උඳුවප් පෝය
මාපලගම සිරිසෝමිස්සර නා හිමිපානන්
ශ්‍රී සංඝමිත්තා මහරහත් මෙහෙණිය ගැන, ලංකා මෙහෙණ සසුන ගැන, ජයසිරි බෝහිමි ගැන, අනුරාධපුරය ගැන, සිංහල කාන්තා ප්‍රබෝධය ගැන මෙනෙහි කරන හැම බෞද්ධයන් තුළම පහළ වනුයේ මහා ප්‍රීතියෙකි. නොමැරෙන සැනසිල්ලෙකි. නොසිඳෙන අධිෂ්ඨානයෙකි. සිංහල වනිතා පක්ෂය පිළිබඳ පැවැති හැම දුර්මතයන් ම බිඳහැර දමා හෙළ වනිතාවන්ගේ හදවත් තුළ නොපරවන සේ හැඟුම් මල් පුබුදුවා තබා අමරණීය නමක් ලංකා ශාසන ඉතිහාසයට ඇතුළත් කොට ලොව්තුරා පහන් ටැඹේ එළියෙන් නිවන් පුරයට පිවිසෙන විමුක්ති මාර්ගය එළිපෙහෙළි කොට ලංකා මෙහෙණි සසුන පිහිටුවා වදාළ ශ්‍රී සංඝමිත්තා මහරහත් උත්තමාවගේ ශ්‍රී නාමයට නොමැරෙන නොසිඳෙන බැති කුසුම් පුදා කළ ගුණ සැලකීම විශේෂයෙන් සිංහල කාන්තාවන්ගේත් අවිශේෂයෙන් සිංහල බෞද්ධයන්ගේත් පරමෝදාර ශ්‍රේෂ්ඨ යුතුකමකි.
එදා මිහින්තලා කන්දෙන් පැනනැඟී ලංකාවේ දස අතට විහිදී ගලාගිය ශාන්තිනායක අමා මෑණියන් වහන්සේගේ නිර්මල ධර්ම ගංගාව නිසා සියලුම සිංහලයෝ බෞද්ධයන් බවට පත් වූහ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් අඳුරු වී, පැවැති මේ දිවයින උපබුදු මිහිඳු මහ රහත් මාහිමියන් විසින් සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී. ඒ සද්ධර්මාමෘතය පානය කළ සිංහලයෝ බුදු සසුන්හි පැවිදි වන්නට වූහ. එහෙත් මිහිඳු මාහිමියන්ගෙන් දහම් අසා ආර්ය ශ්‍රාවිකාවන් බවට පත්ව සිටි අනුලාවන් ප්‍රධාන සිංහල කාන්තා පක්ෂයට මහණ වන්නට ඉඩක් නොලැබිණි. මිහිඳු මාහිමියන්ගේ අනුදැනීම ඇතිව දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් සංඝමිත්තා ස්ථවිරාවන් ප්‍රධාන භික්ෂුණී සංඝයා ලංකාවට වැඩම කොට අනුලාවන් ප්‍රධාන සෝවාන් ඵලයට පත්ව සිටි ස්ත්‍රී සමූහයා මහණ කොට ලංකා මෙහෙණ සසුන පිහිටුවන ලදී. සිංහල කාන්තාවන් හට ඒතාක් වැසී තිබුණු ආගමික හා ජාතික නිදහස ලබාදෙමින් ලෞකික වූත් ලෝකෝත්තර වූත් විමුක්තියේ හැම දියුණුවක් ම හෙළිකර දුන්හ. සිංහල කාන්තාවන් ජාත්‍යන්තර කීර්තියට පවා පත් කරවමින් ලොව්තුරා ගුණදම් වගාවේ හිමිකාරියන් බවට පත් කළ හෙළ කතුන්ගේ නළලත රන් තිලකයක් බඳු වූ සිරි සඟමිත් මහ රහත් මෙහෙණියන්ගේ විසිතුරු චරිතාපදානය සිහි කිරීම මෙම ඓතිහාසික උඳුවප් පුනු පොහෝ දිනයෙහි ඉතාම උචිත වන්නේය. උදාර අධිරාජයකුගේ දයාබර දියණියක වූ එතුමිය රජමාළිගයත් එහි සියලු ඓශ්වර්යයත් අතහැර දමා ආත්ම පරිත්‍යාගයෙන් යුතුව සිදු කළ ශාසනික සංග්‍රහය සදානුස්මරණීය සිද්ධියෙකි. විමුක්ති රසයෙන් ලංකා මාතාව පින වූ ඒ උත්තමාවගේ අවිනශ්වර කීර්ති රාශියට අනුපමේය මෙහෙයට කෘතගුණ සැලකීම හැම සිංහල කාන්තාවකගේ ම පරම යුතුකමෙකි.
ළදරු විය
සංඝමිත්තා උත්තමාවගේ දෙගුරුන් පිළිබඳ වූ තොරතුරු මහින්ද පුරා වෘත්තය දැක්වීමෙහිදී විස්තර කොට ඇත. නැවතත් එය සඳහන් කිරීම අනවශ්‍යය. එබැවින් එතුමියගේ බාල කාලය පිළිබඳව අවශ්‍යයෙන් දැනගත යුතු විශේෂයෙන් අපේ බෞද්ධ බාලිකාවන් විසින් ආදර භක්තියෙන් යුක්තව සිහිපත් කළ යුතු කරුණු රාශියක් ඇත. සකල ජම්බුද්වීපය ම ඒකඡත්‍ර නැංවූ ශ්‍රේෂ්ඨ අධිරාජයකුගේ දියණියක වූ සංඝමිත්තා කුමරියගේ බාලිකා ජීවිතය හැම අතින්ම ආදර්ශ සම්පන්නය. මනා රූපසම්පත්තියත්, ලලනා ලාලිත්‍යයත්, කාන්තිමත් ප්‍රසාදාවහ දර්ශනයත්, එතුමියට ජන්මයෙන් ම ලැබුණු දායාදයෝ වූහ. එහෙත් ඇය කිසිවිටෙකවත් එයින් උද්දාමවත් නොවූවාය. ඇයගේ හැම ඉරියව් පැවතුම් ප්‍රසාද ජනකය. ආචාර සම්පත්තිය ශෝභන දර්ශනය හා පවිත්‍ර චරිතය හේතුකොට ගෙන සංඝමිත්තා ළදරු කුමරිය දුටුවන්ගේ නෙත් සිත් ඇද ගැනීමෙහි එකතින්ම සමත් වූවාය. ඉගෙන ගත යුතු අවස්ථාවෙහි මැනැවින් ඉගෙනීමෙහි යෙදීමත් ක්‍රීඩා කළ යුතු අවස්ථාවෙහි ක්‍රීඩාවන්හි යෙදීමත්, විවේකීව සිටිය යුතු අවස්ථාවෙහි හුදෙකලාව විවේක සුවය විඳීමත්, විනෝද විය යුතු අවස්ථාවෙහි විනෝදවත් වීමත් ඇයගේ දෛනික ජීවිතයේ දක්නට ලැබුණු ගුණාංගයෝයි. කුඩා කල සිටම පොත පතට මෙන්ම ආගම ධර්මයට ද ප්‍රිය කළ සංඝමිත්තා කුමරිය මුල සිට නික්ලේශී බෞද්ධ කාන්තාවන්ගේ උදාර චරිතාපදානයන් කියවීමට විශේෂයෙන් සැලකිලිමත් වූවාය. මහා ප්‍රජාපතී ගෝතමී, යසෝධරා, ඛේමා, උප්පලවන්නා වැනි භික්ෂුණී ශාසනය ශෝභාවත් කළ උත්තමාවන්ගේ චරිත කතා කියවීමට ඇය නිතර ආසා කළාය. වයස අවුරුදු හත අට පමණ වනවිට පවා ඇය තුළ තිබුණු බෞද්ධ ප්‍රබෝධය දකින ඕනෑම කෙනකුට වුව ද අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු ඇති කර ගැනීමට පහසුවෙන්ම පිළිවන් විය.
තරුණ විය.
දිනෙන් දින ගුණ නුවණින් මෙන්ම මනා රූසම්පතින් ද වැඩෙන සංඝමිත්තා කුමරිය ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තරුණ වියට පත් වූවාය. රජකුමරියක වශයෙන් පුහුණු කළ යුතු යම් ශිල්ප ශාස්ත්‍රාදියක් වී නම් ඇය එය මැනවින් ඉගෙන ගත්තාය. එසේම ගෘහණියක වශයෙන් දත යුතු ගෘහ සංවිධානය පිළිබඳ යම් වගකීමක් ඇත්නම් ඇය ඒ කාර්යයන් පිළිබඳව ද මනා පුහුණුවක් ලැබුවාය. ඇයට ජන්ම දායාදයක් වශයෙන් ලැබුණු රූප ශ්‍රී සම්පත්තිය තරුණ වියේදී තව තවත් බැබළෙන්නට විය. එහෙත් එය එතුමිය කිසිවිටකවත් අභිමානයට හෝ මහේශාක්‍ය භාවයට හෝ හේතුවක් වශයෙන් නොසැලකුවාය. නිහතමානී බවත් නිරහංකාර පැවැත්මත් සමානාත්මතාවත් චාම් ජීවිත පැවැත්මත් ඇයගේ ජීවිතය තුළින් දක්නට ලැබිණ. භද්‍ර යෞවනයෙන් පරිපූර්ණ සංඝමිත්තා රාජදුහිතෘව ධර්මාශෝක දම්පතීන්ගේ මනදොළ සපුරවමින් සොළොස් වියට පා තැබුවාය.

විවාහ ජීවිතය
කුඩා කල පටන්ම විරාගික සංකල්පනාවන්ගෙන් යුතුව වැඩුණු සංඝමිත්තා කුමරිය සොළොස් වියට පිවිසියත් විවාහ ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් නොවීය. එහෙත් හැම මවුපිය කෙනකුන් විසින් ම කළ යුතු ශ්‍රේෂ්ඨ යුතුකමක් නම් සුදුසු අවස්ථාවෙහි දී ස්වකීය දූ දරුවන් ආවාහ විවාහ ජීවිතවලට ඇතුළත් කිරීමය. ඒ දෙගුරුන් සතු යුතුකම සංඝමිත්තා කුමරියගේ දෙගුරුන් වූ ධර්මාශෝක දම්පතින් විසින් ද ඉටු කළ යුතුව තිබුණි. ධර්මාශෝක දම්පතීහු ඒ පිළිබඳ සාකච්ඡාවක යෙදුණාහ. සිය දියණියට සරිලන සැමියකු සෙවීමෙහි ඔවුහු සැලකිලිමත් වූහ. ධර්මාශෝක දම්පතිනට ඒ පිළිබඳ අමුතු ප්‍රශ්නයක් පැන නොනැඟුණි. සංඝමිත්තා කුමරිය අමුතු ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නොසිටියාය. මවුපියන් හට එය ලොකු පහසුවක් විය. ශුභ මුහුර්තාදිය සලකා බලා රාජකීය චරිත්‍රානුකූලව ‘අග්ගිබ්‍රහ්ම’ නම් කුමාරයකු හට සංඝමිත්තා දූ කුමරිය සරණ පාවා දුන්හ. මේ රාජකීය විවාහ ජීවිතය හැම අතින්ම ආදර්ශ සම්පන්නව ගෙන යන්නට සංඝමිත්තා කුමරිය දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ක්‍රියා කළාය. සිය පති දේවයාට දැක්විය යුතු යුතුකම් කොටස ඇය ඔහුගේ නියම සහකාරියක වශයෙන් මැනවින් ඉටු කළාය. විවාහ ජීවිතය සාර්ථකවත් වනුයේ පති-පත්නීන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසයත් පති-පත්නි භක්තියත් මතය. ඒ අතින් අග්ගිබ්‍රහ්ම කුමාරයාත් සංඝමිත්තා කුමරියත් ආදර්ශ සම්පන්නයහ. සමගියෙන් හා සමාදානයෙන් ගෙන ගිය ඔවුන්ගේ විවාහ ජීවිතය අවශේෂ ලෝකයාට ද ආදර්ශයට ගත හැකි විය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන නකුලමාතා – නකුලපිතා යන දම්පතීන් මෙන් සංඝමිත්තා කුමරිය සහ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් ඉතාම වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කළහ. ගෘහ ජීවිතයේ උතුම් පරමාර්ථය වනුයේ වංශ පරම්පරාව නොසිඳ පැවැත්මට සමත් දරු සම්පත්තියයි. මේ රාජකීය දම්පතීන්ගේත් ඒ මුඛ්‍ය පරමාර්ථය සර්ව ප්‍රකාරයෙන් සාර්ථකවත් බවට පත් කරලීමට සමත් පුත් රුවනක් ඔවුනට ලැබුණේය. මවුපියන්ගේ සිත් සතන් අතිශයින් ප්‍රසන්න බවට පත්කරවමින් උපන් මේ කුඩා කුමරුවාට සුමන යන ප්‍රියකරු නාමය තැබූහ. රාජකීයයන්ගේ දැඩි ප්‍රේම සම්බන්ධයත් ගෘහවාසයත් ස්ථිර බවට පත් කරවන ප්‍රධාන මාර්ගයක් වශයෙන් මේ පුත්‍ර ලාභය සඳහන් කළ හැකිය. එහෙත් මේ දම්පතීන්ගේ ජීවිත තුළින් දර්ශනය වූයේ එයට හාත්පසින්ම විරුද්ධ වැඩපිළිවෙළකි.
මේ කාලය වනවිට අශෝක රජතුමාගේ අභිෂේකයෙන් සිවුවන වස සම්පූර්ණ විය. එතුමා කාලිංග යුද්ධයෙන් පසුව චිත්ත වේදනාවෙන් සිටින විට සත් හැවිරිදි න්‍යග්‍රෝධ සාමණේරයන්ගේ දර්ශනයෙන් බෞද්ධයෙක් විය. බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර පරිත්‍යාගයන්හි යෙදුණේය. ස්වකීය රාජ්‍ය තන්ත්‍රයේ මෙන්ම ස්වකීය ජීවිතයේත් විශාලතම පරිවර්තනයක් නොබෝ කලෙකින් ඇති විය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කළ හැකි හැම සේවයක්ම නොඅඩුව ඉටු කළේය. ලාභ ලෝභ ලබා ගැනීමෙහි අපේක්ෂාවෙන් බුදු සසුනට හොර රහසේ ඇතුළු වී ශ්‍රමණ වෙස්ගෙන සිටි විවිධ තීර්ථකයන් සසුනෙන් ඉවත් කරලීමට මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එතුමා විසින් ධර්ම සංගායනාවක් කරවන ලදී. ශාසනය පිරිසිදු වීමෙන් පසු නැවතත් බැබළෙන්නට විය. ලෝකයේ විවිධ රාජ්‍යයන් වෙත ධර්ම දූතයන් යැවීමට ද කටයුතු සංවිධානය කළේය. නව ශාසන සංශෝධනයෙන් පසු බුදු සසුන්හි නොයෙක් තරාතිරම්වල අය පැවිදි වන්නට වූහ. උපරාජ පදවිය අතහැර දමා ධර්මාශෝක අධිරාජයාගේ සහෝදර තිස්ස කුමාරයාණෝ එතුමාගෙන් අවසර ගෙන සසුන් ගත වූහ. එතුමා සමග සසුන්ගත වූ ජන සංඛ්‍යාව ඉතා විශාලයහ. යුවරජතුමාගේ පැවිදි වීමෙන් පසු සංඝමිත්තා කුමරියගෙන් අනුමැතිය ලැබ අග්ගිබ්‍රහ්ම කුමාරයාද සසුන් ගත විය. සිය පති දේවයන්ගේ පැවිදිවීම පිළිබඳව සංඝමිත්තා කුමරිය තුළ අමනාපයක් නොවීය. ඇය ඔහුගේ උදාර අධ්‍යාශය අවංක හෘදයෙන් ම අනුමත කළාය.
නොබෝ කලෙකින් සංඝමිත්තා කුමරියගේ දයාබර පුතණුවන් වූ සුමන කුමාරයාත් සත් හැවිරිදි වියට පිවිසෙනවාත් සමගම සසුන් පැවිද්ද ලැබීය. අනූහය කෝටියක් ධනය වියදම් කොට සුවාසු දහසක් ධර්ම ස්කන්ධයට උපහාර වශයෙන් සුවාසූ දහසක් වෙහෙර විහාර කොටත් හිමි නොවූ සාසන බන්ධුත්වයට සිය පියාණන් වහන්සේ පත් කරවනු පිණිස මහින්ද කුමාරයාණෝ බුදු සසුන්හි පැවිදි බව ලැබූහ.

