හිමගිර කතන්දර

rashi
By rashi
7 Min Read

ලාමා සූර්යා දාස් ගේ The Snow Lion’s Turquoise Mane ග්‍රන්ථයෙනි

අනුවාදය: අනුරාධ මහසිංහ

ශක්ති සංක්‍රමණය

තෘල්ශික් රින්පොචෙ හිමියන් සිය ජීවිතයේ බොහෝ කාලයක් වැඩ වාසය කළේ හිමාල වැටියෙහි ඉතා උස් ගිරි මුදුනක පිහිටි හුදෙකලා ආශ්‍රමයක ය. කලාතුරකින් අවස්ථාවක හැර එහිමියෝ මේ ආශ්‍රමයෙන් පිටතට නො වැඩිය හ.

එසේ වුව, යොවුන් වියේ දී තෘල්ශික් හිමියන්ගේ සිතෙහි ආශ්‍රමයෙන් ඈත වූ සිකීම් නුවරට යන්නට දැඩි අභිලාෂයක් විය. ඒ, ජීවමාන බුදුවරයකු යැ යි තිබ්බතයේ සැලකුණු, කග්‍යු සම්ප්‍රදායයේ මහානායක වූ, ග්‍යාල්වා කර්මපා උතුමන් වෙතින් මහාකාල මුද්‍රාව ලබනු පිණිසයි. ආධ්‍යාත්මික ගමනට ඇති බාධක දුරු කිරීම සඳහා ඉහළ ආධ්‍යාත්මික ශක්තියක් සහිත යෝගියකු වෙතින් මහාකාල ශක්තිය තමා වෙත සංක්‍රමණය කරගැනීම, තිබ්බත යෝගීන්ගේ සිරිතකි.

එහෙත් සිකීම්හි පිහිටි කර්මපාතුමන්ගේ ආරාමය වෙත යන්නට තෘල්ශික් හිමියන් කළ සියලු‍ ප්‍රයත්න ව්‍යර්ථ විය. භාරතයේ දී කර්මපාතුමන් හමු වීමට උත්සාහ කළ ද, එය ද පල දැරුවේ නැත. “මොකක් හෝ කර්ම බාධාවක් ඇති, ඒක අයින් කරගන්න ඕනැ,” යි කල්පනා කළ තෘල්ශික් හිමියන් නොයෙක් පුද පූජා කළ නමුත්, ඒ සියල්ල ගඟට කැපූ ඉනි සේ නිෂ්ඵල වූ බව වැටහුණේ, කර්මපා උතුමන් අපවත් වුණු පුවත අසන්නට ලැබුණු දවසේ ය.

එසේ වුව, ඒ පූජාවන් පල දැරුවා සේ, එක්තරා රාත්‍රියක කර්මපා උතුමාණෝ සිහිනයෙන් තෘල්ශික් රින්පොචෙ හිමියන් අබිමුව පෙනී සිටියෝ ය. පෙනී සිට, පූර්ණ මහාකාල ශක්තිය රින්පොචෙ හිමියන් වෙත සංක්‍රමණය කළ හ.

මේ වනාහි සිහිනයක් බව රින්පොචෙ හිමියෝ දනිති. එවිට, මේ තමා අපේක්ෂා කළ මහා මුද්‍රා සංක්‍රමණය ද? උන්වහන්සේ සැක පළ කළ හ.

“මොකක් ද සැබෑ?” තෘල්ශික් හිමියෝ විමසූ හ.

“සැබෑ බවත් මායාවි බවත් හැම දෙයක ම ඇතැ,” යි කර්මපා උතුමාණෝ පිළිතුරු දුන් හ. “සැබෑ යැ යි කිව හැකි කිසිවක් නැත. පරමාර්ථමය තලයේ දී සියල්ල ම එක සමාන ව ශූන්‍ය වෙයි. සම්මුති තලයන්හි දී සියලු‍ ක්‍රියාවන් බලපවත්වයි.”

තෘල්ශික් හිමියෝ මේ ස්වප්නමය ශක්ති සංක්‍රමණයෙන් පල ලැබූ හ. ඉක්බිති උන්වහන්සේට දෛනික ජීවිතය නම් දාවල් සිහිනයේත් රාත්‍රී ස්වප්නයකත් වෙනසක් නො වී ය. ජීවිතයේත් මරණයේත් වෙනසක් නො වී ය.

අංගජ තෙරුන් වහන්සේගේ කථාව

විපස්සි බුද්ධ සමයෙහි,’න්‍යෙමේ’ නමැති ධනවත් ගෘහපතියෙක් බුදුන් වහන්සේ බැහැදැක, තුන් මාසයක් පුරා දන් පැන් පූජා කරන්නට අවසර ලබාගත්තේ ය. ඉක්බිති එම ප්‍රදේශයෙහි රජු ද පැමිණ උන්වහන්සේට තුන් මාසයක් දන් පැන් පූජා කරන්නට අවසර ඉල්ලා සිටියේ ය.

රජුගේ ඉල්ලීම යහපත් බව පැවසූ විපස්සි බුදුන් වහන්සේ, එසේ නමුත් මේ වන විටත් න්‍යෙමේ ගෘහපතිගේ ආරාධනය පිළිගෙන තිබෙන බැවින් එය ඉෂ්ට කළ නො හැකි බවත් පැවසූ හ. ඒ වෙනුවට මහා සංඝයා උදෙසා දන් පැන් පුදන්නැ යි රජුට කී හ.

රජ තෙමේ මින් නො සතුටු විය. තමන්ට ලැබිය නො හැකි වරමක් සාමාන්‍ය රටවැසියකුට ලැබීම ඔහුට දරාගන්නට අමාරු විය. ඔහු හිතෛෂි අමාත්‍යවරයකුට මේ පුවත සැළ කර සිටියේ ය.

උපායෙහි දක්ෂයකු වූ අමාත්‍යවරයා සැලසුමක් ගෙන ආවේ ය.

“රජතුමනි, ඔබේ රාජධානියේ දර විකිණීම තහනම් කරන්න. දානය පිසීමට අවශ්‍ය දර සොයාගනු බැරි තැන, ඔය ගෘහපතියා උත්සාහය අත් ඇර දමා වි. ඔය අතරෙ අපට පුළුවනි, රාජකීය ගබඩාවෙ දරවලින් දානය උයලා, බුදු හාමුදුරුවන්ටයි ශ්‍රාවක සංඝයාටයි මාස ගාණක් සත්කාර කරන්න.”

සතුටු වූ රජ උපාය ක්‍රියාත්මක කළේ ය. දර සොයාගැනීම බෙහෙවින් දුෂ්කර විය. එහෙත් න්‍යෙමේ ගෘහපති තෙමේ පසු බා නො ගියේ ය. හෙතෙම සුවඳ දුම් පිණිස දවන්නට නියමිත වූ සඳුන්, සාම්බ්‍රානි බොහෝ සේ මිලට ගෙන, ඒවා දවා, දානය පිසින්නට ගත්තේ ය. මුළු නුවර ම සුගන්ධ ධූපයෙන් පුබුදු කරමින්, සුගන්ධවත් දානය බුදුන් වහන්සේට පූජා කළේ ය.

හැම දිනක ම, මේ දානය බුදුන් වහන්සේට පූජා කරන අතර, ඔහු මෙවන් අධිෂ්ඨානයක් ද කළේ ය. “ස්වාමීනි! අද ඔබවහන්සේට සංග්‍රහ කරන්නට මා වරම් ලැබුවේ කෙසේ ද, එපරිද්දෙන් ම, මතු දින ධර්මයට ද, සියලු සත්ත්වයනට ද සංග්‍රහ කරන්නට ලැබේ වා!”

මේ ගෘහපති තෙම ගෞතම බුද්ධ කාලයෙහි ‘අංගජ’ නමින් උපත ලැබී ය. උන්වහන්සේ භාවනා වඩා අර්හත් භාවයට පැමිණිය හ.

අංගජ රහතන් වහන්සේගේ රුව නිතර ම අඳිනු ලබන්නේ සුවඳ දුම් පාත්‍රය අතැති ව ය. මේ ධූම පාත්‍රය දනික, අත ගා බලන, එහි සුගන්ධය විඳින හෝ ඒ ගැන අසන සියලු‍ දෙන ශීල සුගන්ධයෙන් නැහැවෙනා බවත්, එයින් ඔවුන්ගේ සියලු‍ රෝග නිවාරණය වන බවත්, ඔවුන් ආර්ය මාර්ගයට හැරෙන බවත් තිබ්බතයේ ප්‍රකට ය.

නාලන්දාවේ නුවණ ළිඳ

චන්ද්‍රකීර්ති හිමියන් වනාහි නාලන්දා විශ්වවිද්‍යාලයයෙහි වැඩ විසූ කීර්තිමත් තෙර නමකි. නාගාර්ජුන හිමියන් විසින් අරඹන ලද මාධ්‍යමික ගුරුකුලයෙහි ඉගැන්වීම් පිළිපැද්ද උන්වහන්සේ සමීප ව ඇසුරු කළ ගිහි යෝගියකු වූයේ චන්ද්‍රගෝමි ආචාර්යතුමන් ය. චන්ද්‍රගෝමි පිළිපැද්දේ, අසංග හිමියන් විසින් ආරම්භ කරන ලද යෝගාචාර ගුරුකුලයෙහි ඉගැන්වීම් ය. පුරා අවුරුදු හතක් මේ දෙදෙනා ධර්ම කරුණු ගැන වාදයෙක නියැළී උන් හ.

වරක් චන්ද්‍රකීර්ති හිමියන් විසින් ඉතා දක්ෂ ලෙස කරනු ලැබූ අර්ථකථාවක් කියැවීමෙන් දුර්මුඛ වූ චන්ද්‍රගෝමි තෙමේ, තමා විසින් ලියනු ලැබූ ග්‍රන්ථ දැන් ඉතින් පලක් නැතැ යි කියා, ළිඳකට දැම්මේ ය.

එසැණින් ඔහු වෙත පෙනී සිටි තාරා දෙවඟන මෙසේ කීවා ය.

“සැදැහැවත් යෝගිය! ඔබේ ග්‍රන්ථයේ චන්ද්‍රකීර්තිපාදයන්ගේ ශාස්ත්‍රීය ආලෝකය ද ආටෝපය ද නැති බව ඇත්ත. ඔබේ ග්‍රන්ථයේ රචනා විලාසය චන්ද්‍රකීර්තිපාදයන්ගේ ග්‍රන්ථයේ තරම් ලස්සන නැති බවත් ඇත්ත. නමුත්, ඔබේ ග්‍රන්ථවල කරුණා ගුණය ඊට වඩා ගොඩක් ඉහළයි. ඒ නිසා මතු පරම්පරාවන් ඔබේ ග්‍රන්ථවලින් බොහෝ ප්‍රයෝජන ලබනු ඇති.”

තාරා දෙව්දුවගේ අනාවැකිය කොතරම් දුරට සැබෑ වී ද යත්, ඇය චන්ද්‍රගෝමීන්ගේ නුවණට ප්‍රශංසා කළ ස්ථානයේ ඇති මෙම ලිf​ඳන් වතුර බීමෙන් පවා බොහෝ නාලන්දා ශිෂ්‍යයන්ගේ බුද්ධිය දියුණු වූ බැව් කියවේ.

නග්න තාරා නොහොත් දායාද දෙන්නී

වරක් යාචකයෙක් චන්ද්‍රකීර්ති හිමියන් වෙත පැමිණ, සිය දියණියගේ විවා මඟු‍ල පිණිස දායාදයට යමක් අයැද සිටියේ ය. “පැවිදි මට දායාදයට දෙන්නට යමක් කොයින්දැ,” යි කී චන්ද්‍රකීර්ති හිමියෝ, චන්ද්‍රගෝමි ආචාර්යතුමන් වෙත ගොස් බලන්නැ යි යාචකයාට කී හ. ඒ අනුව යාචකයා චන්ද්‍රගෝමීන්ගේ පැල්පත කරා ගිය නමුත්, එතුමන් සතු ව තිබුණේ, ඇඳි වතත් – ප්‍රඥා පාරමිතා සූත්‍රත් පමණි.

අසරණ යෞවනියගේ ඉරණම දැක කම්පා වූ චන්ද්‍රගෝමි තෙමේ, තාරා දෙව්දුවගේ රුව අබිමුව යාච්ඥා කළේ ය. එහි පෙනී සිටි තාරා දෙව් දුව, සිය සේද වස්ත්‍ර ද මහාර්ඝ ආභරණ ද යාචක දියණියට දෙන්නැ යි කියා චන්ද්‍රගෝමින් අත තැබුවා ය.

දෙව් රුවෙහි තිබූ වස්ත්‍රාභරණ සියල්ල අතුරුදන් ව තිබිණ. තාරා දෙවඟනිනග්න තාරා’ නොහොත්ිදායාද දෙන්නී’ ලෙස මහත් ගෞරවයෙන් පුදනු ලැබිණ.

චන්ද්‍රගෝමීහු මෙසේ කී හ. “කාරුණික තාරා දෙවඟන ආත්මාර්ථයෙන් තොර යාච්ඥාවන්ට හරි ඉක්මනින් පිළිතුරු දෙනවා. අනික් වර්ගයේ යාච්ඥාවලට පිළිතුරු දෙන්න කල් ගන්නවා!”

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *