බඹරැන්දේ සිරි සීවලී මාහිමිපාණන් වහන්සේ

cmadurawala
8 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වැනි දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)

විචිත්‍ර කථිකයකු හා ප්‍රගතිශීලි ලේඛකයකු වූ බඹරැන්දේ සිරි සීවලී හිමියන් ඒ වනවිට සාහිත්‍ය රසිකයන්, ලේඛකයන් නොසිතූ, කතා නොකළ අමුතු විෂයයන් ප්‍රස්තූත කොටගෙන ලිවීම පටන්ගෙන තමන්වහන්සේට ම ආවේණික සුගම සරල ශෛලියකින් ලේඛනයෙහි නිරතව සිටි විදුලකරේ වැඩ සිටි වියත් පඬිරුවනකි.

දක්ෂිණ ලංකාවේ මාතර වැල්ලබඩ පත්තුවේ බඹරැන්ද ග්‍රාමයේ විසූ එපිටකඩුවේ ගමගේ ජුවානිස් අප්පුහාමි පියතුමාගේ සහ දෝන කතිරිනා සේතුංග මවුතුමියගේ පුත්රුවනක් ලෙස වර්ෂ 1908 ජුනි මස 20 වැනි දා එපිටකඩුවේ ගමගේ දොන් ඇල්ෆ්‍රඩ් ධර්මසේන නමින්, නාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටහ.

බඹරැන්දේ සද්ධර්මරාජ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත්ව එහි මූලික ශ්‍රේණියේ පටන් අධ්‍යාපනය ලබන අතර ඓතිහාසික කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරස්ථානය ඇසුරෙන් පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් හැදෑරීය.

මෙම කුරුඹුරේ රජමහා විහාරය වනාහි දක්ෂිණ ලංකාවේ සම්භාවනීය රාජපූජිත විහාරස්ථානයකි. එහි වැඩ සිටි දෙමටපිටියේ සංඝරක්ඛිත හිමිපාණන් පහතරට ප්‍රධාන සංඝනායක පදවිය දැරූ අතර එම හිමියන්ට රජතුමා විසින් රන් පිළිමයක් ඇතුළු පූජා වස්තු පුද දී තිබේ.

මූලික බණ දහම් හදාරා ස්වකීය නවහැවිරිදි වියේ දී, එනම් 1917 මැයි මස 18 වැනි දින බඹරැන්දේ කුරුඹුරේ රජමහා විහාරයේ දී තත් විහාරාධිපති වල්පිට රතනපාල නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන්, ගාල්ල කුඹල්වැල්ලේ විද්‍යාකීර්ති පරිවේණාධ්‍යක්ෂ උයන්වත්තේ ශ්‍රී ධම්මදින්න රේවතාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, බඹරැන්දේ සීලවිමල නමින් පැවිදි බිමට පත් වූහ.

අධ්‍යාපනය පිණිස වර්ෂ 1927 ජුනි 10 වැනිදා විද්‍යාලංකාර පිරුවනට ඇතුළත්ව ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වියත් ආචාර්ය මණ්ඩලයේ ඇසුර ලබමින් අධ්‍යයනයෙහි නිරතව නිසි වයස් සපිරීමෙන් පසු, වර්ෂ 1931 ජුනි මස 15 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව වෙත “ශ්‍රී ධර්මාරාම සාධු චරිතම්” නමින් සකු බසින් ග්‍රන්ථයක් ඉදිරිපත් කළහ. මින් ප්‍රසාදයට පත් මල්වතු මහා විහාර කාරක සංඝ සභාව මගින් “ශ්‍රී” යන ගෞරවාභිධානය පිරිනමන ලද අතර සීලවිමල නාමය “සීවලී” යනුවෙන් වෙනස් කරන ලදී. පහමුණේ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ උපාධ්‍යායයත්වයෙන් ද, පසුකලෙක මහනායක ධුරප්‍රාප්ත පුරිජ්ජල සරණංකර නාහිමියන්ගේ සහ පසුකලෙක අනුනායක ධුරප්‍රාප්ත අඹන්වැල්ලේ ධම්මානන්ද යන නාහිමිවරුන්ගේ කර්මාචාර්යයත්වයෙන් උපසම්පදාව සිදු කරන ලදී. මෙහිදී ප්‍රව්‍රජ්‍යාචාර්ය වල්පිට රතනපාල නාහිමිපාණන් වහන්සේ සහ විදුලකර උපපරිවේණාධිපති කිරිවත්තුඩුවේ නාහිමිපාණන් වහන්සේ ආචාර්යයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියහ.

චීන ජනාධිපති චෞ එන් ලායි මැතිතුමා සමග

වර්ෂ 1932 දී විද්‍යාලංකාර පිරුවනේ අවසාන විභාගයෙන් ගෞරව පන්තියේ පළමුවැනියා වශයෙන් ත්‍යාග රාශියක් සහිතව සමත් වූ රාහුල හිමිපාණන් වහන්සේගේ දක්ෂතාවය පිළිබඳ එවක ‘ග්‍රන්ථ ප්‍රකාශන’ නම් සඟරාවේ පළකොට ඇත. ඊළඟ වර්ෂයේ, එනම් 1933 දී ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සමත්ව විද්‍යාලංකාර පිරුවනේ ආචාර්ය පදවියකට පත් වූහ. එම කාලයේ ම ඉන්දියාවේ බිහාර් හි වෛද්‍ය නාථධාම ගුරුකුලයේ පාලි කථිකාචාර්යවරයකු වශයෙන් ද, රාංචි විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ ආචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළහ. රාංචි පෙදෙසේ දොළොස්වැනි සියවසෙන් පසු දක්නට ලැබුණු එකම බෞද්ධ භික්ෂුන් වහන්සේ වූ හෙයින් එහි බෞද්ධාගමික පුනර්ජීවනයක් සිදු කිරීමට සිරි සීවලී මාහිමිපාණන් වහන්සේට අවකාශ ලැබුණි.

වර්ෂ 1934 දී ඉන්දියාවේ කාශි විද්‍යාපීඨ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබන අතර එරට නිදහස් සටනට ද සම්බන්ධ වූ සීවලී හිමියන් 1939 දී ඉතිහාසය, දේශපාලන විද්‍යාව හා අර්ථශාස්ත්‍රය යන විෂයයන්ගෙන් “ශාස්ත්‍රී” නම් උපාධිය හිමිකර ගත්හ. ඉන්පසු ටිබෙටයට වැඩ 1940 දී නැවත ලංකාවට වැඩමවා විද්‍යාලංකාර පිරුවනේ ආචාර්ය පදවියේ කටයුතු සිදුකර යන ලදි. එසේම විද්‍යාලංකාර පිරුවන ආශ්‍රිතව පිහිටුවා තිබූ දහවල් ඉංග්‍රීසි පන්ති භාරව ද ක්‍රියා කරමින් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කළහ .

මේ කාලයේ ම ප්‍රගතිශීලි ලේඛක සමිතිය පිහිටුවීය. “ප්‍රගතිශීලි” යන වචනය ශ්‍රී රාහුල හිමියන් භාෂාවට හඳුන්වා දුන් වචනයකි. ප්‍රගතිශීලි යන්නෙහි අරුත “ඉස්සරහට එන” යනු යි. එහි විරුද්ධ අර්ථය “ප්‍රතිගාමී” යනු යි. එනම් “ආපසු එන” යනුයි. දෙවන ලෝක යුද්ධ සමයේ පෑලියගොඩ ප්‍රදේශයේ භාරකරු වශයෙන් කටයුතු කරමින් පිරුවන පවත්වාගෙන යමින් ආරක්ෂා කිරීමටත්, පිට පළාත්වල පිරුවනේ ශාඛා ආරම්භ කිරීමටත්, යුද සමයේ ආහාර හිඟයක් ඇති නොවීම පිණිස වගා කටයුතු සඳහා ජනතාව උනන්දු කරවීමටත් සීවලී නාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ. 1941 වර්ෂයේ දී භාරතීය ඉතිහාසය පර්ෂදයේ සාමාජිකත්වය ලද අතර, ලංකා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් හින්දි භාෂාව ඉගැන්වීම ද සිදු කළහ. 1943 වර්ෂයේ විද්‍යාලංකාර රාත්‍රි ඉංග්‍රීසි පාඨශාලාවෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරමින් ප්‍රගතිශීලි ශිෂ්‍ය සමිති ව්‍යාපාරය ඇරඹීමත්, රජයේ වචන කාරක සභාවට පත්වීමත් සිදු විය.

සිරි සීවලී හිමියන් ඉන්දීය අගමැති නේරුතුමා, ශ්‍රී ලංකා අගමැති බණ්ඩාරනායක මැතිතුමා, ඉන්දිරා ගාන්ධි මැතිනිය හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියසමග

භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සක්‍රීයව දායක වෙමින් ඉන්පසු දශකය, එනම් 1946 – 1956 දශකයේ රටේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීය අන්දමින් දායක වූහ. 1947 මහා ජල ගැලීම් අවස්ථාවෙහි පිරුවනේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී ක්‍රියා කළ සිරි සීවලී මාහිමිපාණන් වහන්සේ යක්කඩුවේ නාහිමියන්ට පසු 1950 දී එක්සත් භික්ෂු මණ්ඩලයේ ලේකම් ධුරය දැරූහ. 1950-55 වකවානුවේ සිංහල බෞද්ධ පුනරුදයක් රටේ ඇතිකරවීමටත්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමටත් රැස්වීම් සංවිධානය කරමින් විශාල වැඩ කොටසක් සිදු කළහ.

විද්‍යොදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිහිටුවීමේ දී ඇති වූ බාධා නැති කිරීමට සිරි සීවලී හිමියන් විශාල මෙහෙවරක් සිදු කොට තිබේ. වැලිවිටියේ සෝරත නාහිමියන් පවසා ඇති අන්දමට සිරි සීවලී හිමියන් නොවූයේ නම් පිරිවෙන් විශ්වවිද්‍යාල යථාර්ථයක් නොවීමට ඉඩ තිබුණි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භක අවස්ථාවෙහි එහි බෞද්ධ පීඨාධිපති පදවියට හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය පදවියට ද පත් වූහ.

දේශකයකු වශයෙන් කීර්තිමත්ව වැඩ සිටි සිරි සීවලී හිමියන් සමාජයේ වඩාත් ම කීර්තියට පත් වූයේ ලේඛනයෙන් යැයී කිවහොත් එය වඩාත් නිවැරදි වනු ඇත. තමන්වහන්සේට ම අනන්‍ය වූ සුගම ළගන්නා බස් වහරකින් ලේඛනයෙහි නිරත වූ සිරි සීවලී හිමියන් තම නම වූ “සිරි සීවලී” යන්නෙහි මුල් අකුරු දෙක වූ “සිසි” යන නාමයෙන් ලේඛනයෙහි යෙදුණාහ. බෞද්ධ ලෝකය, ලංකා බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය, බෝධිසත්ත්ව ආදර්ශය, කාලාම ධර්මය, සිඟාලෝවාදය, සිංහල ධම්මපදය, ප්‍රගතිශීලි රචනා, ප්‍රගතිශීලි සාහිත්‍යය, සිංහල ශෛලිය, ලිවීමේ පරමාර්ථය, සාහිත්‍ය සංවේදනා, කථා කලාව, ලියන කලාව, කියවන කලාව, සිතන කලාව, මිත්‍ර කලාව, ජීවන කලාව, අධ්‍යයන කලාව, පාලන කලාව, නගින කලාව, කලා හතර, කලා පහ, ශරීර යන්ත්‍රය, ප්‍රඥාසාර ප්‍රශස්ති, මනෝවිද්‍යාව, ශ්‍රී බුද්ධදත්ත ආදී ශතාධික ග්‍රන්ථ සමූහයක් බුදුදහම, සාහිත්‍යය, කලාව, කෙටිකථා, පරිවර්තන, සංස්කරණ ආදී විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචනා කොට තිබේ.

බුරුම රට ඡට්ඨ සංගායනාවට ද සහභාගි වූ සිරි සීවලී හිමියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු වෙත ද දායක වී තිබේ. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සාමාජික ධුරය, සමස්ත ලංකා හින්දි ප්‍රචාරක සමිතියේ සභාපති ධුරය, ඉන්දියාවේ රාෂ්ට්‍ර භාෂා ප්‍රචාරක සමිතියේ පරීක්ෂක ධුරය, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ධුරය, රාජ්‍ය භාෂා උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය, බෞද්ධ සංස්කෘතික සභාවේ සභාපති ධුරය, ලංකා බෞද්ධ අධ්‍යාපන සංගමයේ සභාපති ධුරය, ලංකා බෞද්ධ මණ්ඩලයේ සාමාජිකත්වය, සමස්ත ලංකා භික්ෂු සමිති සම්මේලනයේ සංවිධායකත්වය, සිංහල කලා සංගමයේ සභාපති ධුරය, ජාතික මහා බල මණ්ඩලයේ නිර්මාතෘ ධුරය, සිංහල සංස්කෘතික සභාවේ උපසභාපති ධුරය, ලංකා විශ්වවිද්‍යාලයේ උසස් උපාධි කමිටුවේ සාමාජික ධුරය, පිරිවෙන් උපදේශක සභාවේ සාමාජික ධුරය, සංස්කෘතික අමාත්‍යාංශයේ සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික ධුරය, දහම් පාසල් පරීක්ෂක සභික ධුරය, ගුවන්විදුලි උපදේශක මණ්ඩලයේ සාමාජික ධුරය, අධ්‍යාපන මධ්‍යම උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ උපදේශක ධුරය, ජාතික ග්‍රන්ථ භාරකාර මණ්ඩලයේ සාමාජිකත්වය, ලෝක සාම සම්මේලනයේ සාමාජිකත්වය, ශ්‍රී ලංකා ලේඛක සංගමයේ සභාපති ධුරය. රාජකීය අත් ලිපි කොමිසමේ සාමාජිකත්වය, රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වය, ජාතික කෞතුකාගාර කොමිටියේ සාමාජිකත්වය, බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය, ලංකා සාහිත්‍ය මණ්ඩලයේ ළමා සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරය, ලංකා සංස්කෘතික මණ්ඩලයේ සාමාජිකත්වය වැනි තනතුරු රාශියක් සිරි සීවලී නාහිමිපාණන් වහන්සේ හොබවා තිබේ.

කලක් රෝගාතුරව වැඩ සිටි බඹරැන්දේ සිරි සීවලී මාහිමිපාණන් වහන්සේ 1985 අප්‍රේල් මස 28 වැනි දා අපවත් වී වදාළ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *