පුරුද්දෙහි බලවත් බව

cmadurawala
6 Min Read

සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි

(නව වැනි කොටස)

ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි

සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි

  1. සතත අභ්‍යාසය ලබාදෙන මේ මතක ශක්තිය නමැති ආනිශංසය හරහා විනිවිද දැකීමේ හැකියාව, වඩාත් පැහැදිලිව දක්වතොත් විදර්ශනා ඥාන වර්‍ධනය, බලවත් වේ. අනෙකුත් ඉන්ද්‍රිය ධර්‍මයන් මෙන්ම විදර්ශනා ඥාන ද ඊටම අදාළ හේතු ඇති විටම හටගනී. මෙහිලා අදාළ ආසන්න කාරණා වන්නේ නිදිගත් සඤ්ඤා මතක සටහන් සහ සංකල්පයන්ය. කලින් කලින් කරන ලද අභ්‍යාසවල මතක මෙම මතු විනිවිද දැකීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ආසන්න ලෙස බලපායි. එනම් අරමුණේ බලවත් තීව්‍රතාව, නිරවුල් නිරීක්ෂණය සහ සඤ්ඤාකරණය හෙවත් තිර සඤ්ඤාවයි. මේ සඳහා ඒ ඒ අරමුණට ඇති ඍජු අභිමුඛ භාවය වැදගත් කෘත්‍යයක් ඉටු කරයි. එසේ සම්බන්ධ වන අරමුණු අනෙකුත් නොවැදගත් අහඹු අරමුණු සම්බන්ධ මතකයන්ට වඩා තිරසාර බවක් දක්වයි. මෙවන් වඩා සප්‍රාණික සඤ්ඤා, අන්තර්ඤාණ සඳහා බලවත් පිටිවහලක් වේ. සිතේ පතුලේ මණ්ඩි වශයෙන් මෙලෙස තැන්පත් වන අත්දැකීම්, අත්විඳීම් කලකදී විපස්සනා ඤාණ වශයෙන් එළිදකී. මෙලෙස කලඑළිදැකීමට එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක් පවා ප්‍රමාණවත් වනු ඇත. ඒ සංසිද්ධි සුළුපටු ලෙස පෙනුණත් දෛවොපගතව ඒවායේ පෙළගැස්මක් නැතිවාම නොවේ. නැවතිල්ලේ කටයුතු කිරීමෙන් සහ සතිය සඳහා ඉඩ සැලසෙන පරිදි කටයුතු කිරීමෙන් මෙවන් විශේෂ ඤාණ මුහුකුරවා ගත හැක.

මෙය ඉදිරියේදී පහළ වන ආර්ය සත්‍ය සතර පිළිබඳ ප්‍රත්‍යක්ෂය සම්බන්ධයෙන් ද වලංගු කාරණයකි. ත්‍රිපිටකයේ දැක්වෙන විවිධ කථා ප්‍රවෘත්තිවලට අනුව භික්ෂු – භික්ෂුණින් වහන්සේලා නිසි පරිදි භාවනා ප්‍රයත්න කළත් අවශ්‍ය කරන විදර්ශනා ඤාණ ලබාගැනීමට අපොහොසත් වූ අවස්ථා එමටය. ඒ වෙනුවට බලාපොරොත්තු නැති අවස්ථාවක ගැඹුරු ඤාණ පහළ වීමෙන් අමන්දානන්දයට පත් වූ අවස්ථා සෞන්දර්යාත්මකව ත්‍රිපිටක සාහිත්‍යයට එක් වී ඇත. ගලක පය වදින මොහොතක, ළැව්ගින්නක් ඉදිරියේ දුටු මොහොතක මිරිඟුවක්, පෙණ කැටිත්තක් පාවෙනු දකින විට ආදී අවස්ථා ඊට නිදසුන්ය. මෙය අනපේක්ෂිත වෙලාවක අපේක්ෂා ඉෂ්ට වීමක් ලෙස ගෙනහැර දැක්විය හැක.

අඛණ්ඩ සතිය අන්තර්ඥාන සඳහා අවශ්‍ය සරු පස සකස් කර දෙනවා පමණක් නොව වැඩෙන එම ඥාන වර්ධනයට මෙන්ම ඒවා මතු මත්තේ පහළ වීමට ද අනුග්‍රහ කරයි. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් තම තමන්ගේ ජයග්‍රහණ සහ සාධන ගැන ප්‍රසිද්ධ දේශන පවත්වන වේදිකාවේදීම යම් යම් ක්ෂණික රසවත් මතකයන් සිහි කරන නමුත් ඒවායේ ක්ෂණභංගුරතාව නිසා කරන කතාවට සම්බන්ධ කරගැනීමට නොහැකි වේ. ඒ තරම් වේගයකින් ඒවා පහළ වී බිඳ වැටී යයි. මෙවන් ප්‍රභවයන් ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට නම් මනස එවන් දෙයක් විශේෂ කර දැක්වීමට තරම් පුහුණු කර ඇත්නම් අවධානය හෙවත් මනසිකාරය එවන් මොහොතත් සමගම ගැලපී යයි නම් එවන් මොහොතක වටිනාකම වටිනා දෙයක් ලෙස යටි සිතේ තැන්පත්ව ඇත්නම් මඳක් නතර වීමෙන් ඒ වටිනා මතකයන්, වාසි සහගත ලෙස කතාවට අගයක් එකතු කිරීමට තරම් කීකරු කරගත හැක. මෙවැනි වාතාවරණයක එම ක්ෂණ සම්පත්තිය පැහැදිලිව, ප්‍රකටව ප්‍රයෝජනයට ගත හැකි වීම අනුව අන්තර්ඥානය විදර්ශනාවට පාදක විය හැක. යාන්තම් වලිගයෙන් අල්ලා ගන්නා ලද එම ක්ෂණික වේගය සමහර විටෙක සම්පත්තිකර ලෙස පිබිදීමක් ජනනය කරනු ඇත. මෙය ක්‍රමයෙන් මන්ද ස්වරයක සිට උච්ච ස්වරයකට පැමිණෙන සංගීත රිද්මයක වර්‍ධනයට සමානය.

ක්ෂණය නොඉක්මවා වැඩට යෙදෙන මෙවන් මොහොතක් තීරණාත්මක පෙරළියක් හරහා අවසාන සාක්ෂාත්කරණයට තල්ලුවක් විය හැක. එවන් ක්ෂණයක් ඉක්මවාලූවොත් නැවත එය ඉස්මතු වීමට කෙතරම් කාලයක් ගනීද? ‘අහෝ ක්ෂණය මා ඉක්මවා නොයාවා!” යන අධිෂ්ඨානයෙන්, සතත අභ්‍යාසය හෙවත් නිතිපතා භාවනා කිරීම හරහා මෙවන් ක්ෂණයක් නොඉක්මවා කටයුතු කිරීමටත්, ලද ක්ෂණය සම්පත්තිකර ලෙස වැඩ ගැනීමටත් දක්ෂතාව ඇති කරගත හැක. මේ සඳහා අනුමාන ඤාණ – නය විපස්සනාව වැනි චින්තාමය ඤාණ විෂයෙහි පොරොත්තු වීම අවස්ථානුකූලව අගය කළ යුතුය.

මෙලෙස නැවතිල්ලේ කටයුතු කිරීම, නැවතී බැලීම හා කිඳා බැසීම යන සතියේ සම්ප්‍රදායානුකූල අර්ථකථන වඩා ඤාණාන්විත බව පෙනේ. දුරදිග යන ගැඹුරු දැනුමක් එමගින් හටගනී. ‘අපිලාපන ලක්ඛණා’ යනුවෙන් අටුවාවේ දැක්වෙන සතියේ ලක්ෂණය කියාපාන්නේ නොඉල්පෙන බවයි. උපමාවක් ලෙස වියළි ලබු කබලක් ජලයට දැමුවහොත් එය ඉල්පෙයි. පොළා පනී. කිඳා නොබසී. ඒ වෙනුවට සතිමත් සිත ජලයට දැමූ ගලක්, යකඩ කෑල්ලක් මෙන් එතැනම කිඳා බසී. එය සතියේ ලක්ෂණයයි. මෙය නොඉල්පෙන බව ලෙස දැක්විය හැකි අතර, සතිය හුවා දැක්වීමට හොඳ ලක්ෂණයක් බව කිව හැක.

4.දැක්මෙයි ඍජු බව

    මට මගේ සියලු රුචි අරුචිකම්වලින් ගැලවෙන්න පුළුවන් නම්: මට සියල්ල අලුතින් දකින්න. අලුතින් අහන්න, අලුතින් අත්විඳින්න හැකි වේවි. අපගේ දර්ශනය දූෂිත වන්නේ ඇබ්බැහි නිසාය.

    G. C. Lichtenberg (1742-1799)

    අකුසල් ධර්‍මවල හදිසි ප්‍රහාර ගැන අපි පසුගිය පරිච්ඡේදයේ සාකච්ඡා කළෙමු. මෙවන් වාතාවරණයක සති මාත්‍රය අඛණ්ඩව පැවැත්වීම හරහා නොදැනුවත්වම කෙරෙන අපගේ හදිසි ප්‍රතික්‍රියාවලින් වන නපුර වළක්වා ලීමට හෝ වේගය බාල කිරීමට ඉඩක් ලැබුණොත් අපට නවමු මනසකින් මේ තත්ත්වයට මුහුණ දීමට හැකිවනු ඇත. මේ කියැවෙන පරිදි නොදැනුවත්වම කෙරෙන අපගේ හදිසි ප්‍රතික්‍රියාවලින් තොර වීමට නම්, ආකල්ප විරහිත මනසක් සඳහා ඍජු දැක්මක් අත්‍යවශ්‍යය. එනම්, විෂයට කෙළින්ම මුහුණදීමයි. පළමුවන වතාවට දක්නා දෙයක් මෙන් ආසන්නව මෙන්ම සමීපවද එය නිරීක්ෂණය කිරීමයි.

    පුරුද්දෙහි බලවත් බව

    පෙර දැක්වූ පරිදි පුරුද්ද ඇති කරවන බලපෑම ක්‍ෂණික ප්‍රතික්‍රියා ඉක්මවා සිටී. ක්‍ෂණික ප්‍රතික්‍රියා තාවකාලික විය හැකි මුත් පුරුදු නිසා ඇති වන හානිය ඊට වඩා දුර දිග යයි. යමක් දෙස ඍජුව බැලීමේදී ඒ සඳහා වන මනාප බව හෝ අමනාප බව දනවන ගතිය, බලන්නා හිතාමතා කරන්නක්ම නොවේ. බොහෝ විට එය සිදුවන්නේ පුරුද්දටය. ඒ අනුව, පුරුදු අප මෙහෙයවන්නේ මොකක්දෝ න්‍යාය පත්‍රයකටය. එය තමාගේ අර්ථ සිද්ධිය සලසන්නේද නැතිනම් අනතුරේ හෙළන්නේද යන්න කිව නොහැක. තමාගේ අර්ථ සිද්ධිය හෙවත් අත්ථකුසලය දනවන යහපුරුදු, නිතිපතා හෙවත් සතතයෙන් අභ්‍යාස කරන්නාගේ වාසියට පිහිටයි. තම ක්‍රියා මාර්ගයේ

    (මතු සම්බන්ධයි)

    Share This Article
    Leave a comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *