වප් පෝය වැදගත්කම

cmadurawala
9 Min Read

වප් පොහොය අදයි

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී,දේශාභිමානී පී.චන්ද්‍රරත්න

වප් පොහොය බුදු සිරිතේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ දිනයක් සේම ලංකාවේ බුදු සසුන පිහිටුවීමේදී ද අනුස්මරණීය දිනයකි. එසේම කඨින පිංකමේ අවසන් පොහොයට පෙර යෙදෙන්නේ වප් පොහෝ දිනයයි. අද දහම් ගී විශේෂාංගයෙන් විමසුමට ලක් කෙරෙන්නේ ඉහත සිදුවීම් අරබයා රචිත ගීයක් නොව බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙස හඳුනාගැනීමේ අපූර්ව සංකල්පය අනුව රචිත බොදු බැති ගීතයකි. වප් පොහෝ දිනෙක ලංකාවේ බුදු සසුන ස්ථාපිත වීමේදී ද සිදුවූයේ බුදුන් වහන්සේ සැබෑ ලෙස හඳුනාගෙන එම මාර්ගයට යොමුවීම හෙයින් අද දිනට වක්‍රාකාරයෙන් බැඳීමක් ඇත. විශාරද නන්දා මාලිනිය විසින් ගැයූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රබන්ධයක් වූ “දනිමි හැඳින්නෙමි හිමි සඳුනේ…” අද විමසුමට ලක්කෙරෙන බොදු බැති ගීතයයි.

දනිමි හැඳින්නෙමි හිමි සඳුනේ
ඉරත් ඔබය මට සඳත් ඔබය මට
මවත් ඔබය මට
හිමි සඳුනේ
උනු පනස් යොදුන් සඳ මඩල ඔබයි
කලාමැදිරි කිරි දැරිය මමයි
තුඟු විසිතුරු පරසතු දුමිඳු ඔබයි
කොබෝලීල මල් පැළය මමයි

බණ පලඟේ සිට හද මිගදායේ
දම්සක් පැවතුම් සුතුර දෙසා
සිත් පහන් කරනු මැන සිසිල සදා
පාරමිතා නැණ ගුණ වපුරා

මෙම ගීතයේ ආරම්භය අතිශයින් ප්‍රබලය. ඈත පිටිසර උපාසක අම්මාවරුන්ගේ සිට ආචාර්ය මහාචාර්යවරුන් දක්වාම “බුත්සරණ” කෘතිය එකසේ ජනප්‍රිය බව කිව යුතු නොවේ. එහි එන අංගුලිමාල දමනය අතිශය ජනප්‍රිය අතර එම අඟුල්මල් දමනයත් එහි හමුවන සඳහනකි. ගීය ඇරඹෙන්නේ බුත්සරණෙහි වන්නේ දනිමි හැඳින්නෙමි යනුවෙන් නොව “දතිමි හැඳින්නෙමි” යනුවෙනි.

දතිමි ස්වාමීනි, හැඳින්නෙමි ස්වාමීනි, මහාමායා දේවීන් වහන්සේගේ පුතණුවන් වහන්සේ නුඹ ද? සුද්ධෝදන රජ්ජුරුවන් වහන්සේගේ පුතණුවන් වහන්සේ නුඹ ද? ගැත්තවු කෙරෙහි කළ කරුණායෙන් ද? දිවි පමණින් සරණ වන්මි. ඇය නිවී ගියේය. සිත සැනහී ගියේ කළ පව් ගෙවී ගියේ. ගැත්තවුට කරුණාකොට වදාළ මැනැවැ’යි…. (බුත්සරණ – 63 පිටුව) ගීතයට පදනම් වූයේ සැදැහැති උපාසිකාවන්ගේ මුවින් පිටවන වාග් මාලාවකි. එහෙත් එයට මූලාශ්‍රය වූ “දතිමි හැඳින්නෙමි….” ආදී පාඨය පිටවන්නේ දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිතය සිඳලූ, ගුරු පූජාවට යැයි මිනිස් මහපට ඇඟිලි කපාගත් දාමරිකයකුගේ මුවිනි. බුත්සරණ කතුවරයා, අංගුලිමාල නම් මුළාවට පත්වූ දක්ෂ ශිෂ්‍යාගේ සැබෑ “අහිංසක” චරිතය මැනවින් හඳුනාගෙන පෙරකී පාඨය ඔහුගේ මුවට නංවා ඇත. එම පාඨයේ ගැබ් වූ අතිශය සංවේදී මානුෂික ගුණය නිසාම එය බෞද්ධ සාහිත්‍යයේ ද අතිශයින් ජනප්‍රිය වී ඇත. මහාචාර්ය ආරියරත්නයන් එම පණගැහෙන පාඨයේ කොටසක් සිය ගීතයේ ආරම්භයට යොදා ගනිමින් එය උවැසියකගේ මුවට නංවා ඇත.

කවර තරාතිරමක අයකුට වුවද බුදු පිහිට ලැබෙන්නේ නම් එය ඔහුට හෝ ඇයට තුන්ලොව ඇති මහත්ම සැපත වේ. අංගුලිමාල හට එම මහා කරුණාව නිසා ඇස නිවී ගියේ සිත සැනහී ගියේ කළ පව් ගෙවී ගියේ ලෙසින් දැනීගිය සැනසීම ගීතයෙහි උවැසියගේ මුවින් පිටවන්නේ මෙලොව ඉර හඳ යන වස්තු දෙකම බුදුන් වහන්සේ බවයි. ඉර හඳ නොමැති නම් ලෝකයක් පැවතීමට නොහැකිය. ඒ අනුව උවැසියගේ ජීවිත පැවැත්ම ද බුදුන් වහන්සේ බව ඇයගේ මුවින් සිත් වේ.

ගීතයෙහි ආරම්භයෙහිම දැක්වෙන පරිදි තමාගේ වන්දනාවට පාත්‍රවන උත්තමයකු හිරු – සඳු ලෙස දැක්වීමට ඔබ්බෙන් වෙනත් අගය කිරීමක් තිබිය නොහැකිය. බුදුන් වහන්සේ හිරු සඳුට උපමා කරමින් “මුවදෙව්දාවත” නම් ඉපැරණි සාහිත්‍ය කෘතිය ද ආරම්භ කෙරේ.

නුවණ හී සයුරා
විනේ කුමුදු නිසයුරා
කෙසෙල් තුසර දිවයුරා
බවදුක් ළැවැග අයුරා

නුවණ නමැති නදීන්ට හෙවත් ගංගාවන්ට සාගරය වූ විනේය ජනයා හෙවත් හික්මවීමට සුදුසු ජනයා නමැති කුමුදුයන්නට නිශාකරයා හෙවත් චන්ද්‍රයා වූ කෙලෙස් නමැති තුෂාරයට හෙවත් පින්නට දිවාකරයා හෙවත් සූර්යයා වූ භවයෙහි එනම් සංසාරයෙහි දුක් නමැති වනයට ගින්නක් වැනි වූ (මුවදෙව්දාවත – සිරි තිලකසිරි – සංස්:)

විදග්ධ සාහිත්‍යකරුවන් අතින් ප්‍රබන්ධවල පුරෝගාමී සාහිත්‍ය කෘතිවල බලපෑම නිරන්තරයෙන් දැකිය හැකිය. ගීතයෙහි මුල් අන්තරා කොටසෙහි එන “උනු පනස් යොදුන් සඳමඩල ඔබයි” යන පදයෙහි “උනු පනස් යොදුන්” යන්න එවැන්නකි. මෙහිදී උනු යන යෙදුම වර්තමාන “ඌන” යන්න දැක්වීමට යොදාගෙන ඇති වචනයකි. ඌන යන්නෙහි අර්ථය අඩු හෝ අසම්පූර්ණ යන්නය. “උනු” යන යෙදුම ධර්‍මප්‍රදීපිකාවෙහි මෙසේ සඳහන් වේ.

“මේ දේශනා හැමකල මැ මෙසේ පවතී ද යත්? ඉදින් බුදුහු ග්ලානදුර්‍වල වුහු නම් ශ්‍රාවකයෝ සතරදෙනෙක් බුදුන් මඤවාරෝපණය කොට ග්‍රාමනිගම රාජධානියැ වර්‍ෂ ශතයක් පරිහරණය කෙරෙත් නම් බුදුන්ගේ දේශනා උනු නැත…” (ධර්‍මප්‍රදීපිකාව – 18 පිටුව)

මෙම උනු යන යෙදුම කාව්‍යශේඛරයෙහි ද එයි.

බුදු දහම අටළො ස
සැලකුම් නැණැති උනුවි ස
වසම් දිටුවන් ව ස
පසක් කරගත් පැරැම් සමති ස

(කාව්‍යශේඛරය – 85 පද්‍යය)

මෙම පද්‍යයෙහි උනු යනුවෙන් ඌන යන අරුත දක්වා උනුවිස හෙවත් විස්සට අඩු හෙවත් 19 ආකාරයක් වූ බුදුරදුන්ගේ ප්‍රත්‍යවේක්ෂා ඥානයන් දක්වා ඇත. ගීතයෙහි ද සඳමඩලේ ප්‍රමාණය පනස් යොදුනකට අඩුවූ යන්නෙන් දක්වා එතරම් විශාල වූ චන්ද්‍ර මංඩලයේ දීප්තිය හමුවේ තමා කලාමැදිරි දැරියක් තරම් ක්ෂුද්‍ර බව පවසයි. තුඟු විසිතුරු පරසතු දුමිඳු හෙවත් මහත් වූ පරසතු මහා බෝරුක හමුවේ තමා කුඩා කොබෝලීල මල් පැළයක් බව පැවසීම ද කරයි. දුමිඳු යන්න සංස්කෘත ද්‍රැමඉන්ද්‍ර හෙවත් ශාකවලට අධිපති රජ යන්නෙහි තත්සම යෙදුමයි. ශාකවලට රජ වූයේ බෝ රුක ය. ඇසතු රුක ශාකයන්ට රජවූයේ එහි පාමුල සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වය ලැබූ හෙයිනි. එතැන් පටන් එය ද්‍රැමඉන්ද්‍ර හෙවත් දුමිඳු නම ලැබීය. ගීතයෙහි දැක්වෙන්නේ සිරිමාබෝ රාජයා නොව පරසතු දුමිඳු පිළිබඳව ය. මීට හේතුව පරසතු ගසෙහි දැවැන්ත බව පිළිබඳව සම්භාව්‍ය සාහිත්‍යයෙහි සඳහන් යෙදුම් විය හැකිය. පරසතු රුක ඇත්තේ දෙව්ලොව වීම ද විශේෂයකි. පරසතු රුකෙහි විශාලත්වය “පරසතු රුක කඳ ද පංච මහා ශාඛා ද දිග පනස් යොදුනැ, කඳ වටා පසළොස් යොදුනි. යනුවෙන් ධර්‍මප්‍රදීපිකාවෙහි සඳහන්ය. (ධර්‍මප්‍රදීපිකාව 46 පිටුව)

සුනිල් ආරියරත්නයන් උවැසියගේ මුවට නංවන්නේ එවන් විසල් පරසතු රුක හමුවේ තමා කුඩා ශාකයක් බවය. මහගම සේකරයන් ද

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත….

යනුවෙන් යෝධ බුද්ධකාය හමුවේ තමාගේ කුඩා බව සඳහන් කිරීම ද මෙහිදී නිතැතින්ම සිහියට නැඟේ. ගීතයේ දෙවන අන්තරා කොටස ද විශේෂ ය. එහිදී උවැසියගේ කාරුණික ඉල්ලීමක් සඳහන්ය. සිත් පහන් පිණිස ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවට ආරාධනාවකි.

එම සූත්‍ර දේශනාව පවත්වන ස්ථානය ඇයටම විශේෂ වූවකි. සියලුදෙනා දන්නා පරිදි දම්සක්පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ ඉසිපතන මිගදායේ වැඩ සිටිමිනි. ගීතයෙහි දැක්වෙන්නේ හදවත නමැති මිගදායේ ධර්‍ම දේශනා බද්ධ පර්යංකයෙන් හෙවත් බණ පලඟේ සිට එසේ සිදුකරන ලෙස ය. උවැසියට යළි යළිත් ඇසීමට අවශ්‍ය සිත් පහන් කිරීමට සමත් දේශනාවය. එනම් සියලු බැඳීම්වලින් නිදහස්වීමේ සැනසීමය. ගීතයෙහි දැක්වෙන ලෙස පාරමිතා පරණය කර අවබෝධ කරගත් උත්තරීතර ඵලය ද එය වේ. මෙතරම් සැදැහැ සිතින් ශ්‍රවණය කිරීමට රුචි දම්සක් සූත්‍රය කෙබඳු ද?

“ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛො මරණම්පි දුක්ඛං අපිපියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි

විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සබ්බකිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා…

(මහණෙනි, මේ වූ කලී දුක්ඛාර්‍ය්‍ය සත්‍යයෙහි ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධිත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් වේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නොලැබීමත් දුක් ය. සැකවින් පඤ්ච උපාදානස්කන්ධයෝ දුක් ය.) සැප සහිත ලෝකයෙහි යථාර්ථය නම් මෙය නොවේ ද? ගීතයේ දැක්වෙන උවැසිය ද සූත්‍රයෙහි සඳහන් ලෙසින්ම සකලවිධ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෙම්බත් වී සිටින අයකු විය යුතුය. එහෙත් ඇය තවමත් දුක්විදිනු ලබන්නේ බුදුන් දවස

ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රවණය කිරීමට නොහැකි වූ බැවිනි. එබැවින් ඇයට විශේෂී වූ ප්‍රාර්ථනාවක් කරන්නීය. එනම් මිගදාය සිය හදවත වී එහි පලක් (පලඟක්) බැඳගෙන වැඩ සිටින බුදුන්ගෙන් තමාට දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමට අවශ්‍ය බව ය. ඇගේ සිත පහන් වන්නේත් සිසිල සදන්නේත් එවිට ය. මෙහිදී විශේෂත්වය නම් ඇය එම ප්‍රාර්ථනය කරනු ලබන්නේ කිසිදු ධර්ම මාර්ගයක් පිළිනොපැද උකටලීව හිඳ නොවේ. ගීතයෙහි අවසානයෙහි සඳහන් පරිදි පාරමිතා ගුණ වැපිරීමෙනි. කිසියම් මනුෂ්‍යයකුට සාංසාරික විමුක්තිය අවශ්‍ය වේ ද හේ ධර්මයෙහි දැක්වෙන මාර්ගයේ නිවැරදිව ගමන් කළ යුතුය. එහිදී පූරණය කරනු ලබන හුරුව හෙවත් පුහුණුව වන්නේ පාරමිතාවන්ය. උවැසිය එය මැනැවින් අවබෝධ කර සිය උතුම් ප්‍රාර්ථනය සිදුකරයි.

මෙම ගීයෙන් සියලු බෞද්ධයන්ට අර්ථවත් පණිවුඩයක් ලබාදී ඇත. ඒ සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් බෞද්ධ සාහිත්‍යයේ හා බෞද්ධ දර්ශනයේ සියුම් තැන් මැනැවින් ග්‍රහණය කර ගනිමින් ඒවා අතිශය සරල බස් වහරකින් ශ්‍රාවකයාට දායාද කර ඇත. එම උතුම් පණිවුඩයට ඔබින ගැඹුරු හා ශ්‍රද්ධා සම්පන්න ස්වරයකින් ගයා අප හදවත් තුළ යළි යළිත් නින්නාද වී ඇසීමට සැලැස්වීම නන්දා මාලිනිය විසින් සිදුකර ඇති සද්කාර්යයකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *