කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය හැට හත් වසරක දිවිමග නිමා කරමින් පසුගිය ජූලි මස 21 වන සඳු දින අලුයම් කාලයේ දී අපවත් වී වදාළ සේක.
වර්ෂ 1958 සැප්තැම්බර් මස 03 වන දින පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේ විසූ ආණමඩුවේ ශාන්ති වෙළෙඳසලේ හිමිකරු වූ, ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දැරූ රාජකරුණ හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණ හේරත් මැතිතුමාගේ සහ අදිකාරි මුදියන්සේලාගේ පුංචි මැණිකේ මවුතුමියගේ පස්වැනි දරුවා ලෙස උපාලි නමින් අනුනාහිමිපාණන් වහන්සේ මෙළොව එළිය දුටහ.
ආණමඩුව මහා විද්‍යාලයෙන් ද, කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්ව සිටි කාලයේ ආණමඩුවේ ආනන්දාරාමයේ වැඩ සිටි තම්මෑවේ පඤ්ඤානන්ද හිමියන්ගේ ඇසුරට පත් වීමෙන් පුරාකෘත පුණ්‍ය මහිමය ඉස්මතු වී පැවිද්ද පිළිබඳ සිත් යොමු වී එවක අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික ධුරයක් දැරූ, පසුකලෙක අස්ගිරි මහාවිහාරයේ මහානායක පදවිය හෙබ වූ උඩුගම බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ සහ අස්ගිරි මහා විහාරයේ කාරක සභික පදවියක් හෙබ වූ වඳුරාගල රතනජෝති මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන්, මාතලේ ධර්මරාජ පරිවේණාධිපති, ගම්මුල්ලේ චන්දජෝති නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1976 මැයි මස 19 වන දින කොට්ටුකච්චියේ ධම්මදස්සි නමින් පැවිදි බිමට පත් වූහ.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරුවනට ඇතුළත්ව ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කොට පිරුණු විසි වයස් ඇතිව 1979 මැයි මස 20 වන දින අස්ගිරි මහාවිහාර මංගල උපෝසථාගාරයේ දී හාල්යාලේ සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදිය ද, කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය ද ලබා පළමුව රජයේ පාසල් ගුරු සේවයට එක් වී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආචාර්යයන් වහන්සේ නමක ද, ඉන් පසු නිට්ටඹුව සාරිපුත්ත විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියකට ද, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියකට ද පත්ව අධ්‍යාපන සේවයේ නිරත වූහ.
අස්ගිරි මහා විහාරයේ කර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස කටයුතු කළ ආණමඩුවේ ධම්මදස්සි හිමියන් 2002 වර්ෂයේ කාරක සංඝ සභික පදවියකට ද, 2008 වර්ෂයේ ලේඛකාධිකාරී පදවියට ද පත් වූ අතර 2016 වර්ෂයේ දී වරකාගොඩ ඤාණරතන අනු නාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවියෙන් ද සම්මානිත වූහ.
ගොහාගොඩ ලිනන්ගස්තැන්න පුරාණ විහාරය ඇතුළු ස්වකීය ආධිපත්‍යයේ පවතින විහාරස්ථාන සංවර්ධනය කිරීමට කැප වූ අනුනාහිමිපාණන් වහන්සේ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල ධර්මවිද්‍යාලයේ ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස අපවත් වන අවස්ථාව දක්වා ම ක්‍රියා කළහ. මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ගරුතර මහා සංඝ රත්නයට පමණක් හිමි වන අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා 2010 සහ 2020, 2021 වර්ෂවලවලදී සම්බන්ධ වී ක්‍රියා කළහ. අස්ගිරි මහාවිහාර කාරක සංඝ සභාව මගින් ඇත්කඳ රජමහා විහාරයේ නායක පදවිය ද ආණමඩුවේ ධම්මදස්සි හිමියන් වෙත පිරිනමන ලදී.
දේශනයෙහි විශේෂ කෞශල්‍යයකින් හෙබි වූ අනුනාහිමිපාණන් වහන්සේ තමන්වහන්සේට ම අනන්‍ය වූ ශෛලියකින් අනුශාසනා පැවැත්වීම නිසා රටවාසීන්ගේ ප්‍රසාදයට පත් වූහ. කවරෙකු ඉදිරියේ වුව ද කිව යුත්ත නොවලහා කීමට තරම් පෞරුෂයක් අනුනාහිමිපාණන් සතු විය. රට, දැය, සමය සවිබල ගන්වමින් සුරක්ෂිත කළ යුතු අන්දම පිළිබඳ යාවත්කාලීන වූ ආකල්පයක් අනුනාහිමිපාණන් වහන්සේ සතු වූ බව සඳහන් කළ යුතුය. විසි එක් වන සියවසේ මල්වතු අස්ගිරි උභය මහා විහාරවල ක්‍රියාකාරීත්වය කුමන අන්දමින් පැවතිය යුතු දැයි අදහස් ප්‍රකාශ කළහ.

