සමහර පිරිස් ධර්මයෙහි හැසිරීමට උකටලී වන්නේ නිදහසට විවිධ හේතු ගෙනහැර දක්වමිනි. සමහරුන්ට බාධාව වී තිබෙන්නේ රෝගී භාවය ය. තවත් සමහරෙකුට අතමිට සරු නැතිකම ය. තවත් කෙනෙකු කාලවේලාවක් නැතැ යි මැසිවිලි නඟනු ඇත.
මෙසේ පවසන්නෝ, සිය එදිනෙදා ජීවිතයේ දී, එවන් බාධක මැද පවා, කිසිදු පිරිවැයක් නො දරා වුව, ධර්මයෙහි හැසිරීමට, පින් රැස් කරගැනීමට, කෙතරම් ස්වර්ණමය අවස්ථා තමන් හමුවේ උදා වන්නේ ද, ඒවා නිරපරාදේ මඟහැරගන්නේ ද යන්න ගැන අවධානයෙන් නො සිටිති.
සිහිකල්පනාවක් ඇත්තේ ම නැති විටක හැර අන් සැම විටක ම අප ඉදිරියේ අවස්ථා උදා වෙයි. අපේ ඇරයුමකින්, පරිශ්‍රමයකින් තොර වත් ඒවා අප හමුවේ පෙනී සිටියි. විටෙක මේවා අප නරකයට ඇද දමන අවස්ථා වුවත් තවත් විටෙක සුගතියට මඟ කියන අවස්ථා ය.
නිදසුනක් ලෙස අපේ හුස්ම රැල්ල පමණක් සලකමු. හුස්ම රැල්ල ගැන අවධානයෙන් සිටීම සිහිය පිහිටුවාගැනීමට නිර්දේශිත උසස් අභ්‍යාසයකි. සිහිය දියුණු වීම යනු ම දහමෙහි හැසිරීමකි. (එය වැරදි කටයුත්තකට නො යොදන්නේ නම්). අඩු තරමින්, දහමෙහි හැසිරීම පිණිස සවිමත් අත්තිවාරමක් ගොඩනැඟීමකි. රෝගී භාවයකින් පසු වුවත්, අතමිට මුදල්හදල් නො ගැවසුණත්, කාලවේලාව මඳ වුවත් ආශ්වාස ප්‍රශ්වාසය නමැති යන්ත්‍රණය නතර වන්නේ නැත. ඉදින්, ඒ කෙරෙහි දවසකට විනාඩියක් වත් අවධානයෙන් පසු වීමට නොහැකි යැ යි යමකු පවසන්නේ නම් ඒ ඔවුන්ගේ නො සැලකිලිමත් බව, නුවුවමනාව විනා අනෙකක් නො වේ. එය කළ නොහැකි යැ යි හෝ කිරීමට අසීරු යැ යි කෙනෙකුට හැඟී යන්නේ නම් ඒ ක්‍රමවත් හා විධිමත් දැනුමක්, පුහුණුවක් නො ලැබීම හේතුවෙන් මිස එය නො කළ හැක්කක් නිසා නො වේ.
ඒ එක් නිදසුනක් පමණි. ආහාර අනුභව කිරීමෙන් පසු පිඟාන සෝදා විසි කරන ඉඳුල් වතුර පවා කෙනකුට සිත පහදවාගෙන මහා පිනක් සිදු කරගැනීමේ අවස්ථාවක් කරගත හැකි බව අපි අසා ඇත්තෙමු. ඒ, මේ ඉඳුල් පරිසරයේ වෙසෙන කුදු මහත් සත්ත්වයන්ට ආහාරයක් වේ වා යි තුටු සිතින් පැතීමෙනි. එහි දී අවශ්‍ය වන්නේ ද, තමන්ට (හා අන්‍යයන්ට) මෙයින් සිදු වන්නේ යහපතක් බවට මනා සිහියකින් ඒ කටයුත්ත සිදු කිරීමයි.
එහෙත් මුලින් සඳහන් කළ ආකාරයේ උදවිය සිතන්නේ ම ‘ලොකු ලොකු’ පින්කම් කරගන්නට බැරි වීම ගැන ය. ඒ ගැන පමණක් සිතමින් තැවෙන ඔවුනට කෙතරම් ‘කුඩා කුඩා’ එහෙත් ලැබෙන ආනිශංස අතින් කිසිසේත් කුඩා නැති අවස්ථා ප්‍රමාණයක් තමන් මඟහැරගන්නේ ද යන්න ගැන වැටහීමක් නැත.
කවර ආකාරයේ බාධාවන් තිබුණේ වුව ද ගන්නා හුස්ම රැල්ලක් පාසා, ඔසොවන පියවරක් පාසා, තෙපලන වදනක් පාසා, සිතන සිතිවිලි මාත්‍රයක් පාසා පිනට දහමට කෙතරම් අවස්ථා ප්‍රමාණයක් අප හමුවේ තිබෙන්නේ දැ යි බලන්නෟ නොපමා ව ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නෟ

