දිළිඳුකම වත්මන් ලෝකය ඉදිරියේ ඇති බලවත් සමාජ ආර්ථික දේශපාලනික ප්‍රශ්නයකි. අසංවර්ධිත රටවල පමණක් නොව සංවර්ධිත යැයි සැලකෙන රටවල ද ලක්‍ෂ ගණනින් දිළින්දෝ ජීවත් වෙති. ස්වාභාවික සම්පත් බහුල, ඉහළ තාක්‍ෂණික ඥානයක් හා ඉහළ ජීවන තත්ත්වයක් ඇති ඇමරිකාවේ පවා දුෂ්පෝෂණයෙන් පෙළෙන වස්ත්‍ර හිඟ, නිවාස හිඟ, ඇමරිකානුවෝ දශ ලක්‍ෂ ගණනින් සිටිති. එහි ඇමරිකානු ඉන්දියන්වරු, ස්පාඤ්ඤ ඇමරිකන්වරු, නිගෝවරු වැඩි හරිය දුප්පතුන්ය. ලොව ඉහළම සංවර්ධිත රටක තත්ත්වය එසේ නම් අසංවර්ධිත රටවල් පිළිබඳව සාකච්ඡා කළ යුතු නොවේ.
මෑත කාලයේ ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය අතර පවතින මෝඝපුරිසයන්ගේ කිසි ඵලක් නැති කැරැලි කෝලාහල යුද්ධයෙන් මුළු ලොවක් යළිත් දිළිඳු කමේ අගතියට පත්ව ඇති සැටි අපි අත්විඳිමු. මහාචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති, ඊ. එම්. ෂුමාකර්, ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ගේ රචනා සහ ප්‍රායෝගික ක්‍රියාදාමය කියවන විට අත්දකින විට ප්‍රේම් දිසානායකගේ අපට වෙච්ච දේ පොත ගැන නිරීක්‍ෂණය කරන විට අපි ගුණනුවණින් අප ගැන නැවත විමසා බලා ක්‍රියාත්මක විය යුතු බවට කල්පනා ඇති වේ. සතිමත් බවින් වැඩ කළ යුතුයි.
දිළිඳුකම ගැන මෑත ඉතිහාසයේ වැඩිපුරම සාකච්ඡා කර ඇත්තේ කාර්ල් මාක්ස්ය. පුරාතන ලෝකයේ දිළිඳුකම සමාජ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ ගෞතම බුදුරජාණන්ය. නිකාය ග්‍රන්ථයන්හි බොහෝ තැන්වල මේ ගැන විස්තර දැක් වේ. චක්කවත්ති සීහනාද සූත්‍රයේදී ඒ ගැන දැඩි අවධානයක් යොමුකර ඇත.
නිර්ධනීන්ට ධනය උපදින ක්‍රම නැති කල්හි දිළිඳු බව මහත් බවට පැමිණේ. ඒ අනුව සමාජගත දරිද්‍රතාවේ මූල හේතුව රැකියා වියුක්තියයි. ඇතැම් නූතන අර්ථ ශාස්ත්‍රඥයන් සමාජගත දිළිඳු බව පිළිබඳ වරද පටවන්නේ දිළින්දන් මතමය. එහෙත් දුප්පතුන්ගේ දිළිඳුකමට ගැරහීම මිනීමරුවන් වෙනුවට මළකඳන්වලට දොස් කියන්නාක් වැනි යැයි ස්ටැන්ලි අයිට්ෂන් සඳහන් කරයි. දරිද්‍රතාව ජාතික ප්‍රශ්නයක් බවත් එය සංවිධානය කළ ජාතික වැඩසටහනක් තුළින් කළ යුතුය.
ඇතැම්විට ඇතැම් අය දිළිඳු වන්නේ ඔවුන්ගේ විෂම චර්යා රටාව නිසයි. මාදක ද්‍රව්‍ය, සූදුවෙහි ලොල්වීම, පරස්ත්‍රී සේවනය, අලස බව, දූෂණ, නැති නාස්ති කිරීම් වැනි දුරාචාර ද ඊට හේතු වේ. එහෙත් මුළුමහත් සමාජය පුරාම සමාජගත දිළිඳුකම පැතිරේ නම් හරියට ඩෙංගු ව්‍යසනය මෙන් එය නැති කිරීමට රජය මගින් සැලසුම් සංවිධානය කළ යුතු වේ. මහණෙනි, මේ ලෝකයේ දිළිඳු බව දුකකි. බුදුරදුහු වදාළහ. දුක පැවතිය යුතු දෙයක් නොව නැතිකර ගත යුතු දෙයකි. සන්තානගත දුක නැති කර ගැනීමට අවශ්‍ය සමාජ පරිසරය සකස් කර ගැනීම සඳහා ධාර්මික ලෙස සමාජගත දුක නැති කර ගත යුතුය. මිහිඳු මහරහතන් වහන්සේ බුදු මඟ පණිවිඩය ශ්‍රී ලංකාවට ගෙන ආවේ මෙබඳු අවුලින් වියවුලින් දුරු වීමටයි. සත්වග දුක බිය සොව නැති වේවා!
Leave a comment

