සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(නව වැනි කොටස)
ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
අභාවිත මනසේ ලක්ෂණ වන අතිධාවනය, අපරීක්ෂාකාරී බව හා ප්‍රමාදය යනාදියට එදිරිව සති මාත්‍රය පුරුදු කිරීම නිසා මේ අතිධාවනාදී ස්වභාවයන් හීන කිරීමට මග පෑදේ. නූතන ජීවිතයේ අවශ්‍යතාවලට අනුව අපේ දෛනික කටයුතු අතරට එවැනි විරාමයක් ලබාගැනීම අපේක්ෂා කළ නොහැක්කක් ලෙස පෙනේ. එහෙත් නූතන ජීවිතයේ කලබලකාරී වේගය නිසා හටගන්නා නපුරු විපාකවලට සුදුසු පිළියමක් වශයෙන් විවේක අවස්ථාවලදී හෝ සතිපට්ඨානය වඩන අවස්ථාවේදී මෙසේ නැවතිල්ලේ වැඩ කිරීම වඩාත් අවශ්‍ය වන්නේය. එය සන්සුන් බව, කාර්යක්ෂම බව හා දෛනික කටයුතු පිළිබඳ දක්ෂතාව යන ලෞකික ප්‍රයෝජන ලබා දෙන්නේය.
භාවනාවේ දියුණුව සඳහා අවශ්‍ය කරන අප්‍රමාදය, ඉන්ද්රිය සංවරය හා හිතේ සමථය සඳහා මෙසේ නැවතිල්ලේ වැඩ කිරීමට පුහුණු කිරීම අත්‍යවශ්‍යය. පූර්ණකාලීන භාවනා ජීවිතයකට මෙය වඩාත් අදාළය. මේ සම්බන්ධව සතිපට්ඨාන අටුවාවේ දැක්වෙන ප්‍රතිඵලය නම්, යෝගාවචරයාගේ ගිළිහී ගිය සමාධිය නැවත උපයා ගැනීමේදී ඇති පහසුවයි. එහි දැක්වෙන පරිදි එක්තරා භික්ෂුවක් අසිහියෙන් කලබලෙන් තම අත නවන්නට යෙදුණි. ඒ ප්‍රමාදය වටහාගත් සැණින් නැවතත් අත තිබූ තැනට ගෙන ගොස් සතියෙන් යුක්තව එය නැවතත් නැවුවේය. මෙය සතිපට්ඨානයේ දැක්වෙන සම්පජඤ්ඤ භාවනාවට අදාළ ඉරියාපථ සන්ධි පිළිබඳ අවධානය විය හැක. සතිපට්ඨාන සූත්‍රයේ මෙය දැක්වෙන්නේ “සමිඤ්ජිතෙ පසාරිතෙ සමප්ජානකාරී හොති” වශයෙනි.
ඉහළට දියුණු වන භාවනා අභ්‍යාසවලදී නැවතිල්ලේ කටයුතු කිරීම විපස්සනා ඥාන පහළ වීමටත් අනිත්‍යතාව හා අනාත්මතාව පසක් කිරීමටත් ඉමහත් රුකුලක් වන්නේය. කලබලකාරී වාතාවරණයක ඝන සඤ්ඤාව හා ආත්ම දෘෂ්ටිය උපදවන්නේ අධික වේගයයි. එය එසේම මායාකාරීය. මේ නිසා මෙහි ඇති නපුර අඩු කිරීම සඳහා සතිපට්ඨාන භාවනාවේදී සමනැවතිල්ලේ කටයුතු කිරීමට උපදෙස් දෙනු ලැබේ. ඉහළට දියුණු වන විපස්සනාවේදී ඇවිදීම, නැවීම, දිගහැරීම ආදී කටයුතුවලදී ඒවායේ මුල, මැද හා අග වශයෙන් බලමින් සතියෙන් කිරීමට උපදෙස් දෙනු ලබන්නේ ත්රිලක්ෂණ වශයෙන් විපස්සනාව වැඩීමට රුකුලක් වශයෙනි. මෙසේ බැලීමේදී ඒ ඒ ක්‍රියාවල ඉස්මතු වන ධර්මතා ඉබේම ඇතිව නැතිවී යන බවද ඒ ඒ අවස්ථාවල ඇතිවන ඒ ඒ ගති අනෙක් අවස්ථාව තෙක් නොසිට එතැන එතැනම බිඳිබිඳී යන බවද දැකීම යෝගාවචරයා තුළ අති බලගතු හැඟීමක් පහළ කරවන්නේය.
තවද යෝගාවචරයාගේ මේ අභ්‍යාසය නිසා ඔහුගේ ක්‍රියා, කථා සහ සිතිවිලිවල තැන්පත් ශාන්ත ස්වභාවයන් පහළ වන්නේය. මේ අනුව යෝගාවචරයාට ඒ ඒ ක්රියාවේ, සිතිවිල්ලේ හා වේදනාවේ ස්වාභාවික ගෙවී යෑම හෙවත් නිරෝධය දැක ගැනීමට තරම් අවසරයක් ලැබේ. සතිය එවිට නිසි නින්දේ සංසිද්ධියේ අවසානය හෙවත් ගෙවී යෑම තෙක් ඉතිර පැතිර නිරීක්ෂණය කරයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ එක් සිද්ධියක අවසානය හෙවත් බිඳී යෑම තෙක් සතියෙන් නිරීක්ෂණය කරනවා වෙනුවට මීළඟට මතුවන සංසිද්ධියේ හටගැනීම හෙවත් සමුදය විෂයෙහි ව්‍යාවෘත වීම නිසා නිරෝධය මුවහ වීමයි. මෙය සාමාන්‍ය සිතක අවුල් සහගත බවට හේතුවන අතර, කිසිවිටෙකත් සංසිද්ධියක ස්වාභාවික නිමාව නොදකී. ආංශික වූ මේ කෙළවරක් නැති නිරීක්ෂණ, අසම්පූර්ණ සිතිවිලි සහ දුර්මුඛ චිත්ත වේගවලට මුල්වේ. සති මාත්‍රය විසින් ඒ වෙනුවට මෙතෙක් නොපැහැදිලිව තිබූ ගෙවී යෑම ඉස්මතු කොට දැක්වීම හරහා, දැකීමේ පූර්ණත්වයකට ඉඩ සලසනු ලැබේ. මේ සඳහා ඇති ප්‍රසිද්ධ මෙන්ම ඉතා සුදුසු වූත් උදාහරණයක් නම් ආනාපාන සතියයි. එහිදී ක්‍රමයෙන් හුස්ම රැල්ලේ මුල, මැද හා අග වෙත සතිය යොමු කරවනු ලැබේ. සතිපට්ඨාන සූත්‍රයේ මෙය සබ්බකායපටිසවෙදි අස්සසිස්සාමීති සික්ඛති – පස්සසිස්සාමීති සික්ඛති (ආශ්වාස කය මුළුල්ලම – ප්‍රශ්වාස කය මුළුල්ලම දකිමින් හුස්ම ගන්නෙමි’යි හික්මෙයි) යි දක්වා ඇත.
අප මෙවන් සති මාත්‍රයක් දිගටම පුහුණු කළහොත් හුස්ම තව තවත් සියුම් වනවාත් සමගම අපගේ මුළු ජීවන රටාවම ක්‍රමයෙන් සියුම් වී ගැඹුරු වෙන අතර, පූර්ණත්වයකට ද ගෙන යනු ඇත.
සිතිවිලි වැලට හෙවත් චිත්ත වීථියට අනදර කොට අකාලයේ කපා හෙළීමේ හා එයින් පැන යෑමේ බයාදු ගතිය නිසා නූතන මිනිසා සිත අවුල් කරගෙන ඇත. අධිවේගවත් රටාව තුළ නූතන මිනිසා මේ අසහනකාරී සිතට පිළියමක් ලෙස ඉඳුරන් පිනවීම පිණිස බාහිර උත්තේජන ලබාගැනීම සඳහා උද්ඝෝෂණයක යෙදී සිටී. මේ බාහිර උත්තේජන නිසා මිනිසා තුළ තිබූ ස්වාභාවික මෘදු බව මොටවී, ඒ වෙනුවට වඩවඩාත් රළු හා ඝෝෂාකාරී උත්තේජක මගින් ඉඳුරන් පිනවීම්වලට නතු කරවයි. නව රසාස්වාද අතර මේ ලකුණු ගහණය. කිසියම් ක්‍රමයකින් මේ ප්‍රවණතාව හික්මවන්නේ නැතිනම් විනාශකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහේ. නූතන මිනිසා ගොරෝසු ගති වඩන අතර, සෞන්දර්යාත්මක ලක්ෂණ අගය කිරීමෙන් ඈත් වේ. ඔහු ස්වභාව ධර්මයේ ඍජු පවිත්‍ර ප්‍රීතිය භුක්ති විඳීමට අසමර්ථය. මේ වෙනුවට මන්දායුෂ්කයන්ගෙන් යුත්, නිරන්තරවම කෝලාහලකාරී වූ පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. මතුපිට ඔපයට නතු වීමට හේතුව වී ඇත්තේ ශිෂ්ට මිනිසාගේ සිත ගොරෝසු වීමත් ස්නායු දුර්වලතාවත් ය. මානවයාගේ මේ වර්තමාන ලක්ෂණවලින් පිළිබිඹු වන්නේ ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වූද පරිහානියක පූර්ව නිමිති විය හැකිය. මේ තර්ජනය ශික්ෂාවකින් තොර නව තාක්ෂණයේ නපුරු බලපෑමට ලක්වී ඇති පෙර අපර දෙදිග කාටත් අනතුරුදායකය. මේ පුළුල් අභියෝගයට එකම පිළියම ලෙස යථෝක්ත සතිපට්ඨානය දැක්විය හැක. මෙලෙස මේ සතිපට්ඨානය ලෞකික අතින් ද මහත් සේ ප්‍රයෝජනවත් ය.
මෙහි ලා අපගේ අවධානය යොමු වන්නේ සතියෙහි මනෝවිද්‍යාත්මක අංග කෙරෙහි හා භාවනා දියුණුවට ඒවායේ ඇති වැදගත්කමත් කෙරෙහිය. සතත අභ්‍යාසය හෙවත් නිතිපතා භාවනා කිරීම, නැවතිල්ලේ වැඩ කිරීම නිසා සිතට ඇති වන බලපෑම තුන් ආකාරයකට දැක්විය හැක. එනම්:
(අ) විඤ්ඤාණය දියුණු තියුණු වීම.
(ආ) අරමුණෙහි සටහන් සහ ආකාර විසද වීම හා,
(ඇ) අරමුණ හා අභිමුඛ සම්බන්ධතාව වටහා ගැනීම.

