අසූදෙවන විය සපුරන මල්වතු මහා නාහිමිපාණන් වහන්සේ

cmadurawala
7 Min Read

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැයි මස තිස්වැනි දින ස්වකීය පුණ්‍යවන්ත දිවි ගමනේ අසූ දෙවන විය සපුරති.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් වැලිවිට සරණංකර හිමියන්ව සංඝරාජ පදවියට පත් කළ අවස්ථාවේදීම උප සංඝරාජ පදවි වශයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහනායක පදවි පිරිනැමීම ආරම්භ කෙරිණි. ශාසනික වශයෙන් ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික භික්ෂු පරපුර ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර, වත්පිළිවෙත් යනාදිය ආරක්ෂා කරගැනීමේ වගකීම මෙම උත්තරීතර පදවියට පැවරුණි. ශ්‍රී දළදා සමිඳුන් ආරක්ෂා කොටගෙන පුද පූජාදිය පවත්වාගෙන යෑමත්, අවශේෂ පෞරාණික සිද්ධස්ථාන සහ සියලු සිද්ධස්ථානයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳ වගකීමත් මහනායක පදවියට පැවරී තිබේ. එමෙන්ම ජාතික ඉතිහාසයෙහි ඓතිහාසික සම්බන්ධතාවය මූර්තිමත් කෙරෙමින් වර්තමානයෙහි වුව ද සිංහල ජාතියෙහි අතිපූජනීය අනුශාසකයාණෝ මහ නාහිමියෝ වෙති.

මධ්‍යතන යුගයේ ග්‍රාමවාසී සහ වනවාසී භික්ෂූන් වහන්සේලා අතුරින් ග්‍රාමවාසී සම්ප්‍රදායේ හිමිවරුන් මල්වතු මහා විහාරයට අයත් වෙති. මල්වතු පාර්ශ්වයේ මහනායක පදවිය සතු විශේෂතා රාශියකි. මහනුවර උපෝෂිතාරාමය සහ පුෂ්පාරාමය යන විහාරද්වයෙහි විහාරාධිපතිත්වය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හොබවති. මෙම උපෝෂිතාරාමය නම් ගම්පොළ යුගයේ වීරවික්‍රම රජතුමා ඉදිකළ පෞරාණික පෝයමළු විහාර පරිශ්‍රයයි. පුෂ්පාරාමය නම් ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමේ දී උපෝසථාගාරය පිහිටුවූ රජතුමාගේ රාජකීය පුෂ්පෝද්‍යානය පිහිටි භූමියයි. වර්තමානයේ මෙම විහාරස්ථාන පරිශ්‍රයේ මහනායක නිල ආරාමය සහ ශිෂ්‍ය නේවාසිකාගාරය ඇතුළු සංඝාරාම තිස්හතරක් පවතී.

මහනුවර යුගයේ ශාසනාලෝකය දල්වාලු වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ සහ ප්‍රධාන ශිෂ්‍ය පිරිස වැඩ සිටියේ මල්වතු විහාරයේ ය. රටේ වැඩිම විහාරස්ථාන (හය දහසකට වැඩි) සහ භික්ෂුන් වහන්සේලා අයත් වනුයේ ද මල්වතු මහා විහාර පාර්ශ්වයටය. ලක්දිව සතර දිග්භාගයේ ම සේම දේශදේශාන්තරයන්හි ද මල්වතු මහා විහාරයට අයත් යති පරපුර ව්‍යාප්ත වී තිබේ. එසේම ස්‍යාමෝපසම්පදාවෙන් පසු උපසම්පදාව පිහිටුවූ ස්ථානය වීම, සියම් නිකායේ අනෙක් පාර්ශ්වයන් මල්වතු මහා විහාරයේ උපසම්පදාව ලද භික්ෂූන් වහන්සේලා විසින් පිහිටුවිම. අමරපුර, රාමඤ්ඤ දෙනිකාය පිහිටුවීමට මුල් වූ හිමිවරුන් ද මල්වතු මහා විහාරය ඇසුරින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කොට පැවිදි උපසම්පදා ලද හිමිවරුන්ගේ සිසුන් වීම වැනි හේතු මත ලක්දිව අත්‍යන්ත සංඝ මූලස්ථානය මල්වතු මහා විහාරය ලෙස හඳුන්වා දිය හැකිය. අනුරාධපුර අටමස්ථානය, කැලණිය, ශ්‍රීපාදස්ථානය, දීඝවාපිය, තිස්සමහාරාමය, කතරගම, සිතුල්පව්ව, පැල්මඩුල්ල, රිදී විහාරය, කුණ්ඩසාලේ, තොටගමුව ඇතුළු විහාරස්ථාන රාශියක් මල්වතු පාර්ශ්වයට අයත්ය. විද්‍යොදය, විද්‍යාලංකාර දෙපිරුවන් ආරම්භ කොට පෙරදිග මහා තක්ෂිලාවන් බවට පමුණුවන ලද්දේ ද මල්වතු පාර්ශ්වයේ මාහිමිපාණන් වහන්සේලා විසිනි. රටේ ශාසනික කටයුතුවලදී මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ප්‍රමුඛත්වයට පත් වන්නේ මේ සියලු හේතු කාරණාවන් නිසාවෙනි.

සාතිශය ගම්භීරවත් වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහනායක පදවිය හොබවන විසිහයවැනි මහ නාහිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙති. අතිපූජ්‍ය ශ්‍රීමත් මහ නාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාරයේ ප්‍රථම මහනායක පදවියෙන් අර්චිත වූ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංඝ පරපුරට අයත් වෙති.

මාතලේ කොහොන්සිය පත්තුබද තිබ්බටුවාව ග්‍රාමවරයේ දී වර්ෂ 1944 මැයි මස 30 වැනි දින ජන්මලාභය ලබා අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මල්වතු පාර්ශ්වයේ විසි එක්වැනි මහ නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු විහාරයීය කාරක සංඝ සභික, රිදී විහාරාධිපති, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 ජුනි මස 10 වැනි දින ප්‍රව්‍රජ්‍යා සම්පත් ලද මහ නාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාරයීය සංඝරාජ පිරුවනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කළහ. කෙටි කලක් කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් ද අධ්‍යාපනය ලබා තිබේ.

උගත මනා සාමණේර බණ දහම් ප්‍රගුණ කොට පිරුණු විසි වයස් ඇතිව තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමණේර හිමියන් මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේදී අමුණුගම රාජගුරු විපස්ස්‍යභිධාන මහ නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ගනිමින් 1964 ජුනි 10 වැනි දින වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්ව කුරුණෑගල රිදීවිහාරයේ භාරකාරත්වයට පත්වූහ.

මහ නාහිමිපාණන් වහන්සේ 1965, 1981 සහ 1991 වර්ෂවල අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා සම්බන්ධ වූ සේක. වර්ෂ 1965 දී අමුණුගම රාජගුරු විපස්සි මහ නාහිමිපාණන් වහන්සේ වෙතින් මල්වතු මහා විහාරයේ විංශත් වර්ගික කාරක මහා සංඝසභික පදවියකට පත්වීම් ලද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ 1969 වර්ෂයේ කර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් උපසම්පදා කටයුතුවලට සම්බන්ධ වී 1974 වර්ෂයේදී කුරුණෑගල රිදීවිහාරය, කුඹුරුලෙන ඇතුළු රාජමහා විහාරස්ථානයන්හි ආධිපත්‍යයට පත්වූහ.

විමල කීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේ විසින් 1979 වර්ෂයේදී මල්වතු මහා විහාරයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට ද, 1985 වර්ෂයේදී මහා ලේඛකාධිකාරී පදවියට ද සුමංගල නාහිමියන් පත් කරන ලදහ. අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහ නාහිමිපාණන් වහන්සේ විසින් 1990 වසරේදී ජ්‍යෙෂ්ඨ කාරකසභික ධුරයකට පත්කොට වදාළ අතර 1992 වර්ෂයේදී රඹුක්වැල්ලේ සෝභිත අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහා විහාරයේ රාජකීය අනුනායක ධුරය තිබ්බටුවාවේ නාහිමියන් වෙත පිරිනමන ලදී.

දොළොස්වසරකට ආසන්න කාලයක් අනුනායක පදවිය හොබවන ලද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විසිහයවන මහනායක පදවිය සඳහා 2004 ජුනි මස 20 වැනි දින මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් තේරී පත්වී වදාළ අතර එම වර්ෂයේ අගෝස්තු මස 16 වැනි දින ශ්‍රී ලංකා ජනාධිපතිතුමිය විසින් මහනුවර මඟුල්මඩුවේදී ශ්‍රී සන්නස්පත්‍රය පිරිනමන ලදි.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ගත යුතු සෑම පියවරක් ම නොවළහා ගැනීම පිණිස මහ නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගන්නා ලදහ. වෙහෙර විහාරස්ථාන සංවර්ධනය, භික්ෂූන් වහන්සේලාගේ කටයුතු ආදිය වෙනුවෙන් අනලස්ව මහ නාහිමිපාණන් වහන්සේ දායකත්වය ලබා දෙති.

දුටුවන් පහදවන අන්දමේ රූපශෝභාවකින් පිරිපුන් මහ නාහිමිපාණන් වහන්සේ අසරණ සරණ, ගිලානෝපස්ථාන, ආගන්තුක සත්කාර ආදියෙහි නිරතුරු නිරත වන උතුමන් වහන්සේ නමකි. මහා විහාර සම්ප්‍රදායට අනුගතව විනයානුකූලව ශ්‍රමණ සාරුප්‍යය පවත්වා ගන්නා වූ කාරුණික ගුණයෙන් මහ නාහිමිපාණන් වහන්සේ සමන්විත වෙති. මහනායක පදවියේ කාර්යයන් කිරීමේදී විධිමත් ක්‍රමානුකූල අන්දමින් කටයුතු කොට නිවැරදි ම විනිශ්චය ලබා දෙති. ප්‍රසිද්ධිය පිණිස නොව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව පින්කම්වල යෙදෙමින් ක්‍රියා කරති. කවර අන්දමේ රාජ්‍ය නායකයකු හෝ බලවතකු අභිමුඛයේ වුව ද තමන්වහන්සේගේ පෞරුෂය පවත්වා ගනිමින් නිවැරදි මතයේ රැඳී සිටීමට මහ නාහිමිපාණන් වහන්සේ සමර්ථ වෙති.

දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් වන ප්‍රසන්න රූපකායකින් පිරිපුන් සංඝරාජවරයකු සේ වැජඹෙන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ හට විංශත් ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසනාභිවෘද්ධිය පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවායි ප්‍රාර්ථනා කොට සිටිමු.

දිමුතු පුන්සර කොළඹගේ ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *