මඝ කිහිප තැනක්ම පවිත්‍ර කරගත්තද ඒ තැන් අහිමි විය. එවිට මඝ නම් මානවකයාට ගුණ නුවණ පහළ විය.
“එක එක තැන තමන්ට කියා පිරිසිදු කොට ගෙන හරියන්නෙ නෑ. කුණු ගොඩම ඉවත් කරලා මුළු බිමම සුද්ද පවිත්‍ර කරන්න ඕනෑ.” ඔහු එසේ තේරුම් ගත්තේය. ඔහු පසු දිනම තවත් යහළුවන් කිහිපදෙනකු සමග මුළු කුණු ගොඩම ඈත් මෑත් කර මුළු පොළවම පිරිසිදු කළේය.
“තමන්ට විතරක් හිටගන්ඩ පුළුවන් තැනක් හදාගෙන හරියන්නෙ නෑ. කාටත් දෙපයින් හිටගන්ඩ පුළුවන් වෙන්න මුළු කුණු ගොඩම ඉවත් කරලා දාන්න ඕනෑ” යි බුදුන් වහන්සේ මෙසේ දේශනා කළ හ.
ඇසළ පොහොයෙන් පටන්ගෙන වප් පෝය ගෙවා ඉල් පොහොයට පිවිසුණු අපි කඨින පින්කම් නිම කරමින් සිටිමු. චීවර මාසය අවසන් කරන අපි මඝ මානවක කතාවෙන් පාඩම් ඉගෙනගත යුතු වෙමු.